රජයේ ඉහළ නිළතල දරන්නන් විවිධ අවස්ථාවල විවිධ උත්සව ගැනීම සාමාන්‍ය සිරිතයි. එවන් උත්සව වලට සම්බන්ධ කරගන්නේ එවැනි උසස් නිලතල දරන්නන් පමණි. රජතුමාගේ උපන් දිනය වෙනුවෙන්ද එවැනි උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ සඳහාද ආරාධනා ලැබුයේ ඉහළ රාජ්‍යතාන්ත්‍රික නිළධාරීන් හා රජයේ ඉහළම නිලතල ලැබූවන් පමණි. එසේ පැමිණෙන්නන්ටද විශේෂ අවසර පත්‍රයක් නිකුත් කර තිබුණු අතර එය නැති කිසිවෙකු ඇතුල් කර ගත්තේද නැත. එයට හේතුව වූයේ ප්‍රභූන්ගේ ආරක්ෂාව සැලසිය යුතු වීමයි. රජතුමාගේ සමීපතමයෙකු වුවත් අන්දරේටද එයට ආරාධනාවක් නොවීය. ඔහු රජයේ සාමාන්‍ය නිළධාරියෙකු වීම එයට හේතුවයි. එහෙත් තමන් රජතුමාට නැතුවම බැරි කෙනෙකැයි සිතා සිටි අන්දරේට මෙය මදිපුංචි කමක් සේ සිතින. ඒ නිසා කුමන හෝ ආකාරයකින් උත්සව භූමියට ඇතුල් වීමට ඔහු කල්පනා කළේය. වත්තකින් සොයා ගත් වැටකේ ගෙඩි දෙකක් ලොකු පාර්සලයක් සේ ඔතා කදක බැඳගෙන අන්දරේ මාළිගාවට ගියේය. එහෙත් ගේට්ටුවෙන් ඇතුල් වීමට ඔහුට අවසර නොවීය. “අද රජතුමා උත්සවයට යන අයට විශේෂ ත්‍යාග පිරිනමන්නේය. ඒ ත්‍යාගයන් තොප දෙදෙනාට සමානව බෙදා දෙමි. මට ඇතුල්වීමට ඉඩ දෙව.” යි මුර සෙබලුන්ට කීවේය. මුරට සිටි සෙබලු එය පිළිගෙන අන්දරේට ඇතුල් වීමට ඉඩ ලබා දුන්හ. අන්දරේ භෝජන ශාලාවට ඇතුල් විය. එහෙත් රජතුමා එය දැක්කේය. වහාම ඔහුට කතා කර අන් අයට නොඇසෙන පරිද්දෙන් මෙසේ කීවේය. “ඔබට මම මෙයට ආරාධනා නොකලෙමි. ඔබ යම් කිසි දෙයක් ගෙනාවේ නම් එයත් රැගෙන වහාම මේ උත්සව භූමියෙන් පිටතට යා යුතුය.” අන්දරේ රජතුමාගේ අණ පරිදි පිටත් විය. ගබඩාවට ගොස් එතැන සිටි නිළධාරියාට කියා එහි තිබූ විශාලතම ත්‍යාග පාර්සල් දෙකක් කද බැඳගෙන පිටත් විය. “අන්දරේ අපි තොප උත්සව ශාලාවට ඇතුල් කළේ පොරොන්දුවක් පිටය. එය නොසලකා පිටත්ව යන්නේ ඇයි.?” “සමාවන්න මෙය රජතුමා මගේ භාර්යාවට දුන් ත්‍යාගයන්ය. එය ඇයට දිය යුතුය. හෙට රජතුමා මගේ ත්‍යාගය මට දෙනු ඇත. නොවැරදීම එය මම තොප දෙදෙනාට ලබාදෙමි. සැකයක් නොසිතනු මැනවි.” අන්දරේ බොරුවක් කීවේය.
1/2
පසුවදා අන්දරේ මාලිගාවට ගියේය. රජතුමා අන්දරේට කතා කළේය. “ඊයේ තොප කරනු ලැබූයේ කෙසේවත් තොපට යෝග්‍ය කර්තව්‍යයක් නොවේ. දේශ දේශාන්තරවලින් පැමිණි ප්‍රභූන් මධ්‍යයට තොප පමණක් නොව ඊට වඩා ඉහළ නිළධාරීන්ද නොකැඳවූයෙමි. තොප රජමාළිගාව සමග පැවැති හිතවත්කම අයුතු ලෙස භාවිතා කර තිබේ. බලය අයුතු ලෙස භාවිතා කිරීම, අනවසරයෙන් උත්සව භූමියට පැමිණීම, මුසා බස් තෙපලීම, වැනි වැරදි රාශියක් තොප විසින් කර තිබේ. ඒවා බරපතල වැරදිය. මම තොපට කස පහර පනහක් දඩුවම වශයෙන් නියම කරමි. සෙබලුනි, මොහු ගෙනගොස් කස පහර පනහක් දෙව.” අන්දරේ කසපහර දීමට ගෙන ගියේය. දොරටුව අසලින් යනවිට එහි මුර සෙබලුන් දෙදෙනා සිටිනු දුටුවේය. අන්දරේ ආරක්ෂකයන් ඇමතීය “සෙබලුනි වහා මොහොතක් නවතින්න. මම මේ මුර සෙබලුන්ට එක් පොරොන්දුවක් දුනිමි. එනම් මට ලැබෙන ත්‍යාගය මොවුන් දෙදෙනාට සමසේ බෙදා දෙන බවයි. කරුණාකර මේ කස පහර පනහ සමසේ මොවුන් දෙදෙනාට ලබා දෙනු මැනවි. එසේ කළ නොහැකි නම් මා වහාම රජු හමුවට ගෙන යව.” සෙබලු අන්දරේ සහ මුර සෙබලුන් දෙදෙනා රජු හමුවට පැමිණ වූහ. අන්දරේ සියල්ල රජුට කීවේය. “තොප සියල්ලෝම කර ඇත්තේ බරපතල වැරදිය. අල්ලස් දීමත්, ගැනීමත් එක සමාන වැරදිය. එහෙයින් මේ මුර සෙබලුන් දෙදෙනාටම කස පහර දහය බැගින් නියම කරමි. අන්දරේට සති දෙකක් රාජ සභාව තහනම් කරමි.” . අන්දරේ හිස නමා රජුගෙන් සමාව ඉල්ලා තහනම භාර ගත්තේය.
2/2