1. හරමාණිස් කොල්ලගෙ දිවිල්ල. 1 “සිරිපාල.. සිරිපාල.. ඔය වාහනේ ඉස්සරහින් නවත්තපන්.” “ඇයි රාළහාමි?” “අර හාරමානිසගෙ කොලුව දුවගෙන දුවගෙන එනවා. ඌට හදිසියක් වෙන්ට ඇති. අපි ඌවත් යන තැනකට දාගෙන යං. ඕක මේ කොළඹනේ රස්සාව කරනව කිව්වේ.” මුහන්දිරම් රාළහාමි කීව. සිරිපාල කණ්ණාඩියෙන් පස්ස බැලුව. හරමානිස්ගෙ පුතා. සුදු කොට කලිසමක් ඇඳල, සපත්තු දෙකකුත් දමාගෙන, හෙමි හෙමින් දුවගෙන එනවා දැක්කා. ළඟට ආවට පස්සෙ අත දාල නැවැත්තුවා. “කොහෙද බං මේ හදිසියේ දුවන්නේ? වෙලා ගියානං මේ වාහනේට නැඟපන්. යන තැනකට ගිහින් දාන්නම්.” රාළහාමි සුගුණපාල දිහා බලල කීවා. “ආ මේ අපේ රාළහාමිනේ. මේ කොහේද පාන්දරම යන්නේ?” සුගුණපාල මූණ පුරා හිනාවෙලා ගෞරවයෙන් යුතුව ඇහුවා. “අපි මේ කොළඹ මහ කන්තෝරුවට යන ගමන්. උඹ මේ හදිසියේම පයින් දුවගෙන එන හින්දයි නැවැත්තුවේ. කලබලයක් නම් නැගපන්. ඕන තැනට මම ගිහින් දාන්නම්.” “අනේ නෑ රාළහාමි. මම මේ උදේට උදේට හැමදාම ටිකක් දුවනවා. මුලු දවසම එකම තැනනේ ඉන්නේ. ඒක හන්ද. රාළහාමි කැමැති නම් අපේ ගෙදරට ගොඩ වෙලා තේකක් බීල යමු. මේ ළඟ තියෙන්නේ.” “ඕන නැහැ. ඕන නැහැ. අපි වෙන දවසක එන්නම්කෝ. උඹේ දුවන එක උඹ කරපන්. අපි යනවා.” “හොඳමයි රාළහාමි. සිරිපාල මාමේ, අපේ අප්පච්චිල හම්බ උනොත් මතක් කළා කියන්න.” සුගුණපාල කටපුරා හිනා වෙලා කීවා. “ඔය කොලුවට තවම මුල අමතක නැහැ. දොස්තරෙක් උනත් අදත් ගමේ ආවොත් අපේ වලව්වටත් කෙසෙල් ඇවරියක් හරි අරන් ගොඩ වෙනවා.” රාළහාමි යන ගමන් කීවා. 2. “බල්ල උඩු බුරලන්නේ නැතුව පිරිත් කියන්ටය.” නන්දෝරිස් ගොයියගේ බල්ලගේ උඩු බිරිලීම හන්ද සියදෝරිස් ගොයියට රෑ තිස්සේ නින්දක් නැහැ. කොච්චර එලෙව්වත් උගෙ කෑ ගැහිල්ල ආයෙත් පටන් ගන්නවා. ඌට ගානක්වත් නැහැ. ‘හෙට උදේ නන්දොරිස් ගොයියට හොඳවයින් දෙකක් කියන්න ඕන’ කියල සියදෝරිස් හිතුව. උදේ එළි පහළියට යනවෙලාවේ සියදෝරිස්ගෙ පවුලට නන්දෝරිස් ගොයියගෙ පවුල හම්බ උනා. “බලාපංකො බං. අපෙ මනුස්සය ඊයේ රෑ තිස්සෙම පරල වෙලා, උඹලගෙ බල්ල උඩු බුරලනව කියල.” උන්දෑ කීවා. “ඒක තමයි බං මටත් ඇහුනා. උඹලගේ මනුස්සය කෑ ගහනවාත් ඇහුන. මම මේ අපේ බලු තඩියට කීවා, ඔය උඩු බුරලන එක නවත්තලා, පිරිත් කියන්ට පටන් ගනින් කියල. ඒත් මේකගෙ බලු ගතිය කියන්නේ ඒක ඩිංගක් එහාට ගිහින් ආයෙත් උඩු බුරලන්ටම පටන් ගන්නවා.” නන්දෝරිස්ගෙ පවුල කීවා. “මං උඹට කිව්ව කියල හිතාගනිං.” සියදොරිස්ගෙ පවුල තරහෙන් ගස්සගෙන ගියා.

