බොහොම බොහෝම ඉස්සර කාලයේ ඉන්දියාවේ නිෂාද කියල රාජධානියක් තිබුනා. මේකේ නල කියල රජ කෙනෙක් හිටියා. මේ රජතුමා සියලු ශිල්ප ශාස්ත්‍රයන්හි කෙළ පැමිණිලයි හිටියේ. කඩු ශිල්ප දුණු ශිල්පවලින් එතුමා පරාජයට පත් කරන්න කිසි කෙනෙකු පුලුවන් කමක් තිබුනේ නැහැ. අශ්වයන් පිට යාමත් එහෙමයි. ඒ වාගේම තමයි බුද්ධියත්. අක්ෂර, ගණිත, මිනිත, ජ්‍යොතිෂ, නක්ෂත්‍ර, වගේ දේවල් පිළිබඳවත්, රාජධර්මයන් පිළිබඳවත් හොඳ දැණුමක් තිබුණා. මහජනතාවට හරි ආදරෙයි. තමන් ගැන නෙවෙයි මහ ජනතාව ගැන හිතලයි හැම වෙලාවෙම තීන්දු තීරණ ගත්තේ. මේ නිසා සියලුම රට වැසියන් එතුමට ආදරය කළා. ගරු කළා. එතුමගේ දේහ සම්පත්තියත් එහෙමයි. ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තයි. රූපයෙන් සුර කුමාරයෙක් වගෙයි. එතුමාටම සරිලන බුද්ධිමත් උපදේශක මණ්ඩලයකුත් පත් කරගෙන හිටියා. අනංගයාගෙ වගේ රූප ශෝභාවෙන් යුක්ත වුනත් එතුමාගේ හිසේ කොටාපු කෙනානම් තවම සමීප වෙලා තිබුනේ නැහැ. රජ කෙනෙකුට රටක් පාළනය කරනකොට හොඳ චරපුරුෂ සේවාවක් තියෙන්ට ඕන. මේ රජතුමාටත් හොඳ චරපුරුෂ සේවාවක් තිබුණා. තමන්ගේ දේශය ඇතුලේ විතරක් නෙවේ, අන්‍ය රටවලත් එය රහසේ ක්‍රියාත්මක උනා. ඒ ඒ රටවල තොරතුරු ඒ නිසා එතුමාට නිතර නිතර ලැබුණා. ඔය කාලෙ ‘භීම’ කියල තවත් රාජ්‍යයක් තිබුණා ඒ රජතුමාට ‘දමයන්ති’ කියල ලස්සන දූ කුමාරිකාවක් සිටියා. ඇගේ රූපය පිළිබඳව බොහෝ දෙනා කතා කළා. ඇගේ පඤ්ච කළ්‍යාණයම ඉතාමත්ඉහළින් තිබුණා. ඒ රටේ හිටපු චරපුරුෂයෝ නල රජුජුරුවන්ට ඇගේ රූප සෝභාව ගැන කියල ලියුම් එව්වා. ඒ විතරක් නෙවේ ඇගේ අත ගත හැකිනම් ඔබතුමා වැනි වාසනාවන්තයෙක් තවත් නැතයි කියලත් කීවා. චර පුරුෂයන්ගේ මේ කතා වලින් නල රජුගේ හැඟීම් ඇවිස්සුනා. ඔහු තවදුරටත් ඒ ගැන සොයා බැලුවා. ඔවුන් කීවෙත් එවන් රූමත් කුමාරිකාවක් තමන් මින් පෙර නොදුටු බවයි. මේ නිසා කෙසේ හෝ ඇය විවාහ කරගත යුතුමයි, කියන හැඟීමක් වගේම ප්‍රේමයකුත් ඔහුගේ සිතේ පැලපදියම් උනා. මේ වගේ තමයි දමයන්තියටත් සිදු උනේ. නල කුමාරයාගේ තොරතුරු භීම දේශයේත් ප්‍රචාරය වෙලා තිබුනා. ඔහුගේ රූප ශෝභාව ගැනත් සූර වීරකම් ගැනත් අහලා දමයන්තියටත් ඔහු පිළිබඳ හැඟීමක් ඇති උනා. ඕනෑම තරුණියක්, වීරයෙක් විවාහ කර ගන්න කැමැතියිනේ. දැන් දෙන්නට දෙන්න නුදුටු පෙම්වතුන් වෙලා. මනෝමය වශයෙන් රූප ශෝභාව මවාගෙන සිතින් පෙම් සුව විඳිනවා. දවසක් උදේ නල කුමාරයා රාජකීය ගෘහෝද්‍යානයෙහි සක්මන් කරමින් සිටින විට මගුල් පොකුණේ ලස්සන හංසයන් සමූහයක් ඉන්නවා දැක්කා. එහි නායකයා යැයි සිතිය හැකි සුන්දරතම හංසයෙක් එතුමා කිට්ටුවටම ආවා. එතුමා එක පාරටම හංසයා අල්ලා ගත්තා. තමන්ට කරදරයක් වෙයි කියල හංසයා භය උනා. “දේවයන් වහන්ස, මා අල්ලා ගැනීමෙන් ඔබ තුමාට ඇති වාසිය කුමක්ද? කරුණාකර මාව නිදහස් කරනු මැනවි. මම ඔබතුමාගේ හිතේ ඇති අදහස ඉටු කර දීමට පොරොන්දු වෙන්නම්.” ඔහු මිනිසෙක් මෙන් කතා කර කීවා.
