සමහර සිදුවීම් උපේක්ෂාවෙන් දරාගන්න හැමෝටම පුලුවන් කමක් නැහැ. අද මම කියන්ට යන්නේ එවැනි දරාගැනීමේ ශක්තියකින් යුක්තව සිටි කාන්තාවක් ගැන. ඇය තමයි බන්දුල මල්ලිකා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරපු කාලේ ජීවත්වෙච්චි මල්ලිකාවන් දෙදෙනෙක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. එක්කෙනෙක් තමයි කොසොල් රජතුමාගේ බිසව වන ‘කෝසල මල්ලිකා.’ අනෙක් එක්කෙනා තමයි බන්ධුල සේනාපතිතුමාගේ බිරිඳවන ‘බන්ධුල මල්ලිකා.’ මේ දෙන්නා අඳුනා ගැනීමේ පහසුවට තමයි ඒ විදිහට භාවිතා වෙලා තියෙන්නේ.. අපි අද කතා කරන බන්ධුල මල්ලිකා, මල්ල රජ පවුලට සම්බන්ධ කෙනෙක්. තරුණ වයසට පත් උනාට පස්සේ ඇය බන්ධුල සේනාපති සමග හිත මිත්‍රකමක් ඇති කර ගත්තා. දෙදෙනා අතර ඥාති සම්බන්ධතාවයකුත් තිබුණා. ගැලපීමකුත් තිබුණා. මල්ලිකා රූමත්. බන්ධුලත් ආරෝහ පරිනාහයෙන් යුත්, දක්ෂතම යෝධයෙක්. කඩුශිල්ප දුනු ශිල්පයන්හී එයාව දෙවැනි කරන්න කාටවත් පුලුවන් උනේ නැහැ. ඒ දක්ෂකම නිසයි එයාට සෙන්පති තනතුරක් ලැබුනේ. මල්ලිකාගේ පියා මුලදි දෙන්නගෙ ඒ සම්බන්ධය ගැන එතරම් මනාපයක් තිබුනේ නැහැ. ඒත් පස්සෙ ඒ අමනාපය තුරන් කර ගත්තා. බන්දුල සේනාපතිටම ඇය විවාහ කර දීමට ඇගේ පියාත් එකඟ උනා. එහෙම තීරණය කරල බන්ධුල සෙනවියාගේ හපන්කම් උරගා බලන්නත් තීන්දු කළා. ඒකට උත්සවයක් සූදානම් කළා. බන්ධුල කියන්නේ යුධ ශිල්පයෙහි නිපුණයෙක්. පඤ්චායුධයම එකසේ හසුරුවන්ට පුලුවන් දක්ෂයෙක්. එයත් එක්ක ඉගෙන ගත්තු තවත් ප්‍රබල අය දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් මල්ල රජවරුන්ගේ උපදේශක විදිහට කටයුතු කළා. අනෙක් එක්කෙනා තමයි පසේනදී කොසොල් රජතුමා. මේ තුන් දෙනාම සැබෑ දක්ෂයෝ උනාට ඒ අය අතරිනුත් බන්ධුල සේනාපති තමයි මුල් තැනට එන්නේ. “බන්ධුල මම මගේ දුව ඔබට විවාහ කර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට පෙර ඔබේ දක්ෂතාවයන් කාටත් ප්‍රදර්ශනය කිරීම සදහා කෙටි උත්සවයක් සංවිධානය කරනවා. එහිදී මා සකස්කර දෙනු ලබන උණ පඳුර ඔබ කඩුවෙන් කපා දැමිය යුතුයි.” දවසක් මල්ලිකාගේ පියා කීවා. “මම සුදානම් රජතුමනි. උණ පඳුර පුරුකෙන් පුරුක මම පෙති ගසන්නම්. මම මල්ලිකා මගේම කර ගන්නවා.” “ඒක ඔබේ දක්ෂතාවය මත තීරණය වන්නක් බන්ධුල.” ඒ අනුව විශාල පිරිසක් ඉදිරියේ මේ හපන්කම් පෙන්නීමට දිනයක්, වෙලාවක්, යොදා ගත්තා. එහෙත් රජතුමා හොර රහසේම මේ උණ ගස් අතරට විශේෂ උණ ගසකුත් ඇතුල් කළා. ඒ උණ ගසේ මැද පුරුක් අතරින් දිගු යකඩයක් ඇතුල් කරා. කිසිවෙකුට එය කීවේ නැහැ. බන්ධුල සේනාපති නියමිත දවසේ නියමිත වෙලාවට එහි පැමිණියා. රජු නීති රීති කීවා. බන්ධුල එකඟ උනා. ඒ අනුව තමන්ගේ හපන්කම් පෙන්නමින් උණ ගස් සියල්ලම පුරුකෙන් පුරුක කපා දැමුනා. උණ පුරුක් කැපුණු පසුව බන්ධුලට අමුත්තක් දැනුනා. එහි සද්දෙ වෙනස්. ටිකක් බලපුවහම තේරුනා, ඒ අතරට අලවංගුවක් ඇතුල් කර තිබුණු බව. එහෙත් උණ ගස සමග අලවංගුවත් පෙති ගැසී තිබුනා. කුමක් හෝ රහසිගත මෙහෙයුමක් දියත් වී ඇති බව බන්ධුලට තේරුණා. සමහරවිට මට දියණිය නොදීමේ අදහසක් හෝ, මා පිරිස මධ්‍යයේ අපහසුතාවයට ලක් කිරීමට උවමනාවක් මොහුට තිබෙන්නට ඇති. බන්ධුල හිතුවා. “මේ කුමක්ද දේවයන් වහන්ස සිදුවී තිබෙන්නේ?.” ඔහු ඍජුවම ප්‍රශ්න කළා. “මා ඔබේ ශක්තිය පරික්ෂා කිරීමටයි එසේ කළේ .” රජතුමා කීවා. “එය එසේ නොකළ යුතුව තිබුනා දේවයන් වහන්ස. කළත් මට දන්වන්න තිබුනා. යම් හෙයකින් මා මෙසේ පෙති නොගැසුවා නම්, මේ සා විශාල පිරිසක් මධ්‍යයේ මා අවමානයට ලක්වීමට ඉඩ තිබුනා. මා මේ පිළිබඳව
1/11
ඔබ වහන්සේට අප්‍රසාදය පළ කරනවා. එපමණක් නොවේ, ඔබ වහන්සේ කැමැති උනත්, අකැමැති වුවත්, මේ මල්ලිකාවන් මා අදම රැගෙන යනවා.” කියා මල්ලිකාගේ අතින් අල්ලාගෙන එතැනින් පිටත්වී ගියා. බන්ධුල සේනාපතිගේ ස්වරූපය දත් කිසිවෙකු ඔහුට එරෙහිව ඉදිරියට ආවේ නැහැ. රජතුමා තමන්ට කළ අවමානයට බන්ධුල හොඳටම කෝප වෙලයි හිටියේ. රජතුමාට එසේ දොස් කියා මල්ලිකාවත් රැගෙන මාළිගාවෙන් පිටත් උනත්, රජුට එරෙහිව කටයුතු කළ නිසා, තමන්ගේ නිවසේ වාසය කිරීමටත් බැහැ. ඒ නිසා ඔහු මල්ලිකාවත් අරගෙන රටින් පිටත්වෙලා ගියා. තමන්ගේ දියණිය ඔහු භාරයේ ඇති නිසා රජු බලය පාවිච්චි කරන්න ගියේත් නැහැ. රටින් පිටත් වූ බන්ධුල, තමන්ට හොඳම ආරක්ෂකයා හා හිතවතා ලෙස තෝරාගත්තේ පසේනදී කෝසල රජ තුමා. ඔහු එතැනට ගියා. “ස්වාගතම් බන්ධුල.” තම මිත්‍රයා හොඳුනාගත් පසේනදී කෝසල රජතුමා කීවා. “දේවාශිර්වාද ලැබේවා රජතුමනි. බොහෝ කාලයක් යෙහෙන් දිනේවා.” දෙදෙනා ආගිය තොරතුරු කතා කළා. බන්දුල සිය මාමණ්ඩිය තමන් අවතක්සේරු කළ හැටිත් ඊට තමන් දැක්වූ ප්‍රතික්‍රියාව ගැනත් සියලු තොරතුරු කීවා. “එවන් සිදුවීමකට මා මුහුණ දුන්නේ නම් මා කරන්නේත් ඔබ කළ දේමයි. ඔබ නිවැරදියි බන්ධුල. මා ඔබව හොඳින් හදුනමි. ඔබේ දක්ෂතාවයද හොඳින් හදුනමි. දිසාපාමොක් ඉදිරියේදී අප අවි සරඹ පුහුණු වු සැටිත්, අප කරට කර සටන් කර, ජය පරාජයන් ලැබූ සැටිත්, මට අමතක නැත. ඔබ මෙහි රැදෙන්න. මම ඔබට සේනාපති තනතුර දෙමි. සියලු පහසුකම්ද සලසමි.” “සේනාපති තනතුර නොව ඕනෑම තනතුරක් ලැබෙනවානම්, තනතුරට අදාල සියලු කටයුතු පැවරෙන ආකාරයෙන් සිදු කරන අතරම, දිවි හිමියෙන්, විශ්වාස වන්තව ඔබ තුමාටත් රටටත් සේවය කරමි.” රජතුමා