කැලේ සත්තු කණ්ඩායමක් තමන්ගේ නායකයා විදිහට නරියෙකු පත් කර ගත්තා. එයා තමන්ට කැමැති ඇමැති මණ්ඩලේකුත් පත් කර ගත්තා. “ දැන් මේ කැලේ මගේ. මට ඕන තැනක යන්න පුලුවන්. ඕනදෙයක් කරන්න පුලුවන්. උඹලත් මං කරන වැඩවලට උදව් කරන්න ඕන.” නරි රජ්ජුරුවෝ එයාගෙ ඇමැති මණ්ඩලේට කීවා. “ඒත් උතුමාණනි, කැලේ අපේ උනාට ඒ ඒ සත්තුන්ගේ බලය තියෙන තැනුත් තියෙනවා.” “මොන බලයද? මම උන්ව විනාශ කරල දානවා. මෙන්න මේ විදිහට.” කියල ළඟ ගහක තිබිච්චි දිඹි ගොටු කීපයකටම එක වර අතින් පයින් පහර දුන්නා. දිඹියෝ ඇවිස්සිලා නායකයාගේ ඇඟ පුරාම වැටුනා. උන් කෝප වෙලයි හිටියේ. රෝම කූපයන්ගේ අස්සෙන් පවා රිංගලා පහර දෙන්ට පටන් ගත්තා. එයාට වස ලජ්ජාව. එයා කහ කහ පණ බයේ දුවල ගිහින් තමන්ගේ ගුලට රිංග ගත්තා. “ඔබ වහන්සේට මම කල් ඇතුවම ඕක කිව්වනේ.” ගුහාව ඇතුලෙදි පුරෝහිත එයාට කීවා. “අනෙක් අයට පේන්ටත් එක්ක තමයි මම එහෙම කළේ. මම හිතුවේ නැහැ ඒක ඇතුළෙ එච්චර දිඹි ගොඩක් ඉන්නවා කියල. අනෙක උන් ඇවිස්සෙයි කියල.” “සත්තු එහෙම තමයි දේවයන් වහන්ස. නිදහසේ ඉන්නවා. කවුරුත් කරදරයක් කරන්නේ නැත්තම් උන්ගෙනුත් කරදරයක් නැහැ. අපිමනේ ඕන නැති වැඩ කරන්න ගිහින් පැත්තක හිටපු උන්ගෙන් ඉල්ලගෙන කෑවේ.” “ඕක හැම තැනම කිය කියා යන්න ඕන නැහැ.” රජතුමා පුරෝහිතට කීවා. “එහෙමයි. මගේ කටෙන්නම් කෙළ බින්දුවක්වත් පිට වෙන්නේ නැහැ. ඒත් මේ පැපරාසියෝ තමයි වැඩේ කෑවොත් කන්නේ. උන් ඔය කොයි මුල්ලක ඉන්නවාද දන්නේ නැහැනේ.” “එහෙම උනොත් අපි ඒ වෙලාවට බලාගමුකෝ.” රජතුමා කීවා.
1/1