දවසක් අන්දරේ මාළිගාවට එමින් හිටියා. කරත්තකාරයෝ දෙන්නෙක් තමන්ගේ නැතිවූ ගොනෙක් සොයමින් ඉදිරියට ආවා. ඔවුන් අන්දරේ දැක්කා. හරකා ගැන අයිරුවක් ඔහු දන්නවා ඇතැයි සිතූ ඔවුහු අන්දරේගෙන් මෙහෙම ඇහුවා. “අනේ උන්නැහේ, මේ පාරෙන් හරකෙක් යනවා දැක්කද?” “උගේ කකුලක් නොන්ඩිද?” අන්දරේ ඇහුවා. “ඔව්.. ඔව්..” “උගේ එක ඇහැක් අන්ධයි.” අන්දරේ කීවා. “ඔව්.. ඔව්..” කරත්ත කරුවෝ උනන්දුවෙන් කීවා. “උගේ කටේ දතකුත් කැඩිලනේ.” “අනේ ඔව් උන්නැහේ. ඒ හරකා අපේ. කරුණාකරල කියනවද ඒ හරකා කොහෙද කියල.” “මම එහෙම හරකෙක් දැක්කේ නැහැ.” කියපු අන්දරේ මාළිගාවට ගියා. “මේ මිනිහ බොරු කියන්නේ. මෙයා අපේ හරකා හොරකම් කරල තියෙන්නේ. නැත්තං කොහොමද මේ තරං සහසුද්දෙන් තොරතුරු දන්නේ. දන්නෙ නැහැ කියල කියන්නේ බොරු. අපි රජතුමාට පැමිණිළි කරමු.” එහෙම කියපු කරත්තකරුවෝ රජතුමා හමුවී තම පැමිණිල්ල කළා. අන්දරේත් රජමාළිගාවේම හිටපු නිසා රජතුමා පැමිණිල්ල විභාග කළා. “මේ ගැන තොප වැරදි කරුද නිවරැදි කරුද අන්දරේ.?” “මම නිවැරැදි කරුයි දේවයන් වහන්ස.” “මොහු බොරු කියන්නේ දේවයන් වහන්ස. මොහු නිවැරැදි ලෙසම හරකාගේ තොරතුරු කීවා.” කරත්ත කරුවෝ කීහ. “එසේද අන්දරේ.?” “එහෙමයි දේවයන් වහන්ස.” “කෙසේද එසේ නිවැරදිව තොරතුරු කියන්නේ.?”
1/2
“දේවයන් වහන්ස. මම ගං ඉවුර දිගේ එනවිට ගොනෙකුගේ පා සටහන් දැක්කා. මිනිසෙක්ගේ පා සටහන් නොමැති වූ නිසා ඔහු තනිවම යන හරකෙක් බව සිතා ගත්තා. උගේ පාසටහන් සතරම තිබුණත්, එක පා සටහනක් තිබුනේ අඩුවෙන්. ඒ ඔහුගේ එම පාදය නොන්ඩි නිසා බව තේරුම් ගත්තා. ඔහු කණකොල කා තිබුනේ එක් පැත්තක විතරයි. එහෙම උනේ උගේ එක ඇහැක් අන්ධ නිසා බව තේරුම් ගත්තා. ඒ වගේම කාපු තණකොලවල කොටසක් ඉතුරුවී තිබුණා. ඒකෙන් පෙනුනේ කටේ එක දතක් ගැලවී තිබුණු බවයි. මේ නිසයි මම ඒ විදිහට කීවේ. ඒ හැර මා එම ගවයා දුටුවේ නැහැ දේවයන් වහන්ස.” “කදිමයි අන්දරේ කදිමයි. ඔබ ගැන මම සතුටුයි. හැම ඇමතිවරයෙක්ම, මන්ත්‍රීවරයෙක්ම, නිළධාරියෙක්ම, මේ විදිහට කරුණු කාරණා ගැන නිවැරැදිව උපකල්පනය කරනවා නම්, ඒ රට සුඛිත මුදිත කරන එක අසීරු කාරණයක් නෙවෙයි. වැසියන්ගේ ගැටළු විසඳන එක අපහසු නැහැ.” කියල අන්දරේට ස්තුති කළා. කරත්ත කරුවන් දෙදෙනාටත් කාරණා අවබෝධ උනා. “දේවයන් වහන්ස අපට සමාවුව මැනවි. මොහු පිළිබඳව සැක කිරීම ගැන. ඔහුගෙනුත් සමාව අයැද සිටිනවා” යැයි කිවූ ඔවුන් දෙදෙනා රජුට නමස්කාර කර ඉක්මන් ගමනින් ගවයා සොයාගෙන ගියා.
2/2