බන්ධුලට අවශ්‍ය සියලුම පහසුකම් හා තනතුරු ප්‍රදානය, අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ කරනු ලැබුවා බන්ධුල නව තනතුරට පත්කර ගැනීමෙන් පසුව පසේනදී කොසොල් රජතුමාට ලොකු සැහැල්ලුවක් දැනුනා. තම මිත්‍රයාගේ හැකියාව ඔහු හොඳින්ම හඳුනාගෙන සිටීම එයට හේතුවයි. තමනට රිසිසේ හමුදාවේ වෙනස්කම් රජුගේ අනුමැතිය ඇතිව කර ගන්නට බන්ධුල සේනාපතිතුමා සමත් උනා. බන්දුල සේනාපති වීමෙන් පසුව කෝසල ජනපදයට කිසිදු බාහිර බලවේගයක් අතපෙව්වේ නැහැ. එයට හේතු වූයේ බන්දුල සේනාපති තුමන්ගේ සුරු විරුකම් පිළබදව හැම දෙනාම හොද අවබෝධයකින් සිටි නිසා. බන්දුල සේනාපතිතුමා, රජතුමාගේත් හමුදාවේත් සිත දිනාගෙන තමන්ගේ රාජකාරිය ඉතා හොඳින් කරගෙන ගියා. එසේ වුවත් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ යම් දුක් මුසු සිදුවීමක් වෙමින් තිබුණා. දෙදෙනා විවාහ වී දෙවසරකට ආසන්න කාලයක් ගතවී තිබුණත්, දරු සුරතල් පිළිබඳ ඡායාමාත්‍රයක්වත් නොලැබීම එයට හේතුවයි. දෙමහල්ලන් අතර මේ ගැන සිත් රිදීම් ඇතිවී තිබුණා. “අප තවම විවාහ වී දෙවසරක් වත් ගතවී නැහැ ස්වාමීනි. අප ඉවසීමෙන් සිටිමු.” මල්ලිකා කීවා. මල්ලිකා එසේ කීවත්, බන්දුලගේ සිතේ තිබුනේ වෙනත් දෙයක් ඔහු එය මල්ලිකාට කීවා. “වසර දෙකකුත් ගතවී තිබියදී දරුවෙකු පිළිබඳ සලකුණක් නැතිකමින්, ඔබට දරුවෙකු ලබා දිය නොහැකි බවයි පෙනෙන්නේ. මට දරුවෙකු ලබා දිය නොහැකිනම් ඔබ මගෙ මන්දිරයෙන් පිටත් වී නැවත ඔබේ මව් පියන් වෙත යා යුතුයි.”බන්දුලගේ තීරණය මල්ලිකාට කීවා. “එසේ නොකියන්න ස්වාමීනි, යසෝදරාවට දරුවෙක් ලැබුනේ විවාහයෙන් වසර දහතුනකට පස්සෙනේ.” බන්ධුල සෙනවි එබසට කිසිවක් නොකීවේය. තමන් ඔහු සමග පැමිණියේ ආපසු යාමට නොවන බව ඇය තමන්ටම කියා ගත්තාය. දරුවෙක් නැති ජීවිතය අංග සම්පූර්ණ නැහැනේ. මේක මගේ පූර්ව කර්මයක් වෙන්ට ඇති. ඒත් මම කොහොමද ඔහු සමග තර්ක
2/11
කරන්නේ. අනෙක බන්දුල වගේ ඉක්මනින් කෝපවන පුද්ගලයෙකු සමඟ. ඒත් ඔහු සේනාපති හමුදාවට මිස මගේ නිවසට නොවේ. නිවසේදී ඔහු මගේ සැමියා. අප දෙදෙනාට කතා කළ නොහැකි දෙයක් නැහැ. මම ආයෙත් ඔහු සමග කතා කරන්න ඕනෑ. ඇය තීරණයකට ආවාය. “ස්වාමීනි, ඔබතුමාගේ තීරණය ගැන තව දුරටත් සිතා බලනු මැනවි.” “ඔව් මල්ලිකා. මම ඔබ මෙහි රැගෙන ආයේ ආපසු යැවීමට නොවේ. ඔබ මගේ ආදරය දිනාගත් නිසාමයි. අලුත් ලෝකයක් තනා ගැනිමේ අපේක්ෂාවෙන්. ඒ වගේම විවාහයට පත් උනාට පස්සේ අපේ කුල පරම්පරාව ඉදිරියට පවත්වාගෙන යාම ගැන හිතන්ට ඕන. ඒ සඳහා දරුවෙක් ඉන්න ඕන. වසර දෙකකට ආසන්න කාලයක් ගියත් දරුවකු පිළිබඳව සලකුණක් නොමැතිවීම සිත් රිදීමක් නොවන්නේද මල්ලිකා.” “ඔව් ස්වාමීනි. හැම කාන්තාවක්ම බලාපොරොත්තු වෙන්නේ අම්මා කෙනෙක් වන්න. මගේ අපේක්ෂාවත් එයමයි. දරුවෙක් නොලැබීම ගැන මා විඳින වේදනාව අනල්පයි ස්වාමීනි. අපි තව ටිකක් බලමු.” “ඒත් මල්ලිකා දරුවෙක් නැති ජීවිතය කෙතරම් නම් වියලිද? ශුෂ්කද?. මම ඔබට තව මාස කීපයක් දෙන්නම්. අපේ හිතවත්කම්, නෑදෑකම්, බැඳීම්, රැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට දෙවියන්ගේ ආශීර්වාදය මම පතනවා.” ‘ඔබ මට පමණක් පවසන්නේ, ඔබ ඔබ ගැන නොසිතන්නේ, කුමක් නිසාදැයි විමසීමට ඇයට සිතේ. එහෙත් පිරිමි සැම විටම සිතන්නේ ගැහැණියගේ වඳ භාවය ගැන පමණයි. මෙය නිවැරදි කරලීමටවත්, තේරුම් ගැනීමටවත්, පුරුෂ පාර්ශ්වය පමණක් නොව ස්ත්‍රී පාර්ශ්වයේ සමහරුත්, කැමැති නැහැ.’මල්ලිකා ශෝකයෙන් සිතුවාය. ‘මම මේ පිළිබඳව දැණුම් තේරුම් ඇති මැදිහත් කෙනෙකු සමග කතා කරන්න ඕන.’ මල්ලිකා නැවත සිතුවාය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ජීවත්වන ඇයට බොහෝ දේ දරා ගැනීමට හැකිවී තිබේ. එසේ වුවත් තම ස්වාමියාගේ ශෝකී මුහුණ දෙස බලන විට ඇයගෙන් ඒ දරා ගැනීමේ ශක්තියද ගිලිහී යයි. කමක් නැහැ. මම බුදු හාමුදුරුවොත් එක්ක මේ ගැන කතා කරනවා. උන්වහන්සේ ත්‍රිවේදයේ පාරප්‍රාප්ත කෙනෙක්. ඒ වාගේම වේද වේදාංගයන් පිළිබඳවත් නිපුණයෙක්. වෛද්‍ය විද්‍යාත්මකව හෝ කර්මානුකූලව යම් අඩු පාඩුවක් තිබේනම් උන් වහන්සේ පවසාවි. ඇය අවසන තීරණයකට ආවේ බුදුන් හමුවී මේ ගැන කතා කිරීමටය. උන් වහන්සේ සමග පවුල් ජීවිතය පිළිබඳව කතා නොකළ හැක්කක් නොවේ. එහිදී ලබා දෙන පිළිතුරු මැදිහත් බවෙන් යුතුය. සකරුණුව, සකාරුණිකවයි උන් වහන්සේ යමක් පවසන්නේ. මෙතෙක් තමන් උදේ සවස බුදුරජාණන් වහන්සේ හමුවට ගියේ උපාසිකාවක් ලෙස, උන් වහන්සේගෙන් ධර්මාණුකූල අවවාද අනුසාසනා ලබා ගැනීමටය. එහෙත් අද යාමට තැත් දරන්නේ තමන්ගේ පෞද්ගලික ගැටලුවකට විසඳුමක් සොයා ගැනීමටය. ඇය තම සේවිකාවකට කතා කළාය. විහාරස්ථානය වෙත යාම සදහා මල් පහන් දැහැත්, හා ගිලන්පස සූදානම් කරන ලෙස කීවාය. බන්ධුල සෙනවි තුමා රාජ්‍ය සේවය සඳහා යාමට සූදානමින් සිටී. “ස්වාමීනි, මම අද බුදුරජාණන් වහන්සේ හමුවට යනවා. මම එහිදී අපේ දරු ප්‍රශ්නය ගැනත් උන් වහන්සේ සමග කතා කරනවා.” “අපේ පවුලේ ගැටලුවලට උන් වහන්සේ සම්බන්ධ කරගන්න එපා. ඔබට දරුවන් නැතිවීම ගැන උන් වහන්සේ කුමක් කරන්නද?.” “එහෙම කියන්ට එපා. උන් වහන්සේ සංසාර දුකට මෙන්ම කායික මානසික රෝගවලටත් යම් යම් ප්‍රතිකාර කරනු ලබනවා.” “ඔබේ කැමැත්තක් කර ගන්න. දියෙහි ගිලෙන තැනත්තා පිදුරු ගහෙත් එල්ලෙනවා කියනවානේ. ප්‍රවේශමෙන් සේවකයෙක් සමග යන්න.
