මහාකාශ්‍යප හාමුදුරුවෝ සමීපයට තරුණයෙක් ආවා. තමන්ට පැවිදිවීමට අවශ්‍ය බව පැවසුවා. වැඩිහිටියන්ගේ අවසර අරන් එන ලෙසට උන් වහන්සේ කීවා. ඒකත් අරන් ආවා. ඉන් පසු උන් වහන්සේ තරුණයාව මහණ කළා. ටික කාලයක් උන් වහන්සේ හොඳින් බණ භාවනා කළා. එක දවසක් උන් වහන්සේ තමන්ගේ මවගේ සහෝදරයෙක්ගේ නිවසට ගියා එහිදී උන් වහන්සේට මාමාගේ තරුණ දියණියක් දක්නට ලැබුනා. කුඩාකල දුටුවාට වඩා ඇය රූමත්ව සිටියා. ඇගේ බසේ යම් ලාලිත්‍යක් තිබුනා. සිනාවේ සුන්දරත්වයක් තිබුනා. තම ඥාති හාමුදුරුවේ සමඟ ඇය කුලුපගව කතා කළා. ඇය කෙරෙහි යම් ආශක්ත බවත් හාමුදුරුවෝ ඇති කරගත්තා. එදා පන්සලට ආවත් උන් වහන්සේට ඇයව සිහිපත් උනා. ඇවැස්ස නෑ කමකුත් තියෙනවනේ. පහුවදාත් උන් වහන්සේ එම නිවසට ගියා. කවුරුත් මොකුත් කීවේ නැහැ. ඥාති නිවසක්නේ. තරුණිය හාමුදුරුවෝ සමග වැඩි වේලාවක් කතා කර කර හිටියා. තරුණියගේ දෙමාපියෝත් මුකුත් කීවේ නැහැ. හාමුදුරුවෝ ගිලන්පස එහෙමත් වැළදුවා. ආපහු යන්න සූදානම් උනා. “අනේ ඇයි හදිස්සිය. තව ටික වෙලාවක් ඉන්න.” තරුණිය කීවා. ‘ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කීවා වගේ’ හාමුදුරුවෝත් ගමන ප්‍රමාද කළා. අපහු යන්ට ලෑස්ති වෙනකොට “හෙටත් එනවනේ” කියල තරුණිය ඇහුවා. “හ්ම්..” හිනාවෙලා හාමුදුරුවෝ කීවා. තරුණියගේ ඉල්ලීම පිට පහුවදා දවල් දානෙටත් එක්කම හාමුදුරුවෝ ගෙදර ආවා. දෙමාපියෝත් හාමුදුරුවන්ට හොඳට දානය සකස් කරල දුන්නා. එදත් හවස් වෙනකල්ම ගෙදර හිටියා. හවස යන්ට සූදානම් උනා.

1/2

“අනේ ඔන්න ඔහේ මෙහාට වෙලාම ඉන්න. අපි දෙන්නට සන්තෝසෙන් ඉන්න පුලුවන්.” තරුණිය කීවා. “ඒකත් ඇත්ත. මෙහෙත් කවුරුවත් නැහැනේ. පුතා ඔය සිවුර පැත්තකින් තියලා මෙහෙ ඇවිත් ඉන්න. අපිට ආය දරු මල්ලෝ ඉන්න එකක්ය. මේ වස්තුව දෙන්නට ජීවිත කාලෙටම ඇති.” හාමුදුරුවෝ ඒකට කැමැති උනා. නැවතුනා ගෙදර. අර තරුණිය, ඒ කියන්නේ තමන්ගේ ඇවැස්ස නෑනා, විවාහ කර ගත්තා. සතුටින් ජීවත් උනා. හැබැයි ඉතිං පරස්සාව මිස රස්සාවක් කරන්න හිතේ නැහැ. වත්තේ පිටියේ වැඩවත්, හරකා බානගේ වැඩවත්, වෙළහෙළදාමක්වත්, කරන්නේ නැහැ. නැන්ද මාමලා ඒවා කරන්න කීවත් මනුස්සයා වස කම්මැලියා. මේ නිසා ගෙදර නිතර අඩ දබර ඇති උනා. ඔහුගේ බිරිඳත් නිතරම ඤරු ඤුරු ගානවා. අන්තිමේදී ගෙදරින් එළියට දැමිමා. කරන්න දෙයක් නැතුව හොරකමට පෙළඹුනා. දවසක් හොරකමේ ගිය වෙලාවක රාජ පුරුෂයන්ට අහු උනා. රජතුමා ළඟට ගෙනාවා. දඬුවම් නියම උනා. ඔන්න දැන් දඬුවම් කරන්න නියම වෙලා අරන් යනවා. මේ අතර පින්ඩපාත වඩින මහා කාශ්‍යප හාමුදුරුවන් මේක දැක්කා. හාමුදුරුවෝ ඔහු බේරාගන්න මැදිහත් උනේ නැහැ. “ඉස්සර මම ඔබට දුන් කමටහන් මෙනෙහි කරන්න.” කියල එතැනින් වැඩියා. තරුණයා ඉන් පස්සේ දඬුවමට බිය උනේ නැහැ. පීඩාවට පත් උනේ නැහැ. ඇඬුවෙ වැළපුනේ නැහැ. මේක රජතුමාට ආරංචි උනා. එතුමා තරුණයාව නිදහස් කළා. පස්සෙ එයා බුදු හාමුදුරුවන් හමුවට පැමිණියා . තමන්ට සිදුවූ දේ කීවා. සමාව ඉල්ලුවා. බුදු හාමුදුරුවෝ ඔහුට කරුණු කාරණා කියා දුන්නා. ඒ අසා ඔහු ධර්‍මය අවබෝධ කර ගත්තා.

2/2

- ආනන්ද මාරසිංහ -