1/3

3. “ඔළුව නැතුව කඳ කොහොමද නාන්නේ” “අම්මේ අද මල්ලිව ඔළුවෙ නාවනවද ඇගේ නාවනවද?” අක්කා අම්මගෙන් ඇහුවේ මල්ලී සතියක්ම අසනීපයෙන් හිටපු හින්ද. “අපි අද ඇගේ නාවල හෙට ඔළුවෙ නාවමු.” අම්මා ගේ ඇතුලේ ඉඳල කීව. “මොකක්ද අම්මේ ඇගේ නානවා කියන්නේ?” නංගී ඇහුවා. “ඇගේ නානවා කියන්නේ කරෙන් පහළ නාන එකට. ඔලුවෙ නානවා කියන්නේ ඔළුවත් එක්කම නාවන එකට.” “එතකොට අම්මේ ඔලුව තියෙන්නේ ඇගේ නෙවෙයිද?” “ඇගේ තමයි. ඒ උනාට කියන්නේ එහෙම තමයි. ඔයා සතියෙ දවස් පහම ඉස්කෝලෙ යනව කියන්නේ සතියට දවස් පහයි කියන එක නෙවෙයිනේ. එක පයින් කැමැතියි කියන්නේ එක කකුලෙන් කැමැතියි කියන එක නෙවෙයිනේ. ඒ වගේ යෙදුම් තවත් තියෙනවා. ඔයා හොයල බලන්නකෝ.” අම්මා හිනාවෙලා කීවා. 4. “දේසේ හැටියට බාසේ” බස් එකේ ඉස්සරහ සීට් එකේ හාමුදුරු නමක් වාඩි වෙලා හිටියා. සංචාරක යුවලක් බස් එකට නැංගා. පිරිමියා ඉස්සරහ වම් පස තනි ආසනේ වාඩි උනා. කාන්තාව හාමුදුරුවෝ හිටපු සිට් එකේ වාඩි වෙලා ගමන් මල්ල එන්ජිම උඩින් තිබ්බා. හාමුදුරුවෝ කාන්තාවගේ මූණ දිහා බලල සීට් එකේ එහාටම උනේ, ‘එපා, එපා,’ කියල. සංචාරක කාන්තාව හාමුදුරුවන්ගේ මූණ දිහා බලල ආයෙත් වාඩි උනා. “කරුණාකරල ඔය සිට් එකේ වාඩි වෙන්න එපා. වෙන තැනකින් වාඩිවෙන්න” මම කීවා. “මෙතැන කවුරුවත්ම නෑනේ, ඒකයි මම වාඩි උනේ.” ඇය කීවා. “ඔව්, මේක පූජ්‍ය පක්ෂයට වෙන්කරපු ආසනයක්. කවුරුත් නැති වෙලාවට වෙනත් අයත් වාඩිවෙනවා. ඒත් අපේ සංස්කෘතිය අනුව හාමුදුරුවොයි කාන්තාවොයි එකට වාඩි වෙන්නේ නැහැ.” “අතිශයින්ම කණගාටුයි, මගෙ අතින් වෙච්චි අතපසු වීමට. මම සමාව ඉල්ලනවා.” ඇය කීවා. “මේක අපේ සංස්කෘතික ලක්ෂණයක්. ඔබ දෙදෙනාට ආසන දෙක මාරු කර ගන්න පුලුවන්. එතකොට ගැටලුවක් නැහැ.” මම කීවා. “සමාවන්න.” කියල හාමුදුරුවන්ට හිස නමාපු කාන්තාව පිරිමියා සිටි ආසනයටත්, පිරිමියා කාන්තාව හිටපු ආසනයටත් මාරු උනා. “බොහොම ස්තුතියි.” මම කීවා. “බොහොම ස්තුතියි අප නිවැරදි කළාට.” ඇය සිනාසී කීවා.

