බෞද්ධ සාහිත්‍යයේ ‘සංකස්ස පුර’ පිළිබදව සුවිශේෂී විස්තරයක් සදහන් වෙනවා. ඒකට හේතුව තමයි, සංකස්ස පුරය බුද්ධචරිතය හා සම්බන්ධ වීම. සිදුහත් කුමාරයා උපත ලබා සත් වෙනි දවසේදී මහමායා දේවිය කලුරිය කරල ‘මාතෘ දිව්‍යරාජ’ නමින් දෙව් ලොව උපදිනවා. සිදුහත් කුමාරයා බුද්ධත්වයට පත් උනාට පස්සේ ඇය සොයාගෙන දිව්‍යලෝකයට ගිහිල්ලා අභිධර්ම දේශනාව පැවැත්වූ බව, බෞද්ධ සාහිත්‍යයේ සදහන් වෙනවා. තුන්මාසයක් වස්වසා දිව්‍යලෝකයේ වැඩ වාසය කළ උන් වහන්සේ, නැවත දඹදිවට වැඩම කළා. ඒ සංකස්ස පුරයට. එදා බුදුරජාණන් වහන්සේ ආපසු පෘථුවියට වඩම්මාගෙන එන උත්සවයට දෙවියන් බඹුන් විශාල පිරිසක් සහභාගිවෙලා තියෙනවා. රන් රිදී මැණික් ඉණිමං තුනක් මවා බුදුරජාණන් වහන්සෙස් මැද සිටුවාගෙන දෙපසින් දෙවියන් සහ බ්‍රහ්මයන් වැඩම කරල තියෙනවා. ‘පඤ්චශික’ බේලුව වීණාව නාද කරද්දී, මාතලී දිව්‍යපුතුයා ඡත්‍රය දරා තිබෙනවා. එහෙමයි සාහිත්‍ය පොතේ තියෙන්නේ. (පූජාවලියේ 25 වැනි ‘දේවාරෝහණ පූජා කතා’ බලන්න.) එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස ඇවිත් බැහැල තියෙන්නේ සංකස්ස පුරයට. ඒ අසිරිමත් උත්සවය දැකල බොහෝ දෙනෙක් බුදු බව ප්‍රාර්ථනා කරල තියෙනවා. ඒ පෙරහැර ඒ තරම්ම විචිත්‍රයි. ඔය කියන සංකස්ස පුරය පිහිටලා තියෙන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේහ්හි, ‘වසන්තපුර්දා ඉටා’ දිස්ත්‍රික්කයේ. නවදිල්ලියේ ඉඳල කිලෝමීටර් 315 ක් විතර දුරින්. වර්තමානයේ එය හදුන්වන්නේ ‘සංකිය’ නමින්. ඉන්දියාවේ සමහර ආගමික ස්ථානවල කැටයම් අතර මේ සංකස්සපුර ගමන ගැන සදහන්වෙනවා. භාරුත් ස්ථම්භවලත් ඒ කැටයම් තියෙනවා. අශෝක රජ්ජුරුවෝ මේ ස්ථානයේ ගල් ටැඹක් පිහිටුවා තිබෙනවා. ඒත් අද තියෙන්නේ ඒ කුලුනේ හිස විතරයි. භාරතයේ එම සංකස්ස පුර ප්‍රදේශයට සමාන භූමි පිහිටීමක් මධ්‍යම පළාතේ දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය ආශ්‍රිතව තිබෙනවා. එම ස්ථානය කුඩා කඳු වැටියක්. එහි ස්වභාවික පිහිටීම හරිම මනස්කාන්තයි. ඉබ්බන්කටුව ජලාශය පිරුණම මේ ස්ථානයේ සිට බැලුවම පෙනෙන්නේ, මහ මුහුද මැද දූපතක සිට මහමුහුද දෙස බලන්නාක් මෙන් අසිරිමත් දසුනක්. ඉබිබන්කටුව ජලාශයට බටහිරින්, දඹුලු විහාරයට මුහුණ ලා පිහිටි මෙම ස්ථානය මහවැලි එච් කලාපය යටතේ බිහිවුණු පළමු ගම්මානය වන ආනකටාව ගම්මානය ආසන්නයේ පිහිටි එකක්. මෙතැනට ළවිය හැක්කේ දඹුල්ල නගරයේ සිට කුරුණෑගල පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි ජලාශය හන්දියෙන් (බෝඩ් එක හන්දිය) දකුණු