3/11
බන්ධුල මල්ලිකා විහාරස්ථානයට යන විට බුදුරජාණන් වහන්සේ සක්මන් කරමින් සිටියා. ඇ දුටු උන් වහන්සේ ආසන්නයේම තිබුණු අසුනක අසුන් ගත්තා. මල්ලිකා පසඟ පිහිටුවා උන් වහන්සේට වන්දනා කළා. රැගෙන ගිය දැහැත් ගිලන්පස පිළිගැන්නුවා. “බන්ධුල මල්ලිකාවනි. ඔබේ වතෙහි යම්කිසි ගැටලුවක් සැඟවී ඇති බව පෙනේ. කීමට කැමැත්තේ නම් මට සවන් දිය හැකිය.” “ස්වාමීනි, බන්ධුල සේනාපතිතුමා සමග විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවම දරුවෙක් නොලැබීම ගැන ඔහුත් මමත් කණස්සල්ලෙන් සිටිමු.” “දරුවන් ලැබීම හා නොලැබීම සමහර විට පුද්ගලයින්ගේ කායික නිරෝගිතාවය හෝ අශක්නුතා මත සිදුවිය හැකිය. සමහර විට ඔවුන්ගේ කර්ම ශක්තිය අනුවද විය හැකිය. කායික අශක්නුතාවන් ඖෂධ මගින් නිවාරණය කර ගත හැකිය. එහෙත් කර්මානුරූපව යම් අඩු පාඩුවක් වන්නේ නම් එය වලක්වා ගැනීම දුෂ්කරය.” “බන්දුල මල්ලිකාවනි, ඔබගේ දරුවන් නොලැබීම කායික හෝ කර්මානුකූල බලපෑමක් මත නොසිදු වන්නක් බව පෙනේ. නුදුරේම ඔබට දරුවන් ලැබෙනු ඇත. එද නිවුන් දරු උපතෙකි. බන්ධුල සේනාපති සමග සතුටින් සිටින්න.” “ස්වාමීනි සමාවනු මැනවි.” “කිමෙක්ද බන්ධුල මල්ලිකාවනි?.” “ඔබ වහන්සේගේ පිළිතුරෙන් මම ඉමහත් සතුටට පත්වීමි. සේනාපති තුමා මට පැවසුවේ තව මාස කීපයකින් දරු ප්‍රසූතියක සලකුණු නොමැති නම් ආපසු දෙමාපියන් හමුවට යන ලෙසයි. දැන් මා ආපසු යා යුතු නොවේ.” “ඔව් බන්ධුල මල්ලිකාවනි. බොහෝ පිරිමින් තුල මේ අවිචාරවත් අදහස් මුල් බැස තිබේ. මේ කායික අශක්නුතාවය ගැහැණියට මෙන්ම පිරිමියාටද තිබිය හැකිය. හැම විටම කාන්තාවටම දොස් පැවරීම නොවිය යුතුය. ඔබට ලැබෙන්නේ පින්වත් දරුවන්ය. ඔවුන් පියා මෙන්ම දක්ෂයන් වෙනු ඇත.” “එසේය ස්වාමීනි.” බන්දුල මල්ලිකා සිය මන්දිරයට ගියේ රටක් රාජ්‍යයක් ලත් අයකු පරිද්දෙනි. ඇය තම ස්වාමියා නිවසට පැමිණෙන තුරු මේ සුභදායි පණිවිඩය පැවසීමට නොඉවසිල්ලෙන් බලා සිටියාය. තම බිරියට දරුවන් නොලැබීම ගැන බන්දුල සෙනවි තුමා සිටියේද කණස්සල්ලෙනි. අද රාජකාරි සදහා ගියත් ඔහුගේ සිත තුළ යම් ශෝකී බවක් පිරි තිබේ. ආපසු නිවසට පිටත් වන්නැයි තම බිරියට යෝජනා කිරීම ගැන ඔහු දුක් විය. මා එය නොකිව යුතුව තිබුනි. සමහර විට අද බුදුන් වහන්සේ ඇයට යාමට අවසර දුනහොත් ඇය හෙට අනිද්දා හෝ ආසන්න දිනයකම පිටත්ව යනු ඇත. ඇය වැනි ගුණගරුක කාන්තාවක් තමන්ට කිසිසේත් නොලැබෙනු ඇත. අනෙක් අතට ඇය තමන් රැගෙන ආයේද බලහත් කාරයෙනි. ඇගේ පියාගේ සිත් රිදවීමෙනි. පසු කාලයේදී එම නොහොඳ නෝක්කාඩු සමනය වුවත්, තමන් ඇයව ආපසු යැවුව හොත් යළිත් ඒවා අලුත් වෙනු ඇත. සිත තුළ පවත්නා අසහනකාරී තත්වය මත සේවාව නිසි පරිදි කළ නොහැකි හෙයින් රජතුමාට දන්වා සවස්වරුවෙහි සිය නිවසට වී විවේකයෙන් සිටීමට ඔහු සිතා ගත්තේය. කල් වේලාසනින් ඔහු නිවසට පැමිණියේ එහෙයිනි. තම ස්වාමියා වේලාසනින් නිවසට පැමිණෙනු දුටු මල්ලිකාගේ හිසෙහි මලක් පිපුනාක් මෙන් විය. සිනාසී ඉක්මන් ගමනින් ඔහු ඉදිරියට ගියේ එහෙයිනි.