2/3

5. සීයගෙ වැඩ. “ඇයි සීයේ ගහට නැංගේ, සීයට බිමවත් හරියට යාගන්න බැරුව තියෙද්දී. කාටහරි කිව්ව නම් ඔය අත්ත කපල දෙනවනේ.” දොස්තර මහත්තයා මුදියන්සේ සීයගෙ තුවාලෙට බෙහෙත් දාන ගමන් කීවා. “කිව්වා කිව්වා. මගේ කොල්ලන්ට සිය පාරක් කියන්ට ඇති. උන්ට ඇහෙන් නැතුව වගේ ඉන්නවා. මම කීවා, උඹලට බැරිනම් කවුරු හරි හොයල දීපල්ල, මම ඒ මිනිහට පඩි ගෙවන්නම් කියලත්. ඒත් ගානක් නැහැ. හැමදාම මේ අත්ත හින්ද වහලෙට රිළව්, වඳුරො, පනිනවා. උන් වහලෙ බෝල ගහනවා වගේ සෙල්ලම් කරන්නේ. ඊටත් හපන් රෑ තිස්සේ හුළඟට වහලෙ අතු ගෑවෙනවා. නින්දක් නැහැ.” “බැරිම තැන තමයි, ඉනිමඟ තියල ගහට නැගල අත්ත කැපුවේ. මගේ වෙලාව කියන්නේ බාගෙට කපන කොට අත්ත පතුරු ගැහුන. ඒ පතුරු කෑල්ලට තමයි බත් කෙණ්ඩ ඉරිල ගියේ.” “මේ ඉන්නේ පුතා නේද? ඇයි මේ සීයට උදව් කරන්නේ නැත්තේ?” “අනේ සර්, මම කීවා මේ සතියේ ඉරිදට ඕක කපල දාන්නම් කියල. ඒ තියෙද්දි තමයි අපි නැති අතරේ ඔය වැඩේ කරල තියෙන්නේ.” “ඉස්සර හපන්කම් දැන් කරන්න බැහැ සීයේ. ඉස්සර වගේ තුවාලයක් උනොත් හොඳ වෙන්නෙත් නැහැ. කල් යනවා. රිළව් නටපුදෙන් කියල ඔහේ නිකම් ඉන්න සීයේ. ආයෙ එහෙම මේ විදිහට තුවාල කර ගෙන එන්න එපා. බේත් දාන්නෙත් නැහැ ඕං” දොස්තර මහත්තයා හිනාවෙලා කීවා. “ඔය කිව්වට දොස්තර මහත්තය බේත් දමාවි.” සීයත් හිනාවෙලාම කීවා. ‍ 6. “කුතෝ පුත්තා...” රෑ දෙගොඩහරියේ බටුගෙදර මහත්තයා කතා කළේ තමන්ගේ පපුව ටිකක් රිදෙන බව කියමිනි.. ඇස් ගිනිකණ වැටෙන නිසා රාත්‍රී කාලයේ ගමන් බිමන් අඩු කළත්, ඔහුට පිහිට නොවී සිටිය නොහැකි නිසා මම ඔහුවත් රැගෙන රෝහලට ගියෙමි. වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත රෝහලේ නතර කළෙමි. භාරකාරයා ලෙස නම දුන්නේද මගේය. ඔහුට ඉඩකඩම් යාන වාහන දරුවන් සිටියත්, දැන් ඔහු සිටින්නේ සේවකයෙකු සමග තනිවමය. පසුවදා උදේම ඔහුට කෑමත් අනෙකුත් කළමනාත් රැගෙන මම යළි රෝහලට ගියෙමි. ඔහුට තරමක් සුවය. සිනාසී මා සමග කතා කළේය. මට ස්තුති කළේය. “මේවා අහල පහල අයගේ යුතුකම්නේ.” මම කීමි. “ඇත්ත මල්ලී. මම හිතාගෙන හිටියේ දරුමල්ලෝ, සල්ලි, ඉඩකඩම් වතු පිටි තිබුණම මමත් ලොක්කෙක් කියල. ඒත් තමන්ට තමන්වත් නැති බව තේරුනේ ඊයේ රාත්‍රියේ. ඔයාට බොහොම ස්තුතියි මල්ලී.” ඔහු මගේ අත තදින් අල්ලා ගත්තේය.

3/3

- ආනන්ද මාරසිංහ -