“ලොකු අත්තේ, මාව ඉස්කෝලෙ ගාවට දාල එනවද” රුවිනි දුව ඇවිත් ඇසුවාය. “ඇයි පුතේ අද ස්කූල් බස් එක නැද්ද?” “නැහැ ලොකු අත්තේ. බස් එක තියෙනවා. ඒත් අද පන්තිය අතුගාන්න තියෙන්නේ අපිට. ස්කූල් බස් එකේ ගියොත්, ඒ වැඩේ කරන්න බැරිවෙනවා.” මම කමිසයක් දාගෙන ඇයව බයිසිකලයේ තබාගෙන පාසලට ගියෙමි. සැතපුම් භාගයක් පමණ ගියවිට රුවිනි දුව කෑ ගෑවාය. “ලොකු අත්තේ, නවත්තන්න.. නවත්තන්න..” “ඇයි දූ?” මම එක්වරම බයිසිකලය නවතා ගෙන පසු පස බැලීමි. “ඇයි දූ? “අනේ මේ බලන්නකෝ ලොකු අත්තේ.”ඇය ගවුම පෙන්නුවාය. ඇයගේ ගවුම බතික් කළාක් මෙන් රතුපාටය. බස් එකේ ගිය කෙනෙක් ගැසූ බුලත් කෙළ පාරක් සම්පූර්ණයෙන්ම ඇය නහවා ඇත. මමද බැලීමි. මගේ කමිසයටද ටිකක් ඉසී ඇත. බස් එක පිම්මේ ගිහින්ය. “අනේ ලොකු අත්තේ..” ඇය අඩන්නට වූවාය. වටේ සිටි අයත් කිට්ටු විය. “අසමජ්ජාති මිනිස්සු. මේ දරුවගේ ඇඟ පුරාම බුලත් කෙළ. මිනිස්සු නැති හරියක කෙළ ගහන්න බැරිද? දැන් කොහොමද මේ ළමයා ඉස්කෝලේ යන්නේ. අනික් අයට කරදරයක් නැති විදිහට කෙළ ගහන්න එපාය. එහෙම බැරිනම් බුලත් නොකා ඉන්න ඕන.”ඒ අසලට පැමිණි කාන්තාවක් බසයේ පැමිණි අයට දෙස් තීවාය. “ඒක ඇත්ත. දැන් ආපහු යනවා හැර කරන්න දෙයක් නැහැ.” මම බයිසිකලය හරවා ගත්තෙමි. රුවිනි දුවද හඩමින් බයිසිකලයට නැගුනාය. “පස්සෙන් පන්නගෙන ගිහින් මිනිහ අල්ලල දෙකක් අනින්න තියෙන්නේ.” තවකෙක් කීවේය. මම ආපසු ගෙදර ගියෙමි. ගෙදර ගියවිට හැමෝම කලබල වූහ. මම කාරණය කීමි. රුවිනි දුව ඇඳුම ගලවා දමා ඇඟ සෝදා ගත්තාය. හෙල්මටය නිසා හිස බේරී තිබුණි.

1/2

අලුත් ගවුමක් ඇඳන් ආ දියණියගේ පෙරැත්තය නිසාම මටද අලුත් ඇඳුමක් ලා නැවත පාසලට යාමට සිදුවිය. පාසැලට යන විට එය පටන් ගැනීමට සීනුව නාද කර තිබුණි.ගේට්ටුවේ මුරකරුට දන්වා දැරියද සමග මම පන්තියට ගියෙමි. කාරණය කියා දැරිය පන්තියට භාර දුන්නෙමි. “ළමයි, ඇහුන නේද රුවිනිට වෙලා තියෙන දේ. ඔය ගොල්ලෝ ගෙදර ගිහින්, ඔය ගොල්ලන්ගෙ වැඩිහිටි අයත් විට කනව නම්, මේ වගේ දේවල් කරන්න එපා කියල කියන්න ඕන. තේරුණාද.” “ඔව් ටීච..” “අපි මේක ප්‍රින්සිපල්ටත් කියමු. එතකොට ප්‍රින්සිපල් හැම දෙමාපියන්ම දැණුවත් කරාවි. එහෙම හොඳයි නේද.” ටීච ඇසුවාය. හොඳයි ටීච. ළමෝ එකවර කීහ

2/2

- ආනන්ද මාරසිංහ -