ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට ලාංකීය බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් උසුලන තැනෙකි දඹුල්ල රජමහ විහාරය. ජනප්‍රවාදයට අනුව දඹුල්ල පර්වතය ආශ්‍රය කරගෙන ඇති ලෙන් ගුහා වළගම්බා රජතුමාට රැකවරණය සලසා දුන් ස්ථානයන්ය. සොලීන්ගේ පහරදීම්වලින් බේරීගත නොහැකි වූ රජතුමා බිසවත් සමග පලා යන්නේ දඹුල්ලටය. එම ආරක්ෂාව සැපයූ ස්ථානවල විහාර කර්මාන්ත කිරීම එතුමාගේ සිරිතක් විය. වර්තමානයේ දඹුලු ලෙන් විහාරයට ලෙන් ගුහා පහක් ඇති බව අපි දනිමු. ඉන් ලෙන් තුනක ප්‍රතිමා නිර්මාණය කළේ වළගම්බා මහරජතුමන් විසිනි. ඒ පශ්චිම විහාරය, දෙව්රජ විහාරය, හා මහරජ විහාරය යන තුනයි. අලුත් විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මහනුවර රජ සමයේදී ඉදි කරන ලද අතර, දෙවැනි අලුත් විහාරය, ඊටත් පසුව ‘දිය නිළමේ’ නමින් හදුන්වන නිළමේ කෙනෙකු විසින් ඉදි කරන ලදී දඹුල්ල රජමහ විහාරයේ ලෙන් විහාර පහක් පමණක් නොව ශ්‍රී විෂ්ණු දේවාලයක්ද තිබේ. විෂ්ණු දේවාලය හා රජමහ විහාරය කේන්ද්‍ර කරගෙන වාර්ෂික මංගල්‍යයන් කීපයක්ම පැවැත්වේ. සියවස් ගණනාවක් පැවතීගෙන ආ එම මංගල්‍යයන් එදා සේම නැතත් අදත් පැවැත්වේ. ඒ පිළිබඳව දැණුවත් කිරීමකි මේ. • ජනවාරියේ පැවැත්වෙන අගස් මංගල්‍යය. • අප්‍රේල් මාසයේ පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යය. • වෙසක්පුර පසළොස්වක පොහෝ දින පැවැත්වෙන නානුමුර මංගල්‍යය. • ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ මංගල්‍යය. • ඉල් පුර පසළොස්වක දිනයෙහි පැවැත්වෙන කාර්තික මංගල්‍යය. යන මේවායි. ඉන් මෙම සියලුම මංගල්‍යයන් පිළිබදව නොව ‘අගස් මංගල්‍යය’ හා ‘කැවුම් පෙරහැර’ පිළිබදව තොරතුරු ගෙන හැර දැක්වීම මෙම ලිපියේ බලාපොරොත්තුවයි. ඊට පෙරාතුව සෙසු මංගල්‍යයන් පිළිබඳවද කෙටියෙන් මුලින්ම සදහන් කළයුතු යැයි සිතමි. ජනවාරි මාසයේ අගස් පෙරහැර පැවැත්වේ. අප්‍රේල් මාසයේ උදාවන අලුත් අවුරුදු නැකතට ‘අලුත් අවුරුදු මංගල්‍යය’ පැවැත්වේ. එම මංගල්‍යයෙන් පසුව දේවාලය වසා දමයි. එය නැවත විවෘත කරන්නේ වෙසක් පුන් පොහෝදින පැවැත්වෙන ‘නානුමුර මංගල්‍යයෙන්’ පසුවය. දේවාලයේ නානුමුර මංගල්‍යය කපු මහතුන් විසින් පවත්වන අතර එයට සමරූපීව විහාරගෙවල් පහේ ප්‍රධාන පිළිම වහන්සේලා නානුමුර කිරීමද අදාල විහාරස්ථානයේ තේවා භාර ස්වාමින් වහන්සේ හෝ උන්වහන්සේගේ අනුමැතිය ලත් එම විහාරස්ථානයේම වෙනත් ස්වාමින් වහන්සේ නමක් විසින් කරනු ලැබේ. එය කරනු ලබන්නේ කණ්නාඩියකින් බලා අරළිය පොහොට්ටුවකිනි. කලින් සකස් කරගත් නානු ප්‍රතිමා වහන්සේගේ මුහුණෙහි පමණක් තවරනු ලැබේ. එසේ කරනවිට මුරුතැන් රාළලා, “චිරාත් කාලයකට ඉරහඳ පවතිනා තුරාවට, ආ වඩා ආයු බෝවේවා.” යි හඩනගා පවසති.