අත පැත්තට කිලෝමීටර් දෙකක් පමණ ගියහම. එතකොට ඉබ්බන්කටුව ජලාශය හමුවෙනවා. එම ජලාශයේ බැම්ම දිගයනවිට ඉදිරියෙන් පෙනෙන කඳුගැටය සංකස්ස පුර සෙනාසනයයි. එය මැනවින් ජලාශ වේල්ල දිග එනවිට පේනවා. ජලාශය අවසන් වනවිටම වමට ඇති පඩි පේලියෙන් ඉහළට නගින්න ඕන. කුරුණෑගල දෙසින් එනවිටත් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය පසුකළ විට මෙම ජලාශය හන්දිය හමුවෙනවා. එතන සිට මග සලකුණු එසේමයි. එතකොට හැරෙන්න ඕන දකුණට නෙවෙයි වමට. මේ විහාර කර්මාන්තයට දිගු ඉතිහාසයක් නැහැ. ඇත්තේ වසර දහයක පමණ ඉතිහාසයක්. එහි නිර්මාතෘවරයාණන් වහන්සේ වන්නේ අග්බෝවේ අග්ගධම්ම හිමිපාණන් වහන්සේ. උන් වහන්සේ දඹුල්ලට අලුත්. සිය අධ්‍යාපන කටයුතු අවසන් කර ප්‍රාචීන පඬිවරයෙක් බවට පත් උන් වහන්සේ තමන්ගේ ආගමික ශාස්ත්‍රීය සේවාවන් කිරීමට තැනක් සොයන විට, හිතවත් ස්වාමින් වහන්සේ නමක් විසින් ආනකටාවේ ශ්‍රී විවේකාරාම විහාරස්ථායට වැමවාගෙන ඇවිත් තිබෙනවා. කෘෂිගම්මානයක් වූ එහි කිසිදු පහසුකමක් එදා තිබුනේ නැහැ.

1/6

පන්සලේ අඩු පාඩු අයන්නේ සිට උන් වහන්සේට සකස් කර ගැනීමට සිදු උනා. පන්සලට ජලය ලබා ගැනීම සදහා කලයත් රැගෙන අසල ළිදකට යන්න උන් වහන්සේට සිදු උනා. දාන මාන දායකයන් හැකි ආකාරයෙන් සැලසුවත් ඒ අසරණ ගැමියන් වෙනුවෙන් යමක් කළ යුතු බවට උන් වහන්සේ අධිෂ්ඨාන කරගත්තා. තමන් උගත් දෙය අන් අයට බෙදා දීමට මගක් උන් වහන්සේ සොයා බැලුවා ඒ අනුව දඹුල්ල රජමහ විහාර, උයන්වත්ත රජමහා විහාරයට අනුබද්ධ ‘සීගිරි කස්සප’ පිරිවෙනෙහි ආචාර්ය වරයෙකු වශයෙන් බැඳීමට උන් වහන්සේට අවස්ථාව සැලසුනා. ඒ සම්බන්ධයෙන් රංගිරි පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ඉනාමලුවේ සුමංගල හිමියන්ටත් අනුනායක දානියගම ආනන්ද හිමියන්ටත් අපහැමගේ ගෞරවය පුද කළ යුතු වෙනවා. එදා ඒ අවස්ථාව නොලැබුනානම් මේ කාර්යයන් මෙසේ නොවන්නට ඉඩ තිබුණා. අද අපට මෙවන් රමණීය පූජා භූමියක් ගැන කතා කරන්න විදිහක් නැහැ. තරුණ වියේ සිටි අග්ගධම්ම ස්වාමින් වහන්සේ පිරිවෙනේ ඉගැන්වීමේ කටයුතුවලින් අනතුරුව පන්සලට වැඩමවා අවට පරිසරය පිළිබද ගවේශණය කරන්න පටන් ගත්තා. පන්සල ආසන්නයේම ඇති කුඩා කදුවැටිය තවත් ගම් වැසි තරුණ පිරිසක් සමග තරණය කළේ ඒ අනුවයි. ලොකු කුඩා ගල් වැටි, තණකොල, ඉලුක් හා මානා පඳුරු අතරින් ගස් වැල්වල එල්ලි කන්ද කරණය කිරීම හාමුදුරුවන්ට අලුත් අත්දැකීමක් උනා. පර්වතය මතට පැමිණි පසු එහි දසුන උන්වහන්සේ කුල්මත් කළා. ‘මේ ස්ථානය මුදුනේ බුදු පිළිමයක් නෙළිය හැකිනම්’ යන