1. උණ දෙබලෙ එල්ලූ පෙරහන. බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටපු අම්බපාලි කියන ගණිකාව පස්සේ කාලෙක මහණ වෙලා රහත් උනා. ඇය තමන් ගැනම දවසක් මෙහෙම කීවා. මගේ හිස කෙස් ඉස්සර අක්බඹරු වගේ තිබුනේ. ඒත් දැන් ඒක හණ, නියඳ , කෙඳි වගේ සුදු වෙලා. ගොරහැඩි වෙලා. සුවඳ කරඬුවක් වගේ තිබුණ එය දැන් හාවන්ගේ ලොම් වගේ ගඳයි. ඉස්සර විවිධ රන් රිදී ආභරණවලින් අලංකාරවූ කේශයන් ගැලවී දැන් තට්ටය පෑදීලා. සිතුවම් කළාක් වගේ පැවැති ඇහි බැම දැන් එල්ලා වැටෙනවා. ඉතා දිගු නිල් මැණික් වගේ තිබූ දෑස් දැන් එහෙම නොවේ. මනාව පිහිටි නාසය දැන් තම්බන ලද හම්පටියක් වගේ ඇකිලිලා. රන්මිණි මුතුවලින් කළ ආභරණ වලින් සැරසුව කන් නිකම්ම එල්ලා වැටෙනවා. දත් කැඩී කහපැහැ ගැන්විලා. කෙවිළියකගේ වගේ තිබුණු හඩ මුවින් දැන් පිටවෙන්නේ නැහැ. මගේ අත් කකුල් ඉස්සර රන් කඳන් වගේ තිබුනේ. එහෙත් දැන් ඒවා වියලී ගිය ළදරු උන ගොබ වගේ හැකිලිලා. රන්කුඹු ලෙස වර්ණනා කළ, මනාව පිහිටි දෙපියයුරු, දැන් උණ රිකිල්ලක එල්ලා තැබූ පෙරහන් කඩක් වගේ හැකිලිලා. එහෙව් මගේ ශරීරය කැඩීමට ආසන්න නිවසක් වගේ දිරාගිහින්. නැවත එය සකස් කළ නොහැකි තත්වයටම පත්වෙලා. ඒ කෙරෙහි සන්තාපයක් මගේ හිතේ දැන් නැහැ. මේ සත්‍යය මට අවබෝධ කර දුන්නේ බුදු පියාණන්. උන් වහන්සේට නමස්කාර වේවා. (අම්බපාලි ථෙරිගාථා ඇසුරිනි.) 2. සුභාගේ ගැලවුණු දෑසෙන් පෑදුණු දෑස.’’ සුභා තෙරණිය වාසය කළේ ජීවක අඹ වනයේ. ඇය දවසක් අඹ වනයට යනවිට තරුණයෙක් මග හරස් කළා. “ඔබ ලස්සන තරුණියක්. මේ සිවුර අත්හැර දමා මා සමග එන්න. මේ සුළගින් සෙළවෙන, මලින් බර, වනයේ අපි සුවසේ ප්‍රීති වෙමු. ඔය රළු සිවුරු අතහැර මා සමග එන්න. මම ඔබට දැසි දස් කම්කරුවන් සහිත, සුවබර දිවියක් හිමිකර දෙන්නම්.” “දෙතිස් කුණපයන්ගෙන් පිරුණු, මේ සිරුරෙහි ඔබ කුමක් ලස්සනයැයි පවසන්නේද පින්වත.?” ඇය ඇසුවා. “නුඹගේ ඇස් කින්නරාවියක හා සමානයි. මුවදෙනකගේ වගේ. ඔබගේ ඇස් තරම් මා පොළඹවන දෙයක් නැහැ.” “එසේ නොකියන්න. මේ සිරුර මායාවක්. ඔබ සුන්දරයැයි දකින ඇස, ගස් බෙනයක දමන ලද ලාකඩ ගුලියක් වගෙයි. ඇස් ගෝලය, කුහරයක් මැද දිය බුබුලක් වගෙයි. කඳුළු සහ කබ සහිතයි. ඔබ එය ඔතරම් රුචි කරන්නේ නම් එය තබාගෙන මා මුදවා ලන්න.” යැයි කියා ඇස ගලවා ඔහු අත තැබුවා. තමන් මෙතෙක් වේලා කාමයෙන් මුලාවූයේ මෙවන් හරසුන් දෙයකටදැයි බියටත් සන්තාපයටත් පත් තරුණයා, ඇය ඉදිරියෙහි වැඳවැටී තමා අතින් සිදුවූ වරදට සමාව ඉල්ලා ගත්තා. (සුභා ථෙරිගාථා ඇසුරිනි.)

