‘සොකරි අත්තප්ප’ට සොකරියකට ආරාධනාවක් ලැබිල තිබුණ ‘ගොමහන්දියේ’. ‘ගොමහන්දිය’ කියන්නේ අද තියෙන දඹුල්ලේ උසාවිය හන්දියට. ඒ කාලේ වටේ පිටේ ඉන්න හරක් ඔක්කොම රෑ වෙනකොට ඇවිල්ල ලැග්ගේ ගොම හන්දියේ. ඉතිං පාරපුරාම උදේට ගොම. අඩිය ගහල යන්න බැරිතරමට. හැබැයි උදේ හයහමාර හත වෙනකොට හරක් රංචුවම විසිරිලා යනවා. ඔය ටිකක් කම්මැලි හරක් දෙතුන් දෙනෙක් විතරක් ඉතුරු වෙනවා. ඒ අයත් ටිකක් අව්ව වැටෙනකොට පිටත් වෙලා යනවා. ආයෙත් කට්ටිය එකතු වෙන්නේ හවසට. වටේ පිටේ ඕනතරම් කණකොල තියෙනවා. අද තරම් ගෙවල් දෙරවල් නැහැනේ. ‘සලුඅපුල්ලන වැව’යි, ‘තුඹකරවිල වැව’යි, දෙකම අදට වඩා පොහොසත්. අදට වඩා ලොකුයි. වතුර පිරිල තිබුණ. දැන්තමයි වැව් තාවුල්ල පිරිල ගෙවල් ගොඩක් හැදිල තියෙන්නේ. දැන් ඔය තියෙන පිරිවෙන හන්දිය පැත්තට වෙන්න තව පොඩි පොඩි වැව් කීපයක් තිබුණා. මකුලු ගොල්ල වැව. ඒක මකුළු ගන්න හාරල හැදිච්ච වැවක්. පන්ගොල්ල වැව කියල තව පොඩි වැවක් තිබුණා. ඒක කවුරුත් පන් කපන්න ගිය වැව. නික ගස් ගොඩක් තිබිච්ච නිසා නික වැව නම් වූ තවත් පොඩි වැවකුත් තිබුණා. ඒක හන්ද හැම තැනම තණකොල පිරිල තිබුණ. ඉතිං හරකුන්ට කන්න බොන්න ඕන තරම් තිබුණා. අපි ආයෙත් කතාවට එමු. සොකරි ආතට තිබුණ ‘බරභාගයක්.’ කොහේ හරි දුරබැහැර සොකරියකට ආරාධනා ලැබුණොත් ඒකෙ අඩුම කුඩුම ටික බරබාගේ දාගෙන තමයි යන්නේ. ඉතිං ඔය ගොම හන්දියේ සොකරි එකටත් මේ අය ඔක්කොම ඒ විදිහට ගියා. කලු අප්පුත් මේ ගමනට එකතු උනේ කැමැත්තෙන්. අනෙක සොකරි නැටුවේ නැති උනාට කලු අප්පු ඕනම දේකට පිරි මැහෙන මනුස්සයා. ඒ කිසා සොකරි ආතත් කලුඅප්පු එන එකට අකැමැති උනේ නැහැ. ඉතිං දවල් වරුවෙන් ගිහින් හැමෝම ‘තුඹකරවිල වැවෙන්’ නාල, වංගෙඩිය, මෝල්ගහ, එහෙම පේ කරල, අනෙකුත් පූජා භාණ්ඩත් ඒ විදිහටම පේකරල, ගොක් කොල පහන්පැලයි, මල් යහනයි, එහෙම හැදුව. ගමේ අය සොකරි අත්තප්පා කියන විදිහට ඒ වැඩටික පිළිවෙලක් කරන්න උදව් කෙරුවා. අද වගේ ගෙවල් දොරවලුත් මහ ගොඩක් තිබුනේ නැහැ. ඔක්කොම පරණ ගම් කාරයෝ. හැබයි හරි තේජාන්විත මිනිස්සු. හයේ හතරේ මිනිස්සු. “කලු අප්පු උඹට බැරිද ගම් සභාවට ගිහිල්ල මෙන්න මේ බල පත්තරේ අලුත් කරවාගෙන එන්න.” සොකරි ආතා කලුඅප්පුගෙන් ඇහුවේ, මේ ගමන්ම කරත්තේ ලයිසොං තහඩුවත් අරන් ගියොත් හොඳයි කියල හිතල. “මට තේරෙන්නෙ නම් නැහැ. කොහොමද කරන්න ඕන කියල.” කලු අප්පු කීවා. “උඹට තේරෙන්න දෙයක් නැහැ. ගම් සභාව තියෙන තැන දන්නවානේ. එතැන ඉන්නවා අපේ උක්කු බණ්ඩගෙ කොලුව. ඒ නැතත් උඹ එතෙන්ට ගිහින් මෙන්න මේ තහඩු කෑල්ල පෙන්නපං. ඒ ගොල්ල ඒක බලල අලුත් තහඩු කෑල්ලක් උඹට දෙයි. ඒක අරන් වරෙන්. ඒ ගොල්ල ඒකට රුපියල් එකයි පනහක්
1/3