සිතුවිල්ල පහළ උනා. ඒ අනුව ඒ සිතුවිල්ල සිත්හි තබාගෙන ආපසු පන්සලට පැමිණි උන් වහන්සේ ඒ ඉඩමෙහි හිමිකාරිත්වය සොයා බැලුවා. උප දිසාපති තුමා, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් තුමා හමු උනා. ඒ අයට ඒකෙ අයිතියක් තිබුනේ නැහැ. එහෙත් මේ ඉඩම ගංගා නිම්න සංවර්ධන හා මහවැලි සංවර්ධන අමාත්‍යාශයට අයත් බව පසුව දැන ගන්නට ලැබුණා. ඒ අනුව උන් වහන්සේ අදාල නිළධාරීන් හමු උනා. මෙහි පිළිමයක් නෙලීම සදහා අවසරය ලිඛිතවම ලබා ගත්තා. ඊට අමතරව ප්‍රදේශයේ සියලුම බලධාරීන් දැණුවත් කර, ඒ අවසරයද ලබා ගත්තා. මේ ස්ථානය විවිධ අපචාරයන්ට තෝතැන්නක් වී තිබීම නිසා මේ තුලින් ඒ කටයුතු අවසන් වේයැයි බලධාරීන්ද සතුටට පත් උනා. හාමුදුරුවෝ වැඩ පටන් ගත්තේ සියලුම අවසර පත් ලබා ගැනීමෙන් පසුවයි. වැඩේ පටන් ගත්තට හාමුදුරුවන් අතේ සල්ලි නැහැ. ගැමියෝ දුප්පත්. ගමට අලුත් තරුණ භික්ෂුවක් නිසා සමහර වැඩිහිටියෝ මේ ගැන වැඩි විශ්වාසයක් තැබුවේ නැහැ. නමුත් තරුණ පිරිසක් උන් වහන්සේ සමග සිටියා. හාමුදුරුවන්ගේ අධිෂ්ඨානය බිඳ වැටුනේ නැහැ. මෙහි නිර්මාණ කටයුතු කෙරෙන්නේ කෙසේදැයි උන් වහන්සේ සැලසුම් හැදුවා. අභය මුද්‍රාවෙන් යුත් රියන් තිස්පහක් උස පිළිමයක් සැදීමයි උන් වහන්සේගේ අරමුණ උනේ. මේ සදහා නිර්මාණ ශිල්පියෙක් සොයා බැලුවා. වේයන්ගොඩ පැත්තේ නිර්මාණ ශිල්පියෙක් හමු උනා. ඔහු සමග වැඩේ පටන් ගත්තා. ගිවිසුම් අත්සන් කළා. එහෙත් අතරමගදී ඔහුට සිදුවූ හදිසි අනතුරක් නිසා වැඩ අතර මග නැවතුනා. ගෙවා තිබූ මුදල්වලට සරිලන වැඩකොටසක් කෙරී තිබුනේ නැහැ. එයාට වැඩ කරන්ටත් බැහැ. ගත්තු සල්ලි ආපහු ගෙවන්ටත් බැහැ. වියදම් වෙලා. මේ හැලහැප්පීම් මැද වැඩ අතරමග නැවතුනා. නැවත අලුත් නිර්මාණ ශිල්පියෙක් සොයා ගතයුතු උනා. ඒ අනුව කුරුණෑගල පත්මසිරි නමැති ප්‍රතිමා ශිල්පියා සම්බන්ධ කරගෙන වැඩ කටයුතු පටන් ගත්තා. හාමුදුරුවෝ මෙතැන කල එළි කරල ගන්නකොට සමහරුන්ට ඒ ඉඩම ගැන කැක්කුමක් ඇති උනා. ඒ මෙතැන වෙනත් ව්‍යාපාරික කටයුතු සදහා ඉතාම යෝග්‍යයැයි යන්න අවබෝධ වීම නිසා. මෙවැනි මනරම් දර්ශනයක් ඇති තැනකින් සල්ලි මවන්ට පුලුවන් බව ඔවුන්ට වැටහුන නිසා. ඔවුන් විටින් විට හාමුදුරුවන්ගේ කටයුත්ත නවත්තන්න විවිධ බලපෑම් වක්‍රව කළා. ඒත් කවුරුවත් එළිපිට ඒක කීවේ නැහැ. ඒත් හාමුදුරුවෝ සියල්ල නීත්‍යනුකූලව කරගෙන තිබුණු නිසා ඒ වැඩේ නැවැත්වීමට ඔවුනට හැකි උනේ නැහැ. අනෙක පිළිමෙ කටයුතු ටික ටික කෙරෙනකොට අවට අයත් ඒකෙ වටිනාකම අවබෝධ කරගෙන හාමුදුරුවන්ට උදව් කරන්න පටන් ගත්තා.