1/11
ඇසළ මාසයේදී පැවැත් වෙන ‘ඇසළ පෙරහැර මංගල්‍යය’ අද නොපැවැත් වේ. පූජා භූමි සංවර්ධන සැලැස්මේදී ‘පෙරහැර මාවත’ නමින් දඹුලු පර්වතය ප්‍රදක්ෂිණා වන පරිදි පෙරහැර මාවතක් සකස් කරන ලද නමුත් අද එය නමට පමණක් සීමා වී ඇත.පුරාණයේදී මේ පෙරහැර පැවතී ඇත්තේ තේවා පන්සල් සියල්ලේම සහභාගිත්වයෙනි. ලක්දිව පුරාම විහාර දේවාලයන්හි ඇසල මංගල්‍යයන් පවත්වන්නේ කෘෂිකර්මාන්තය සශ්‍රීක කර ගැනීමේ පරමාර්ථයෙනි. වර්තමානයේ වෙසක් පොහොය නිමිත්තෙන් පෙරහැරක් උයන්වත්ත රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පවත්වයි. එහි මූලික පරමාර්ථය අලුතින් ඉදි කරන ලද ‘ධර්මචක්‍ර පුතිමා වහන්සේට’ ගෞරව දැක්වීමයි. ‘කාර්තික මංගල්‍යයක්ද’ මුල් වකවානුවේදී පවත්වන ලද නමුත් අද ඒවා අභාවයට ගොසිනි. දැනට ඉල්පුර පසළොස්වක පොහෝදිනයට යෙදෙන කාර්තික පූජාවේදී පහන් දැල්වීම පමණක් කරනු ලැබේ. අගස් මංගල්‍යය. ‘අගස්’ යන වචනය සැකසී ඇත්තේ ‘අග්‍රශෂ්‍ය’ යන වදනිනි. (අගසස් - අගහස්- අගස් ) ශෂ්‍යයකින් හෙවත් අස්වැන්නකින් ප්‍රථම කොටම වෙන්කරන ලද කොටස අග්‍රශෂ්‍ය නමි. ඊට ‘අගහස්’, අගස් යැයිද ව්‍යවහාර වේ. එසේ සකස් කරගන්නාවූ අග්‍රශෂ්‍ය බුදුන්ට, දෙවියන්ට, හෝ තමන් අදහන තැනත්තෙකුට, සම්මුඛව හෝ අසම්මුඛව දානවශයෙන් පූජා පැවැත්විම ලාංකිකයන්ගේ පමණක් නොව ලෝකයේ විවිධ විවිධ රටවල කෘෂි ජනතාව අතර ප්‍රචලිත චාරිත්‍රයකි. අග්‍රශෂ්‍ය යන්නෙන් අදහස් කරන්නේ අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව සිදුවන කාර්යයක්ම නොවන බව සද්ධර්ම රත්නාවලියෙහි එන ‘අගසවුවතෙන්’ පෙනීයයි. එහිදී සඳහන්වන ආකාරයට අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමියන්, එම තනතුර ලබා ගැනීම සඳහා ගොවිතැනේ විවිධ අවස්ථාවල නව වාරයක් ‘අගහස් බත්’ දුන් බව සඳහන් වේ. “ඒ ගොයම් නොදන තෙක් දුටු සතුටේ අගහස් බතක් දුන්හ. දන දවසුත් අගහස් බතක් දුන්හ. උප්පිඩි කරන දවසුත් දනක් දුන්හ. කඳු කරන දාත් දනක් දුන්හ. කළවිටි ලන දාත් දනක් දුන්හ. වී මිරිකා රාහි කරන දාත් දනක් දුන්හ. අටුවේ ලන දාත් දනක් දුන්හ.