ලොකු අත්ත නැතිවෙලා දැනට අවුරුදු පහළොවක් වෙනවා. හැම අවුරුද්දෙම අම්මා ඒ දිනේට දානයක් දෙන්නේ අටපිරිකරත් සහිතව. ගෙදරට වඩම්මන්න බැරි උනොත් පන්සලට හරි අරන් ගිහින්, අටපිරිකරකුත් පූජා කරල දානෙ දෙන එක සිරිතක්. ඒකට අම්මගෙ පැන්ෂන් එකේ සල්ලි වියදම් කරනවා. ඒ පිංකමේදී තමයි අනෙක් අයටත් පිං දෙන්නේ. ඒත් අටපිරිකරේට නම් ගෙදර අනෙක් අයගෙනුත් සම්මාදන් කර ගන්නවා. පිනට හැමෝම සම්මාදන් වෙන්ට ඕන කියලයි අම්මා කියන්නේ. අම්මට ඕන දෙයක් කර ගත්තුදෙන් කියල අනෙක් අය සල්ලි දුන්නට පොඩි මල්ලි හැමදාම කීයක් හරි දෙන්නේ මොනව හරි කියල. “ලොකු අත්තගෙ අනෙක් දරුවන්ට නැති කැක්කුමක් අම්මට විතරක් මොකද දානෙ දෙන්ට.” මල්ලී ඇහුවා. “මම ඉගෙන ගත්තෙ ලොකු අත්ත හින්ද. මට රස්සාව හම්බ උනේ ලොකු අත්ත හින්ද. මාසෙකට පඩියක් අතට ගත්තෙ ලොකු අත්ත හින්ද. ගෙවල් දොරවල් හැදුවෙ ලොකු අත්ත හන්ද. මං වැඩ ඇරිල එනකන් උඹල බලාගත්තෙ, ඉස්කෝලෙ එක්ක ගියේ ලොකු අත්ත හන්ද. කවුරු නොකලත් මං මේ දානෙ දෙන්නේ ඒ කෙළෙහි ගුණේ සලකලා.” “දැන් අම්ම අටපිරිකර කීයක් විතර පූජා කරල තියෙනවද?” මේ පාළොස්වෙනි අවුරුද්ද. හත් දවස, තුන්මාසෙත් එක්ක දාහතක්.” “ඇයි ඉතිං හැමදාම අටපිරිකරකුත් පූජා කරන්නේ.” “හාමුදුරුවන්ගේ සලකුණ තමයි සිවුර. මේකේ තියෙන්නේ හාමුදුරුවරුන්ට ඕන කරන සිවුරු පිරිකර. වෙන මොනව නැති උනත් හාමුදුරුවරුන්ට මේ ටික තියෙනවා නම් පිණ්ඩපාතෙ කරල හරි බණ භාවනා කරල සසරින් එතෙර වෙන්න පුලුවන්. අනෙක් අයට බණ දහම් කියල දෙන්න පුලුවන්. ඒ පින් අපිටත් හම්බවෙනවා.” “වෙන?” “උපනුපන් ආත්මවල නිදුක් නිරෝගීව ඉන්න පුලුවන්. බණේ තියෙන විදිහට ගැහැනියකුට මහළිය පළඳනාව වගේ දේවලුත්, පිරිමියෙකුට ඒහි භික්ෂු භාවයත්, ලැබෙන්න පුලුවන්. බුදු කෙනෙක්ගෙන් බණ අහල සසරින් ගොඩ යන්න පුලුවන් කියලයි කියන්නේ.” “ඉතිං අම්ම දැන් පිරිකර දහ අටක් පූජා කළානම් මහලිය පළඳනා දහඅටක් ලැබේවිනේ. බුදුවරු දහ අට දෙනෙක් ගෙන් බණ අහන්ටත් පුලුවන් වේවිනේ.” මල්ලි උපහාසයෙන් කීවා. “පොඩි එකෝ. උඹත් මේකට සම්මාදන් කර ගන්න ඕන නිසයි උඹටත් කිව්වේ. උඹ අකමැතිනම් ඔය පණ්ඩිත කතා නොකියා සල්ලි නොදී හිටපන්. උඹ නුදුන්නා කියල මම මේක නවත්තන්නේ නැහැ. දානෙකට මානෙකට දෙනවනම් හිත හොඳින් දීපල්ලා. බැරිනම් එක එක දේවල් නොකියා නිකා හිටපල්ලා.” අම්මා අමනාපයෙන් එතැනින් ඉවත් උනා..

1/1

- ආනන්ද මාරසිංහ -