2/6

හාමුදුරුවන්ගේ වැටුපත්, දෙස් විදෙස් හිතවතුන්ගේ උපකාරයනුත් පෞද්ගලිකවම හාමුදුරුවෝ ලබා ගත්තා. ඊට අමතරව ප්‍රදේශයේ දානපතියන්, ව්‍යාපාරිකයන්, හමුවී තමන්ගේ කාර්යය පිළිබදව ඔවුන්ගේ සහයෝගයද ලබා ගත්තා. කඳු මුදුනට ගල් වැලි ගෙනයාම පහසු වූවේ නැහැ. තරුණ පිරිස් කැපවීමෙන් උදව් කළා. මුදලින් ආධාර කළ නොහැකි වුවත් දායක පිරිස් තමන්ගේ ශ්‍රමය ඒ වෙනුවෙන් ලබා දුන්නා. හැමදාම පිරිවෙනේ රාජකාරිය නිමකිරීමෙන් පසුව අපේ හාමුදුරුවන් වහන්සේත්, මහන්සි වී කටයුතු කළා. කීවාට කමක් නැහැ. මේක රහසක් විදිහට තියාගත්තත් කමක් නැහැ. අපේ හාමුදුරුවො අඳුරු වැටුනට පස්සේ සිමෙන්ති මිටි පහක් කඳු මුදුනට ඇද්දා. ඒ ටෝච් එකේ එළියෙන්. කරේ තියාගෙන. මේ නිර්මාණයේදී චිත්‍රශිල්පියා ඉල්ලන වෙලාවට මුදල් ගෙවිය යුතු උනා. උන් වහන්සේ තමන්ට ණය ලබා ගත හැකි තැන්වලින් ණය ලබා ගත්තා. ඒ මුදල්ද ප්‍රමාණවත් නැහැ. වැඩේ අතර මග නැවැත්වීමට හැකියාවක් නැහැ. මුදල් කෙසේ හෝ සොයා ගත යුතුයි. උන් වහන්සේට පරම්පරාවෙන් උරුම වූ ඉඩමක් ගමේ තිබුණා. මෙය විකිණීමට අදහස් කළා. උන් වහන්සේගේ මෑණියන් එයට එකහෙලා විරුද්ධ උනා. ඒත් හාමුදුරුවෝ ඉඩම වික්කා. මුදල් යෙදවූවේ ප්‍රතිමාවේ වැඩට. ඒක අම්මා දන්නේ නැහැ. අම්ම දන්නේ ඉඩම වික්ක එක විතරයි. අම්ම පුතා හාමුදුරුවෝ එක්ක විරසක උනා. එදා ඉදල පොඩි හාමුදුරුවොත් එක්ක කතා කළේ නැහැ. 2011 ජූලි 30 ආරම්භ කරපු පිළිමයේ වැඩ කටයුතු 2018 අප්‍රේල් 27 අවසන් කර විවෘත කළා. එතෙක් මෙතෙක් ගම්මානයේ නොකෙරුණ විදිහේ මහා පින්කමක් සංවිධානය උනා. ගම්මානය විතරක් නෙවේ දඹුල්ලත් එයින් ආලෝකමත් උනා. දඹුල්ලේ නිත්‍ය ගම් කාරයන් පවා මේ ස්ථානයේ මෙවැනි පර්වතයක් තිබෙන බව දැන ගත්තේත් මේ ප්‍රතිමා වහන්සේ සෑදිමෙන් පසුවයි. ප්‍රදේශයේ සියලුම භික්ෂූන් වහන්සේලා ඇතුලු සම්භාවණීය පිරිස් දේශපාලකයන් ව්‍යාපාරිකයන් සමාජ සේවකයන් රාජ්‍ය නිළධාරීන් එම පිංකමට ආරාධනා ලැබුවා. මෙහිදී සඳහන් නොකරම බැරි දෙයක් තියෙනවා. අපේ හාමුදුරුවන්ගේ මෑණියන් මේ උත්සවයට ආරාධනා ලැබුවා පමණක් නොවේ, කැදවාගෙනත් එනු ලැබුවා. තමන්ගේ පුතාගේ විශ්ම කර්ම කටයුත්ත අම්මා දැන ගත්තේ ඒ වෙලාවේ. තමන්ගේ පරවේණි ඉඩම් පොඩි හාමුදුරුවෝ වික්කේ කුමකටදැයි අම්මා දැන ගත්තේ ඒ වෙලාවේ. පොඩි හාමුදුරුවෝ බදාගෙන අඬන්ට තරම් හිතක් අම්මට පහළ උනා. ඒත් ඒක කරන්න බැහැ. අම්මා පුතාගේ දෙපා ආදරයෙන් සිපගෙන කදුළු