කලු අප්පුලාගේ ගම තියෙන්නේ දඹුල්ලේ ටවුමෙ ඉදල කිලෝමීටර් දොළහක් දහතුනක් ඈත. ඒත් බොහෝවිට මිනිස්සු බඩු හබඩුත් උහාගෙන දඹුල්ලට ආවා. ලෙඩට දුකට බේත් හේත් ගන්න දඹුල්ලට ආවා. මුලදි මුලදි ගමේ වෙද මහත්තුරුන්ගෙන් බේත් හේත් ගත්තත් පස්සෙ මිනිස්සු ලෝකේ අනෙක් අය කරන දේ කරන්න පටන් ගත්තා. බේත් තම්බ තම්බා ඉන්නවාට වඩා පෙත්තක් බොන එකට හුරු උනා. තවත් එකක් තමයි මැලේරියාව හැදුනම ඒකට ඕනකරන බේත් ටික ඉස්පිරිතාලෙන්ම ගන්න සිද්ධ උනා. ගමේ බොහෝ දෙනෙක් ‘පුස් බයිසිකල්’ ගත්තා. ගැහැණු පිරිමි දෙගොල්ලම ඒවා පදින්න පුරුදු උනා. ගැහැණු කට්ටිය ගම ඇතුලේ බයිසිකල් පැද්දට ගමෙන් පිටට බයිසිකළේ යන්න අදිමදි කළා. එහෙම යනවානම් ගියේ පිරිමියෙක් එක්ක ‘’ලැගේජ් එකේ හරි ‘පොල්ලේ’ වාඩිවෙලා හරි. මුල් කාලෙට වඩා වයිවාරන්න බඩු ගමට එන්ට පටන් ගත්තා. ගමේ එළවලු වී කුරහන් ටවුමට අරන් ගියොත් ගමට එන ලොරි කාරයන්ට දෙනවට වඩා වැඩි මුදලක් ගන්න පුලුවන් බව තේරුම් ගියා. ඒ නිසා මිනිස්සු ටික ටික නගරෙට යන්න හුරු උනා. සරල ජීවිත සංවර්ධනය නිසා සංකීර්ණ වෙනවා. ඕනෑ එපාකම් වෙනස් වෙනවා. ගමේ තරුණ පිරිස වැඩිහිටියන්ගේත් අනුදැණුම ඇතිව ගමට බසයක් ලබා දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. ඒකට තවත් හේතුවක් උනේ තරුණ පිරිස් හා තවත් පිරිස් විවිධ රැකියාවන් සදහා ගමෙන් පිටට යාම. උදේ රැකියාවන්ට යාම සදහාත් සවස ආපසු ඒමේදිත් ඔවුන්ට සිදුවෙන අපහසුතාවයන් මගහරවා ගැනීමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ උනේ. කොහොම හරි ඒ අයගේ උත්සාහය මල් පල දැරුවා. ගමට බස් එකක් ලැබුණා. ඒ කාලෙ තිබුනේ ඉස්සරහ කෑල්ලක් අඩු යකා වගේ බස්. කොහොම හරි බසයක් ලැබුනනේ. එදා මුලු ගමටම රජ මඟුල් වගේ. කවදාවත් බසයක නොගිය අයත් ගමේ හිටියා. බස් එකේ ගමනාන්තය උනේ පරණගමේ පන්සල ළග. එතැන ඉස්කෝලෙත් තිබුණා. ඉඩකඩත් තිබුනා. සවස ගමට එන බස් එක එතැන නවත්තලා තියල පහුවදා උදේ ගමෙන් පිටත් වෙලා යනවා. ඩ්‍රයිවර් උන්නැහෙයි කොන්දොස්තර උන්නැහෙයි පන්සලේ බණ මඩුවේ හරි බස් එකේ හරි නිදා ගන්නවා. ඉස්සෙල්ලම බස් එක ගමට ආපු දවසෙ අපූරු දෙයක් සිද්ධ උනා. කොල්ලො කුරුට්ටෝ විතරක් නෙවෙයි වැඩි හිටි අත්තම්මලාත් බස් එක අතගාල බැලුවා. ඕනම වැඩක් ආරම්භ කරනකොට කිරි උතුරවන එක ගමේ සිරිතක්. ඉතිං ඒ අයට උවමනා උනා බස් එකෙත් කිරි උතුරවන්න. ඒකට ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි කොච්චර විරුද්ද උනත් හරි ගියේ නැහැ. ගමේ අය ඔක්කොම එක පැත්තක. ඒ අය බලහත් කාරයෙන්ම බස් එක ඇතුලේ කිරි ඉතිරෙව්වා. ඒ කාලෙ බස්වල බිමට දාල තිබුනේ ලෑලි තට්ටුවක් පස්සෙ තමයි ඇලුමිනියම් තට්ටු ආවේ. බස්එකේ මැද හරියේ ටකරං කෑල්ලක් දාල ලිපක් පත්තු කරල මුට්ටියක් තියල කිරි ඉතිරෙව්වා. මුලු බස්එකටම ඒ උතුරපු කිරිපෙන ඉස්සා. වැඩ ඉවරවෙලා බලන කොට ලිප පත්තු කරපු තැන රවුමට ලෑල්ල පිච්චිලා. ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි බැලුවා මේක වහගන්න විදිහක් නැහැ. අඟුරු ටික හූරල බලනකොට බිම පේනවා. ඒ ගොල්ලන්ගේ රස්සාවත් ගහල යන දෙයක්. මේක කිව්වා ගමේ වැඩිහිටියන්ට. හාමුදුරුවන්ටත් කීවා
1/2
“මේ මිනිස්සුන්ගේ රස්සාව උඹල බේරල දෙන්න ඕන. හෙට එළිවෙන්ට ඉස්සරවෙලා මේ කොටස තිබුණ විදිහටම හදල දීපල්ලා.” හාමුදුරුවෝ දායකයන්ට කීවා. වඩු බාස්ලා එකතු උනා. ඒ කෑල්ලට අණ්ඩක් දාල හදල දුන්නා. තිබිච්ච එක වගේම නැති උනත් එතැන ආරස්සාවයි. හයි හක්තියත් හොඳයි. කොහොමත් පහුවදා උදේ ඩිපෝවට මේ කාරණාව රියදුරු කොන්දොස්තර දෙපල දැන්නුවා. මනුස්ස කම තියෙන ලොකු මහත්තයෙක් ඩිපෝවෙ හිටියෙ. ඔය ගමේ මිනිස්සු ඔහොම තමයි. ටිකක් මෝඩ වගේ උනාට හරි හිත හොඳ මිනිස්සු. මේක ඉහළට රපෝර්තු කරන්න දෙයක් නැහැ. ලොකු මහත්තයා හිනාවෙලා කීවා. පහුවදා බස්එක දඹුල්ලට ආවේ වෙසක් කූඩුවක් වගේ සරසල. ඩ්‍රයිවර් මහත්තයයි කොන්දොස්තර මහත්තයයි දෙන්නත් ඒවා අයින් කරන්න ගියේ නැහැ. ගමේ අහිංසක මිනිසුන්ගේ සන්තෝසෙනේ. ඒ සැරසිලි දවස් ගානක්ම බස්එකේ තිබුණා.
2/2