“හා.. හා.. ඔය මල කඩන්න එපා.” සමනලයයි, මී මැස්සයි, දෙන්නම එකවර කීවා. සුනිමල් මල කඩන්නේ නැතුව ඒ ගොල්ල දිහා බලං හිටියා. “ඇයි ඔයාල මේ මල කඩන්න එපා කියන්නේ?” සුනිමල් ඇහුවා. “අපි ජීවත් වෙන්නේ ඔය මලේ පැණි බීලා. ඔයා ඔය මල කඩාගෙන ගියහම අපි ජීවත් වෙන්නේ කොහොමද.?” සමනලයා කීවා. “අනේ මට සමා වෙන්න. ඔය ගොල්ලන්ට එහෙම දෙයක් කරන්න හිතුවේ නැහැ. මම කියන දේ පොඩ්ඩක් අහනවද. මේ මල කඩන්නේ බුදු සාදුට පූජ කරන්න. මේ මල නොකැඩුවත් ඉබේම පරවෙලා යනවනේ. ඉබේ පරවෙලා යන මල පූජා කළාම පිනකුත් සිද්ධවෙනවනේ.” “ඔව්, ඒක ඇත්ත. ඒ උනාට තව එක්කෙනෙක් බඩගින්නේ තියල තමන්ට පූජා කරනවාට බුදුහාමුදුරුවෝ උනත් කැමැති නොවේවි. බලන්න, අපි මලේ සුවඳටවත් පාටටවත් කිසිම හානියක් නොකරනේ රොන් ගන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ අකැමැති වෙන්නේ නැතුවෙයි.” “අනේ ඒක නම් ඇත්ත තමයි.” “අපි එහෙනම් මෙහෙම කරමුද?” සුනිමල් ඇහුවා. “ඒ කොහොමද?” “ඔය ගොල්ල උදේම ඇවිල්ලා මල්වලට හානියක් නොකර පැණි බොන්න. ඊට පස්සෙ මම ඇවිත් මල කඩා ගන්නම්. බුදු සාදුට පූජ කරන්නම්. එතකොට ඔයාලගෙ වැඩෙත් වෙනවා. මගේ වැඩෙත් වෙනවා.” “එහෙනම් ඔයා නැගිටින්ටත් ඉස්සර වෙලා අපි ඇවිත් මල් පැණි බොනවා.” සමනලයයි මී මැස්සයි දෙන්නම කීවා. “හොඳයි යාලුවනේ.” සුනිමල් කීවා. එදා ඉඳල අද වෙනකලුත් දෙගොල්ල සමගියෙන් ඉන්නවා.

1/1

- ආනන්ද මාරසිංහ -