වැගිරුවා. සැරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ දෙවියන් බඹුන් ආවේත් මේ විදිහට වෙන්ට ඇති. කියල අම්මට ඒ වෙලාවේ හිතුනා. මුලින් කියපු මාර්ග සලකුණු ඔස්සේ ඔබ අද පළමු වතාවට සංකස්සපුර සේනාසනයට ආවේ කියල හිතාගෙන මෙතැන ඉඳල කියවන්න. ඔබ, දැන් සංකස්සපුර සේනාසනය ප්‍රධාන පිවිසුම අසලයි ඉන්නේ. ඔබේ වාහනය ටිකක් ඉදිරියට අරගෙන හෙවනකින් නවතලා තියන්න. ජනෙල් දොරවල් වහන්න. හොර හතුරො නැහැ. ඒත් කෑම බීම සුවඳට රිළවුන් එන්න පුලුවන්නේ. වාහනය නවත්තලා වම් අත පැත්ත බලන්න. තවම වාහල්කඩක් නැති උනාට ඉහළට නගින පඩි පේළි ඔබට පෙනේවි. පාත්තරේ කරින් එල්ලාගත්, පත්කඩය අත රැඳි දෙවුර වසාගත් කුඩයක් ඉහලාගත්, ස්වාමින් වහන්සේලා ඔබ දෙසට පාගමනින් වැඩම කරනවා පෙනේවි. කලබල වෙන්න එපා. ටිකක් නැවතී බලන්න. ඒ ප්‍රතිමා වහන්සේලා. ධර්මප්‍රචාරය සදහා වැඩමවන සැටනමක්වූ ප්‍රථම මහරහතන් වහන්සේලාගේ ප්‍රතිමායි එසේ ජීවමාන ස්වරූපයෙන් නෙලා ඇත්තේ.

3/6

ඔබට නැගීමට ඇති පඩි පේලි දිගු පුළුල් ඒවා. වැඩිය උස නැහැ. පොඩි දරුවෙකුට උනත් අපහසුවක් නැතුව නගින්න පුලුවන්. පඩි පෙළ දෙපැත්තේම මහරහතන් වහන්සේලා ජනපද චාරිකාවට වැඩම කරන ආකාරයටයි සකස් කරල තියෙන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කළේ “චරථ භික්ඛවේ චාරිකං. බහුජන හිතාය, බහුජන සුඛාය....” කියලනේ. මේ ස්වාමින් වහන්සේලා තනි තනිව ඒ ඒ ප්‍රදේශයන් කරා යාමයි මෙතැනින් පෙන්වන්නේ. උන් වහන්සේලා සතුව බහු භාණ්ඩ නැහැ. ඇත්තේ පාත්තරය, චීවරය, පත්කඩය, හා කුඩය පමණයි. හරි සැහැල්ලු ජීවිතය. (ඒ කාලෙ කුඩය තිබ්බෙ නැහැ. ඒත් මේ පිළිමවල ආරක්ෂාවටත් එක්කයි කුඩය නිමවා තියෙන්නේ) උඩට ටික දුරක් නගින විට වම් අත පැත්තේ රුක් ගොමු අතර ගල්කුලක යකඩ ආවරණයකින් සැකසූ වේදිකාවක් වැනි ස්ථානයක් තිබෙනවා. එතැන මොහොතක් නවතින්න. බලන්න ඔබේ ඇගට දැනෙන සහනය. ජලාශය පිස එන සීතල සුළඟ, රුක් ගොමු අතරින් ගලාගෙන එනවිට, එයටම මී මැස්සන්ගේ ඣංකාරය මුසුවී ඇසෙන විට, කුරවි කෙවිල්ලන්ගේ ගීතස්වරය මුසුවන විට, තුරු මුදුන්වල පත්‍ර අතරින් පෙරි පෙරී එන ලා හිරු රැස් තිත් තිත් බිම අමුතුම රටාවක් මවන විට, මේ සිටින්නේ කොහේදැයි ඔබටම අමතක වේවි. ටික වේලාවක්, ඔබට කැමැති වේලාවක්, එහි සිටින්න. පිරිස වැඩි නම් අනෙක් අයටත් එම අවස්ථාව සලසා දෙන්න. එතැනින් පඩි කීපයක් ඉහළට නගිනවිට පාර දෙපැත්තට බෙදෙනවා. කොයි පැත්තෙන් ගියත් ඔබට