“ලොකු අත්තෙ අර සිංහයෙක් වලට දාපු කතන්දරේ කියල දෙනවද? “මොකක්ද ඒ කතාව?” “ඇයි අනේ දන්නෙ නැද්ද.. අර හාවෙක් කැලේ මැදින් යනකොට ළිඳක් ඇතුලේ සිංහයෙක් ඉන්නවා කියල සිංහයා ළිඳට දැම්මේ.” “දැන් පුතා ඒ කතාව දන්නවානේ. පුතානේ ඒක අපිට කියල දෙන්න ඕන.” “අනේ මොකක්ද ලොකු අත්තේ... ඒ කතාව කියල දෙන්නකෝ. මට ඒ කතාව ආයෙත් අහන්න ආසයි.” “අනේ ලොකු අත්තේ, කියල දෙන්නකෝ.” “අර සිංහයා ළිදට දාපු කතාව නේද.?” “ ඔව්. ඔව්.” “ඔන්න ඔය ඈත පළාතක ලොකූ වනාන්තරයක් තිබුණා. ඒකේ අලි, කොටි, සිංහ, වලස්, ගෝන, මුව, හරක්, වගේ හැම සතෙක්ම හිටියා. මහා සැර සිංහයෙකුත් ඒකෙ හිටියා. ඔය සිංහයා දකින දකින හැම සතාම මරල දානවා. හැබැයි කන්නේ එක සතෙක් විතරයි. ඉතිං හැම සතාම බයෙන් තමයි ජීවත් උනේ.” එක දවසක් කැලේ හිටපු සත්තු ඔක්කොම සිංහයා හම්බ වෙන්ට ගියා. ගිහින් සිංහයාට වැඳල කීව, “අනේ දේවයන් වහන්ස, මේ විදිහට අපේ සත්තු ඔක්කොම මරා දැම්මොත් කැලේ සත්තු වඳ වෙලාම යාවි. ඒ නිසා අපෙන් එක සතෙක් විතරක් මරාගෙන කන්න. අපෙන් එක්කෙනෙක් ඔබතුමා ඉන්න තැනටම එන්නං. එතකොට ඔබතුමාට මහන්සි වෙන්න දේකුත් නැහැනේ.” කියල. “මම කොහොමද උඹලව විශ්වාස කරන්නේ.” කියල එතකොට සිංහයා ඇහුවා. “නැහැ දේවයන් වහන්ස, අපි පොරොන්දු වෙනවා, නොවරදවාම එක්කෙනෙක් ඔබ වහන්සේ ළගට එනවාය කියල.” “හැබැයි ආවෙ නැත්තම් මම උඹලව ඔක්කොම මරල දානවා.” “අවිශ්වාසයක් හිතන්න එපා. අපි පොරොන්දුව ඒ විදිහටම රකිනවා. එහෙම නොවුනොත් තමුන්නාන්සේ කැමැත්තක් කරන්න.” එදා ඉඳල හැමදාම එලුවෙක්, මීවෙක්, ගෝනෙක්, මුවෙක්, වගේ මොකෙක් හරි සතෙක් සිංහයා ළඟට යනවා. සිංහයා ඌව මරාගෙන කනවා. අනෙක් සත්තු සතුටෙන් බය නැතුව හිටියා. එක දවසක වාරේ ආවේ හාවෙකුට. හාවා හොඳටම බයවෙලා හිටියේ. ඉතිං කෑම වෙලාවට යන්ට බැරි උනා. සිංහයාත් ඈණුම් ඇර ඇර, බැන බැන, බල බලා හිටියා. හාවාත් ඉතිං කරන්න දෙයක් නෑනේ. නොගියොත් අනෙක් සත්තු ඔක්කොම එකතු වෙලා තමන්ව මරණවා. ඒ නිසා ඔහේ ගාට ගාට ගියා. ඔහොම යනකොට පරණ ළිඳක් උඩින් හාවා පැන්නා. ඒකේ යට තිබුනු වතුරෙන් හාවාගේ ජායාව පෙනුනා.