යි නව වාරයෙක නව අගහස් බතක් දුන්හ.” කෘෂිකාර්මික ජීවන රටාවක් ඇති බොහෝ සංස්කෘතීන්ගේ සිරිතක් වන්නේ තමන් ලබා ගන්නා අස්වැන්නෙන් පළමු භාගය තමන් අදහනු ලබන ආගමික මතවාදයන් සමග බද්ධ කර පුද පූජා පැවැත්වීමය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමට පෙර සිටම අපේ ආදිවාසීන් අතර එම සිරිත විය. සමහරවිට එය නෑ යකුන් වෙනුවෙන් පිදීමක් විය . නැතිනම් යම් කිසි දේවතාවෙක් කේන්ද්‍ර කර ගත් පිදීමක් විය. එයට ශාක්ෂි වංශ කතාවන්හී හා සිංහල පාලි සාහිත්‍ය මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. ලක්දිව වන්දනාවට පාත්‍රවන බොහෝ දෙවිවරුන්ගේ උත්පත්තිය සිදුවී ඇත්තේ භාරතයේය. හෙවත් හින්දු දේවපුරාණයේ එන දෙවියන්ය. ඊට බැහැරව දේශීය සමහර වීරවරයන්ද දේවත්වයෙහි ලා සැලකීමට අපි හුරුවී සිටිමු. මින්නේරි දෙවියන්, කලුදෑකඩ දෙවියන්, කීර්ති බණ්ඩාර දෙවියන්, පිටියේ දෙවියන්, වැනි දෙවියන් බිහි වූයේ ඒ අනුසාරයෙනි.
2/11
කෘෂිකාර්මික රටාවකදී සිය භෝගයන්හී අග්‍රභාගය දෙවියන් බුදුන් වෙනුවෙන් පිදීමට වැසියෝ හුරුවූ බව මුලින්ද සඳහන් කළෙමු. පසු කාලයේදී එය බුදුන් වෙනුවෙන්ද, බෝධීන් වහන්සේ වෙනුවෙන්ද, දළදා වහන්සේ වෙනුවෙන්ද, පිදීමට හෙළයෝ පුරුදු වූහ. යල මහ දෙකන්නයේම එසේ කිරීම සඳහා ඔවුන් විශේෂ දින යොදා ගත්හ. වෙන් වෙන්ව කරනවාට වඩා එම ප්‍රදේශයේ කෘෂිකාර්මික ජීවිතයක් ගත කරන සියල්ලෝම එකතුව එක් තැනෙකදී කිරි උතුරුවා එම පුද පූජා පැවැත්වීමට හුරු පුරුදු වූහ. ඒ සඳහා විවිධ සම්ප්‍රදායන් ගොඩ නගා ගත්හ සමහරක් සමාන වන අතර සමහරක් ඒ ඒ පළාතටම ආවේණික ඒවා වෙයි. දඹුලු විහාරයේ අගස් මංගල්‍යය. දඹුලු රජමහ විහාරයේ වාර්ෂිකව පැවත්වෙන මංගල්‍යයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ අගස් මංගල්‍යයයි. එය ‘අගස් පූජාව’ අග්ගස් පූජාව’ ‘අග්ගස් මංගල්‍යය’, ‘කිරිබණ්ඩි පූජාව’, ‘අමුසාල් පූජාව’, යනුවෙනුත් හදුන්වනු ලබයි. මෙම පූජාව පවත්වනු ලබන්නේ දුරුතු පුර පසළොස්වක දිනයේ පොහොය ගෙවෙන වේලාවටය. මෙහිදී සිදු කරන්නේ දඹුලු රජමහ විහාරයට හා එහි ශ්‍රී විෂ්ණු මහ දේවාලයට