පාර වරදින්නේ නැහැ. තිබෙන්නේ පඩි කීපයක් විතරයි. ඔවුනොවුන් එකිනෙකා පෙනෙනවා. ගල් කුළු මත නගින්න එපා. එය ඔබට වඩා කරදරයක් වන්නේ අනෙක් අයට. ඒ ආසන්නයේම වම් අත පැත්තේ ගල් කුළක් මත තිබෙන ගස දෙස බලන්න. වනයේ සටනට යන සෙබලෙකුගේ ඇඳුමට සමානව, විවිධ වර්ණයෙන් ක‍දේ ලප තිබෙනවා. එය තිබෙන්නේ ඔබේ නම් ගම් ලියන්න නොවේ. වනාන්තරයේ තිබෙන සුන්දරත්වය පෙන්වන්න. මේ හැම තැනටම ජලාශය ගස් අතරින් පෙනෙනවා. ඔබේ දකුණු අත පැත්තේ තිබෙන පර්වතය පාමුල බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. ඒ පර්වතය මත තිබෙන කුඩා ගල් කුලක් අතර සිට දේවදත්ත හිමියන් උන් වහන්සේ වෙත එම ගල පෙරලීමට වෙර දරනවා. බලන්න, කොච්චර තාත්විකද කියල. අපට මේ පෙන්වන්නේ ගිජිකුලු පව්ව ආසන්නයේ බුදු රජාණන් වහන්සේ සක්මන් කරන විට දෙව්දත් ගල් පෙරලූ අයුරු. අමුතු නිර්මාණ නැහැ. ස්වභාවිකව පිහිටි ගල් අතර, ප්‍රතිමා නෙලීම පමණයි කර ඇත්තේ. මුලින් සදහන් කළ පඩි දෙපේලිය හමුවන ස්ථානයේ පර්වතයක් මත සිට යක්ෂයෙක්ගේ මුවට පනින මිනිස් රුවක් නෙලා තිබෙනවා. ඒ දහම්සොඩ රජතුමා ධර්මය ඇසීමේ පිපාසාවෙන් යක්ෂයෙකුගේ වෙස් ගත්, සක් දෙවිඳුගේ මුවට පනින ආකාරය. ඔබට එතැනින් ඉහළට නැගිවිට මහා ප්‍රතිමා වහන්සේ දකින්න පුලුවන්. එහි උස රියන් 35 ක්. අභය මුද්‍රාව. සතරවරම් දෙවි මහරජවරු බුදු රජාණන් වහන්සේට නමස්කාර කරන ආකාරය සතර පසින් නෙලා තිබෙනවා. ඉදිරියෙන් සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා උන් වහන්සේට දොහොත් මුදුන් දීල වන්දනා කරන ආකාරය නෙලා තිබෙනවා. මේ ප්‍රතිමාව නෙලා තිබෙන්නේ නයි පෙන හතක් ඇතුලේ. ඒකට හේතු දෙකක් තිබෙනවා. එකක් තමයි, බුදුරජාණන් වහන්සේ අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කර ගැනීම. (මේ මුචලින්ද නාගයා නෙවේ) අනෙක් කාරණය තමයි, මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සංකේතය විදිහට යොදා ගත්තේ නයිපෙණ සතක් ඇති නාගරූපයක් වීම. ඈත අතීතයේ සිටම නාගරූපය ජලයට සම්බන්ද කර දැක්වීමට කලාකරුවන් පුරුදු වී තිබෙනවා. ඔබට ප්‍රතිමාව වටේට ඇවිදගෙන යාමට පුලුවන්. ප්‍රතිමාවට දකුණු අත පැත්තේ වෙනමම ඉදිවීතිබෙන්නේ සීවලී මහරහතන් වහන්සේගේ ප්‍රතිමාව. සීවලී ප්‍රතිමාවටත්, බුද්ධ ප්‍රතිමාවටත්, අතර මැද කොටසෙහි ඇතෙකුගේ රූපයක් නෙලා තිබෙනවා. එය මේ ස්ථානයට ගෙන දෙන්නේ ස්වභාවික බවක්. එය ජීවමාන ඇතෙකුගේ ප්‍රමාණයට නිමවී තිබෙනවා.

