“අක්කේ අද අපි මොකද කරන්නේ?” සෙනසුරාදා උදේ කුමාර අක්කගෙන් ඇහුවා. “අපි ශ්රමදානයක් කරමු.” “ඒ මොකක්ද අක්කේ?” “මිදුලේ මල් පාත්ති ටික ඔක්කොම සුද්ධකරල දාමු. අම්මයි අප්පච්චියි දෙන්නටත් කතා කරගමු.” “එයිද දන්නෙ නැහැ. අම්මනම් එයි. අප්පච්චි තමයි වැඩේ. අන්න පොතක් බදාගෙන.” “අපි කතා කරමු එයි.” කුමාරයි අක්කයි දෙන්න ගිහින් ශ්රමදානෙට, අම්මයි අප්පච්චියි දෙන්නත් කැමැති කර ගත්තා. අම්මා කුස්සිය පැත්තේ දොර වැහුවා. අප්පච්චි ටී.වී එක ඕෆ් කළා. පොත පැත්තකින් තිබ්බා. හැමෝම මිඳුලට ආවා. අම්මයි අක්කයි දෙන්න ඇන්තූරියම් ගස්වල ඉදිච්චි කොලයි, වේලිච්චි මලුයි, ගලවලා දැම්මා. ඒවට දාල තිබුනු පොල් ලෙලියි ගඩොල් කැටයි පිළිවෙලට හැදුවා . වල් පැල ගලවල දැම්මා. අප්පච්චි ගැලවිලා ඇදවෙලා තිබුණු ගඩොලුයි, පාත්තිවලට අල්ලලා තිබ්බ උළු කැටයි, පිළිවෙලට හැදුවා. රෝස පඳුරුවල වේලිච්චි මලුයි නටුයි කපල දාල, කැනස් පඳුරු ළඟත් සුද්ද කළා. කුමාර බාබන්ඩේසියා පඳුරුවල වේලිච්චි කොල අයින් කළා. අත් මුල්ලුවෙන් පැල ළඟ බුරුල් කළා. “ඔතැන ඩේලිය පඳුර ළඟ පරෙස්සමෙන්.” අප්පච්චි ඩේලිය ගහ ළඟ උදැල්ලෙන් කොටනවා දැකල අම්මා කීවා. “ඩේලියා අලේ ගලවල දාන්නද.?” අප්පච්චි හිනාවෙලා ඇහුවා. “මං එතැන සුද්ද කරගන්නම්. ඔයා ඉදල අරන් මේ රොඩු ටික අතුගාල දාන්නකෝ.” අම්මා කීවා. අප්පච්චි ඉදල අරන් රොඩු ටික අතු ගාල ගොඩ කළා. කුමාරයි අක්කයි දෙන්න පොහොර බෑග් එකක පිට පැත්තට දාල ඒවා කුණුවලට ගිහින් දැම්මා. පැයක් විතර යනකොට මුලු මිදුලටම අලුත් එළියක් ආවා. “දැන් ලස්සනයි නේද මල්ලී.” “ඔව් අක්කේ. අපි හැම සතියෙම පැයක විතර ශ්රමදානයක් දාමු.” කුමාර කීවා. “ඒක නම් හොඳ අදහසක්.” අම්මා කීවා
1/1