මාගමක සමග පෙමින් බැඳී ගිහිවීම සදහා අවසර පැතීම නිසා ගුරු හිමියෝ තම තරුණ ශිෂ්‍ය හිමියන්ද සමග සුසාන භූමියට වැඩම කළහ. එහි ඇතුළුවන විටම නාසය හාරාගෙන යන තරමේ දුර්ගන්ධයක් දැනුනි. කිසි කතා බහක් නොකළ ගුරු හිමියෝ සුසාන භූමිය අභ්‍යන්තරයටම ගමන් කළහ. සුසාන භූමියට ගෙනවුත් දමන ලද මෘත කළේබරයන් තැන් තැන්වල විය. බලු කපුටෝ ඒවා ඇද කමින් සිටියහ. විසුරුණු ඇට කැබැළි දර කෝටු මෙනි. තලගොයෙකු තමන් දැක ඉක්මන් ගමනින් යනු දුටු ගුරු හිමියෝ එදෙස බැලූහ. තවමත් වියලී නොගිලිහුනු කොල ඇති අතුවලින් වසන ලද, මෘත කළේබරයක් එහි විය. ගුරු හිමියෝ එදෙසට ගමන් කළහ. “මෙය ඊයේ හෝ පෙරේදා ගෙනවුත් දමන ලද්දක් විය හැකිය නන්ද. අපි එහි වස්ත්‍රය ඉවත් කරගමු. අපට එයින් පාංශුකූලික චීවරයක් සකසා ගත හැකිය.” ගුරු හිමියෝ කීහ. දෙදෙනාම එහි ළඟාවී අතු කැබැළි ඉවත් කළහ. හිසෙහි දිගු කෙස් එළියට විත් තිබුණි. අවුල්ව ගොස් තිබූ ඒවා තද කලුපාටින් යුතුය. මුහුණ වසා තැබූ රෙදි කඩ එසේම විය. ගුරු හිමියෝම එය ඉවත් කළහ. එය කාන්තා සිරුරකි. ඉදිමී තිබුණි. “ස්වාමීනි තරුණ කාන්තාවකගේ මළ සිරුරකි. පාංශුකූල චීවරයක් සඳහාවත් එහි වස්ත්‍රය මුදා හැරීම නොකළ යුතුයැයි හැගේ.” ශිෂ්‍ය නන්ද හිමියෝ කීහ. “මෙය මෘත කලේබරයකි. කාන්තාවක් යන සංඥාව ගතයුතු නොවේ. මරණ සංඥාව හා පටික්කූල සංඥාව පමණක් ගන්න. එහි හිමිකරුවෙකු නැත. අප එහි පාංශුකූල වස්ත්‍රය ඉවත් කරගන්නවා පමණි.” “එහෙත් හිමියනි එසේ නොකළ යුතුයැයි මට සිතේ.” “හිමියෙකු නැති ලී කොටයක එතූ වස්ත්‍රයකැයි සිතා ඔබ එය ඉවත් කරගන්න. අපේ පරමාර්ථය චීවරයකට පාංශුකූලික වස්ත්‍රය ලබා ගැනීම මිස, කාන්තාවක් නිරුවත් කිරීම නොවේ.” ගුරු හිමියන්ගේද උපකාර ඇතිව නන්ද හිමියෝ මළ සිරුරේ සුදු වස්ත්‍රය ඉවත් කර ගත්තේය. එහි තැනින් තැන මඩ ස්වල්පයක් සහ ඕජස් ස්වල්පයක් තැවරී තිබුණි. “නන්ද, ඇයගේ දෑස විවර වී ඇත. මුව විවර වී ඇත. සිරුර ඉදිමී ඇත. ඔබට හැකිනම් ඇගේ කම්මුල ටිකක් තද කරන්න.” නන්ද හිමියෝ අකැමැත්තෙන් නමුත් එසේ කළහ. “ඔබට දැනෙන ස්පර්ශය කුමක්ද නන්ද?” “එහි සීතලක් දැනේ. වැඩියෙන් ඉදී නරක්වූ බිඹු ඵලයක සේ ලිහිල් ගතියක් දැනේ හිමියනි.” “දෙකම්මුලම තව ටිකක් තදින් තද කරන්න නන්ද.” නන්ද හිමි එසේ කළේය. නාසයෙන් කනෙන් හා මුවින් ඕජස් එළියට ආවේය. මහත් දුර්ගන්ධයක් දැනිනි. නන්ද හිමියෝ සිවුරේ කොණකින් නාසය වසා ගෙන පසෙකට විය. “නන්ද මෙය කාන්තා සිරුරකි. කැමැති නම් ඇගේ උරය, උදරය, දෙකලවා, කෙණ්ඩා, අත් ගොබ හෝ පයෝධරයන් ස්පර්ශ කර තරමක් තද කරන්න.” නන්ද හිමියෝ විළියෙන් මෙන් ඇඹරුනි. “මෙය මළ සිරුරකි නන්ද. එහි හිමිකරුවෙකු නැත. මම ඔබ අසල සිටිමි. කී දේ කරන්න.”