4/6

මේ මහ ප්‍රතිමාවේ දෑස් යොමු වෙලා තියෙන්නේ ජලාශය දෙසට. ‘කෙත් වතු සාරවේවා. සත් සිත් නිවේවා.’ කියල උන් වහන්සේගේ නේත්‍රා ස්පර්ශයෙන් ආසිරි ගන්වලයි ජලධාරාව රජරටට මුදා හරින්නේ. බුද්ධ ප්‍රතිමාවටත් සීවලී පුතිමාවටත් ඉදිරියෙන්, වැව ඉහත්තාවෙහි චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිවී තිබෙනවා. පාදමේ සිට කොන්ක්‍රීට් බීම් යොදා එසවීමෙන් පසුවයි එය නිමවා තිබෙන්නේ. එහි යට කොටස ධර්ම ශාලාවක් වශයෙන්තු කොටසක් දාන ශාලාවක් වශයෙනුත්, භික්ෂූන් වහන්සේලාට වැඩ සිටිය හැකි නේවාසික කාමර ලෙස තවත් කොටසකුත් නිර්මාණය කර තිබෙනවා. දාගැබ අභ්‍යන්තරය හිස්ව තබා ඇත්තේ චිත්‍ර නිර්මාණය කිරීමේ අදහසින් මේ වනවිට එහි චිත්‍ර ඇදෙමින් පවතිනවා. ඒ චිත්‍ර ශිල්පී සිසිර අලහකෝන් ශිල්පියා විසින් එහි සුවිශේෂිත්වය වන්නේ මුදල් අයකිරීමකින් තොරව එම කාර්යය කර දීමයි. ඉහත කී චෛත්‍ය කර්මාන්තයෙහි සම්පූර්ණ බරපැන දරා ඇත්තේ එක් අයෙකු විසින් ඒ දඹුල්ලේ පෙරේරා ස්ටෝර්ස් අධිපති, සුප්‍රසිද්ධ වෙළද වියාපාරිකයෙකු හා දානපතියෙකු වන ඩී. ඩබ්ලිව් .එප් පෙරේරා මැති තුමා. මුලින් මේ කාර්යය සදහා මිලියන දහයක් වියදම් වෙතැයි ඇස්තමේන්තු කළත්, පසුගිය කාලයේ රටේ ඇතිවූ උද්ධමනයත් සමග එහි වියදම මිලියන විස්ස දක්වා ඉහළ ගියා. එහෙත් එතුමා ඒ වියදම් සියල්ල තනිව දැරුවා. දැන් එය මහජනතාවගේ වන්දනාවට අවස්ථාව සලසා දී තිබෙනවා. දඹුල්ලට පැමිණෙන ඔබ මේ සංකස්සපුර සේනාසන භූමියට නොපැමිණ යන්නේ නම් ඒ ඔබේ අවාසනාවක්. ඉදිරියේදී ඔබ දඹුල්ල ප්‍රදේශයේ කරන සංචාරයන්හිදී මේ සදහා පැයක හමාරක කාලයක් වෙන්කර ගන්න. ඔබ එතැන සිටම අවට නිරීක්ෂණය කරන්න. ඉදිරියෙන් පෙනෙන්නේ ඉබ්බන්කටුව ජලාශය. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එච් කලාපයට ජලය මුදා හරින්නේ එතැන් සිට. ඔය ජලාශය මැද තිබෙන්නේ ‘සතුටු දූපත.’ දඹුලු ලෙන් විහාරය ඉදිරියෙන් පෙනෙනවා. රිටිගල කඳු වැටිය, දහයියා කන්ද, කලුදිය පොකුණ කුඹුක්කඳන්වල කඳු වැටිය, ඇරෑවුල කොත්ගල කඳු වැටිය, තිත්තවැල්ගොල්ල කඳුවැටිය, ඈත නකල්ස් කඳු වැටිය, සිරිදේවි කන්ද හෙවත් මැණික්දෙණ කඳුවැටිය, ඈත නාවුල අරහන්ත පබ්බතය, ආදී කඳුවැටි එතැනට දර්ශනය වෙනවා. වලාකුල් බැම්ම ආසන්නයෙන් බුද්ධ ප්‍රතිමාවට