අයත් කෙත් යායවලින් ලබා ගන්නා ‘කිරිබණ්ඩි’ මුරුතැන් පූජාවක් ලෙස බුදුන්ට හා දෙවියන්ට පූජා කිරීමයි. ඒ හා බැදුණු චාරිත්‍ර රාශියක් වේ. මේ මංගල්‍යයේ කටයුතු ආරම්භවන්නේ දුරුතු පුර පසළොස්වක් පොහෝ දිනයට දින තුනකට පෙරාතුවය. වර්ෂාරම්භයේදීම ඒ පිළිබඳ නැකත් සීට්ටුව ‘නැකත්කොරාළ’ විසින් සාදා විෂ්ණු දේවාලයේ භාරකාර ස්වාමින් වහන්සේට ලබා දී තිබිය යුතුය. අතීතයේදී ඒ සඳහාම වෙන්වූ නැකත් කෝරාල කෙනෙකු සිටි නමුත් වර්තමානයේ එවැන්නෙකු රාජකාරි මට්ටමින් සේවය නොකරයි. එම නිසා ඒ කාර්යය විෂ්ණු දේවාලයේ ප්‍රධාන විදානේ මහත්මා විසින් සුදුසු නක්ෂස්ත්‍රාචාර්ය වරයෙකු වෙතින් නැකත් බලා භාරකාර ස්වාමින් වහන්සේට ලබා දෙනු ලබයි. ඉන් පසු ඒ සියල්ල සුදුසු ආකාරයෙන් සංවිධානය කිරීමේ වගකීම උන් වහන්සේ විසින් විදානේ හෙවත් ප්‍රධාන කපු මහත්මා වෙතම පවරනු ලබයි. ප්‍රධාන කපු මහත්මා විසින් කටයුතු සංවිධානය කරනු ලබන්නේ ඒ අනුවය. මුල්තැන්ගේ භාරකරුවන්, දේවාලයේ සෙසු කපු මහත්වරුන්, කත්තියන් රාළ, හගලයා හෙවත් හේනයන්, හේවිසි කරුවන්, ගම් දහ අටේ ගමරාළවරුන් හා පොලිසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්, දැණුවත් කිරීමේ කටයුතු කළ යුතු වන්නේත් විදානේ මහත්මා විසින්මය. ඒ අනුව සුදුසු ආකාරයට පෙරහැර සංවිධාන කටයුතු එතුමා විසින් කරනු ලබයි. අදහස් ප්‍රකාශ කිරීම් මිස ඒවාට එරෙහි වීමට භාරකාර හිමියන් හෝ විහාරාධිපති හිමියන් ඉදිරිපත් නොවෙයි. පෙරහැර පිටත් වෙන නැකත් වේලාවට පෙර ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ තේවාවන් කරන කපු මහත්වරුන් විසින් දේවාභරණ පේකර, සදුන් දියරෙන් පිරිසුදුකර, සුවඳදුම් අල්ලා, සූදානම් කර තැබිය යුතුය. එසේම බුදුන් හා දෙවියන් වෙනුවෙන් කත් දෙකක්ද සූදානම් කළ යුතු වෙයි. බුදුන්ගේ කද සුදුපාට වස්ත්‍රයෙනුත්, දෙවියන්ගේ කද රතු, නිල් වස්ත්‍රයෙනුත් වෙන වෙනම සකස් කළ යුතු වෙයි. නියමිත නැකත් වෙලාවට හොරණෑ, හේවිසි, සක්, හඩ මධ්‍යයේ ඒවා දේවාල දොරටුවෙන් එළියට වඩම්මනු ලබයි. පෙරහැර ආරම්භ වන්නේ ඉන් පසුවයි. ඒ සදහා මුලින් ද සඳහන් කරන