“හා හා පුතේ, ඔහොම මේස් දාන්න එපා.” ලොකු අත්තා මා මේස් දැමීමට යනවිට කීවේය. “ඇයි ලොකු අත්තේ?” “මේස් එක දාන්ට ඉස්සරවෙලා ඒක අනිත් පැත්ත හරවලා ගසා දාන්න ඕන. සපත්තුවත් ඇතුල බලල ගසා දාන්න ඕන” “ඒ ඇයි ලොකු අත්තේ?” “ඕවා අස්සේ පත්තෑයෝ, ගෝණුස්සෝ, සර්පයෝ, රිංගල ඉන්න පුලුවන්. සමහරවිට හූනෙක් කැරපොත්තෙක් ඉන්නත් පුලුවන්.” “මම වෙනද ගසා දාන්නේ නැහැනේ ලොකු අත්තේ.” “වෙනද ඔය වැඩේ අම්ම කරනවා. අද අම්ම ගමනක් ගිහින්නේ.” “මම දන්නෙත් නැහැ ලොකු අත්තේ, අම්ම එහෙම කරනවා කියල.” ඔව් පුතේ, පුතාල දන්නෙ නැති උනාට පුතාලගේ ගොඩාක් වැඩ කරන්නේ අම්මා” “ඒක හරි ලොකු අත්තේ. මම හෙට ඉඳල මට කරගන්ට පුලුවන් මගේ වැඩ ඔක්කොම මම කර ගන්නවා.” “එහෙම තමයි වෙන්ට ඕන. සපත්තු මේස් විතරක් නෙවෙයි, කලිසමේ සාක්කුව උනත් අනිත් පැත්ත පෙරලලා බලන්න පුලුවන්නම් හොඳයි.” “ඔව් ලොකු අත්තේ මම එහෙම පුරුදු වෙනවා.” “හොඳ හොඳ ළමයින් අපි වාගේ..”. “රුවිනී මෙහාට එනවා.” අම්මා රුවිනි අක්කගෙ කාමරේ දොර රෙද්ද මෑත් කරලා හයියෙන් කතා කළා. “ඇයි අම්මා.” රුවිනි අක්කා කොහෙදෝ ඉඳන් දුවගෙන ආවා. “මේ බලනවා කාමරේ හැටි. පොරවපු සීට් එක එහෙමම‍. ඇදේ සීට් එක ඇකිලිලා. මදුරු දැල එහෙමම. කොට්ටේ පොඩිවෙලා. ඔහොමද ගෑනු ළමයි හැදෙන්නේ.? උදේ නැගිට්ටහම ඇඳ අස්පස් කරල පිළිවෙලකට තියන්ට කියල දීල තියෙනවා නේද.? ඉක්මනට හදනවා ඇඳ.” රුවිනි අක්කා පෙරවූ සීට් එක අතට ගත්තාය. මම දිව ඇද ඔලොක්කුවට මෙන් සිනාසුනිමි. “අම්මේ මේ බලන්නකෝ මල්ලී.” ඇය කීවාය. “ගෑනු ළමයි විතරක් නෙවෙයි, හැම ළමයෙක්ම නැගිටිනකොට ඇඳ ගසාදාල පිරිසිදු කරල පිළිවෙලකට තියන්ට පුරුදු වෙන්න ඕන. අපි බලමු මෙයාගෙ කාමරෙත්.” අම්මා මගේ කාමරයටද හැරුනාය. “දැන් තමුසෙටත් වදියි පෝරියල් එක.” අක්කා කීවාය. මගේ ඇඳ සකස් නොකළ බව මතක් උනේ එවිටය. මම අම්මාට පෙර අම්මාගේ අත අස්සෙන් රිංගා කාමරයට ඇතුල් වීමි. බෙඩ් සීට් එක නැමීමට පටන් ගතිමි.

1/2

අම්මාද සිනාසෙමින් කාමරයට ඇතුල් වූවාය. “හැමදාම කියන්න ඕන නැහැ. තමන්ගේ වැඩ ටික තමන්ම කරන්න පුරුදු වෙන්න ඕන. ලෙඩක් දුකක් හැදුනම නම් ඒක අතපහු උනාට කමක් නැහැ.” අම්මා කීවාය. “ඕක මෙහෙමයි පුතා නවන්නේ. මේ සීට් එකේ කොන් දෙක මෙහෙම අල්ලලා නවන්න. එතකොට පහසුයි. ගානටම නැමෙනවා. අම්මා නැවතත් එය නිවැරැදිව කරන හැටි කියා දුන්නාය. මගේ ඇදේ මදුරු දැල ඇය එතුවේ මට එය නිසි පරිදි කළ නොහැකි හෙයිනි. මම කොට්ටයද ගසා දමා ඇදේ සීට් එකද රැළි නැති වෙන සේ සකස් කළෙමි. අම්මා තනියම සිනාසෙමින් කාමරයෙන් එළියට ගියාය. අම්ම මගේ රත්තරං. අම්මා කුමාරගේ කාමරේට ඔලුව දාල බැලුවා. ඉස්කෝලේ ඇඳපු ඇඳුම් ඇඳ උඩ ගලවල දාල. පොත්බෑග් එකත් ඒක උඩට දාල. බෑග් එකේ ෂිප් එක ඇරිල, පොත් කීපෙකුත් ඇඳ උඩ විසිරිලා. “චූටි පුතා. මෙහාට එන්න.” අම්මා කුමාරට කතා කළා. කුමාර දුවගෙන කාමරේට ආවා. “මේ බලන්න. මම මෙහෙමද ඔයාට කියල දීල තියෙන්නේ? මේ ඇඳුම් රැක් එකට දාන්න ඕන. කිළිටි ඇඳුම් නම් බාස්කට් එකට දාන්න ඕන. පොත් ටික පරෙස්සමට තියන්න ඕන. කෝ කෑම පෙට්ටිය? ඒක බෑග් එකේ හැලිලද දන්නේ නැහැ. බලන්න ඒකත්.” කුමාර බෑග් එකේ සාක්කුව ඇරල බැලුව. වාසනාවට කෑම පෙට්ටියේ පියන බුරුල් වෙලා තිබුණට ඇරිල නැහැ. පොත් ටික මේසෙ උඩ පිළිවෙලට තියපු කුමාර කිළිටි රෙදි ටික බාස්කට් එකට දැම්මේ අම්මට වොෂින් මැෂින් එකට දාන්න පහසු වෙන්න. “තමන්ගෙ වැඩ තමන්ම කරගන්න, පුංචි කාලෙ ඉදලම පුරුදු වෙන්න ඕන චූටි පුතේ. අම්මලා තරහට නෙවෙයිනේ කියන්නේ.” අම්මා කුමාරගේ ඔලුව අතගාල කීවා. “ඔව් අම්මේ මට තේරෙනවා. මම ඒ අඩු පාඩු හදා ගන්නම්.” කුමාර හෙමීට කීවා

2/2

- ආනන්ද මාරසිංහ -