“චූටි පුතා...” අම්මා මිදුලේ ඉඳන් හයියෙන් කුමාරට කතා කළා. “ඇයි අම්මේ..?” කුමාර ගේ ඇතුලේ ඉඳලම උත්තර දුන්නා. “ඔය ටී. වී. එක සද්දෙ අඩු කරල දාන්න.” “ටී. වී. එක නෙවේ අම්මේ. බෆල් එක.” “ඇයි ඉතිං ඔයාගෙ කන ඇහෙන්නේ නැද්ද. ඔච්චර හයියෙන් දාන්නේ.” “අනේ අම්මේ, ඒක ටිකක් හයියෙන් දැම්මේ ඩාන්ස් කරන්නනේ.” “මොන ඩාන්ස් කළත්, ළඟපාත ගෙවල්වල අයට කරදරයක් වෙන තරමට ටී.වී. එක හරි, රේඩියෝ එක හරි, කැසට් එක හරි, වෙන දෙයක් හරි, දාන්න එපා.” “ඇයි අම්මේ අපි ඒක අපේ ගේ ඇතුලෙනෙ දාන්නේ?.” “ගේ අපේ උනාට, මේ පරිසරය ඔක්කොටෝම අයිතියි. අපි අවට තවත් මිනිස්සු ඉන්නවා. පුතා කැමැති සින්දුවට ඒ අය කැමැති නැහැ. එයා කැමැති සින්දුවට පුතා කැමැති නැහැ. සමහරු කැමැති නිශ්ශබ්ද පරිසරයකට. බලන්ටකෝ සද්ද බද්ද ගොඩක් තියෙන තැනකට කුරුල්ලෙක්වත් එනවද කියල. ඉතිං අපි අපේ ගෙදරට විතරක් ඇහෙන්න ඒ දේවල් පාවිච්චි නොකරන්නේ ඇයි.?” “එහෙනම් අපරාදෙනේ අම්මේ අපි ඒවා සල්ලි දීල ගෙනෙන්නේ.” “එහෙම කියන්න එපා පුතා. ටැංකියේ වතුර පුරවල තිබුණ කියල අපි ඒ ඔක්කොම එකවර බොන්නේ නැහැනේ. තිබහ තරමට තමයි බොන්නේ. ටැංකියේ ඔක්කොම වතුර එකපාරට නාන්නේ නැහැනේ. ඇති තරමටයි නාන්නේ . ඒ වගේ ඒකේ සද්දේ තිබුණා කියල උපරිම දාන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවට ගැලපෙන විදිහට අඩු වැඩි කරල පාවිච්චි කරන්න පුලුවන් විදිහට තමයි ඒවා හදල තියෙන්නේත්”. “ඒකත් එහෙම නේද අම්මේ. එහෙනම් අපි අපිට විතරක් සද්දේ ඇහෙන විදිහට වොලියුම් එක අඩු කරමු.” කී කුමාර ඒකෙ සද්දේ අඩු කළා. “මගෙ හොඳ පුතා.” අම්මා කීවා.

1/1

- ආනන්ද මාරසිංහ -