1/3

3. “මේව අපට හොඳ පාඩම්.” ඉසිදාසි තමන්ගේ ස්වාමියාට සැලකුවේ දෙවියන්ට වගේ. ස්වාමියාගෙ අම්ම තාත්තගේත් සැම වැඩක්ම කරල දුන්නෙත් එයා. එහෙත් මාස කීපයක් ගෙවෙනකොට ස්වාමියාට ඇයව එපා උනා. හේතුව මොකක්ද කියල ඇය දන්නෙත් නැහැ. දෙමාපියෝ දන්නෙත් නැහැ. කොහොම හරි දීගය අත්හැර ඇයට ආපහු තමන්ගේ ගෙදරටම යන්න උනා. ස්වාමියා ඇයව කොහොමවත් ගෙන්න ගත්තේ නැහැ. ඇයගේ දෙමාපියෝ නැවතත් ඇය වෙනත් කෙනෙකුට විවාහ කර දුන්නා. ඔහුත් මාස කීපයකින් ඇයව අත්හැර දැමුවා. ඔහුටද කිසිදු කායික මානසික අඩුවක් ඇයගෙන් සිදු උනේ නැහැ. ඔහුගේ දෙමාපියන්ටත් ඇය තමන්ගේ දෙමාපියන්ට වගේම සැලකුවා. දෙවැනි විවාහයත් අසාර්ථක වූ නිසාම, දෙමාපියෝ දුකට පත් උනා. ඇයව යාචකයෙකුට විවාහ කරදීමට සිතුවා. යාචකයා එම වෘත්තියෙන් මුදවාගෙන ඇවිත් ඇයව විවාහ කර දුන්නා. එහෙම කළේ ධනවතුන් ඇය ප්‍රතික්ෂේප කළාට යාචකයා එසේ නොකරතියි සිතාගෙන. එහෙත් ඔහුත් ඇය සමග මාසයකට වඩා පවුල් කෑවේ නැහැ. ඇයව අත්හැරල, ආයෙම සිඟමනම තෝරා ගත්තා.. අවසානයේ ඇය සියදිවි නසා ගැනීමට තීරණය කළා. ඒත් මෙහෙණින් වහන්සේ නමක් දැකල මහණ උනා. රහත් උනා. ඇය තමන් පිළිබඳවම අතීතය හාරලා බැලුවා. ඇයට පෙනුනා තමන් අතීත ආත්මයක අන් අයගේ පවුල් ජීවිත විනාශකිරීම නිසා මෙසේ වූ බව. මේක වෙන කෙනෙක් කළ කර්මයක ප්‍රතිඵල නෙවෙයි. මා කළ දේ මා පසු පසම ඒමක්. අපි කරන පව්කම් වල විපාක ගොනා පසුපස යන කරත්තය වගේ දුකම දෙමින් පසුපස එන බව මෙයින් පේනවා. පසිඳුරන් පිනවීමටම ගිජු වෙලා, අන් අයගේ සතුට නොඉවසන කාටත් මේව හොඳ පාඩම්. (ඉසිදාසී ථෙරී ගාථා ඇසුරිනි.) 4. ‘බුදු සිරුරට ලොල් බැඳි හාමුදුරුවෝ.’ වක්කලී තරුණ මානවකයා පැවිදි උනේම බුදු හාමුදුරුවන්ගේ රූප සම්පත්තියෙන් මත් වෙලා. ඔහුට ඕනෑ උනේ බුදු හාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසූවක් අනු ව්‍යඤ්ජනයෙන් පිරුණු සිරුර දිහා බලාගෙන ඉන්න විතරයි. ඒ සිරුර ඒ තරම් මනස්කාන්තයි. බුදු හාමුදුරුවෝ කීප දවසක්ම කීවා “වක්කලී කමටහනක් අරන් ගිහින් භාවනා කරන්න” කියල. ඒත් වක්කලී හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ගෙන් දුරස් උනේ නැහැ. බුදු හාමුදුරුවන්ට නොපෙනෙන තැනක ඉඳල හරි උන් වහන්සේ දිහා බලාගෙන හිටියා. හීනෙනුත් බුදු හාමුදුරුවෝ දකින්ටයි කැමැති උනේ.. බුදු හාමුදුරුවෝ මේක දැකල වක්කලී හාමුදුරුවන්ට දොස් කියල එතැනින් ඈතට යැව්වා. මෙච්චර ආදරෙන් හිටපු තමන්ව මෙහෙම පන්නා ගැනීම ගැන වක්කලී හාමුදුරුවන්ට හරි දුකයි. වේදනායි. උන් වහන්සේ දිවිනසා ගැනීමට සිතා ගිජිකුළු පව්වට නැංගා. බුදු හාමුදුරුවෝ මේක දැනගෙන වක්කලී හාමුදුරුවන්ට කතා කළා. “වක්කලී මේ බුදු සිරුර උනත් අනිත්‍යයයි. ස්කන්ධ ධාතු වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එහි ගතයුතු හරයක් නැහැ. අශුචි කළයක් මතු පිටින් රන් ආලේපිත කළාක් හා සමානයි. එය ශුභ විදිහට ගන්න එපා. එසේ වුවහොත් සසර තවත් දික් වෙනවා. සිහි එළවා ගෙන කටයුතු කරන්න. සත්‍යය සත්‍යය ලෙස පිළිගන්න. මායාවක් පසුපස නොයන්න. පටික්කූලය පටික්කූලය ලෙසම ගන්න. නව දොරකින් අශුචි වැගිරෙන මේ සිරුර

