“හා හා පුතේ, ඔහොම මේස් දාන්න එපා.” ලොකු අත්තා මා මේස් දැමීමට යනවිට කීවේය. “ඇයි ලොකු අත්තේ?” “මේස් එක දාන්ට ඉස්සරවෙලා ඒක අනිත් පැත්ත හරවලා ගසා දාන්න ඕන. සපත්තුවත් ඇතුල බලල ගසා දාන්න ඕන” “ඒ ඇයි ලොකු අත්තේ?” “ඕවා අස්සේ පත්තෑයෝ, ගෝණුස්සෝ, සර්පයෝ, රිංගල ඉන්න පුලුවන්. සමහරවිට හූනෙක් කැරපොත්තෙක් ඉන්නත් පුලුවන්.” “මම වෙනද ගසා දාන්නේ නැහැනේ ලොකු අත්තේ.” “වෙනද ඔය වැඩේ අම්ම කරනවා. අද අම්ම ගමනක් ගිහින්නේ.” “මම දන්නෙත් නැහැ ලොකු අත්තේ, අම්ම එහෙම කරනවා කියල.” ඔව් පුතේ, පුතාල දන්නෙ නැති උනාට පුතාලගේ ගොඩාක් වැඩ කරන්නේ අම්මා” “ඒක හරි ලොකු අත්තේ. හෙට ඉඳල මට කරගන්ට පුලුවන් මගේ වැඩ ඔක්කොම මම කර ගන්නවා.” “එහෙම තමයි වෙන්ට ඕන. සපත්තු මේස් විතරක් නෙවෙයි, කලිසමේ සාක්කුව උනත් අනිත් පැත්ත පෙරලලා බලන්න පුලුවන්නම් හොඳයි.” “ඔව් ලොකු අත්තේ මම එහෙම පුරුදු වෙනවා.”
1/1