අන්දරේ රජමාළිගාවේ සේවය කළත්, රාජකාරියේ නොයෙදෙන අවස්ථාවල වෙනත් කාර්යයන්හිත් නිරත උනා. මහනුවර රජමාළිගාවේ නිළමෙ වරයෙකු තමන්ගේ ඉඩම බලාගත හැකිදැයි අන්දරේගෙන් ඇසුවේ ඒ බව දැනගෙනයි. “කමක් නැහැ නිළමෙ තුමනි. මම ඒ කාරිය කරළ දෙන්නම්.” “හොඳයි, මම උඹට පඩිගෙවන්නේ නැහැ. වත්තේ මොනව හරි භවභෝග හදාගෙන උඹ ඒක භුක්ති විදපං. හැබැයි වත්තේ තියෙන ස්ථීර භවභෝග මගේ අවසරයක් නැතුව විනාශකරන්නවත් කපන්නවත් බැහැ.” “මම එහෙම කරන්නේ නැහැ. ඉඩම ආරක්ෂා කරල දෙන්නම්.” වත්තේ සාදික්කා ගොරක එනසල් ගම්මිරිස් එළවලු වගේ භෝග වගා කළ අන්දරේ ඒවායින් කොටසක් නිළමෙටත් දීල, තමනුත් පරිභෝජනය කරල, වෙළෙන්දන්ටත් දීල, අමතර ආදායමකුත් ලබා ගත්තා. දවසක් අන්දරේ වලව්වට ගියවෙලාවේ වලව්වේ මැණිකේ ‘තමන්ට ගොරක මුලක් ගෙනවිත් දිය හැකිදැ’යි අන්දරේගෙන් ඇහුවා. “මොකදෑ අපෙ මැණිකේ බැරි. මම අද හවසම ගෙනත් දෙඤ්ඤම්.” ඇයට විහිලුවක් කිරීමට අන්දරේ කල්පනා කළා. වත්තේ ගොරක ගහක් හුළගට ඉදිරිලා වැටිලා තිබුනා. තවත් දෙදෙනෙක් අල්ලගෙන අන්දරේ ගොරක මුල කැපුවා. එදා හවසම ඒ කපාපු මුල සේවකයන් දෙදෙනා අත වලව්වට යැව්වා. අන්දරේත් ඔවුන් පස්සෙන් වලව්වට ගියා. “මොකෝ අන්දරේ මේ ගොරක මුලක් ගෙනත් තියෙන්නේ?” නිළමේ ඇසුවා. “අනේ ලොකුනිළමේ, වලව්වේ අපේ ලොකු මැණිකේ කිවා, ගොරක මුලක් ගෙනවිත් දෙන්න කියල. මම ඒක අමතක වෙයි කියල, අදම අරගෙන ආවා.”යැයි යටහත්ව කීවේය. “මොකටද මැණිකේ ගොරක මුලක්.” නිළමේ ළඟට ආ මැණිකෙගෙන් ඇහුවා. “අනේ එහෙම එකක් නැහැ නිළමේ. මම කීවේ වෑංජනවලට දාන්ට ගොරක මුලක් ගෙනත් දෙන්න කියලයි.” මැණිකේ කීවා. “අනේ අනේ අන්දරේ, උඹත් කරන දේවල්. මෙන්න මේ මේ ගොරක මුල අර වත්ත පහළට දාන්න කියපන්.” “මැණිකේ ඔය අන්දරේටයි, මිනිස්සු දෙන්නටත් මොනව හරි කැවිල්ලක් පෙවිල්ලක් දෙන්න.” “අන්දරේ උඹටනම් මොකුත් දෙන්න වටින්නේ නැහැ.” මැණිකේ හිනාවෙලා අන්දරේ දිහා බලල කීවා. “එහෙම කරන්න එපා මැණිකේ. මම ගොරක මුලකුත් අරන් ආවේ.” යැයි කරේ එල්ලාගෙන ආ ඔලොගුවෙන් ගොරක මුලක් අරන් මැණිකේට ගරු සරුව පිළිගන්වමින් කීවේය. ( මේක රජ බිසවට කළා කියලත් සමහර තැනක සදහන් වෙනවා.) බඩකට පුරා දෙයි රස මසවුළු කන්ට අතකට පුරා දෙයි ගෙදරත් ගෙනියන්ට මලකට බමරු ලෙස පිරිවර වැඩි වෙන්ට මැණිකෙට තව තවත් කිරිපැණි ඉතිරෙන්ට
1/1