අපේ යාලුවා, කළුඅප්පුගේ හාමිනේ දවසක් දඹුල්ලෙ ඉස්පිරිතාලෙට ආවා. ඒ පොඩි එකාට බෙහෙත් ටිකක් ගන්න. එයාට මැලේරියාව හැදිල. ඒ කාලෙ හැමතැනම මැලේරියාවනේ. ඉතිං බේතුත් අරං යන ගමන් දඹුල්ලෙ කුරුණෑගල හන්දියේ කඩේකින් උණුවතුර බෝතලයකුත් ගත්තා. අද වගේ නෙවේ, ඒ කාලේ දඹුල්ල නගරෙ කිව්වට ඒක මහ ලොකු නගරයක් නෙවේ. ඔය කුරුණෑගල හන්දියේ කඩ කීපයක් තිබුණා. එච්චරයි. ටවුම වගේ තිබුනේ විහාර හන්දිය. බස් ස්ටෑන්ඩ් එක තිබ්බෙත් එතැන. කණ්ඩලම හන්දියෙත් කඩ කීපයක් තිබුණා. උණු වතුර බෝතලේ ගමට ටිකක් අලුත් උපකරණයක්. කලුඅප්පුගේ හාමිනේ කල්පනා කළේ කුඹුරට හේනට තේ ටිකක් හරි ඒකේ දාල යවන්න පුලුවන්නේ. එතකොට හැමවෙලාවෙම තේ උණු කර කර ඉන්න ඕන නැහැනේ කියල. පොඩි එකාට සතියක් විතර උණ තිබුණා. දවස් කීපයකට පස්සේ කලු අප්පුත් එක්ක හාමිනේත් හේනට ගියා. එයා කලු අප්පුටත් හොරෙන් උණුවතුර බෝතලේට තේ වතුර එකකුත් හදාගෙන පන් මල්ලේ දාගෙන හේනට අරන් ගියා. ඒ කලු අප්පු පුදුම කරන්ටත් එක්ක. දවල් දහයට එකොලහට විතර කලු අප්පු තේ ටිකක් වක්කරන්න කියල ගෙදර උන්දැට කීවා. “මම තේ අරන් ආවේ.” හාමිනේ කීවා. “ඒ කොහොමද?” “උණුවතුර බෝතලේ දාගෙන ආවේ.” “ එහෙනං දැන් හොදටම ඇල් වෙලා ඇති.” කලු අප්පු කීවා. “නැහැ ඒක එහෙම නිවෙන්නේ නැහැ. මං මේ පලා කොල ටික කඩාගෙනම එන්නම්. ඔයා ගිහින් තේ බොන්න.” හාමිනේ කීවා. “එහෙනං ඔයා ඉක්මනට එන්න. මට පිපාසයි. මං තේ ටිකක් බොනවා.” කලු අප්පු කීවා. කලු අප්පු පැලට ගොඩ උනා. පං මල්ලේ තිබිච්ච උණු වතුර බෝතලේ එළියට ගත්තා. බෝතලේට අත තියල බැලුවා. බෝතලේ හොදටම සීතලයි.

1/2

“මං මේ ගෑනිට කිව්වා තේ ටික නිවිලා ඇති කියලා. කෙහෙද අහන එකක්ය. තේ ටික ඇල්වෙලා.” කලු අප්පු තමන්ටම කියා ගත්තා. ‘දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. ඇල්වතුර වගේ බීල දානවා මිසක්.’ තමන්ටම කියාගත් කලුඅප්පු බෝතලේ මූඩිය ඇරල එහෙමම උණුවතුර බෝතලේ කටට හලා ගත්තා. ලෝදිය වගේ තේ වතුර. කලු අප්පුගේ උඩු තල්ලයි, යටිතල්ලයි, දිවයි, ඔක්කොම පිච්චුනා. “දනවෝ... දනවෝ..” ඔහු කෑ ගැහුවා. හාමිනේ දුවගෙන ආවා. අලුත ගෙනාපු උණුවතුර බෝතලේ බිම දාල. කලුඅප්පුගේ කට පිච්චුනාට වඩා හාමිනේට දුකයි, උණු වතුර බෝතලේ කැඩිලවත්ද කියල. කලුඅප්පු ඇල් වතුර කළේම කටට හලා ගත්තා. හාමිනේ වත්තේ තිබුණ ලොකු කෝමාරිකා පඳුරකින් පත්තක් දෙපැත්ත සුද්ධ කරල කලුහාමිගේ කටේ තියල ඉක්මනට වෙද ගෙදරට එක්ක ගියා. කට ඇතුලේ පිච්චුනාට ‘දැවුම්තෙල්’ ගාන්නය. ඒත් වෙද මහත්තයා රෙදි කඩමාල්ලක තෙල් පොඟවල කලු අප්පුගේ උඩුතල්ලෙයි, යටිතල්ලෙයි, දිවෙයි, තොලෙයි, ගෑවා. රෙදි කෑල්ල හවස් වෙනකල්ම කටෙන් එළියට දාන්න එපා කිව්වා. හොඳ වෙලාවට කටට ගත්තු ගමන් එළියට දාල තිබුනේ. ගිල්ලනම් උගුරයි බඩයි දෙකමත් පිච්චෙනවා. කොහොමත් සති ගානක් යනකල්ම කලු අප්පුට කෑමක් කන්න බැරි උනා. කට ඇතුලේ ජම්බෝල ගෙඩියන මදේ වගේ රතු වෙලයි තිබුනේ. කලුහාමි මැරෙනකල්ම ‘උණුවතුර බෝත‍ලේ’ කීවාම තරහ ගියේ ඒකයි.

2/2

- ආනන්ද මාරසිංහ -