2/3

දිහා මෙතරම් ඇල්මක් ඇති කරගන්නේ ඇයි වක්කලී? දිය බුබුලක් මෙන් නැසෙනසුලු මේ සිරුර දෙස සුභ විදිහට බලන්නේ ඇයි වක්කලී?” බුදුහාමුදුරුවෝ ඇසුවා. වක්කලී හාමුදුරුවන්ට සත්‍යය අවබෝධ උනා. (වක්කලී ථේර ගාථා ඇසුරෙනි.) 5. අපූරු වෙන්දේසිය. නගර වැසියෝ දහස් ගණනක් සුසාන භූමියට රැස්ව සිටියහ. බුදු හිමියෝද එහි වැඩම කළහ. බිම්සර රජතුමාද එහි සපැමිණියේය. සිරිමා මිය ගොස්ය. ගණිකාවක්වූ සිරිමාවගේ පහස ලැබීමට වෙනදා දිනකට කහවනු දස දහසක් වුවත් වැය කරන අය මේ පිරිස අතරේම වූහ. රජ අනින් වෙන්දේසිය ඇරඹින. කහවනු ලක්ෂයක් දී ඕනෑම අයෙකුට සිරිමාව සදාකාලිකවම සන්තක කර ගැනීමට අවසර ලැබින. කිසිවෙකු ඉදිරිපත් නොවින. “ කහවනු ලක්ෂයක් දී මේ සිරිමා ගණිකාව සදහටම තමන්ගේ කර ගන්න.” වෙන්දේසි කරු නැවත කීවා. ඒත් කවුරුත් ඉදිරිපත් උනේ නැහැ. පනස් දහසකට, දස දහසකට, දහසකට, පන්සියයකට, සියයකට, ආදි වශයෙන් අඩු කර, ඇයට ලන්සුව තැබින. කිසිවෙකු ඇය ලබා ගැනීමට ඉදිරිපත් නොවින. එක දවසකට කහවනු ලක්ෂයක් දී ලබාගත් සිරිමාව කහවනු සියයකටවත් ගැනීමට ඉදිරිපත් නොවූ හැටි. “ කැමැති කෙනෙකුට ඇය නොමිළයේම ගෙන යාම සදහා අවසර ලබාදෙනවා.” වෙන්දේසි කරු රජ අනින් නැවත කීවා. එහෙත් කිසිවෙක් ඊටද ඉදිරිපත් නොවින. බුදුහු පිරිස ඇමතූහ. “රජතුමනි, මහණෙනි, දිනකට කහවනු සිය ගණනක් වැය කොට පෝෂණය කරන, සියදහස්ගණන් වටිනා කසීසලු අඳින, කෝටිගණනක් වටිනා මුතු මැණික් ඔබ්බවන ලද අබරණ පළඳවන, සුවඳ විලවුන් ගල්වන, රනින් කළ මිරිවැඩි පළඳවන, මේ සිරුර, ආයුෂ උෂ්ණය විඥාණය යන මේවා පහව ගිය පසු, දරකඩක් දැවූ අඟුරු කැබැල්ලක් තරම්වත් නොවටිනා දෙයක් බවට පත් වේ. බොහෝ දෙනා මාන්නය උඩඟුකම හිස පුරවාගෙන ආත්මර්ථකාමීව, අනුන් පෙළමින් කටයුතු කරති. එය නොවිය යුත්තකි.නොගත යුත්තකි. තව දින කීපයකින් සිරිමාවන්ද ඉහඳ පණු කුලකයන්ගේ නිවසක් බවට පත්වේ. සිහිය වඩන්න. මෝහය දුරු කරන්න. යථාස්වභාවය තේරුම් ගන්න. කුසල්හි යෙදෙන්න. බව ගමනින් මිදෙන්න.” බොහෝ දෙනෙකුට බුද්ධ දේශනාව තේරුම් ගත හැකි විය. ඔවුහු සාදුකාර දුන්හ.

3/3

- ආනන්ද මාරසිංහ -