4/11
මා නිවසින් යාමට කියා තිබියදීත් ඇය මා සුහදව පිළිගන්නීය. මෙවන් කාන්තාවක් මා නිවසින් පළවා හරින්නේ කෙසේද? ඔහුට මහත් සංවේගයක් ඇති විය. ඔහු තීරණයක් ගත්තේය. මම ඇය පිටත් නොකරමි. දරුවෙකු ඇතත් නැතත් මා ඇය නිවසින් බැහැර නොකරමි. මියෙනතුරු ඇය මා ළග සිටිම යුතුය. මල්ලිකා තම ස්වාමියා ඉදිරියට සිනාසී ගියාය. ඔහුගේ අතින් අල්ලා ගත්තාය. “ඔබ කණගාටු වන්න එපා මල්ලිකා. මම ඔබව නැවත දෙමාපියන් වෙත නොයවමි. මා සමගම සිටින්න.” සෙනවි තුමා ඇගේ හිස අත ගෑවේය. “දැන් මට ආපසු දෙමාපියන් වෙත යාමට අවශ්‍ය නොවේවි ස්වාමීනි. බුදු රජානන් වහන්සේ පැවසුවේ සුභදායි තොරතුරකි.” “ඒ කුමක්ද මල්ලිකා?.” “උන් වහන්සේ පැවසුවා අපට දරුවන් ලැබෙන බව. නිවුන් දරුවන්ම ලැබෙන බව.” ඇය කීවේ මහත් උද්දාමයෙනි. “ඒත් ඉතිං බුදු හාමුදුරුවෝ කොහොමද ඒක හරියටම කියන්නේ?. එය ඔබේ සිත සැනසීමට කියන්න ඇති.” “නැහැ ස්වාමීනි. බුදු හාමුදුරුවෝ තවකෙනෙකුගේ සිත සැනසීමටවත් මුසා බස් කියන්නේ නැහැ. එය උන් වහන්සේ සර්වඥතාඤාණය තුළින්ම කී දෙයක්. උන් වහන්සේ චතුර් වේදයේ පාරප්‍රාප්ත කෙනෙක් බව අමතක කරන්න එපා. ලෝකෝත්තර ජීවිතය පිළිබඳව වගේම, භෞතික ලෝකය පිළිබඳවත් මනාව දන්නා කෙනෙක්.” “හොඳයි අපි බුදුවදන පිළිගනිමු. බුද්ධානුභාවයෙන් හෝ අපේ සිහිනයේ මල්ඵල ගැන්වෙනවානම්, එතරම් සතුටක් නැහැ මල්ලිකා.” මල්ලිකා තම සැමියාගේ දෑත තද කර අල්ලා ගත්තාය. ඔහුගේ මුහුණ දෙස බලා ආදරයෙන් සිනාසුනාය. “එදා ඔබ සමග පැමිණි මුල්ම දිනයේත්, ඔබේ මුහුණේ තිබුනේ ඔය සිනාවමයි.” බන්දුල ඇගේ අත මිරිකමින් කීවේය. “ඔබ එදා උණ පදුරම ජේදනය කර මපියා සමග බහින් බස් වී, මා රැගෙන ගිය දවසේත් ඔබේ සිරුරින් වැගිරුණු දාඩියවල තිබුනේ මේ සුවඳමයි.” දෙදෙනා අතිනත අල්ලාගෙන ආදරයෙන් නිවස තුළට පියමං කළහ. ටික දිනකට පසුව සේවයට ගොස් පැමිණි බන්ධුල සේනාපති වෙත මල්ලිකා සිනා මුසු මුහුණින් පැමිණියාය. “අද ඔබ තුමාට සුභදායී පණිවිඩයක් කියන්න තියෙනවා.” “කියන්න මල්ලිකා. මම අහගෙන ඉන්නම්.” “ඔහොම බැහැ. ඇස් දෙක වහගෙන ඉන්න ඕන.” “සේනාපතියෙක් හැම වෙලාවෙම දෑස විවරව තබා ගන්නවා මිස වසාගෙන ඉන්නේ නැහැ, මල්ලිකා.” “ඔබ මගේ රාජ්‍යයේ රජතුමා මිසක් සේනාපති නොවෙයිනේ. කමක් නැහැ. ඔබේ නිළය කුමක් නමුත් මේ පණිවිඩේ කියන්න නම් ඇස් දෙක වහගන්නම ඕන.” බන්දුල සේනාපති මඳ සිනාවක් පෑවේය. දෑස වසා ගත්තේය. “මට බබෙක් ලැබෙන්නයි යන්නේ.” ඇය ඔහුගේ කණට කර පවසා, ඔහුගේ මුහුණ සිඹ දිවීමට සැරසුනාය. “එහෙම කොහේ දුවන්නද?” ඔහු ඇයව අල්ලාගෙන ආදරයෙන් සිප ගත්තේය.
5/11
“අපි හෙටම බුදුහාමුදුරුවෝ හම්බවෙන්න යමු. උන්වහන්සේට කෘතඥතාවය පළ කරමු.” “බුදුහාමුදුරුවෝ කවදාවත්, කාගෙන්වත්, ස්තුති ප්‍රසංසා බලාපොරොත්තු වන්නේ නැහැ. කමක් නැහැ, අපි හෙට උදේ විහාරයට යමු.” මල්ලිකාද කීවාය. විවාහප්‍රාප්ත නව යුවළක් මෙන් බන්දුල හා මල්ලිකාත්, ඉතා සතුටින් දවසැරියහ. මුලු මන්දිරයෙහිම නව ප්‍රබෝධයකින් කටයුතු කෙරින. උයන්වතු හා මල්වතු සේවකයන් විසින් සිත් ගන්නා ආකාරයෙන් සැකසින. මල්ලිකාවන් තමන්ට රිසි ආකාරයෙන් සේවක සේවිකාවන් ලවා කටයුතු සංවිධානය කර ගත්තාය. “දරුවන් ලැබෙන්න ඉන්නකොට අම්මලාට ආසා හිතෙන දේවල් තියෙනවාලු. ඔබටත් එහෙම උනහම මට කියන්න.” බන්දුල සේනාපති දිනක් සිනාසී මල්ලිකාගේ කණට කර කීවේය. “මටත් එහෙම ආසාවක්නම් තියෙනවා.” මල්ලිකා සිනාසී කීවාය. “හෙමීට.. හෙමීට.. මේ හැමෝටම ඇහේවි.” බන්ධුල සේනාපති කීවේය. “මේව කවුරුත් අහගෙන ඉන්නේ නැහැ ස්වාමීනි. අහගෙන හිටියත් මොකද රහසිගත දෙයක්ය.” මල්ලිකා සිනාසී කීවාය. “ඒක නෙවෙයි, කියන්න ඔබේ ආසාව. මම කෙසේ හෝ එය ඉටු කරන්නෙමි.” “ඔව්, මෙය ඉටු කළ හැක්කේත් ඔබට පමණයි.” “කියන්න ඔබ වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්නම්”. “ ස්වාමීනි, විශාලා මහනුවර, ලිච්ඡවී රජවරු හා බිසෝවරු පමණක් පාවිච්චි කරන විලක් තිබෙනවා. ඒ ආසන්නයටවත් කිසිම කෙනෙකුට යන්න බැහැ. වටේම ආරක්ෂාව යොදල තියෙනවා. ඒ වගේම අහසිනුත් පක්ෂියෙකුටවත් ළං විය නොහැකි ලෙස යකඩ දැල්වලින් ආවරණය කර තිබෙනවා. ඒ විලට බලෙන්ම බැහැල, ජලය ස්නානය කරල, එහි ඇති නෙලුම් මල්වලින් මාලාවක් පැළදීමටත් ආසාවක් තිබෙනවා.” “ මම හිතුවේ ඔබේ දොළ ඉතා අසීරු දෙයක් වේවි කියල. අපි හෙටම එය සංසිඳවමු. හෙට උදේම ගමනට අවශ්‍ය කළමනා සූදානම් කර ගන්න.” මල්ලිකාවන්ට අමුතුවෙන් සූදානම් කළයුතු යමක් නොවීය. අනෙක මෙය අනුන්ගේ ප්‍රදේශයකට බලහත්කාරයෙන් කරන ඇතුලු වීමකි. එහෙයින් ස්නානය සදහා පමණක් අවශ්‍ය දේ ඇය සකස් කර ගත්තාය. පසුදා