1/12
“මගේ හිතේ තියෙන අදහස කියන්නේ කුමක්ද?” “රජතුමනි, ඔබතුමා දමයන්ති කුමරියට පෙම් කරන බව මම දනිමි. එය සාර්ථක කර ගැනීමට මට උදව් කළ හැකිය.” “ඔබ කෙසේද මම ඇයට පෙම්කරන බව දන්නේ?” “රජතුමනි, මටත් ඔබතුමාට මෙන්ම කතා කළ හැකියි. ලොව පුරාම පියාසර කරමින් සංචාරය කළ හැකියි. එයම මා මෙම කාර්යය දැනගත්තේ කෙසේදැයි අසන පැනයට පිළිතුර සේ සිතා ගනු මැනවි.” “ඔව්. මට ඒ පිළිබඳව හැඟීමක් තිබුනේ නැහැ.” “රජතුමනි, මම දැන්ම දමයන්ති කුමාරියගේ මාළිගාවට ගොස් ඇය හමුවෙමි. ඇගේ මිදුලෙහිද පොකුණක් තිබේ. ඒ පොකුණේදී මම ඇය හා කතා කරමි. ඔබතුමා මගේ දූත කාර්යය පිළිබද සැක නොසිතනු මැනවි.”යි කියා හංසයා අහසට නැගී පියාසර කොට දමයන්තියගේ මාළිගාවේ පොකුණට බැස්සේය. එහිදී දමයන්තියෙගේ අවධානය තමන් දෙසට යොමු කරගෙන දමයන්තිය විල් තෙරට එක් කරගෙන ගියේය. “කුමාරිකාවනි. මම ඔබේ පෙම්වතාවූ නළ කුමරුගේ ප්‍රේම පණිවිඩයක් රැගෙන ආවෙමි. එය ඇසීමට කැමැතිනම් කිව හැකිය.” “ඔබ කෙසේද නල කුමරු ගැන දන්නේ? නල කුමරු හා මා අතර ප්‍රේම සම්බන්ධයක් ඇතැයි ඔබ කියන්නේ කෙසේද?” “කුමාරිකාවනි, එවැනි සම්බන්ධතාවයක් සිත් තුළ නොමැතිනම් මට සමාවනු මැනවි. මා පැමිණියේ වැරදි තැනකටයැයි සිතමි. මට යාමට අවසර දෙනු මැනවි.” හංසයා ආපසු යාමට සූදානම්ව කීවේය. “මට සමාවන්න හංස රාජයාණෙනි. අප දෙදෙන තවම දැක නැත්තෙමු. එහෙත් ඔහු ගැන ඇසූ පමණින්ම මගේ සිත ඔහු කෙරෙහි ඇදී ගියේය එය සංසාරික බැඳීමක් විය හැකිය. නොපමාව ඔහුගේ පණිවිඩය මට කියනු මැනවි.” කුමාරිකාවනි, නල රජු හා සමාන රූමත්, නැණවත්, ගුණ ගරුක පුද්ගලයෙක් මම මින් පෙර දැක නැත්තෙමි. රාජ තේජසින් යුක්තය. කල්ප වෘක්ෂයක් මෙන් දෑත දීමටම සුදානම්ව ඇත. වචනය ඉතාම කාරුණිකය. නිතරම මුවග රැඳුනේ සිනාවකි. ඔබ දෙදෙන රන් රස සේ එකට ගැලපේ. ඔබගේ රුවගුණ දූතයන්ගෙන් අසා ඔහු ප්‍රේමයෙන් උන්මාදයට පත්ව, එහෙත් ශෝකයෙන් සිටී. ඒ නිසාමයි මම මේ දූත කාර්‍යය තෝරාගෙන ඔහුගේ ප්‍රේමය ඔබට දන්වා සිටින්නේ. ඔබ ඔහුට අකැමැති නම් කරුණාකර කියන්න. ඔබ නොලැබුණහොත් ඔහු ජීවත් වෙතියි සිතිය නොහැකිය. ඔහුගේ ජීවිතයේ සතුට හෝ දුක රැඳී තිබෙන්නේ ඔබේ අතෙහිය. ඔබ දෙන ඕනෑම පිළිතුරක් මම ඔහු වෙත රැගෙන යමි. හංසයා කී වදන්වලින් ඇය විශ්මයට පත් වූවාය. නොදුටු තමන් වෙනුවෙන් ඔහු මෙතරම් කැපකිරීමක් කරන්නට සූදානම්ද? තමා කෙතරම් වාසනාවන්තද, ඔහු වැනි ශූර වීරයෙකුගේ අත ගත හැකිනම්?.. ඇය සෙමින් හංසයා ඇමතුවාය. “මම ඔහුගේ ප්‍රේමය පිළිගන්නා බවත්, ඔහු මෙහි පැමිණෙන තුරු මා බලා සිටින බවත් කියන්න.” යැයි සතුටින් කීවාය.
2/12
කුමාරිකාවට ආශීර්වාද කළ හංසයා පිටත්ව ගියේය. ඔහු නොපෙනී යනතෙක්ම එදෙස බලා සිටි ඇය තමන්ගේ හදවතද ඔහු සමගම ගියේයැයි සිතුවාය. අපරදෙ තව ටිකක් තබා ගන්න තිබුනේ. ඇය තමාටම කියා ගත්තාය. ඇයට බැලුබැලූ අත පෙනුනේ නල කුමරුගේ මුහුණයි. එය කලින් දැක නැතත්, එය මෙසේ විය හැකියැයි රූපයක් සිතේ ඇඳ ගත්තාය. ඔහු පිටත්ව ගිය පසු එක්වරම හිරු අතුරුදන් වූවා සේ අඳුරක්, පාලුවක් දැනුනි. ඇය තමන්ගේ කාමරයට ගියාය. සයනයේ හාන්සි වූවාය. එහි බිත්තිය පුරාම නල කුමරුගේ විශාල රුවක් ඇයට පෙනුනි. අනෙක් පස බිත්තිය දෙස බැලුවාය. එහි පෙනුනේද ඔහුගේ රුවයි. ඉහළ වියන දෙස බැලුවාය. එහි ද ඔහුගේ රුව ඇඳී තිබුණි. තනිවම සිනාසුනු ඇය දෑස වසා ගත්තාය. නල කුමරුගේ රුව ඇය වටා භ්‍රමණය වන්නට විය. ඇය තනියම සිහින් හඬින් ඔහු හා කතා කළාය. වෙනදා මෙන් යෙහෙළියන් සමඟ කතා නොකළාය. විහිලු තහලු නොකළාය. සෙල්ලමට නොගියාය. එහෙත් ජනෙල් කවුළුව ළඟට ගොස් විටින් විට මඟුල් පොකුණ දෙස බැලුවාය. දමයන්තියගේ වෙනස සේවිකාවන් විසින් මව් බිසවට කියන ලදී. ඇය දියණිය සමග කතා කළාය. “ඇයි දියණියනි, ඔබට යම් අසනීපයක්ද?” “නැහැ මෑණියනි, මට අසනීපයක් නැහැ.” “එසේනම් මේ කාමරයටම වී සිටින්නේ? වෙනදා මෙන් එළි පහළියට නොයන්නේ ඇයි. යෙහෙළියන් හා සේවිකාවන් මග හරින්නේ ඇයි.?” “මට කිසි අසනීපයක් නැහැ මෑණියනි.” බිසව රජතුමා සමග දියණිය පිළිබඳව සාකච්ඡා කළාය. “අපි දමයන්තිය ගැන මීට වඩා සැලකිළිමත් විය යුතුයි. කුඩා දැරියක් සේ සිතුවත් ඇය දැන් තරුණියකි. විවාහයකට සුදුසු කල් එළඹී තිබේ.” “ඇඟපත වර්ධනය වී තිබුනාට තාම ඇය කුඩා දැරියක් රජතුමනි.” “දෙමාපියන්ට දරුවන් පෙනෙන්නේ කුඩා දරුවන් සේමය. එහෙත් අපේ දියණිය දැන් අටළොස් වියතිය.” “එය නම් සැබෑවක් ස්වාමීනි. කෙසේ වෙතත් අපි අපේ වෛද්‍යවරයාටත් පෙන්වමු.” “හොඳයි ඔබේ කැමැත්තක්.” රජු අනුමැතිය දුන්නේය. එදිනම රාජකීය වෛද්‍යවරයා විසින් දමයන්තිය පරික්ෂා කරල ලදී. ඔහුගේ මතය වූයේ සිතේ යම් චංචල බවත් පෙනුනත් අසනීපයක් නැති බවයි. “දැන් කුමක්ද කළ යුත්තේ.” දෙමාපියෝ සාකච්ඡා කළහ. “අපි මේ පිළිබඳව සැලකිල්ලෙන් සිටිමු. සමහරවිට දින කීපයකින් මඟ හැරී යාවි. ඒ අතරම අපි ඇයට සුදුසු විවාහයක් සොයමු.”