ලද, දේවාලයේ ප්‍රධාන කපු මහත්මයා හෙවත් විදානේ මහත්මා අනිවාර්යයෙන්ම එක් විය යුතුයි. සම්ප්‍රදාය වන්නේ ඔහු සම්පූර්ණ මුල් ඇදුමෙන් සැරසිය යුතු වීමයි. ඊට අමතරව, දේවාලයේ සියලුම කපුමහත්වරුත්, මුලුතැන්ගේ කපුරාළත්, හඟලයාත් සහභාගි විය යුතුයි. ඔවුන් සියලු දෙනාමත්
3/11
සහභාගිවිය යුත්තේ නියමිත රාජකාරි නිළ ඇඳුමෙනි. දේවාලය වසා තැබෙන නිසා සියලුම කපු මහත්වරු සහභාගී වෙන නමුත්, විහාරය විවෘත කර තැබෙන නිසා සියලුම මුලුතැන්ගේ කාර්ය මණ්ඩලය සහභාගි නොවේ. ඔවුනට විහාරයේ තේවාවන් නිසිපරිදි කිරීමට ඇති හෙයිනි. පෙරහැරේ ගමන් කරන හේවිසි කණ්ඩායම්වල ප්‍රමාණය විදානේ මහත්මයා විසින් තීරණය කරන අතර, සහභාගිවන බැතිමතුන්ගේ පිරිසේ සීමාවක් නොමැත. දේවාලයෙන් පිටතට පැමිණ ඉන්පසු විහාර භූමියේදී පූජා හේවිසියක් පවත්වනු ලබයි. තෙරුවන් සිහිකර ඉන්පසු පෙරහැර විහාර සීමාවෙන් පිටතට පැමිණෙන්නේ මහත් භක්තියෙනි. බහිරව පහණ, සැරසුම්ගල ඔස්සේ වැල්බෝධිය හෙවත්, ප්‍රාර්ථනා බෝධිය අසලට පැමිණෙන පෙරහැර, එහිදීත් පූජා හේවිසි පවත්වනු ලබයි. මේ බෝධිය පවතින්නේ විහාර භූමියට ඇතුල්වෙන මකර තොරණ ළඟය. විහාර මන්දිරයට නොගියත් පෙරහැරට සහභාගිවන තවත් පිරිස් මෙහිදී පෙරහැරට එකතුවෙති. මෙම බෝධිය අසලදී පෙරහැර සඳහා සහභාගී වන සියලුම දෙනාට කැවුම් කිරිබත්වලින් සංග්‍රහ කිරීමට ගැමියෝ පුරුදු වී සිටිති. (වර්තමානයේ විදානේ මහත්මාගේ නිවස ඒ ආසන්නයේම තිබෙන හෙයින් පූජා හේවිසි පවත්වා පිරිස සංග්‍රහ භුක්ති විදින්නේ එතුමාගේ නිවසේදීය.) බෝධිය ළඟ ශබ්ද පූජා පැවැත්වීමෙන් පසුව, පෙරහැර මාතලේ පාරේ පන්නම්පිටිය හන්දියෙන් හැරී ඇතාබැඳිවැවට පැමිණෙයි. මේ අතරතුරදී හමුවෙන, යාපාගම, කපුවත්ත, කිරළගොල්ල, පන්නම් පිටිය, මැණික්දෙණ, ආදි ගම්මානයන්හී මග දෙපස සිටින ජනතාව තම තමන්ගේ නිවෙස් ඉදිරියෙහි මල් පැළක් සකස් කර දෙවියන් වෙනුවෙන් වෙන්කර තිබෙයි. එහිදී පෙරහැරේ පැමිණන කපු මහත්වරු ඒ ඒ මල් පැළ ආසන්නයට ගොස් දෙවියන් වෙනුවෙන් යාතිකා කර ඒ ඒ නිවෙස් හිමියන්ටත් ඔවුන්ගේ භව භෝගයන්ටත්, ගැමියන්ටත්, දේවාශීර්වාදය