1/2

හාවා ආපහු මෙහාට පැන්නා. ආයෙත් ජායාව පෙනුනා. හාවාට හොඳ අදහසක් ආවා. ‘හරි ගියොත් නම් හරි.’ හාවා තනියම කිව්වා. මගෙ විතරක් නෙවේ, කැලේ හැමෝගෙම වාසනාව. හාවා සිංහයා ළඟට ගියා. “පස්වාන් දහසකට බුදුවෙන්න දේවයන් වහන්ස.” හාවා කීවා. “පස්වාන් දහසකට.? දැන් බලාපන් කීයද වෙලාව. ඉර බහින්ටත් කිට්ටු වෙලා. මොකද මෙච්චර පරක්කු උනේ? තෝ මගේ කටටත් මදි බොල.” “අනේ දේවයන් වහන්ස, මා කියන දෙය අසනු මැනවි.” හාවා බැගෑපත්ව කීවා. “හා කියනව කියනව බලන්න. මැරෙන්න ඉස්සර වෙලා.” “දේවයන් වහන්ස, මම අද උදෙන්ම ආවේ. ඒ එනකොට කැලේ මැදදී සිංහයෙක් මාව අල්ල ගත්තා. මම කීව, ඔබ වහන්සේට ආහාර පිණිස යන බව. එතකොට ඒ සිංහයා මට ගහල මාව තියා ගත්තා.” “මේ කැලේ කොහෙද බොල වෙන සිංහයෝ.? තෝ බොරු නේද කියන්නේ.?” සිංහ රාජයා ඇහුවා. “නැහැ දේවයන් වහන්ස. එක ගැඹුරු තැනෙක සැගවිලා ඉන්නේ. ඔබ වහන්සේ එක්ක එන්න කියල මාව ටික වෙලාවකට නිදහස් කළා. අනේ දේවයන් වහන්ස, මේ බලන්න මගේ ඇගේ මයිල් බයට කෙලින් වෙන හැටි.” “ තා බිය නොවෙනු. ඒ තක්කඩියා සිටින තැන මට පෙන්නව.” ඉක්මනට සිංහයා හිටපු තැනින් නැගිට්ටා. හාවා ඉස්සර උනා. අර ළිඳ ළඟට එක්කරං ගියා. ළිඳ පෙන්නුවා. “අනේ දේවයන් වහන්ස, ඔන්න ඔය වළ ඇතුලේ ඉන්නේ. මට බයේ බැහැ. පරෙස්සමෙන් බලන්න.” කියල හාවා ටිකක් පැත්තකින් හිටියා. සිංහයා ළිඳ ළගට ගියා. ළිඳට එබිල බැලුවා. ඇත්ත නේන්නම්. ඒක ඇතුලෙ සිංහයෙක්. සිංහයා දත් විලිස්සල ගෙරෙව්වා. මේන්න ළිඳ ඇතුලෙනුත් ගොරවනවා. සිංහයාට හොඳටම තරහ ගියා. ගොරවගෙන පැන්නා ළිදේ හිටපු සිංහයාගේ ඇඟට. “හොද වැඩේ ඕකට. අහිංසක සත්තු මරං කනවට.” චූටි පුතා අත්පුඩියකුත් ගහල උඩ පැන්නා. සිංහයාට එතකොටයි තේරුනේ, ඒ තමන්ගේ හෙවනැල්ල කියල දැන් කරන්න දෙයක් නැහැ. හාවා උඩ ඉදන් බලාගෙන හිටියා. සිංහයා එහාට දැඟලුවා. මෙහාට දැඟලුවා. ඒත් ගොඩවෙන්න බැරි උනා. වතුර පෙවිල ළිදේම මැරුනා. හාවා ආපහු ගෙදර ආවා. අනෙක් සත්තු ඔක්කොම බය උනා. දැන් ඉතිං හෙට ඔක්කොටෝම මැරුම් කන්ට තමයි වෙන්නේ කියලා හාවාට බනින්න පටන් ගත්තා. හාවා විස්තරේ කීවා. අනෙක් අයත් ළිඳ ළඟට එකතු කරගෙන ගිහින් පෙන්නුවා. සිංහයා බඩ උඩට දාගෙන මැරිල වතුරෙ පාවෙනවා. සත්තු ඔක්කොම හුරේ දාල හාවට ස්තුති කළා. ඒ විතරක් නෙවෙයි, ඒ ගොල්ලන්ගේ රජ්ජුරුවෝ විදිහටත් තෝරා ගත්තා. “පේනවනේ පුංචි උනත් හාවගේ ස්ථානෝචිත ප්‍රඥාව නිසා සත්තුන්ගේ ජීවිත බේරුන හැටි.” එදා ඉදන් කැලේ සත්තු සන්තෝසෙන් හිටියා. “අනේ ලොකු අත්තේ තව කතා වක් කියන්නකො.” “අදට මේ ඇති. ආයෙ දවසක කියල දෙන්නම්.” (පඤ්චතන්ත්‍රය ඇසුරෙන්)

2/2

- ආනන්ද මාරසිංහ -