3/12
“ඔව් ස්වයංවරයක් නම් වඩාත් හොඳයි. එවිට ඇයගේ සිතේ යමෙක් ගැන සුවිශේෂි අදහසක් තිබේනම් ඔහුටද එයට සහභාගි විය හැකියි.” ඇමැති වරුන්ද දැණුවත් කිරීමෙන් පසුව ස්වයං වරයක් පැවැත්වීමට දින තින්දු කර ගත්තේ ඒ අනුවය. අසල් වාසී රාජ්‍යයන්ට පමණක් නොව දුර බැහැර රාජ්‍යයන්ටත් විශේෂ දූතයන් යවන ලද්දේය. දමයන්තියගේ රූපය පිළිබඳව ලොව පුරා ප්‍රචලිත වී තිබුණු හෙයින් විවාහ වන වයසේ පිරිමි දරුවන් සිටි රජ සිටු ඇමැති මැතිවරුද ජනප්‍රධානීන්ද මේ අවස්ථාවට සහභාගිවීමට අපේක්ෂාවෙන් සිටියහ. නල කුමාරයාද කල් ඇතුවම හංසයා මඟින් මේ තොරතුර දැන සිටියේය. ස්වයංවර දිනය ළඟාවන විට සතර දෙසින්ම විවාහපේක්ෂක කුමාරවරු නගරයේ මහල් කුලියට ගෙන සුභ දිනය හා සුභ හෝරාව එනතුරු ඇඟිළි ගනිමින් සිටියහ. නල කුමාරයාද ඒ සඳහා පැමිණෙමින් සිටියේය. එසේ පැමිණෙමින් සිටි ඔහුට අතර මගදී තවත් අමුත්තන් සිවු දෙනෙක් හමුවිය. ඔවුන්ද යමින් සිටියේ ස්වයංවර උත්සවයටමය. නල කුමරු ඔවුන් හා කතා කළේය. “ඔබ තුමන්ලා කොහි සිට පැමිණ කොහි යන්නේද?” “අපි දමයන්ති කුමරියගේ ස්වයංවරයට යන්නෙමු. ඔබ කවරෙක්ද?” “මම නල නම් වෙමි. මමද යන්නේ එම ස්වයංවර උත්සවයටමය.” “අපි ඔබට සත්‍යයම ප්‍රකාශ කරමු. අප මෙහි පැමිනියේ දෙව් ලොව සිටය. දමයන්ති කුමරියගේ රූප ස්වභාවය හා යහ ගතිගුණ පිළිබදව දෙව් ලොව පවා කතා වෙමින් පවති. ඉන්ද්‍ර, වරුණ, යම, අග්නි, යන දිව්‍ය පුත්‍රයෝ නම් අපිය. අපිදු ඇයගේ අත පතා පැමිණියෙමු. ඔබ අපට උපකාර කළ යුතුය.” “ඒ කුමන උපකාරයක්ද?” “ඔබ රහසේ දමයන්ති කුමරියගේ කුටියට ඇතුල්වී අප ගැන කියා අප සතර දෙනාගෙන් කෙනෙකු ස්වයං වරයේදී තෝරාගත යුතු බව දැන්විය යුතුය.” “එය ඉතා දුෂ්කර කාර්යයෙකි. ආරක්ෂක මුරකාවල් ඇති මාළිගාවට මා යන්නේ කෙසේද? අනෙක කුමාරිකාවගේ කුටියට. එය ජීවිතය බිළි දීම තරමේ අවදානමකි.” “අපි ඔබට එක් අඳුනක් දෙමු. එය ආලේප කර ගැනීමෙන් පසු ඔබ කිසිවෙකුට නොපෙනේ.” නල කුමරු උභතෝකොටික ප්‍රශ්නයකට මැදිවිය. මම යන්නේ දමයන්තිය මට ලබාගැනීමටය. එහෙත් දැන් වෙනත් කෙනෙකුට ඇය ලබා දීමට දූතකම් කිරීමට සිදුවී තිබේ. මෙය දේව අණ නිසා නොකර සිටීමටද නොහැකිය. හැමදාම අප දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ කාර්යයන් කර දෙන ලෙසයි. එහෙත් අද ඔවුහු මගෙන් උපකාරයක් ඉල්ලති. එසේනම් මම ඔවුනටද වඩා ශ්‍රේෂ්ඨද? කුමාරයා තමන්ගෙන්ම විමසා ගත්තේය. “කමක් නැහැ. මම මේ ඉල්ලීම ඉටු කරනවා. ඒ මුවාවෙන් හෝ මට දමයන්තිය කල් ඇතුව දැක ගැනීමේ භාග්‍යය හරි උදා වෙනවනේ.” දෙවිවරුන්ගේ බල මහිමය හමුවේ තමන් තෝරාගැනීමේ සම්භාවිතාවය ඉතා අඩු බව කුමාරයාට තේරුණේය.
4/12
තමන් දමයන්ති කුමරියට ප්‍රේම කරන බව සැබෑය. දමයන්තියද තමන්ට ප්‍රේම කරන බවත් සැබෑය. එහෙත් භෞතික ලෝකයේ කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ස්වරූපය ඊට වෙනස්ය. ඔවුන්ගේ සිත් චංචල වීමට වැඩි වෙලාවක් ගත නොවේ. දමයන්තියගේ සිතද, ඉන්ද්‍ර, වරුණ, යම, අග්නි, වැනි මහා දෙවිවරුන් ඉදිරියේ චංචල වුවොත් එය ලෝක ධර්මය යැයි සිත හදා ගැනීමට නල රජු තීරණය කළේය. එකට ගමන් කළ පස් දෙනාම නගරයට ඇතුල් වූහ. වෙස් වලාගෙන නවාතැන් පලක නැවතුනු ඔවුහු, නල රජුට අඳුන දී ඔහු දමයන්තිය සිටින රජමාළිගයට යැවූහ. දූත කාර්යය යනු කුමක්දැයි මනාව දත් නල රජු එම අඳුන ගා ගෙන දමයන්ති මාලිගයට ඇතුල් වූවේය. ඇගේ කුටියට යනතුරුම කිසිවෙකුට දැක ගත නොහැකිවිය. කුටියට ඇතුල් වූ ඔහු අඳුන ඉවත් කළේය. කුමරිය ඔහුව දැක්කාය. “තොප කවුරුන්ද?” බියපත් නොවූ එහෙත් විශ්මපත්වූ ඇය ඇසුවාය. “මම දේව දූතයෙක්මි. ඔබේ ස්වයංවර උත්සවය සඳහා අග්නි, වරුණ, යම, ඉන්ද්‍ර, යන දෙවිවරුන් සතර දෙනාම පැමිණ සිටී. ඔවුන් අතරින් කෙනෙකු විවාහය සඳහා තෝරාගන්නා ලෙසට ඉල්ලීමක් කරන ලෙසට දූත කාර්ය යෙහි ඔවුන් විසින් මා යොදනු ලැබුවා.” දමයන්තිය වික්ෂිප්ත භාවයට පත් වූවාය. ඇය මෙසේ පැවසුවාය. “ඔබ ඔබේ කාර්යය ඉටු කිරීම ගැන මම සතුටු වෙමි. එහෙත් මම එක් අයෙක් සමග අදෘෂ්ට ප්‍රේමයක් ඇති කරගෙන සිටිමි. ඔහු දෙවියෙක් නොව මිනිසෙකි. ඔහු මට ප්‍රේමකරන බවට හංසයෙකු අත දන්වා එවා ඇත්තේය. මමද ඔහුට ප්‍රේම කරන බවට එම හංසයා අතම දන්වා යැව්වෙමි. මගේ ස්වයංවරය දිනයේදී මගේ ස්වාමියා ලෙස තෝරා ගන්නේ එම නර රජතුමා මිස දෙව් රජතුමෙකු නොවේ. යම් හෙයකින් ඔහුගේ අත ගැනීමට නොහැකි වුවහොත් මම ජීවිතාන්තය දක්වාම අවිවාහකව සිටිමි. නැතහොත් ගින්නට පැන දිවි තොර ගනිමි.” මෙය ඔබ මෙහි එවූ තැනත්තන්ට දන්වනු මැනවි. නල රජුගේ සිත ප්‍රීතියෙන් පිනා ගියේය. එහෙත් තමා කවුදැයි නොදැන්වීමට වග බලා ගත්තේය. තමන් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට තරම් සත්‍ය ප්‍රේමයක් ඇය කෙරෙහි ඇතිවීම ගැන නැවතත් ඔහු සතුටු වූවේය. “යන්න ඔබ ඔබේ ස්වාමිවරුන්ට මගේ පණිවිඩය දෙන්න. මගේ ප්‍රේමවන්තයා හැර වෙනත් කෙනෙකුගේ අත නොගන්න බව පවසන්න.” නල රජු නැවත අඳුන ගාගෙන මාළිගයෙන් පිටත්ව සතර මහ දෙවිවරුන් සිටි ස්ථානයට ගොස්, දමයන්තියගේ පණිවිඩය කීවේය. තමන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපකර තම ප්‍රේමවන්තයාම තෝරාගැනීමට තරම්, දමයන්ති ප්‍රේමයක් ඇති කර ගත්තේ කවරෙකු සමගදැයි දෙවිවරු දිවැසින් බැලූහ. ඒ තමන් ඉදිරියෙහි සිටින මේ පුද්ගලයාම බව දැනගත් දෙවිවරු විමතියට පත්වූහ. තමන් කවුදැයි නොකියා දූත කාර්යයෙහිද යෙදීම ගැනද ඔවුහු විශ්මපත් වූහ. කෙසේ වෙතත් ඇය ලබා ගැනීමට නම් ස්වයංවරයේදී නල රජුගේ වෙස් ගැනීම හැර වෙනත් විකල්පයක් නැති බව ඔවුනට හැඟී ගියේය. ඔවුහු එම තීරණය ක්‍රියාත්මක කිරීමට රහසේ කතිකා කර ගත්හ.