1/2
නන්ද හිමියෝ ඉදිමී තිබූ උදරය තද කළ පසු ජලය පිරවූ බැලුමක් මෙන් තැලී යළිත් සෙමින් උඩට එසවිනි. පෙකණිය අසල කුහුඹුවන් විසින් කන ලදුව සුදු පැහැ ගැන්වී තිබිණ. දෙකනින් නාසයෙන් හා මුවින් ගලාගිය ඕජස්වල දුර්ගන්ධය නිසා නිළ මැස්සන් ඒ අවට කැරකෙන්නට විය. “එසේ ස්පර්ශ කළ විට ඔබට දැනුනේ කෙසේද නන්ද?” “ඉදී නරක්වූ බිඹු ඵලයක් ස්පර්ශ කරන්නාක් මෙන්ම දැනුනි. එසේම අපුලක් හා පටික්කූලයක් දැනුනි.” “මෙය තරුණ කාන්තා සිරුරකි නන්ද. ඔබට මේ කාන්තා සිරුර ගැන කාමයක්, ඇල්මක්, ඇති නොවන්නේද? කුමක් සිතෙන්නේද?” “ස්වාමීනි මට ඇති වන්නේ පිළිකුලකි. ජුගුප්සාවකි.” “ඔබට අවශ්‍යනම් ඇගේ සියලු වස්ත්‍ර ඉවත් කර ඇගේ සිරුර ස්පර්ශ කර බලන්න නන්ද.” “අවශ්‍ය නැත ස්වාමීනි. ඔබ වහන්සේගේ සිතැඟි මට දැනේ. මම සියල්ල වටහා ගෙන ඇත්තේ වැරදි ලෙසටය. ඔබ වහන්සේ මා නිවැරැදි කළෙහිය. මට කමා කරන්න. මට ඔබ වහන්සේ ගෙන් ඉවත්වී යා යුතු නොවේ. මේ චීවරය ඉවත් කළ යුතු නොවේ.” “එසේනම් නන්ද අපි ආපසු ආරාමයටම යමු. ඔබ ඔබේ ගත පමණක් නොව සිතත් පැවිදි කර ගන්න. එය සසරේ ගැලීමට නොව මිදීමට ඉවහල් වේවි.” ගුරු හිමියෝ සිසුවා සමග නැවත ආරාමයට පිය නැගීය. අතෙහි ගුලිකරගත් වස්ත්‍රයෙහි පමණක් නොව තමන්ගේ සිරුරෙහිද ඔජස් ගඳ ඇති බව නන්ද හිමියන්ට දැනුනි. “ස්වාමීනි, මා මේ වස්ත්‍රය සෝදා මගේ චීවරයද සෝදා පැන් ඵාසු වී ඔබ වහන්සේ වෙත පැමිණෙමි.” “හොඳයි නන්ද. බාහිරින් පමණක් පවිත්‍ර වී ඵලක් නැත. අභ්‍යන්තරයද පවිත්‍ර කර ගත යුතුය. ගත දොවාගෙන පැමිණෙන්න.” පැන් ඵාසුවී පැමිණි නන්ද හිමියන්ට ගුරු හිමියෝ කමටහන් දුන්හ. යථාර්ථය වටහා ගෙන සිටි නන්ද හිමියෝ එදිනම සව් කෙළෙසුන් නසා සත්‍යය අවබෝධකර ගත්හ.
2/2