උදෑසනම බන්දුල සෙනවිතුමා අශ්ව රථයක් සූදානම් කර ගත්තේය. ඒ ගමන මල්ලිකා සමඟ තමන් තනිවම යා යුතු යැයි ඔහු සනිටුහන් කරගත්තේය. යම් හෙයකින් මේ බව රජතුමාට දැන්වීනම් තමා සමඟ හමුදාවක් එවන බව ඔහු දත්තේය. නැතිනම් රජතුමා පෞද්ගලිකවම හෝ එන බව ඔහු දත්තේය. එහෙත් මෙය ස්වාමිපුරුෂයෙකු වශයෙන් තමාගේ යුතුකම බව ඔහු සිතුවේය. තමන් මේ කරන්නේ සතුරු ප්‍රදේශයකට ඇතුල්වී බලහත්කාරකමක් බව සෙනාපතිද දත්තේය. මල්ලිකාවන්ට අවශ්‍ය වූයේද එසේ කරන බලහත්කාර කමනි. සොරෙන් ඇතුල්වීම නිවටකමක් සේ සිතූ ඇය තම සැමියාගේ වීරත්වය ඉස්මතු කරලීමටද එය අවස්ථාවක් කර ගත්තාය. ඒ නිසා ඕනෑම දෙයකට සූදනම්ව තමන්ගේ දුන්නත්, හී තළ සහිත කොපුවත්, කඩුව හා තෝමරයත්, අනෙකුත් සන්නාහයනුත්, බන්ධුල සේනාපතිතුමා විසින් අස්රියට දමා ගත්තේය. ලිච්ඡවීන්ගේ මගුල් පොකුණේ ස්වභාවය පිළිබදව ඔහු දැන සිටියේය. එය සත් දහස් සත්සිය සතක් වූ, රජදරුවන්ට හා බිසෝවරුන්ට හැර කිසිදු කෙනෙකුට ස්පර්ශ කළ නොහැකි තැනකි. ආයුධ සන්නද්ධව විශාල පිරිසක් එහි රැකවරණය සඳහා යොදවා සිටිති. ඔවුනට නොදැනී කිසිවෙකුට එහි ඇතුල් විය නොහැකිය. විශාලා මහනුවරට ඇතුල්වූ බන්ධුල සේනාපති සිය රථය වේගයෙන් හසුරුවාගෙන ඇතුළු නගරයට වැදී, අදාළ මඟුල් පොකුණ ඇති ස්ථානයට ළඟා වූයේය. එහි සිටි රැකවලුන් ඔහු වැලක්වීමට ඉදිරියට ආවත්, ඒ
6/11
සියල්ල තමන්ගේ කඩුව පෙන්වා තර්ජනය කර පොලු ගසා පළවා හැරීමට ඔහු සමත් විය. පොකුණ ආවරණය කර ඇති යකඩ ආවරණයද කඩා, පළමුව තමන් ස්නානය කර, දෙවැනිව මල්ලිකාවන්ට ස්නානය කිරීමට අවස්ථාව සලසා දුන්නේය. ඉක්බිතිව එයින් මල් කඩා මල් මාලයක් සාදා මල්ලිකාවන් ගෙල පළඳවා, තමන්ගේ අශ්ව රථයට නැඟී පිටත්වී ගියේය. ආරක්ෂකයන් මේ බව වහා රජවාසලට දන්වා යැවීය. ලිච්ඡවීන් අතුරින්, පන්සීයක් ලිච්ඡවී රජ දරුවෝ මෙයින් කෝපයට පත්ව බන්ධුල සෙනවි අල්ලා ගැනීමට ඔහු පසු පස ලුහු බැන්දෝය. බන්දුල සේනාපති තුමා සමග එක පාසැලේ ශිල්ප හැදෑරු ‘මහාලී’ කියන ලිච්ඡවී රජතුමා ගැන අපි මුලදිත් කිව්වා. ඔහු තමයි ලිච්ඡවීන්ගේ උපදේශකයා විදිහට කටයුතු කළේ. (ලිච්ඡවී රජවරු හත්දාස් හත්සිය හතක් ඉඳල තියෙනවානේ.) බන්ධුල සේනාපති ගැන ඔහු හොඳට දන්නවා. අශ්ව රථයේ හඬින්ම ඒ ආවේ බන්ධුල සේනාපති බවට ඔහුට සැකයක් ඇති උනා. ඊට පස්සේ මඟුල් පොකුණට ඇතුල් වීම, ආරක්ෂකයන් බියගැන්වීම, ලෝහ ආවරණය විනාශ කිරීම, පොකුණේ බැස නෑම, වගේ වැඩ නිසා ඒ ආවේ බන්ධුල සේනාපතිම බව මහාලී ලිච්ඡවි රජතුමාට තහවුරු උනා. පන්සීයක් ලිච්ඡවී රජවරුන් බන්ධුල සේනාපති ලුහු බඳින බව දැනගත් මහාලි ලිච්ඡවි තුමා ඔවුන් නැවැත්වීමට උත්සාහ කළා. “ඒ බන්ධුල සෙනවි තුමා බොහොම දක්ෂයෙක්’ ඔහු පස පසු පැන්නීම නොකරන්න.” “ඔබ තුමා එසේ කියන්නේ ඇයි?. බලහත්කාරයෙන් මෙහි පැමිණ අපේ ආරක්ෂකයන් බිය ගන්වා ඔහු කළ කටයුත්ත ඉතා බරපතලයි.” “මමද එය පිළිගනිමි. එම අපකීර්තියට වඩා ඔබ ඔහු අතින් විනාශවෙනු දැකීමට මම නොකැමැත්තෙමි. ඔහු පසු පස නොයන්න.” “ගුරුතුමනි. ඔහු පමණක් වීරයෙක් වන්නේ කෙසේද? අපේ කඩු මුවහක් නැතයි සිතන්නේද?. අපේ දුනු ඊතල සෙල්ලම් බඩු මෙන් සිතන්නේද ?. අපි මව් කිරි නොබිවු බව සිතන්නේද?.” “ඔබ සැම ඉතා දක්ෂයන් බව මම දනිමි. එහෙත් බන්දුලයන් හමුවේ ඔබේ දක්ෂතාවයන් හිරු දුටු කදෝ පැණියන් සේය. ඒ නිසා මේ ගමන නොයන්න. ඔහුගේ එක හී පහරින් ඔබ සියලු දෙනාම විද දැමීමට තරම් ඔහු බලවත්ය. වේගවත්ය.” “එසේ නොකියන්න ගුරුතුමනි. ඔහු තනි පුද්ගලයෙකි. අපි පන්සියයක හමුදාවකි. අපි ඔහුට නිසි දඩුවම් කළ යුතුය. නොඑසේනම් එය සමස්ත ලිච්ඡවී පරපුරටම නින්දාවකි.” “හොඳයි, ඔබ මා කියන්න නො අසා යන්නේ නම් මේ උපදෙස සිහියේ තබා ගන්න. යම් වෙලාවක ඔහුගේ අස්රිය පෙදෙසින් අකුණු ගසන්නාක් මෙන් හඬක් ඇසුනහොත් තොප වහා හැරී එව. ඒ ඔහු දුනු දිය අදින හඬයි.” ඒ කිසිවක් නොඇසූ ලිච්ඡවීහු පන්සිය දෙනාම සන්නාහ සන්නද්ධව බන්දුල පසු පස ලුහු බැඳ ගියහ. බන්දුල සෙනවි තුමා අශ්ව රථය පදවන ගමන් මල්ලිකාවට කතා කළේය. ඇය රථය පසු පස සිටියාය. “ඔබට සතුරු පිරිසක් පසු පසින් එන බව පෙනුන හොත් මට පවසන්න.” “හොඳයි ස්වාමීනි, ඈතින් පිරිසක් එන බව පෙනේ. ඔවුන් අපට විරුද්ධව එන පිරිසක් යැයි සිතමි.” “ඔව් මල්ලිකා. ඔවුන් ලුහු බඳින්නේ අප විය යුතුය. ඔවුන්ට අප කළ අභියෝගයට ප්‍රතිචාර දැක්වීමට එනවා විය හැකිය. ඔබ තව සුපරික්ෂාවෙන් හිඳින්න.” මල්ලිකා ඒ පිරිස දෙස සුපරික්ෂාවෙන් සිටියාය. පන්සියයක් පමණ අශ්ව රථ වේගයෙන් පැමිණෙනු පෙනේ. ඒකාන්තයෙන්ම ඔවුන් තමන් ලුහුබඳින අය බව ඇයටද පසක් විය.