5/12
මුලු නගරයම සැණකෙළි සිරි ගන්වමින් ස්වයංවර දිනය උදා විය. සිය ගණනක් කුමාරවරු හා ධන කුවේරයෝ ස්වයංවරය සඳහා සරසන ලද මණ්ඩපයේ අසුන් ගෙන සිටියහ. දිව්‍ය සභාවක සිරිය ඉසුලූ මේ ශාලාවේ ආරක්ෂාව දැඩිව තරකොට තිබුනි. නියමිත හෝරාව පැමිණියේය. සේවිකාවන් විසින් පිරිවරන ලද දමයන්තිය මල් මාලාවක්ද රැගෙන සිය කාර්යය සඳහා පිටත් වූවාය. පැමිණ සිටි විවාහාපේක්ෂකයන් එකිනෙකා හඳුන්වා දෙමින් සේවිකාවක් ඇය අසලින්ම ගමන් කළාය. එහෙත් එක් තැනෙකදී දමයන්තියත් සේවිකාවනුත් අසීරුතාවයට පත්විය. සමාන රූපශෝභාවෙන් යුත් විවාහාපේක්ෂකයන් පස් දෙනෙකුම එක තැන සිටීමයි, ඒ අසීරු තාවය. ඔවුන්ගේ උස, මහත, පැහැය, කතා විලාසය, පමණක් නොව අඟපසඟවලින්ද, ඇඳුම් පැළඳුම්වලින්ද එක සමාන විය. සේවිකාවගේ දෑස උඩ ගියේය. කුමක්ද මේ සිදුවී ඇති අරුමය. එක් නල රජෙක් මිස පස් දෙනෙකු සිටිය නොහැකිය. සේවිකාව දමයන්තියගේ මුහුණ බැලුවාය. දමයන්තිය සේවිකාවගේ මුහුණ බැලුවාය. ඔවුන් යම් කිසි ව්‍යාකූලත්වයකට පැමිණ ඇති බව පිරිසටද වැටහින. එදෙස බලා සිටියා මිස ඔවුහු කිසිවක් නොකීහ. ඒකාන්තයෙන්ම මේ දෙවියන්ගේ වැඩෙකි. තමන්ගේ ප්‍රේමය ආයාචනා කරමින් ඉන්ද්‍ර, වරුණ, යම, අග්නි දෙවිවරු පැමිණ සිටින බව දමයන්තිය දත්තාය. තමන් ඔවුන්ගේ ප්‍රේමය ප්‍රතික්ෂේප කළ බව ඇයට සිහිපත් විය. මෙහි ඇත්තේ එම දෙවියන් සතර දෙනා හා නළ රජු බව ඇයට පැහැදිළි විය. මේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවයි. එම තෝරාගැනීම වැරදුනහොත් මුලු අනාගතයම අඳුරු බව ඇයට වැටහුනි. මේ ගැටලුවට පිළිතුර ඇත්තේද එම දෙවියන් තුළම බව ඇයට සිතුනි. ඇය දෑත අහසට යොමු කොට ආයාචනා කළාය. මහත් බල ඇති ඉන්ද්‍ර වරුණ යම අග්නි දේවතාවුන් වහන්ස, ඔබ වහන්සේලා සත්වයන්ගේ යහපත සඳහාම ක්‍රියා කරන්නහුය. මේ අවස්ථාවේ මට පිහිට වනු මැනවි. මගේ ප්‍රේම අධිරාජ්‍යයේ ප්‍රේම කුමරු හා කිරුළු පළඳින්නට උපකාර කළ මැනවි.” යැයි බැගෑපත්ව ඉල්ලා සිටියාය. දමයන්තියගේ ආයාචනය දෙවියන්ගේ සිත් කම්පා කිරීමට සමත් විය. ඔවුහු මිනිස් වෙස් අතුහැර නියම දිව්‍ය ස්වරූපයෙන්ම දිස්වන්නට විය. මුලු සභාවම මෙය දැකීමෙන් විශ්ම පත් විය. දමයන්තිය නියම නල කුමරු අඳුනා ගත්තාය. සෙමින් ඔහු වෙත මල් දමත් රැගෙන ගියාය. යළිත් කල්පනා කළාය. සැබවින්ම මේ දෙවියන්ගේ තවත් මුලා කිරීමක්ද? ඕ සිතුවාය. දෙවියන්ගේ හා යක්ෂයන්ගේ සෙවනැලි නොමැති බවත්, ඇසිපිය නොගසන බවත් ඇය අසා තිබුණාය. දමයන්තිය එය සියුම්ව නිරීක්ෂණය කළාය. නල කුමරුගේ ඡායාවක් ඇති බව දුටු ඇය, මඳ සිනාවක් නගා කුමරුගේ ගෙලෙහි මල් දම දැමුවාය. බොහෝ දෙනා ප්‍රේම තරඟයෙන් පරාජයට පත්වුවත්, සිදුවූ සියල්ල දැක ඒ තෝරා ගැනීමට අත් පොළසන් දුන්හ. දෙවිවරුද ඔවුනට ආශීර්වාද කොට දෙව් ලොව බලා ගියහ. ස්වයංවරය අවසන් වූයේ නල දමයන්ති දෙදෙනා එකතු වීමෙනි. අදෘෂ්ට ප්‍රේමය ජය ගැනීමෙනි. මේ අතර දමයන්තියගේ අත පතා ප්‍රමාදවී පැමිණි කලී නමැති දේවතාවෙක් ආපසු යන ඉන්ද්‍ර වරුණ යම දෙවි වරුන්ට හමුවිය. සිදුවු සියල්ල අසා දැන ගත් ඔහු නල හා දමයන්තිය කෙරෙහි වෛරයක් ඇති කර ගත්තේය. ඔහුගේ සිතුවිලි දත් දෙවිවරු, ඔවුනට නපුරක් නොකරන්නයිද, එසේ කිරීමට ගොස් තමන් අමාරුවේ නොවැටෙන්නැයිද ඉල්ලීමක් කළහ. එහෙත් කලී නම්වූ එම දේවියා වසර දොළහක්ම නල හා දමයන්තිය පසු පස ගමන් කළේ, ඉඩ ලද ඕනෑම අවස්ථාවක ඔවුනට හානියක් කිරීමේ අපේක්ෂාවෙනි.
