තමන්ගේ නිජබිමෙන් වෙනත් රටකට ගිහිල්ලා, ඒ මිනිස්සුන්ගේ හිත්වල ජාත්‍යාලය හා දේශාණුරාගය පුබුදුවල, නිදහස් අරගලවලට පණ පොවපු විදේශිකයො ඉන්නවනම් ඒ අතේ ඇඟිළි ගානටත් අඩුවෙන්. ඒ වගේ වීරවරයෙක් ශ්‍රී ලාංකිකයන් වන අපේ වාසනාවට හිටියා. ඒ තමයි ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි. 1901 දී උන් වහන්සේ උපන්නේ බුරුමයේ සීකිං පළාතේ, සර්කි චේරිං කියන ප්‍රදේශයේ. එයාගේ නම එස්. කේ . තෂිනම්ගල්. එයාට සහෝදරයෝ තුන් දෙනෙක් හිටියා. එක්කෙනෙක් පුණ්ණජී නමින් මහණ වෙලා හිටියා. එක්කෙනෙක් පසු කාලයේදී කල්කටා විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් වෙලා හිටියා. අනෙක් එක්කෙනා ටිබෙට් රජතුමාගේ ඇමැතිවරයෙක් විදිහට හිටියා. පැවිදිවී සිටි සහෝදරයා ළඟ තමයි පුංචි තෂිනම්මිගල් හැදුනේ. ඒකට හේතු උනේ ඒ වෙනකොට එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම මියගොස් සිටීම. පුණ්ණජී හාමුදුරුවන්ට හිටියා, හිතවත් ස්වාමින් වහන්සේ නමක් ඥාණාතිලෝක කියල. එයා ජර්මන් ජාතිකයෙක්. උන්වහන්සේ ලංකාවට වඩිනකොට ඒ හාමුදුරුවොත් සමඟ මේ දෙන්නත් ලංකාවට ආවා. ඒ 1912 දී. තෂිනම්ගල්ට එතකොට වයස අවුරුදු එකොළහයි. එහෙම ඇවිත් කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ඇතුල් වෙලා අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ දොඩංගොඩ ශෛල බිම්බාරාමයේදී, තෂිනම්ගල්, එස්. මහින්ද හිමි නමින් පැවිදි උනා. ( එස්. කියන්නේ සීකිම් කියන එක.) උන් වහන්සේගේ ගුරුවරයා උනේ රත්ගම සිරි චූල සුමන කියන හාමුදුරුවෝ. උන් වහන්සේ තම ශිෂ්‍යයාට සිංහල පාලි සංස්කෘත භාෂාවනුත් ජ්‍යොතිෂය හා දේශීය වෙදකමත් ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දුන්නා. ඒ වගේම මහින්ද

1/6

හාමුදුරුවෝ අයියත් (පුණ්ණජී හිමි) එක්කම ඉංග්‍රීසි භාෂාවේත් හසල දැණුමක් ලබා ගත්තා. ඒ මරදානේ මහාබෝධි විද්‍යාලයෙන්. මේ කාලයේ එක් ශෝක ජනක සිදුවීමකුත් සිදු උනා. ඒ තමයි ඒ අයව ලංකාවට එකතු කරගෙන ආපු ජර්මන් ජාතික ඥාණාතිලෝක හාමුදුරුවෝ අත් අඩංගුවට ගැනීම. ඒකට හේතුව උනේ උන් වහන්සේ ජර්මන් ජාතිකයෙක් වීම. ඉංග්‍රීසින් හා ජර්මන් ජාතිකයන් අතර දේශපාලන විරෝධතාවයක් මේ කාලයේ තිබුණා. ඉංග්‍රීසින් හිතුවේ ඥාණාතිලෝක හිමියන් ජර්මන් ඔත්තු කාරයෙක් කියල. කොහොම නමුත් ඥාණාතිලෝක හිමියන් සමග සිටි මහින්ද හිමියන්ටත් අත් අඩංගුවට පත්වීමට සිදු උනා. එහෙත් වරදක් නොකර තිබුණු නිසා නිදහස් උනා. අමරපුර නිකායෙහි පැවිදිවී සිටි මහින්ද හිමියෝ 1930 දී ඉන් ඉවත්වී විද්‍යාලංකාර පිරිවෙනේදී වීරපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස නැවත සියම් නිකායෙහි පැවිද්ද ලබා ගත්තා. 1934 සිට 1936 දක්වා වසර දෙකක් උන් වහන්සේ නාලන්දා මහා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළා. එසේම නිතර සිංහල පුවත් පත් සඟරාවලට කවි ලීවා. මේ නිසා උන් වහන්සේ සිංහල පාඨකයන් අතර ජනප්‍රිය උනා. මේ කාලයේදී ලංකාවේත් නිදහස් අරගලය ආරම්භ වී තිබණා. උන් වහන්සේ අපේ මිනිසුන්ගේ සිත් දේශානුරාගයෙන් හා ජාතිවාත්සල්‍යයෙන් ඉස්මතු වන ආකාරයෙන් කවි ලීවා. ඒවාත් ඉතා ජනප්‍රිය උනා. ඒ විතරක් නොවේ උන් වහන්සේ අමද්‍යප ව්‍යාපාරයේ දක්ෂ කථිකයෙකුත් උනා. ඒ නිසා එහි නායකයන් සමග රට පුරා රැස්වීම්වලට ගියා. එහිදී කවියෙන් රැස්වීම් ඇමතුවා. සිංහලයන්ගේ සිංහලකමත් අතීතයේදී ඔවුන් කළ කී දෑත්, සෞභාග්‍යයත්, ඉහළින්

