“චූටි පුතේ මෙහාට එන්න ඔයාට සෙල්ලම් බඩුවක් හදල දෙන්න.” අප්පච්චි චූටි පුතාට කතා කළා. “මොකක්ද ලොකු අත්තේ?” චූටිපුතා අප්පච්චි ළගට දුවගෙන ආවා. “මම චූටිපුතාට කුරුම්බා ඇට්ටි මැෂිමක් හදල දෙන්න යන්නේ.” “කොහොමද අත්තේ ඒක හදන්නනේ.?” “කුරුම්බා ඇට්ටිය සුද්ධකරල මෙන්න මේ විදිහට වියත් එක හමාරක් විතර දිග ( සෙ මී 30 විතර) ඉරටු කෑලි දෙකක් නමල දේදුන්න වගේ මැදින් ගහනවා. ( හොඳටම වේලිච්චි ඉරටු කැඩෙන්න පුලුවන් නිසා අලුතෙන් වැටුණු පොල් අත්තක ඉරටු නම් වඩා හොඳයි.) ඊට පස්සෙ අඟල් හයක විතර ඉරටු කෑලි දෙකක් ඇට්ටියේ මැදින් කෙලින් අතට මෙහෙම ගහනවා, අර දේදුන්න වගේ ගහපු ඉරටුවට වඩා ටිකක් උසට. තවත් ඉරටු කෑලි දෙකක් හරහට මෙහෙම දානවා. මැද ඉරටුවට හිරවෙන්න මෙහෙම. දැන් මේක මෙහෙම කරකවන්න පුලුවන්. ඒක තමයි මැසිම. රෙදි කෑල්ල වෙනුවට ඔය අමු කොලයක් දාන්නකෝ, පුතා මේ ඉරටු මැද්දෙන් උඩ ඉඳන් පහළට. හරි. දැන් මෙන්න මෙහෙම කරකවන්න ඕන.” “ටක්. ටික්. ටක්. ටික්. ටකට. ටකට. ටකට. ටකට.” “ෂෝක්නේ අත්තේ, දැන් මැහෙනවා.” චූටිපුතා සන්තෝසෙන් කීවා. “ඔව් පුතා. අපිට ඒ කාලෙ සල්ලි තිබුනේ නැහැ, රට සෙල්ලම් බඩු ගන්ට. අපි ඉතිං ඔය වගේ සෙල්ලම් බඩු හදා ගෙන සන්තෝස උනා. එක මැෂිමක් දවසක් විතර තියාගත්තා. ඊ ළඟ දවසේ තව එකක් හදා ගත්තා. පොල් ගස් පොල් ඉරටු තිබුණනේ.”
1/1