6/12
එක් දිනක් දේවාලයට පා නොසෝදා ඇතුල්වීම නිසා එම වරදට දඩුවමක් ලෙස කලී දේවතාවා නල රජුට ආවේශ විය. කලී යනු නපුරටම බරවූ ක්ලිෂ්ට දෙවියෙක් විය. ඔහු නල රජු දූ කෙළියට හුරු කළේය. ඒ හැම තරඟයකදීම නල රජු පරාජයට පත්විය. දිනෙන් දින ඔහුගේ භාණ්ඩාගාරයෙහි මුදල් අඩුවන්නට විය. දමයන්තිය විසින් කෙතරම් අවවාද කළත් ඒ සියල්ල ගඟට කපන ඉනි මෙන් විය. රටේ වටිනා සම්පත් ඔට්ටුවට තබා දූ කෙළියෙහි නිරත වු නල රජු හැමදිනම පරාජයම උරුම කර ගත්තේය. මේ බව වටහා ගත් දමයන්තිය තමන්ගේ දරුවන් තමන්ගේ පියාගේ භාරයට පත් කළාය. දූ කෙලියෙන් අන්තයටම වස්තු භංගත්වයට පත් නල රජු තමන්ගේ රාජ්‍යයද පරදුවට තබා දූ කෙළියේය. එයින්ද පරාජයට පත්විය. කුමන හෝ හේතුවක් නිසා එම පරාජයට පත් වූයේ තමන්ගේම සොයුරු පුෂ්කරණී නම් කුමරුටය. පුෂ්කරණී නම් කුමරු එතැනින් නතර නොවී ඊ ළග දිනයේදි දූ කෙළියෙහි ඔට්ටුවට දමයන්තිය තබන ලෙසට ඉල්ලා සිටියේය. දමයන්තිය ඔට්ටුවට තබා සූදු කෙළීමට නල රජු කැමැති නොවීය. ඔහු දමයන්තියත් රැගෙන ඇදුම් කීපයක් පමණක් ගෙන රටෙන් පිටත් විය. ඔහුට ගෙන යාමට දෙයක් නැත. මෙතෙක් භාවිතා කළ සියල්ලම අන් සතුවී ඇත. රාජ්‍යයෙන් ඈත දේශසීමාවෙහි නැවතී ප්‍රත්‍යන්ත වාසීන්ගේ උපකාරය ඇතිව ටික දිනක් සිටියත් නව පාලකයා විසින් එය තහනම් කරන ලදී. ඒ නිසාම ඔවුන්ට ජීවත් වීම සඳහා වනගත වන්නට සිදුවිය. එහෙත් ආහාර සොයා ගැනීම අති දුෂ්කර විය. කෑමට බීමට ඇඳීමට දෙයක් නැතුව අසරණ වූ නල දමයන්ති දෙදෙනා පෙන්නුම් කළේ දූ කෙළියෙහි අවසාන ප්‍රතිඵලය කෙතරම් භයානකද යන්නය. එසේම කෙතරම් අභියෝග ආවත් සත්‍යවූ ප්‍රෙමයේදී යුවති පති දෙදෙනාගේ අප්‍රමාණ වූ කැපකිරීම්ය. තමන්ගේ ක්‍රියාවන් නිසා පීඩාවට පත් දමයන්තිය ගැන දුක්වූ නල රජු දිනක් දමයන්තිය නිදාගෙන සිටියදී වනයේ අතහැර දමා පලා ගියේය. ඒ නගරයට යාමේ මාර්ගයද පෙන්වීමෙන් පසුවය. නිදාගෙන පිබිදි දමයන්තිය තම සැමියා තමන් ළඟ නැති බව දැක්කාය. තමන්ගේ ඇඳුමේ කොටසක්ද ඔහු ඉරාගෙන ගොස් තිබුණි. ඒකාන්තයෙන්ම ඔහු මේ තමා අතහැර යාමෙකි. තම සලුවෙන් කොටසක් ගෙන යන්නට ඇත්තේ සිහිවටනයක් ලෙස විය හැකිය. නගරයට යන මාර්ගය නැවත නැවත තමන්ට තහවුරු කර පෙන්වන ලද්දේද මේ නිසායැයි ඇය වටහා ගත්තාය. ඇයද සැමියා සොයා වනයේ ඒ මේ අත ඇවිද්දාය. සිය සැමියා සොයමින් වනය පුරා ඇවිද්දත් ඔහු සොයා ගැනීමට නොහැකි වූ ඇය විවිධ පීඩාවන්ට ලක් වූවාය. අවසන වෙළඳ පිරිසක් සමග ජනතා වාසයකට යාමට භාග්‍යය උදාවුවත්, අතර මගදී සිදුවූ වල් අලින්ගේ පහර දීමක් නිසා නැවත වනයේ අතර මං වන්නට සිදුවිය. නැවතත් තාපස කණ්ඩායමකගේ පිහිටෙන් වනාන්තරයෙන් මිදුණු ඇය නගරයකට ඇතුල් වූවාය. එය තමන්ගේ රාජ්‍යය නොවුවත් ජනාවාසයක් වීම නිසා යම් සැනසීමක් ලැබුණි. එහෙත් දමයන්තියගේ ස්වභාවය උන්මත්තක කාන්තාවක් මෙන් විය. ඒ නිසාම නගර වැසි දරුවන්ගේ පීඩාවට ලක්විය. යම් පූර්‍ව කර්ම බලයක හේතුවෙන් එරට රජතුමාගේ බිසව මෙය දැක ඇය බේරා ගත්තාය. මාලිගයට ගෙන්වා නහවා නව ඇඳුම් ඇඳ ගැනීමට සැලස්වූවාය. ආහාර පාන දුන්නාය. ඇයගේ කිළිටි පෙනුම නැතිවිය.