ප්‍රාර්ථනා කරති. වෙනදා බැතිමතුන් දේවාලයට යා යුතු වුවත් අද දේවාභරණ, තමන්ගේ නිවස ඉදිරියටම පෙරහැරේ වැඩමවා ඇති හෙයින් ගැමියෝ මේ පූජාව සෑම වර්ෂයකම නොකඩවා පවත්වන්නේ මහත් භක්තියකිනි. දින තුනක් තිස්සේ පෙරහැර ගමන් කරන මාර්ගයෙහි දෙපස ඇති සෑම නිවසකම මේ චාරිත්‍රය ඉටු කරනු ලබයි. දින තුනක් පයින්ම ගමන් කරමින් කෙතරම් වෙහෙසකාරීව සිටියත් කපු මහත්වරුන් විසින් ඉතා ඕනෑකමින් සියලුම පූජාවෝ පවත්වනු ලබති. පෙරහැර ආරම්භ කළ දින දහවල් ආහාරය ගනු ලබන්නේ ඇතාබැඳිවැවදීය. දුටුගැමුණු රජතුමාගේ කාලයේ සිට පැවත එන්නේයැයි සැලකෙන එගම වැසියන්ද, වාර්ෂිකව ඒ සඳහා සූදානම්ව සිටිති. පුරාණයේදී, වත්තේ ගෙදර නිවැසියන් විසින් පමණක් සකස් කරන ලද එම දානය සදහා වර්තමානයේ සෙසු අයද සම්මාදන් වෙති. මේ ආහාර සදහා කිසිදු පිළිහුඩුවක් මිශ්‍ර කර නොගැනීම සම්ප්‍රදායයි. චාරිත්‍රයයි. දහවල් ආහාරයෙන් පසුව සුලු වේලාවක් එහි විවේක ගන්නා පිරිස ඉන් අනතුරුව පෙරහැර සැදී නැවත ගමන් ආරම්භ කරන්නේ ලේනාවල වලව්වට යාමටය. කිරිබණ්ඩි සකස්කරගැනීම සදහා අතීතයේ සිටම භාවිතා කරනු ලබන්නේ ලේනාවල කෙත් යායෙන් තෝරාගත් ලියදිය. ලේනාවල කෙත්යාය යනුවෙන් හදුන්වන්නේ දඹුලු විහාර සඟපරපුරට අයත් ලේනාවල හිමියන් සතු කෙත් යායකි. එම සම්ප්‍රදාය අනුව යමිනි, අදත් එම කෙත්යායම මේ සදහා භාවිතා කරන්නේ.ලේනාවල වලව්ව එදින රාත්‍රිය ගතකිරීමට සූදානම් කරදීමද එදා සිට පැවැති චාරිත්‍රයයි. රාත්‍රී ආහාරය සම්පාදනය කළේද ලේනාවල වලව්වමය. එහෙත් මෑතක සිට ලේනාවල නාගොල්ල කිරිඔලුව විහාරස්ථානයද ඒ
4/11
සදහා භාවිතා කරති. පුරාණයේදී ලේනාවල වලව් දෙකේ සාමාජිකයන් විසින්ම එම දාන මානාදිය සම්පාදනය කළත් මෑත භාගයේදී ගම්වාසීහුද ආහාර සම්පාදනය සදහා සම්මාදන් වෙති. ලේනාවල කෙත් යායට විෂ්ණු දේවාලයේ කපු මහතා හෝ වෙනත් කපු මහතෙකු සුදුසු කුඹුරක් පරීක්ෂා කිරීම සදහා මාස කීපයකට පෙරම ගමන් කරයි. ඉන්පසු සුදුසු ලියද්දක් හෝ දෙකක් වෙන් කර ආරක්ෂාව සම්පාදනය කරයි. ඒවා සතුන්ගෙන් ආරක්ෂා කර දේවපූජාවට සුදුසු සේ පවත්වාගෙන යාම ඉඩම් හිමියාගේ කාර්යභාරය