7/11
“ස්වාමීනි, ඔවුන් අපව ලුහු බඳින්නන්මය. අස්රිය පන්සියයක් පමණ, වේගයෙන් අපව ලුහු බඳියි. ඔවුන් සන්නාහ සන්නද්ධය.” “ඔබ කලබල නොවන්න මල්ලිකා. ඔවුන් සෘජු රේඛාවක් පරිද්දෙන් දිස්වෙන විට මට කියන්න.” එම ගව් ගණනාවක් දුරට පෙනෙන මාර්ගයෙහි ඔවුන් එසේ පන්නාගෙන එන විට එක පෙළට එන අයුරු ඕ දුටුවාය. “ස්වාමීනි ඔවුන් එක පෙළට දිස්වේ.” “එසේනම් ඔබ බිය නොවන්න. ඉදිරියට පැමිනෙන්න. මේ අශ්වයන්ගේ කට කලියාව අල්ලා ගන්න. ඔවුන් ඉදිරියටම ධාවනය කරාවි. උන් මනාව පුහුණු කළ අශ්වයන් හෙයින් බිය විය යුතු නොවේ. මම පසු පසින් එන්නන්ගේ ගමන නවත්වමි.” යි කියා බන්ධුල සෙනවි මල්ලිකා ඉදිරි අසුනට එවා, තමන් රියෙහි පසු පසට ගියේය. සෙනවිතුමා ළඟ විශේෂ ආයුධයක් තිබේ. එය එතෙක් තිබුනේ රියෙහි පිටු පසය. එය දුන්නෙකි. එය එසේ මෙසේ දුන්නක් නොවේ. බන්ධුල වැනි ශක්ති සම්පන්න හා මනා ප්‍රාගුණ්‍යයක් ඇත්තෙකුට පමණක් භාවිතා කළ හැකි එකකි. ඔහු එය රථයේ පිටු පස කෙලින් තබා එසවීය. එහි බරට රිය පහත් විය. ඔහු එහි දුනු දිය ඇද්දේය. අකුණු ගසන්නාක් වැනි හඬක් ඉන් නිකුත් විය. නැවත හියොවුරින් හීයක් ගෙන එහි තැබුවේය. එක් ඇසක් හීන් කොට බලා ඉලක්කය ගත්තේය. සීයට සීයක්ම ඉලක්කය තහවුරු කර ගත්තේය. හීය දුනු යොතින් මුදා හැරින. විදුලිය පරයන වේගයෙන් ඉගිළ ගිය හීය, පන්සියයක් රජ දරුවන්ගේ ළය පසාකරගෙන ගොස් බිම පතිත විය. එය කෙතරම් වේගවත් වීද යත්, පැමිණෙන රජ දරුවන්ට පවා එය දැන ගත නොහැකි තරම් විය. යමක් පපුව සිසාරා ගිය බව දැනුනත් එය හීයක් බවනම් ඔවුහු නොසිතූහ. හීයේ වේගය හා අසරුවන් පැමිණෙන වේගය නිසා හීය ඔවුන්ගේ ළය පසා කරගෙන ගියේ දෙගුණයක වේගයෙනි. රථ තවම ඉදිරියට ඇදේ. “බන්දුලයෙනි වහා නවතුව. තොප අප දේශයට පැමිණ නින්දා කොට බියගුල්ලෙකු සේ පළායාමට සිතන්නේද? එය එසේ වීමට ඉඩ නොදෙමු . අප හා සටනට පිවිසෙව. අප තොපට යස පාඩමක් උගන්වමු.” “කාන්තාවන් හා අවි රහිත වූවන් සමග කිසිදු යෝදයෙක් සටන් නොකරති. එසේම මිය ගිය වුන් සමගද සටන් නොකරති.” බන්ධුල සෙනවි සිනාසී කීවේය. “කුමක්ද තා කියන්නේ. අප කාන්තාවන් සේ දකින්නේද? අපේ ආයුධ, ආයුධ සේ නොදකින්නේද?” “නැත, තෙවැනි කාරණයයි. දැන් තොප මළවුන් හා සමානය. තොපගේ මරණය වැලක්විය නොහැකිය. දැන් තොපට හී පහර වැදී ඇත. එය නිවැරැදිව පැහැදිළි කරගත යුතු නම් ඉදිරියෙන්ම සිටින තැනත්තාගේ හා පසු පසින්ම සිටින තැනත්තවුන්ගේ සන්නාහය ඉවත්කර ළය පිරික්ෂා බලවු.” ලිච්ඡවීහු එසේ කළහ. ඔවුන්ගේ සන්නාහයන් පසා කරගෙන හී තලය ගමන් කර තිබේ. රුධිරය වහනය වෙමින් තිබේ. “තොප දැන් අප පසු පස්සෙන් ලුහු බැඳීමෙන් පලක් නැත. තව ටික වේලාවකින් තොප සියලු දෙනාම මියෙනු ඇත. ඊට පෙර නැවත තමන්ගේ නිවෙස් වලට ගොස් අඹු දරුවන් සමග වචනයක් වත් කතා කරව්.” යැයි කියා බන්ධුල යළි අශ්ව රථයේ ඉදිරි අසුනට විත් වේගයෙන් තමන්ගේ නගරයට ගමන් කළේය. දස මසකට පසුව බන්ධුල මල්ලිකා රූමත් නිවුන් දරුවන් බිහි කළාය. දිනෙන් දින පුරපස සඳ මෙන් ඔවුහු වැඩුනහ. කුඩා කල සිටම ශක්තියෙන්ද වැඩුනහ. (බන්ධුල සෙන්පතියා මහා කාය බලයෙන් යුක්තය. මල්ලිකාවන්ද මහලිය පළදනාව පැළදීමට තරම් ශක්තිමත්ය.) ඉන් පසුව වාර්ෂිකව පසළොස් වතාවක් මල්ලිකා දරුවන් ප්‍රසූත කළාය. විශ්මයට කාරණය වූයේ, ඒ හැම වතාවේම ඇයට ලැබුනේ නිවුන් දරුවන් වීමය. දරුවන් පෝෂණය කිරීමේ කටයුතු අතරතුරදීම ඇය ආගමික
8/11
කටයුතුවලද නිරත වූවාය. තම දරුවන් ආගමික කටයුතු වලටද සහභාගි කරවා ගත්තාය. බන්දුල සෙනවි තුමාද තමන්ගේ දරුවන්ට කුඩා කල සිටම අවි සරඹ හුරු පුරුදු කළේය. යොවුන් වියට එළඹි විට ඒ සැම දෙනාම රාජකීය හමුදාවේ සේවයට එක් වූහ. බන්දුල සෙනවි තුමා අවනීතියට යටත් නොවූ අපක්ෂපාතී, නීති ගරුක පුද්ගලයෙක් විය. රට වැසියෝද ඒ බව දත්හ. සමහර විට යම් රාජ්‍ය සේවකයෙකුගෙන් අසාධාරණයක් වූ විට ඔවුන් ඒ බව බන්දුල සෙනවිතුමාට දන්වා එමගින් රජු වෙත යොමු කළහ. එවිට යුක්තිය ඉටු කරගැනීමට පහසු විය. එක් දිනක්, රාජකීය විනිශ්චය සභාවේ නිළධාරීන් වෙතින් සිදුවූ එවැනි අසාධාරණයක්, වින්දිතයන් විසින් බන්දුල සෙනවි තුමාට යොමු කරන ලදී. ඔහු එය රජතුමා වෙත යොමු කළේය. එය නිසිසේ විසඳන ලෙස රජු බන්ධුල සෙනවි තුමාටම පවරන ලදී. සර්ව සාධාරණව එය ඔහු විසින් විසඳන ලදී. එතැන් සිට සමහර නඩු විසඳීමේ කාර්යයටද මැදිහත් වීමට බන්ධුල සෙනවියාහට සිදුවිය. තම රාජකාරියට අමතරව අභියාචනා අධිකරණයේ කටයුතු කිරීමටද ඔහුට සිදුවිය. මෙය බන්ධුල සෙන්පතිට ලැබුනු උසස් වීමකි. ඔහුගේ නිවැරදි සේවාව අගය කිරීමකි. මෙයට