7/12
කෙසේ වෙතත් තමන් කවරෙක්දැයි නියම තොරතුරු හෙළි නොකිරීමට දමයන්තිය තීරණය කළාය. ඒ අනුව තමන් සැමියා විසින් අතරමං කරන ලද්දියක් බව පමණක් හෙළි කළාය. ඒ අනුව දමයන්තිය එම මාලිගයෙහි කරදරයකට පත් නොවී සිටීමේ භාග්‍යයය ලබා ගත්තාය. දමයන්තිය අතහැර දමා ගිය නල රජු තම දේවිය ආපසු පිය රජතුමාගේ රාජ්‍යයට යාමට ඇතැයි සිතුවේය. එහෙත් යම් විපතක් වීදැයි සොයා වනාන්තරයේ ඇවිද බලන විට ගින්නකට අසුවී පීඩාවට පත් නාගරාජයෙකු හමුවීය. නල රජු ඔහු බේරා ගත්තේය. බේරා ගැනීමෙන් පසුව නාගයා නල රජුට දෂ්ඨ කරන ලද්දේය. ඔහු අගුටු මිට්ටෙක් බවට පත්විය. “තොප බේරා ගැනීම නිසා මට දුන් ත්‍යාගය වටනේය.” යැයි කෝපයෙන් හා ශෝකයෙන් පීඩා වූ නල රජු කීය. “සමාවන්න නල රජතුමනි. ඔබ මේ තරම් කරදරවලට පාත්‍ර වූයේ ඔබට ආවේසව සිටී කලි නැමැති දුෂ්ඨයා හේතුවෙනි. මා ඔබට දෂ්ඨ කළේ ඔහු විනාශ කිරීමටය. ඔහු මිය ගියේය. ඔබ තුමා මෙසේ අඟුටු මිට්ටෙක් බවට පත් කළේත් ඔබේ ආරක්ෂාව වෙනුවෙන්මය. ඔබට ඔබගේ නැතිවූණු සියලු සම්පත්තියත්, දමයන්ති කුමරියත්, රාජ්‍යයත් ලබා ගත හැකිය. මා කියන ආකාරයට කටයුතු කරන්න යැයි උපදෙස් මාලාවක් ලබා දුන්නේය. දැන් ඔහු නල රජු නොවේ. භාණුක නම් අඟුටු මිට්ටෙකි. එහෙත් නල රජු සතු සියලුම සුරු විරැකම් ඔහු සතුව තිබේ. නාගරාජයාගේ උපදෙස් අනුව තමන් අශ්වාරෝහකයෙකු ලෙස හඳුන්වා ගනිමින් හේ පළමුවෙන්ම අයෝධයාවෙහි රජු හමුවිය. “අහා ඔබ එතරම් අශ්ව රථ පැදවීමෙහි සූරයෙක්ද එසේනම් අර පෙනෙන අස් හලෙහි සිටින අශ්වයන් දෙදෙනා මගේ රථයෙහි බැඳගෙන එව”යි කීවේය. ඒ අශ්වයන් දෙදෙනා ඉතා නොදැමුනු දෙදෙනෙක් විය. එහෙත් භාණුක ලෙසින් පෙනී සිටින නල රජු ඔවුන් දෙදෙනා අපහසුතාවයකින් තොරව කරත්තයේ බැඳගෙන රජු ඉදිරියට ගෙනාවේය. “මහරජතුමනි කරත්තයට නගින්න.”යැයි රජු විශ්ම පත්ව සිටියදීම කීවේය. රජතුමා අශ්ව රථයට නැංගේය. භාණුක (නල ) වාතවේගයෙන් අශ්ව රථය ධාවනය කළේය. රජතුමා භාණුකට කතා කළේ මහත් ප්‍රීතියෙනි. “භාණුක තොප මට මෙසේ අශ්වයන් දමනය කිරීමේ විද්‍යාව උගන්වතොත් මම තොපට සූදු විද්‍යාවෙහි කෙළ පැමිණියෙක් කරන්නෙමි. තොප එවිට කිසිම දිනෙක කිසිම කෙනෙකුට සූදුවෙන් පරාජය කළ නොහැකි වනු ඇත.” අයෝධ්‍ය රජතුමාගේ මේ යෝජනාව නල රජුට( භාණුක) වෙස් වලාගෙන ආ ආශීර්වාදයකි. සූදුවෙන් අහිමි වූ සියලු සම්පත් සමග රාජ්‍යයද ඒ තුළින් ආපසු ලබා ගත හැකිය. ඔහු එම යෝජනාවට කැමැති විය මේ අතර දමයන්තියගේ පියා දමයන්තිය සොයා සතර අතට දූතයන් යැවුයේය. සුදේව නම් ඇමැති වරයා අයෝධ්‍යාවට යවන ලද්දේය. අයෝධ්‍යා රජ මාලිගයෙහි බිසවගේ උපකාරයෙන් වසන දමයන්තිය නිතර සඳලු තලයෙන් පිටතට දෑස් යොමාගෙන සිටින්නේ නල රජු කවදා හෝ පැමිණෙතියි යන සිතුවිල්ලෙනි. ඇය මෙසේ පාර දෙස බලාගෙන සිටින විට, සුදේව අමැති විසින් ඇයව දැක හදුනා ගන්නා ලද්දේය. මේ නම් දමයන්ති කුමාරියම තමා. මට වරදින්න බැහැ. කුඩා කල සිටම ඇය මගේ අතෙහි එල්ලිගෙන සිටියාය. ඒ මැයම තමා. ඔහු ඇයව හමුවීමට මාළිගයට ගියේය.
8/12
“ඔබ කොහි යන්නේද?” මුරකාවලෙහි සිටි ආරක්ෂකයෝ ඔහු නැවැත්වූහ. “මම බිසවුන්නාන්සේගේ අවශ්‍යතාවයක් සඳහා එහි යන්නෙමියි.” ඔහු තම හැදුනුම්පත පෙන්වීය. ඔහුට ඇතුලුවීමට අවසර ලැබුණි. දමයන්තිය ඈතින් එන අමුත්තා දැක්කාය. ඔහු පිළිබඳ යම් මතකයක් ඇයට තිබුණි. ඇය සිතුවේ නල රජු පිළිබඳව යම් තොරතුරක් ඔහු ගෙන එන බවයි. සුදේව ඇමැති වරයා විසින් දමයන්තිය පැහැදිළිව හඳුනා ගත්තේය. ඒ ඇයම තමා. ඔහු මහත් සතුටින් ඇය වෙත ආවේය. “කුමාරිකාවනි, මම ඔබ පිය රජතුමාගේ සුදේව නම් ඇමැති වරයා වෙමි. ඔබ තුමිය සොයා අට දෙසටම යවන ලද දූතයන්ගෙන් මම කෙනෙක් වෙමි.” “ඔව්, මට ඔබ ගැන මතකයක් තිබේ. කෙසේද මගේ දරුවන්ගේ තොරතුරු? මපියාණන්ගේ හා මෑණියන්ගේ තොරතුරු කෙසේද?” ඇය හඬමින්ම විචාලාය. “කුමාරිකාවනි, ඒ සියල්ලෝම සුවෙන්. එහෙත් ඔබ දෙපළ පිළිබඳව තොරතුරු නොමැතිවීම ගැන දුකින් පසුවෙති. ඔබ තුමිය හමුවීම පිළිබඳ තොරතුරු දැන ගැනීමෙන් පසුව මහත් සේ ඔවුන් සතුටු වෙනු ඇත.” දමයන්තිය සහ අමුත්තා කඳුළු වගුරුවමින්, එහෙත් මහත් හර්‍ෂයෙන් යුතුව කරන කතා බහ දුටු රාජකුමාරිකාව එය තම මවට දැන්වූවාය. මව් බිසව එහි පැමිණියාය. “ඔබ තවරෙක්ද? කුමක් නිසා මෙසේ හඬමින් වැලපෙමින් කතා කරන්නහුද?” “බිසවුන් වහන්ස, මේ සිටින්නේ දමයන්ති කුමරියයි. මම ඇගේ පිය රජුගේ සුදේව නම් ඇමතිවරයා වෙමි. බොහෝ කාලයක් නල කුමරු හා දමයන්තිය පිළිබඳව කිසිදු තොරතුරක් නැතුව රජුත් රට වැස්සෝත් මහත් දුකින් සිටියහ.” භීම රජතුමා - ඒ කියන්නේ දමයන්තියගේ පියා - විවාහ වී සිටින්නේ තමන්ගේ සහෝදරිය සමග බව ඇයට මතක් විය. කුඩා කාලයේදී තමන් වඩාගෙන සුරතල් කළ දමයන්තිය මෙතෙක් කාලයක් තමන්ගේ දරුවෙකු ලෙස සිටියත්, හදුනා ගැනීමට නොහැකිවීම ගැන බිසව අතිශයින් කණගාටුවට පත් වූවාය. “ඇයි දියණියනි, මේ තොරතුරු අපට වසං කළේ ?” මහත් දුකින් ඕතොමෝ දමයන්තිය වැළඳ ගත්තාය. සියලු කරුණු දැනගත් සුභාහු රජතුමා ගෞරව සහිතව දමයන්තිය භීම රජු වෙත යවන ලද්දේය. ඇය දරුවන් දැකීමෙන් මහත් සතුටට පත් වූවාය. දෙමාපියන්ද දමයන්තිය දැකීමෙන් අතිශයින් සතුටට පත්වූහ. එහෙත් තාම නල රජු පිළිබඳව තොරතුරක් නැත. රජ පවුලේ අය නල රජු සෙවීමේ කටයුතු නැවත ශක්තිමත් කළහ. ඒ අනුව බමුණන් කීප දෙනෙකු ගෙන්වා නල සහ දමයන්තිය පිළිබදව කාව්‍ය නිර්මාණය කොට රජ සභාවල හා ජනාකීර්ණ ස්ථානවල ගායනා කරන ලෙසත්, එවිට නල රජු හෝ ඒ ගැන දන්නා අයෙකු යම් තොරතුරක් ලබාදිය හැකි බවත් සාකච්ඡා කළහ. එම අදහස ක්‍රියාත්මක විය.
