මහරජතුමා දවසක් මහ නිළමෙත් එක්ක දඩයමේ ගියා. ඒ යනකොට ඒ සඳහා ඕන කරන අඩුම කුඩුම ගෙනියන්න කෙනෙකුත් එකතු කරගෙන යනවා. එදා යන්ට උනේ අන්දරේට. දැන් ඉතිං රජ්ජුරුවොයි, මහ ඇමැතියි දෙන්නම දුනු අමෝරාගෙන කඩුවත් ඉනේ ගහගෙන දඩයමේ යනවා. අන්දරේ ඊතලයි. කෙටේරියි, කෑමයි, බීමයි, තවත් බඩු හබඩුයි ඔක්කොම උස්සගෙන ඒ දෙන්නා පස්සෙන් ගියා. කොහොමත් අන්දරේ ඒකට එච්චර මනාපයක් තිබුනේ නැහැ. ඒත් කරන්න දෙයක් නැහැ . රාජ නියෝගෙනේ. කියන දෙයක් කරන්න එපාය. කැලෑව මැද මඳක් ගිමන් හරින්ට නැවතුනාට පස්සේ රජතුමා අන්දරේට පොඩි විහිළුවක් කරන්න හිතුවා. “අදනම් අන්දරේගේ පිටේ බූරුවෙක්ගේ බර පටවලා තියෙනවා.” කියල කීවා. “එක බූරුවෙක්ගෙනම් බැරිය දේවයන් වහන්ස. බූරුවෝ දෙන්නෙක්ගෙ බරනේ.” අන්දරේ කීවා. “මේකා බූරුවො කිව්වේ අපිට වෙන්ටැති.” මහ නිළමෙට ඒ වචනෙට තරහ ගියා. ඒත් රජ්ජුරුවෝ ඉස්සරහ මොකුත් කියන්න බැහැනේ. රජ්ජුරුවන්ටත් මොකුත් කරගන්න බැහැ. මහ නිළමේ ඉස්සරහ වෙච්චි අවනම්බුවට. අනෙක අන්දරේ කීවේ මොන අදහසකින්ද දන්නෙත් නැහැනේ. රජ්ජුරුවෝ ඒක නොදැනුනා වගේ හිනාවෙලා. අහක බලා ගත්තා. අන්දරේට තමන් කියපු වචනේ බරපතල වැඩියි කියල තේරුනේ පස්සේ. එයා දෙදෙනගෙම හිත හැදෙන්ට මෙහෙම කීවා. “දේවයන් වහන්ස, මේ ආයුධවල බූරුවෙක්ගෙ බරට සමානයි. ඒ ආයුධවල බර මගේ බරට සමානයි. ඉතින් මම බූරුවෝ දෙන්නෙක්ගෙ බර උස්සං යනව කියල කිව්වේ ඒකයි.” “උඹ විහින්ම බූරුවෙක් වෙනව නම් මොනව කරන්නද අන්දරේ?” රජතුමා හිනාවෙලා කීවා. මගෙ බර බූරුවගෙ බරටම සමානය ආයුධ කෑම තව එකෙකුට සමානය එතකොට බූරු දෙදෙනෙකු හට සමානය හිමි ඔබ දෙපල මගෙ පණ හා සමානය.
1/1