කොසොල් රජතුමාගේ ඇත් සේනාවේ බද්දේරක කියල ඇතෙක් හිටියා. හැම යුද්ධයකදීම එයා පෙරමුණේ සටන් කළා. කවදාකවත් පස්සට ගියේ නැහැ. රණ බෙර වයනකොටම තමන් සටනට සූදානම් බවට හොඬවැල උස්සල කුඤ්චනාද කරල කියනවා. වයසට ගියාට පස්සේ රජතුමා ඇතාට නිදහසේ ජීවත්වීමට මුදා හැරියා. කවුරුත් එයාට ආදරේ කළා. කෑම බීමත් දුන්නා. දවසක් මෙයා මඩ සහිත ජලාශයකට බැස්සා. ඒ මඩේ එරිල ගොඩ එන්න බැරි උනා. කොච්චර උත්සාහ කළත් බැරි උනා. මිනිස්සු මේක දැකල රජතුමාට කීවා. රජතුමා ඇතා ගොඩ ගන්න කියල ඇමැතියෙකුත් එක්ක සෙබල පිරිසක් යැවිවා. ඒ සෙබල පිරිසට ඇත් පන්තියකුත් හිටියා. විල ළඟට ගිය ඇමැතියාට අපූරු සිතුවිල්ලක් පහළ උනා. ඇතා ගොඩගන්නවා බලන්ට ආපු පිරිසයි, ඇත්තු ටිකයි, ජලාශයේ දෙපැත්තේ තියලා, යුද්ධයකට සූදානම් වෙන්නා වගේ රණ බෙර වාදනය කළා. රණ බෙර ඇසීමෙන් ඇතාගේ උද්‍යෝගය වැඩි උනා. කුඤ්චනාද කළා. ධෛර්යය ගත්තා. ශරීරයේ තිබුණු මුලු ශක්තියම යෙදෙව්වා. මඩෙන් ගොඩට ආවා. මිනිස්සු ඔල්වරසන් දෙන්න පටන් ගත්තා. හාමුදුරුවරු මේ සිදුවීම බුදු හාමුදුරුවන්ට කීවා. මහණෙනි, බොහෝ දෙනා මේ සසර මඩ වගුරේ ගිලිලා ඉන්නේ. ඉන් ගොඩ ඒමට මන්දෝත්සාහි වෙලයි ඉන්නේ. මේ සසරේ බියකරුකම සිතට ගන්න. කෙළෙස් සතුරන් සමග සටන් කිරීමට වෙර දරන්න. දහම් බෙර වැයෙන විට දිරිය ගෙන කෙළෙස් නමැති මඩ වගුරෙන් ගොඩ ඒමට උත්සාහ දරන්න. හාමුදුරුවරු ඒ අවවාදය පිළිගත්තා.
1/1