කැමැති අය මෙන්ම අකැමැති අයද වූහ. විශේෂයෙන්ම අධිකරණ විනිශ්චයෙහි නියුක්ත වූවෝ තමන්ගේ සිත්වල පවත්නා අමනාපයන් විවිධ මුහුණුවරින් විදහා පෑහ. ඔවුහු බන්ධුලගේ විනිශ්චයන්හි අඩුපාඩු මතුකර දැක්වූහ. සමහර අවස්ථාවලදී අසාධාරණ විනිශ්චයන් ලබා දෙන්නේ යැයි රජතුමා වෙත නිර්නාමික පැමිණිළි යොමු කිරීමටද ඔවුහු කටයුතු කළහ. අධිකරණ කටයුතු වලදී පමණක් නොව වෙනත් රාජ්‍ය කටයුතුවලටද පටලවමින් බන්ධුල විනාශ කිරීමට දූෂිත ඉහළ නිළධාරීහු කටයුතු කළහ. බන්ධුල සේනාපතිගේ දරුවන් තිස් දෙදෙනෙකු සිටි බව මුලින් කීවෙමු. ඔවුහු සියලු දෙනාම පිරිමි දරුවෝය. යුද ශිල්පය පිළිබද දැණුමැත්තෝය. රජුගේ අනුදැණුම ඇතුවම රාජ්‍ය සේවය සඳහා යොමු කළත්, මෙය රජතුමාට එරෙහිව තමන්ගේ බලය තහවුරු කර ගැනීමට බන්ධුල යෙදූ උපක්‍රමයක් සේ රජුට ඒත්තු ගැන්වීමට විරුද්ධවාදීහු කටයුතු කළහ. එසේම අධිකරණ කටයුතුවලට මැදිහත් වීමද එහි තවත් පියවරක් ලෙසම ඔවුහු රජුට ඒත්තු ගැන්වූහ. රජතුමා බන්දූල සෙනවි සමඟ වෛරයක් ඇති කර ගත්තේය. ඔහු විනාශ කර දැමීමට සැලසුම් සකස් කළේද ඒ අනුවය. කිසිම පාලකයෙකු තමන්ට අභියෝගයක් වන පුද්ගලයන් ළඟ තබා ගැනීමට කැමැති නොවෙයි. සේවයෙන් පහකිරීමකට හෝ ජීවිතයෙන් වන්දි ගෙවීමට හෝ ඔහුට සිදුවෙයි. රජතුමා තමන්ගේ පිරිස් යොදවා ඈත පළාතක රහසේ කැරැල්ලක් ඇති කළේය. එය මැඩ පැවත්වීමට බන්ධුල සෙනවියා යෙදවීය. ඒ අතරම ඔහු හා ඔහුගේ දරුවන් සියල්ලම එහිදී වටකොට පහරදී මරා දැමීමේ උපක්‍රමයක්ද සංවිධානය කළේය. මේ කුමන්ත්‍රණය පිළිබඳව නොදත් බන්ධුල සෙනවිතුමා කැරළි කරුවන්ට විරුද්ධව මෙහෙයුම් දියත් කළේය. එහෙත් නොසිතූ ආකාරයෙන් සංවිධානාත්මකව සිටි රජතුමාගේ සෙබලුන්, ඔවුන් අතරමසිට ක්ෂණික ප්‍රහාරයකින් බන්ධුල ඇතුලු ඔහුගේ පුතුන් තිස් දෙදෙනාම ඝාතනය කරන ලද්දේය. ‘රාජ්‍ය ලෝභය හා බලය ස්ථාවර කර ගැනීම සඳහා කළ නොහැක්කක් නොමැත’ යන්න ස්ථීර වූ තවත් සාධකයක් ලෙස මේ සමූහ ඝාතනය සඳහන් කළ හැකිය. සිය ස්වාමියා විනාශ කිරීමේ කුමන්ත්‍රණය ගැන මල්ලිකා කිසිවක් දැන නොසිටියාය. ඇය එදිනද සිටියේ මහ සඟරුවන කෙරෙහි මහ දනක් පවත්වමිනි. ආනන්ද හිමියන් ඇතුළු පන්සියක් මහසඟගන ඇගේ නිවසේ දන්වළඳමින් සිටියහ. මල්ලිකා අඩු පාඩු බලමින් දාන සංවිධානයෙහි නිරත වූවාය. ඒ අතරතුර රාජ පුරුෂයෙකු විත් ඇගේ අතෙහි හස්නක් තබන ලද්දේය. භික්ෂු සංගයා වෙතින් මඳක් මෑත් වූ ඇය, එය විවර කර කියවා බැලුවාය. ඇගේ මුහුණේ යම් විපිළිසරක් ඇතිවිය. වෙව්ලීමක් ඇති විය. මුලු සිරුරම ගිනිගන්නාක් මෙන් දැනින. හිමගිර මුදුනට අකුණක් ගසා එය දැවී ලෝදිය මෙන් පහළට ඇදී යන්නාක් මෙන් දැනින. ස්වාමියාගේ හමුවීම, විවාහය, තමන්ගේ දොළ සංසිඳවීමට ගත් වෙහෙස, ඇගේ මතකයට ආවේය. ප්‍රථම දරුවාගේ සිට තිස් දෙවැනි
9/11
දරුවා දක්වා හැමදෙනාගේම මුහුණු එකවර ඇය ඉදිරියේ මැවී පෙනින. ඔවුන් බිහිකිරීමේදී ඇතිවූ ප්‍රසව වේදනාව සිහිපත් විය. ඔවුන්ගේ සිනා පිරි සුරතල්, දඟකාර මුහුණු ඇය ඉදිරියේ ගිනි වලල්ලක් භ්‍රමණය වන්නාසේ භ්‍රමණය විය. ඇය ක්ෂණයක් දෑස පියාගෙන සැමියාටත්, දරුවන්ටත්, කිසිදින මෙවන් අකල් මරණයක් නොවේවායි පැතුවාය. කිසිවෙක් සමග කිසිවක් නොදෙඩූ ඇය හස්න බඩතුරෙහි රඳවා ගත්තාය. කිසිවක් සිදු නොවූවාක් මෙන් දන් පිළිගැන්වීමෙහි යෙදුනාය. මේ අතරතුර දන් පිළිගැන්වීමෙහි නිරත සේවිකාවක් අත තිබූ ගිතෙල් කළයක්, අතපසුවීමකින් බිම වැටී බිඳී ගියේය. එය අහඹු සිදු වීමකි. දන්වළඳමින් සිටි අනඳ හිමියෝ එය දුටහ. දන්වළඳා අවසන උන් වහන්සේ මල්ලිකාව ඇමතීය. “ඇතිවෙන සියල්ලෙහි ස්වරූපය විනාශ වීමයි මල්ලිකාවනි. ඒ ගැන නොතැවෙන්න. සේවිකාව කෙරෙහි රෝසයක් ඇති නොකර ගන්න.” “මම එය දනිමි ස්වාමීනි. යමක ඇතිවීම සමගම නැතිවීමත් බද්ධවී තිබෙන බව බුදු දහමින් මම ඉගෙන සිටිමි. මා ඒ ගැන කිසිසේත් කණගාටුවට පත් නොවෙමි.” යි කියා බඩතුරෙහි තබාගෙන සිටි හසුන් පත ආනන්ද හිමියන් අත තැබුවාය. අනඳ හිමියෝ ලිපිය දිගහැර බැලූහ. එහි තිබුනේ බන්දුල සේනාපති ඇතුළු දරුවන් තිස් දෙදෙනාම සටන් බිමෙහිදී මියගිය බවයි. මල්ලිකාවන්ගේ දරාගැනීමේ හැකියාව ගැන විශ්මයට පත් හිමියෝ ඇයගේ මුහුණ දෙස බැලූහ. “මට කණගාටුයි මල්ලිකාවනි. අප මරණය රැගෙන එන්නේ උත්පත්තිය සමගමයි. මරුවා ප්‍රබල වූ විට අපට ඔහුට යටත් වීමට සිදුවේ. ඒ ස්වභාවයෙන් මිඳීමට ඔබේ ස්වාමියාටවත්, දරුවන්ටවත්, ඔබටවත්, මටවත්, බුදු පියාණන්ටවත් නොහැකිය. ධර්මතාවය එයයි. තේරුම් ගන්න. “මම වසර තිහකටත් වැඩි කාලයක් දිනකට තෙවරක් බුදුරදුන් හමුවීමි. මෙලෝ පරලෝ අභිවෘද්ධිය