ගන්නවා. මෙන්න මෙතැන රුපියල් දෙකක් තියෙනවා. උඹ ඒකෙං ලයිසොං තහඩුව අරගෙන මගින් තේකුත් බීල වරෙං.” කියල රුපියල් දෙකකුත් දුන්නා. “උඹට තවත් කීයක්වත් ඕනද.?” “මට මොකටද සල්ලි? මගේ විට මල්ල තියෙනවානේ.” ගම් සභාව තිබ්බේ විහාර හන්දියට ටිකක් එහායින්. ඉතිං ඔය දැං උසාවිය හන්දියේ ඉදල නිස්සංක හන්දියට තියෙන පාර එදත් තිබුණා. හැබැයි ඔහොම නෙවෙයි, කරත්ත පාර. ඒකෙන් ගිහින් ලයිසොං තහඩුවත් අරන් කලුඅප්පු ආපහු ආවේ ගිය පාරෙන් නෙවේ. නිස්සංක හන්දියෙන් ඉස්පිරිතාල හන්දියට දාල ඒ පැත්තෙන්. පාරවල් අද වගේ නැහැ. පටුයි. අනුරාධපුර පොලොන්නරු කුරුණෑගල නුවර පැත්තෙන් එන වාහන ඔක්කොම මාරු උනේ එතැනින්. එතෙන්ට ඉස්පිරිතාල හන්දිය කියල කීවා. ඉස්පිරිතාලෙ තිබුනේ එතැනනේ. එතැන තිබුණා ‘දුම්බර’ කියල හෝටලයක්. කලුඅප්පු ඒකෙන් බනිස් ගෙඩි දෙකකුයි කෙසෙල් ගෙඩි දෙකකුයි ගත්තා. එක බනිසෙකුයි කෙසෙල් ගෙඩියකුයි දුන්නා කරත්තේ ඇදගෙන ආපු වයිරට. එකක් එයා කරත්තෙට හේත්තු වෙලා කෑවා. ඔතැන හන්දියේ තිබුණා පැට්‍රෝල් ෂෙඩ් එකක්. අදත් ඔය තියෙන්නේ ඒකම තමයි. හැබැයි ඔහොම ලොකුවට නැහැ. යන එන බස් ලොරි ඔක්කොම තෙල් ගැහුවේ එතැනින්. මොකද අද වගේ හැම තැනම ෂෙඩ් තිබුනේ නැහැනේ. කලුඅප්පු බනිසුයි කෙසෙල් ගෙඩියි කකා ඉන්නකොට දැක්කා, යන එන වාහන ඔක්කොම වගේ ෂෙඩ් එකට දාල තෙල් ගහනවා. දැන් වයිරා බැන්දත් මේකත් වාහනයක් නේ. නැත්තං ඉතිං ලයිසොං කරයිය. වයිරටත් තෙල් ටිකක් ගහගත්තොත් අපූරුවට වේගෙන් දුවයි කියල, කලු අප්පුට හිතුණා. එයා ෂෙඩ් එකට කරත්තෙ දැක්කුවා. “කරත්තෙටත් තෙල් ටිකක් ගහමු.” කාකි ෂූට් එකක් ඇදල, ෂෙඩ් එකේ හිටපු මැදි වියේ සේවකයාට කලුඅප්පු කීවා. “කරත්තෙට තෙල්?” සේවකයා ආයෙත් ඇහුවා. “ඔව් තෙල් ටිකක් ගහමු. එතකොට වයිරා වේගෙන් කරත්තේ අදියි.” කලුඅප්පු කීවා. “ඉතිං තෙල් ගහන්නේ කොහාටද.” සේවකයා ඇහුවා. “අදින්නේ වයිරනේ. වයිරට ගහමු.” කලුඅප්පු වයිරගෙ නැට්ට උස්සල පස්ස පැත්ත පෙන්නල කිව්වා. “මහත්තයා මෙයා කියනවා, ගොනාට තෙල් ටිකක් ගහමු කියල. මොකද කරන්නේ?” සේවකයා ෂෙඩ් එකේ අයිති කරුගෙන් ඇහුවා.
2/3
“ඈ බූරුවෝ.. මොන රටේද කරත්තවල ගොන්නුන්ට තෙල් ගහන්නේ?. මේ අහිංසක සත්තු මරව මරව වැඩ ගන්නවා මදිවට, තව උන්ට තෙල් ගහන්ටත් එනවාද?” ෂෙඩ් එකේ අයිතිකරු තරහෙන් කලුඅප්පු දිහා රවල බලල ඇහුවා. “ආය ඉතිං ඕකට රවල බලන්නවත්, බනින්නවත්, දෙයක් නෑනේ ආයිබොවං. තෙල් ගහන්ට බැරිනම් බෑ කියන්ට. මම යඤ්ඤං යන්ට.” කලුඅප්පු කීවා. “ජහ්.. වයිරා ජහ්..” කියල කලුඅප්පු කරත්තෙ එතැනින් දක්කගෙන ගියා. “මෝඩ මිනිහෙක්.”ෂෙඩ් එකේ අයිතිකාරයා ගෝලයාට කියල හිනාඋනා. කොහොම හරි හවස් වෙනකොට මේක සොකරි නාට්‍ය පොලට විතරක් නෙවේ, ගමටත් ආරංචිවෙලා තිබුණා.
3/3