ඉදිරියෙන් තවත් අසිරිමත් නිර්මාණයක් තිබෙනවා. එයත් බලන්න. ස්වභාවිකව ගල උඩ පිහිටි බෝධියක් වටා පාත්‍රයක් නිර්මාණය කර, එය රන්වන් පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. ඒ ස්ථානයට ඇතුල් වන්න. ප්‍රතිමා වහන්සේත් මැනවින් දර්ශනය වෙනවා. පහළින් ජලාශය. ඉහළින් බෝ වියන. ඔබ දෙස මහා කරුණාව පතුරන බුද්ධ ප්‍රතිමාව. ඔබ කෙතරම් භාග්‍ය වන්තද.? ඉහළ ප්‍රතිමාව අසල පහලින් සිරිපා සටහනක් නිර්මාණය කිරීම සදහා සලකුණු කරල තිබෙනවා. තව ටික කලක් යනවිට එය නිමවේවි. එපමණක් නොවෙයි, එම ස්ථානයෙහි නව නිර්්මාණයක් කිරීමේ වැඩ කටයුතුත් ආරම්භ කර තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කිරිමේ කතා පුවත පුකාශකෙරෙන දේවාරෝහණ කතා පුවත ඉදිරිපත් කිරීම. එහිත් වැඩිම බරපැන දරන්නේ චෛත්‍යයේ බරපැන දැරූ පෙරේරා මැති තුමාමයි. එතෙක් එතැනට නොයාම හොඳයි. ආරක්ෂාව අඩුයිනේ. මීට අමතරව බොහෝ දේවල් මේ ස්ථානයේ මැවේවි. ඒ මොනවාදැයි දැන්ම කිව නොහැකියි. එසේ වුවත් ඔබේ ශ්‍රද්ධාව වඩවන, පරිසරයට හානියක් නොවන, නිර්මාණ බවනම් ස්ථීරවම කිව හැකියි. මෙතැනදීම තවත් කාරණයක් මතක් කළ යුතු වෙනවා. තවම ඉදිකිරීම්වල නිමාවක් මෙහි නැහැ. පැමිණෙන වන්දනාකරුවන්, සංචාරකයන්, මේවා ආරක්ෂා කර ගැනිමට දායකත්වය ලබා දිය යුතු වෙනවා. එම නිර්මාණයන්ට හානියක් නොකළ යුතු වෙනවා. මතක සටහන් ලෙස ගන්නා ඡායාරූප අශෝභන ආකාරයෙන් නොගත යුතු වෙනවා. මුරකාවල්, ආරක්ෂිත කැමරා, තවම නැහැ. ඔබම ආරක්ෂකයාත්, ආරක්ෂිත කැමරාවත් විය යුතු වෙනවා.

5/6

මේ ලිපිය අවසන් කරන්න ඉස්සරවෙලා තවත් කාරණයක් මතක් කරන්න ඕන. විහාරාධිපති, පණ්ඩිත, අග්බෝවේ අග්ගධම්ම හිමියන්ගේ මෑණියන් අභාවයට පත්වී දැනට වසර කීපයක් වෙනවා. උන් වහන්සේ වැනි බුදු පුතෙක් අපට දායාද කළ ඒ පිංවත් මෑණියන්ට අප පිං දිය යුතු වෙනවා. ඒ වගේම මේ කාර්යය ආරම්භයේදි සිටි සමහරු අද අප අතර නැහැ. ඒ අයටත්, මේ සංවර්ධන කාර්යයේදී විවිධ ප්‍රමාණවලින් මූල්‍යමය වශයෙන් හා ද්‍රව්‍යමය වශයෙන් ආධාර උපකාර කළ හැම දෙනාමත් මතක් කළ යුතු වෙනවා. ඔබ ඉතිහාස ගතවන මිනිස්සු. ඒ නිසා තවදුරටත් හාමුදුරුවෝ සමගම ඉන්න. එන්න. මේ අසිරිය විඳගන්න. වෙනත් තැනෙක මේ අසිරිය විඳ ගත නොහැකියි. මා කීවාට නොපිලිගන්න. අත් දැකීමෙන්ම විඳගන්න

6/6

- ආනන්ද මාරසිංහ -