2/6

වර්ණනා කරමින් නිදාසිටින සිංහලයන් අවදි කළා. මිනිසුන්ගේ රෝමෝද්ගමනය වන ආකාරයෙන් වේගවත් කතා පැවැත්තුවා. බලව් පොළොන්නරු අනුරාපුර පෙදෙස සිතව් පැවැති නිදහස මෙහි පෙර දවස නගව් තම තමන් තිසරණ තරුන ගොස වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස.” තම මතය ජනතාව වෙත ගෙනයාම සදහා උන්වහන්සේ පොත් හතළිහකට වැඩි ප්‍රමාණයක් ලීවා. ඒවා ගද්‍ය පද්‍ය කියන දෙවර්ගයටම අයිතියි. කවි පොත් 29 ක් තිබුණා. ගද්‍ය පොත් 11 ක් තිබුනා. මේ පොත් බොහෝමයක් කුඩා ප්‍රමාණයේ ඒවා. සමහර පොත්වල තිබුනේ කවි 30 ක් විතර. මේ කුඩා ග්‍රන්ථ වැඩි හරියක් මුද්‍රණය කරල තිබුනේ මරදානේ ආරියදාස මුද්‍රණාලයේ. ඒවා උණු කැවුම් වගේ විකිණුනා. මහින්ද හිමියන් අන් අය ගමන් ගත් මගට වඩා වෙනස් මගකට පිළිපන්නා. උන්වහන්සේ පහළ බාලාංශයේ සිට අටවන ශ්‍රේණිය දක්වා දක්වා දරුවන් වෙනුවෙන් ‘ළමා කව් කළඹ’, ‘කව්මුතු’, ‘කව් මිණ’ යනුවෙන් පොත් පෙළක් ලීවා. ඉන් අදහස් කළේ කුඩා කල සිටම දරුවන්ගේ මනස පරිසරයට, දේශයට ආදරය කළ හැකි ආකාරයෙන් සකස් කිරීම හා ආත්මාභිමානයක් ඇති කිරීම. මේකාලයේ බොහෝ දෙනා තුළ තිබුනේ පරගැති චින්තනයක්. එයට හේතු උනේ මේ වකවානුවේ පැවතියේ ඉංග්‍රීසි ආණ්ඩුව. ලාභ ලෝභ ලබා ගැනීමටනම් ඔවුන්ට අනුගතව සිටිය යුතු උනා. ඊට ගැතිවූ විශාල පිරිසක් මේ නිසා අධිරාජ්‍යවාදීන්ට වහල් කම් කරමින් සිටියා.