වෙනුවෙන් උන් වහන්සේ දේශනා කරන දහම් ශ්‍රවණය කරමි. ජීවිතයේ යථාස්වභාවය අවබෝධ කර ගතිමි. ෂඩේන්ද්‍රියන් ක්‍රියාත්මකව පවතින්නේ ආයුෂ උෂ්ණය, විඤ්ඤාණය තියෙනතාක් බව මම දනිමි. එම හුය විවිධ ආකාරයෙන් කැඩී යා හැකි බවත් දනිමි. මරණය ආයුක්ඛය, කම්මක්ඛය, උභයක්ඛය, උපච්ඡේද ආදි කුමණ හෝ අයුරකින් සිදුවන බවද දනිමි. ඒ බව දැණුවත් වූයේ බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් තුළිනි. ඒ අවබෝධය නිසා මම මගේ දුක, ශෝකය තුනී කර ගන්නෙමි. එම අවබෝධය ලබා දීම පිළිබඳව බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා. මම ජීවිතය පිළිබඳ යථා ස්වභාවය දනිමි ස්වාමීනි. මගේ සිතේ දුකක් සංකාවක් නැතැයි මුසාබස් දෙඩීමට ඉක්මන් නොවෙමි. එහෙත් එය සමනය කර ගැනීමට මම වෙර දරමි. එය කළ හැකියයි මම විශ්වාස කරමි. දන් පූජා කරන විටම මම ඒ පින් මගේ ස්වාමියාටත්, දරුවන්ටත්, අනුමෝදන් කළෙමි. සසරේ ඔවුන් කළ අකුශල බලයකින් මේ ආත්මයේදී අකාලයේ ඔවුහු මිය ගියහ. මමද ඒ අකුශල කර්මයට යම් උපකාරයක් කර තිබූ හෙයින් මමද ඒ දුක්ඛයාගෙන් යම් පීඩාවකට ලක්වීමි. දරුවනුත්, ස්වාමියාත්, අහිමි කර ගතිමි. නැවත කිසිම දිනෙක මෙවන් විපතක් ඔවුනට නොවේවායි මම පතමි ස්වාමීනි. අනඳ හිමියෝ මල්ලිකාවන් දෙස ශෝකයෙන් බලා සිටියහ. ඇයගේ හැසිරීම පිළිබඳව ඇති වූයේ මහත් විශ්මයකි. බන්ධුලයන් හා ඔහුගේ පුතුන් උන් වහන්සේ සමගද ඉතා සමීපය. ඔවුන්ගේ රූපයන් උන් වහන්සේ ඉදිරියෙහි මැවී පෙනෙන්නට විය. “ඔබගේ ස්වාමියා හා දරුවන්ට ඇතිවූ විපත මගේ හදවතට ඇති කරන්නේ මහත් සංවේගයකි මල්ලිකාවනි. ආත්ම ධෛර්යයෙන් යුතුව කටයුතු කරන්න.” යැයි පවසා විහාරස්ථානයට වැඩම කළේය. බුදුරජාණන් වහන්සේට සියලුම තොරතුරු දන්වා සිටියේය. “ආනන්දයෙනි, බන්දුල මල්ලිකාවන් බුදු දහම මැනවින් තේරුම් ගත් තැනැත්තියකි. යහපත් ගෘහ ජීවිතයක් ගත කරන්නේ කෙසේදැයි වටහා ගත් කෙනෙකි. තම ජීවිතයට පැමිණෙන ගැටලු විසඳා ගන්නේ කෙසේදැයි
10/11
නුවණින් දුටු කෙනෙකි. බන්ධුල සේනාපති වැනි විශාල කාර්ය භාරයක් කළ කෙනෙකු යහපතට යොමු කරමින් තම දරුවන් පෝෂණය කළ යහපත් මව් කෙනෙකි. යමක ඇවැත්ම, පැවැත්ම, හා නැවැත්ම සිදුවන්නේ කෙසේදැයි දත් කෙනෙකි. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගැනීමට හැකි කෙනෙකි. එහෙයින් සිය ස්වාමියා හා දරුවන් අහිමිවීම ගැන උපේක්ෂාවෙන් බැලීමට තරම් ඥාණවන්ත වූවාය. ඒ ඇය සසර පුරා කළ යහපත් කාර්යයන්හි ප්‍රතිඵලයක් වශයෙනි.” යනුවෙන් ආනන්ද හිමියන් අමතා බුදු රජාණන් වහන්සේ දේශනා කළහ. රජතුමාගේ අවසරය ලබාගත් බන්ධුල මල්ලිකා සිය ස්වාමියාගේ හා දරුවන්ගේ ආදාහන කටයුතු සිදු කළාය. බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය විෂයයෙහි දානමානාදි කටයුතු කර පින් අනුමෝදන් කළාය. ලේලිවරුන්ගේ සිත් සැනසෙන ආකාරයට ඔවදන් දුන්නාය. දුක තුනී කළාය. “මගේ දයාබර දරුවෙනි, තොපගේ ස්වාමි පුරුෂයන් හා මගේ ස්වාමි පුරුෂයා සසරේ කරන ලද මහත් අකුශල කර්මයක් හේතුවෙන් මෙසේ මරණයට පත්විය. යම්කිසි කෙනෙකු විසින් සසරේ කරන ලද කර්මයන් විපාක දෙන විට, එයින් සැඟවී සිටීමට කිසිදු හැකියාවක් නොමැත්තේය. අහසෙහි සිටියත්, මහා සාගරයේ සිටියත් , පර්වත කුහරයක සිටියත්, ආරක්ෂාවීමට හැකියාවක් නොවේ. කරත්තයක රෝද මෙන් ඔවුන් පසු පසු ඒවා පැමිණේ. එම නිසා අපගේ මියගිය ඥාතීන්ද තම තමන් කළාවූ අකුශල කර්මයන්හී විපාක විඳිමින් සිටිති. තොපගේ ස්වාමිවරුන් ඝාතනය කළ කිසිවෙක් කෙරෙහි තොප වෛරයක් ඇති කර නොගත යුතුය. ඔවුනට මෛත්‍රිය කළ යුතුය. සැමියා හා දරුවන් සතුව තිබූ සියලුම වස්තුව ඔවුන් හැම දෙනාටම සමසේ බෙදා දී ඔවුන්ගේ මව්පියන් කැඳවා ඔවුනට භාර දුන්නාය. අවසන බන්ධුල මල්ලිකාවන්ද මල්ල දේශයේ සිටින සිය මව් පියන් හමුවට ගියාය. එහි ජීවත් වූවාය. ස්වාමියා මළ පසු ඇය තමන් සතුවූ මහලිය පළදනාව පාවිච්චි නොකලාය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු එය දේහය වැසී යන පරිද්දෙන් පූජා කළාය. ඇගේ ප්‍රාර්ථනාව වූයේ කිසිදු දිනෙක ඇයට ආභරණ නොලැබිය යුතු බවයි. ඒ වෙනුවට තමන්ගේ සිරුරින් කාන්තියක් නිකුත් වේවාය යන්නයි. මරණයෙන් පසු ඇය තව්තිසා දෙව් ලොව උපන් අතර, ඇගේ මන්දිරයද ස්වර්ණයෙන්ම නිර්මිත විය. ඇගේ සිරුරින් රන්වන් රශ්මි ධාරාවන් නිකුත් වන්නට විය. ඇය කළ පින්කම්හි ආනිසංස වශයෙනි. යම් විපත්තිදායක අවස්ථාවක මල්ලිකා මෙන් ඔබටත් මටත් නුවණින් කටයුතු කරන්නට හැකි නම්... (මේ කතාව ගොණු කිරීමේදී ‘පූජාවලිය’ අසලින්ම සිට මගේ මතක අලුත් කළේය.)
11/11