9/12
අයෝධ්‍යාවට ගිය බමුණෝ එහි රාජ සභාවේදී එම කාව්‍ය ගායනා කළහ. එහි අවසානයේදී රජුගේ රථාචාර්යයා ලෙස භාණුක නමින් පෙනී සිටි නල රජු බමුණන් පැත්තකට කැඳවීය. “ඔබ තුමන්ලා ඔය ගායනා කරන ගීය ඉතා මිහිරිය. එහි සඳහන් දමයන්ති කුමරිය ඉතා නැණවත් කාන්තාවකි. ඇගේ ස්වාමියා විසින් කරනු ලැබූ වරදට ඇය සමාව දෙනු නිසැකය.” යැයි කීවේය. භාණුක රථාචාර්යය පිළිබද තොරතුරු රහසේ එකතු කරගත් බමුණෝ යලි මව් රටට පැමිණ රජුට සියලු පවත් හෙළි කළහ. “මේ නම් නල රජුම විය යුතුය.” දමයන්තිය කීවාය. “විය නොහැකියි කුමාරීන් වහන්ස, ඔහු ඉතා විරූපි අයෙකි. අඟුටු මිට්ටෙකි. එහෙත් අපේ නල රජු ඊට හාත් පසින්ම වෙනස්ය. රජතුමා බමුණන්ට තුටු පඬුරු දී පිටත් කළේය. “පිය රජතුමනි. මෑණියනි. ඔහු යම් කිසි විපතකට පත්වී මෙසේ විරූපී වන්නට ඇත. මේ නල රජුම විය යුතුය. නල රජුට හැර ඔය කියන ආකාරයේ අශ්ව රථ ධාවන ශිල්පයක් දැක්විය නොහැකිය” යැයිද කීවාය. අපි ඔහු ගෙන්වා ගැනීමට යම් කාර්යයක් කළ යුතුය. “ඔහු නල කුමරු නම් සැඟවී සිට කරන්නේ කුමක්ද? තමන්ගේ දරුවන් සහ බිරිඳ ගැන ආදරයක් නොමැත්තේද? ඔහු නල නොවන්නේ නම් අප ගන්නා වෙහෙස ඵල රහිත දෙයක් වනු ඇත. “පියතුමනි අපි යම් උත්සාහයක් ගනිමු.” “ඕන දෙයක් කරගන්න. මට තවත් මේ ගැන මැදිහත් විය නොහැකියි.” කී රජතුමා එතැනින් ඉවත් විය. “දැන් කුමක්ද දියණිය කරන්නේ?”. “මෑණියනි, නැවත වතාවක් මා විවාහ වීමට ස්වයංවරයක් පවත්වන බවට දූතයෙක් අයෝධ්‍යා රජු වෙත යවමු. එයට එක් දිනයක් පමණක් ඉඩතබා එම පණිවිඩය යවමු. එවිට අනිවාර්යයෙන්ම රජතුමා පැමිණෙන්නේ භානුක නමින් පෙනීසිටින ඔය රථාචාර්ය වරයා සමගින්මයි.” “මෙයට පියරජතුමාගේ අවසරය ගන්නේ කෙසේද?” “නැහැ මෑණියනි. මෙය ව්‍යාජ ස්වයංවරයක්. එය රහසේ කරමු. සුදේව ඇමැතිවරයා අපට හිතවත්. විශ්වාසයි. ඔහු මේ කාර්යය සදහා යොදවා ගනිමු.” මේ මන්ත්‍රණය අනුව රජුටත් නොදන්වා රහසේම සුදේව ඇමැති වරයා අයෝධ්‍යාවට පිටත් කර එරට රජුව දැණුවත් කරන ලදී. රජු තම රථාචාර්ය වරයාට මේ බව දන්වන ලදී. “භාණුක, දමයන්තියගේ දෙවන විවාහයකට ස්වයංවරයක් හෙට පැවැත්වෙන බවට පණිවිඩයක් ලදිමි. ගියවර ඇය දෙවියන්ද ප්‍රතික්ෂේප කර නල රජු හා විවාහ විය. එතරම් රූමත් කුමාරිකාවකගේ අත ගත හැකිනම් මම වාසනාවන්තයෙකි. එහෙත් මෙතරම් දුරක් එක් දිනකින් යා හැකිද යන ගැටලුව තිබේ.”
10/12
එය ගැටලුවක් කර නොගන්න රජතුමනි. මම අද සවසම ඔබතුමා එහි පමුණුවමි. මම රථය ගෙනඑමි. ඔබතුමා සූදානම් වන්න.” යැයි කියා ඔහු රථය ගෙන ඒමට ගියේය. ඇත්තෙන්ම දමයන්තිය මා කෙරෙහි වෛරයෙන් සිටින බව පෙනේ. මම එයට සුදුස්සෙකි. මා කළේ ස්වාමි පුරුෂයෙකු විසින් නොකළ යුතු දෑය. යම් හෙයකින් අයෝධ්‍යා රජතුමා ඇය හා විවාහ වුවහොත් ඔහුගේ රියදුරා ලෙස මට සේවය කළ නොහැකිය. මම එක්කෝ ජීවිතය තුරන් කර ගමි. නැතහොත් වන ගත වෙමියි නල කුමරු සිතුවේය. හිරු අස්තංගත වීමටත් පෙර ම අයෝධයාවේ රජතුමා භීම රාජමාළිගයට පැමිණවීමට භානුක රථාචාර්ය වරයා සමත් විය. අශ්ව රථයේ හඬ දුරදීම ඇසූ දමයන්තිය එතරම් වේගයෙන් පැමිණිය හැක්කේ තම ස්වාමියා වූ නල රජතුමාට පමණක් බව තේරුම් ගත්තාය. අනිවාර්යයෙන්ම ඒ නල රජුමය. ඕ සිතුවාය. අයෝධ්‍යාවේ රජතුමා මාළිගා පරිශ්‍රයට සැපත් වූ නමුත් එහි කිසිදු උත්සවශ්‍රීයක් නොවීය. එය යමෙකුගේ රැවටීමක් බව ඔහුට වැටහුනි. එහෙත් භීම රජු ඔහු සාදරයන් පිළිගත්තේය. ආගන්තුක සත්කාර කළේය. ආගිය තොරතුරු කතා කළේය. “ඔබ තුමා හදිසියේම මෙහි පැමිණියේ යම් රාජකාරි ම කටයුත්තක් සඳහාද?” සංග්‍රහවලින් අනතුරුව භීම රජු විමසුවේය. තමන් යමෙකුගේ මුසා බසකට අසුව ස්වයංවරයකට ආ බව ප්‍රකාශ කරන්නේ කෙසේද? එය සඟවා රජු මුසාවක් කීවේය. “බොහෝ කාලයකින් ඔබ තුමා මුණ ගැසී සුවදුක් විචාරීමට සිතා සිටියත් එය අත පසු විය. ඒ නිසා ඉඩ හසර ගත් විටම ඒ සදහා පැමිණියෙමි.”