3/6

එස්. මහින්ද හිමයන් ලියූ පොත් අතර ළමා කව් ජනප්‍රියයි. “ සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොල පිටිටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද රෑට.” (රාත්‍රිය) උන් වහන්සේ කවියට නව ජීවයක් දුන්නා. අපේ ජනතාව අතර පැවැති දරු නැළවිළි ගී තුළට අභිමානවත් හැගීම් දනවන පද එකතු කරල, ජාතික තොටිල්ල, දරු නැළවිල්ල වැනි නිර්මාණ ඉදිරිපත් කළා. “ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මළ මොහොතේ සුන්දර සුරඹුන්ගෙ අතේ නැළවෙන බව සිතනු පුතේ” ( දරු නැළවිල්ල) ( අපි දිව්‍යලෝකයේ යන්න නොයෙක් පින්කම් කරනවා. මෙතැනදී මහින්ද හිමියන් කියනවා, ඔබ ජාතිය වෙනුවෙන් සටන් කර මළොත් අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකයේ යන බව.) “නිදහස මහ මුහුදක් වේ එහි උල්පත පුත නුඹවේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටු කළ යුතු වේ.”

4/6

(බලන්න මෙහි යොදු ඇති රූපකය දෙස. මහමුහුද නිදහස. එහි උල්පත නුඹ) සිංහලයාගේ මන්දෝත්සාහී බව උන්වහන්සේ උපහාසයට ලක් කළා. එසේ කළේ ඔවුන් කෙරෙහි ආදරයෙන්. ඔවුන්ට යම් හැඟීමක් රටගැන ඇති කරලන්ට. අදටත් ඒ සමහර කරුණු වලංගු බව පේනවා. “රෙද්ද සරොම් බැනියම් නොලැබෙන්න මෙදා ජපනාගෙන් සිද්ද නොවන්නෙද දීපෙ දනන් හට ඉන්න අහෝ නිරුවත් වී” (ලංකා මාතා) මහින්ද හිමියන්ගේ නිර්මාණ, ළමා කවි, වීර චරිත කතා, සෞන්දර්ය වර්ණනා, ඓතිහාසික කතා,වීර චරිත‍ හා භක්ති කාව්‍ය, ආදි වශයෙන් කොටස් කීපයකට බෙදන්න පුලුවන්. උන් වහන්සේගේ කවිපොත් අතර,ඔවා මුතුදම, කව්මිණ, ළමා කව් කළබ, නිදහසේ දැහැන, ජාතික තොටිල්ල, ලංකා මාතා, අසදෘෂ ජාතක කාව්‍යය, රත්නමාලී කාව්‍යය, සුභාෂිත විස්තරාර්ථ විවරණය, රාහුල කුමාරයා, මහාපරාක්‍රමබාහු කුමර කාලය, වැනි පොත් තියෙනවා. අපි හිතන්නේ මහින්ද හිමියන් ඉතා සුගම සරල බස් වහරින්ම කවි ලියුවාය කියලයි. ඒක නිවැරදි නැහැ. මේ බලන්න උන්වහන්සේගේ ‘ජගත් වීරයාට’ නම් පද්‍ය පන්තියේ කවියක්. ගණිත භාරති ජානකීපති ධර්මජාතසෙ ප්‍රජා පූජිත චරිත සුචරිත වරිම ජන්මිත ජන්තු අවතාරාභි සෝභිත

5/6

අහිත හිත ජන පරම නිර්මල පිතෘ පදගත භුවන භාරත ලසතු ගන්ධී මේරු සාගර ධරණි හිම්කර ලැබ ඉබෝ සෙත” (එස්. මහින්ද හිමියන් විසින් ලියන ලද සියලුම කාව්‍ය නිර්මාණ එකතු කර සුනිල් ආරිය රත්න මහතා විසින් ‘මහින්ද ප්‍රබන්ධ’ කියල පොතක් ලියල තියෙනවා. වැඩි දුර අධයයනය කරන්නන්ට එය පිටු වහලක් වේවි) ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවිත්වය පිළිබඳව නොයෙක් ජනප්‍රවාදයනුත් තියෙනවා. ඒ හැම එකකින්ම ඉස්මතු වන්නේ උන් වහන්සේගේ කවිත්වය. උන් වහන්සේ අපවත්වන විට වයස අවුරුදු පනහයි. ඒ කියන්නේ 1951 මාර්තු 16 වැනිදින, උන් වහන්සේ අපවත්වී වදාළා. ඒ උන්වහන්සේලා සටන් කළ නිදහස ලබා ගැනීමෙන් වසර තුනකට පස්සේ. ශ්‍රී ලාංකික කවිය නව මානයකට යොමු කළ කවියෙකු වශයෙන් එස්.මහින්ද හිමියන් හඳුන්වන්න පුලුවන්. එවැනි චරිත කතා අපි කියවිය යුත්තේ එහෙයින්.

6/6

- ආනන්ද මාරසිංහ -