යි කීය. රජතුමා මාළිගයේ බැස්වූ භාණුක රියදුරු තෙමේ අශ්වයා මුදා හැර ඔහුගේ අවශ්‍යතාවයන් ඉටු කළේය. දමයන්තිය සිය කවුළුවෙන් බලන විට එය දුටුවාය. ඔහුගේ ස්වරූපය නල රජුට හාත් පසින්ම වෙනස්ය. කෙසේ වෙතත් ඔහු පිළිබදව තොරතුරු සොයා බැලීමට දමයන්තිය සේවිකාවක යෙදවුවාය. සේවිකාව ඔහු හා කතා කළාය. දමයන්ති කුමරියගේ ස්වයංවරයට රජතුමා ගෙන ආ බව කියද්දී ඔහුගේ හඬ වෙනස් විය. දෑසේ කඳුළු පිරුණි. සේවිකාව ඒ තොරතුරු දමයන්තියට කීවාය. “මොහු පිළිබඳ සැඟවුණු දෙයක් තිබේ. කලකට පෙර මා ගැන පියරජතුමා බ්‍රාහ්මණයන් ලවා කියවූ ගීය ඔබට මතකද? එය ඔහුට ඇසෙන්න කියන්න. ඔහු දක්වන ප්‍රතිචාරය මට කියන්න. හැකි නම් ඔහු තමන්ගේ කෑම සඳහා පිසින ආහාරවලින් බිඳකුත් රැගෙන එන්න.” සේවිකාව ඔහු හා සමීප වී දමයන්තියගේ අවශ්‍යතාවයන් ඉටු කළාය. ගීයට දැක්වූ ප්‍රතිචාරයෙන් හා ආහාර පිස තිබූ ආකාරයෙනුත් ඒ තම සැමියාම බව ඇය වටහා ගත්තාය. එහෙත් මේ හිරු අස්තංගත වූ වේලාවේ ඔහු හමුවීමට යා නොහැකිය. එය කුලධර්ම ඉක්මවා යාමකි. එහෙත් තම දරුවන් දෙදෙනා සේවිකාව සමඟ අස්හලට යවා ඔහුගේ ප්‍රතිචාරය කෙබඳුදැයි වටහා ගැනීමට තීරණය කළාය. සේවිකාව දරුවන් එහි කැඳවාගෙන ගොස් ‘මේ අපේ ස්වාමි දියණියණියගේ දරුවන් දෙදෙනා’යි පෙන්වීය. දරුවන් දෙදෙනාගේ මුහුණ දෙස බලා සිටි ඔහුගේ දෑසට කඳුළු ඉනුවේය.
11/12
“ඇයි ඔබ හඬන්නේ.” “මටත් මේ වගේ දරුවන් දෙදෙනෙක් ඉන්නවා.” ඔහු පිටි අතින් කඳුළු පිස දමමින් කීවේය. සේවිකාව ස්වාමි දියණියට සියල්ල කීවාය. “ඒකාන්තයෙන්ම මොහු නල රජුමය. යම්කිසි අස්වාභාවික හේතුවක් නිසා ඔහු විරූපී වී ඇත. කාටත් මුහුණ දිය නොහැකි නිසා මෙසේ සැඟවුණු ජීවිතයක් ගෙවන බව පෙනේ”. දමයන්තිය තම පියා හමුවීමට ගියාය. “පියතුමනි, අයෝධ්‍යාවේ රජු සමග පැමිණි රථාචාර්යයා ඉතා දක්ෂයෙක් බව පෙනේ. ඔහු රට රටවල සංචාරය කරන්නෙකු විය හැකිය. සමහරවිට ඔහු මගේ ස්වාමියා පිළිබඳව යමක් දන්නවා විය හැකිය. එහෙයින් ඔහු ගෙන්වා එම තොරතුරු විමසීමට අවස්ථාව දෙන්න” යැයි ඉල්ලා සිටියාය. රජුගේ අවසරය ලැබුණි. සේවිකාවක යවා භානුක රජු ඉදිරියට ගෙන්වීය. භානුක වෙස් ගෙන සිටි නල රජු කුතුහලයෙන් යුතුව රජු ඉදිරියට පැමිණියේය. මේ රාජ සභාව ඔහුට අමුතු තැනක් නොවේ. එහෙත් අද එම රාජ සභාව තුළ ඔහු අමුත්තතෙකු සේ සිටී බියෙන් විපිළිසරව සිටී. “මහා වනාන්තරයක මැද තමන්ගේ බිරිඳ අතහැර දමා, සිහිවටනයක් ලෙස ඇයගේ ඇඳුමෙන් කොටසක් ඉරාගෙන පලාගිය සැමියෙකු පිළිබඳව ඔබේ අදහස කුමක්දැ.”යි දමයන්තිය නල රජුගේ දෑස දෙසම බලමින් ඇසුවාය. ඒ නල රජුගේ දෑසමය. ඒ තීක්ෂණ බව, අභීත බව, අධිෂ්ඨානශීලි බව, දීප්තිමත් බව, ඇය හඳුනා ගත්තාය. ඇගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට විය. කුමන හෝ ආකාරයකින් සියල්ල හෙළිදරව් වී ඇති බව නල රජුට වැටහින. ඔහු සියලු දෙනා ඉදිරියේ මෙසේ කීවේය. “මට සමාවන්න දමයන්ති කුමරිය. මම ඔබව අත්හැර දමා පළා නොගියෙමි. ඒ වෙලාවෙහි මම සිටියේ යම් අමනුෂ්‍ය බලවේගයට හසුවීය. එහිදී මගේ ශරීරය තුළ ක්‍රියාත්මක වූයේ මම නෙවෙ ඒ අමනුෂ්‍ය බලවේගයයි.” යි කඳුළු වැකුණු මුහුණින් යුතුව තමන්ට සිදුවූ සියල්ල පිරිස ඉදිරියේ ප්‍රකාශ කළේය. “මෙහිදී අපට පිහිට ලබා ගත හැක්කේ දෙවියන්ගෙන් පමණි. අපි උන්වහන්සේලාට ආයාචනා කරමු” යැයි සියල්ලෝම එක්ව තමන්ගෙන් සිදුවූ වැරදිවලට සමාව දී, මේ කරදරවලින් හා සාපයන්ගෙන් මුදවා දෙන ලෙස දෙවියන්ට ආයාචනා කළහ. සියලුම සාපයන් දුරුවීය. නලරජු පෙරමෙන්ම විරාජමාන විය. අඹු දරුවන් සියල්ලෝම යළිත් එකතු වූහ. මුලු මාළිගාවම ප්‍රීති ඝෝෂාවන්ගේන් ඇලලී ගියේය. පසුදින සිට සත් දවසක් මුලු රටේම උත්සව ශ්‍රී පැවතුනි. අයෝධ්‍යවේ රජතුමාගේ අනුග්‍රහයෙන් ලබා ගත් සූදු විද්‍යාවේ බලයෙන් නල රජතුමා නැවතත් තමන්ගේ රාජ්‍යය හා සියලුම සම්පත් දිනා ගත්තේය. සාමයෙන් හා ධර්මයෙන් රට පාළනය කළේය. (කතා සරිත් සාගරය ඇසුරින් සැකසූ නල දමයන්ති කතාව සුඛාන්තයක් සහිතව මෙසේ අවසන් වේ.)
12/12