වේ. ලේනාවල රාත්‍රිය ගතකරන විදානේ මහත්මයා සහ සෙසු කපු මහතුන් පෙරහැර සමග පසුදා පාන්දරම කෙත් යායට ගමන් කරති. තෝරා වෙන් කරන ලද ලියද්දට උඩු වියන් සහිතව හේවිසි හොරණෑ හා ජනයාගේ සාදුකාර මධ්‍යයේ ගමන් කරති. එහිදි කිරි බණ්ඩි සඳහා, ගොක් රැහැන් ඇද වෙන් කර තිබෙන කොටසට කහදියර ඉස, කට්ටකුමංජල් දුම් අල්ලා, සදුන් දියර ඉස, පහන් පත්තු කරයි. වටතිර අදියි. ඒ සදහා භාවිතා කරන්නේ ශ්වේත වර්ණ වස්ත්‍රයකි. පසුව ප්‍රධාන කපු මහතා හෝ ඔහුගේ අනුමැතියෙන් වෙනත් කපු මහතෙක් කුඹුරට බැස, බණ්ඩි ගැලවීම සිදු කරයි. මෙහිදී කරන්නේ බණ්ඩි සහිත ගොබය ඇද, ගසෙන් වෙන්කර ගැනීමය. එසේ ගලවා ගත් බණ්ඩි පළමුව බුදුන් වෙනුවෙන් වෙන්වූ හේම කදේත්, දෙවනුව දෙවියන් වෙනුවෙන් වෙන්වූ හේම කදේත්, තැන්පත් කරයි. එය කත්වල තැන්පත් කරන්නේ මුලුතැන්ගේ විදානේ රාළ විසිනි. එතැන් සිට එම හේම කත් දෙකේ භාරකාරත්වය පැවරෙන්නේද ඔහුටමය. මෙම හේම කත්වල තැන්පත් කර ඇත්තේ අලුත්ම මුට්ටි සතරකි. ඒ දෙකක් විහාර වෙනුවෙන් හා දෙකක් දේවාලය වෙනුවෙන් වශයෙනි. ඉන් අනතුරුව පැමිණි අයගෙන් තෝරාගත් තවත් කීප දෙනෙක් කිරිබණ්ඩි අහුරු කීපයක් ගලවා හේමකත්හි තැන්පත් කරති. එසේ ගලවා ගත් කිරිබණ්ඩි නැවත පෙරහැරෙන්ම නැවතී සිටි පන්සලට හෝ ලේනාවල වලව්වට රැගෙන එනු ලබයි. පෙරදින රාත්‍රී ආහාරය මෙන්ම උදෑසන ආහාරයද ලබා ගන්නේ ලේනාවලදීමය. ඈත අතීතයේ සිටම ලේනාවල වලව් දෙකම මේ සදහා සූදානමින් සිටී. කිරි බණ්ඩි හා දේවාභරණ තැන්පත් කිරීම සදහා විශේෂ මණ්ඩප සකස් කර තිබේ. ආහාර ගැනීමෙන් පසු පැමිණ සිටින ගම්වැසියන් සියලු දෙනාම වෙනුවෙන් ආශීර්වාද පූජා පවත්වනු ලැබේ. ඒ සදහා සියලුම කපු මහත්වරුන්ගේ සේවය ලබා ගැනේ. එදින දිවා ආහාරය ගනු ලබන්නේද ලේනාවලදීමය. එම ආහාර වේල සකස් කරනු ලබන්නේද ලේනාවල වලව්වෙන් හෝ ගම් වැසියන් විසිනි. දහවල් 12.30 ත් 1.30 ත් අතර එම ආහාරය ලබා ගනිති. එහිදීද කිසිදු පිළිහුඩුවක් එක් කරගනු නොලැබේ. සාමාන්‍ය ආහාර වට්ටෝරුව වන්නේ බත් සමග කිරි කොස් ව්‍යඤ්ජනයත්,වට්ටක්කා හා කිරිහොදිය. දිවා ආහාරයෙන් පසුව සවස 4.30 පමණ වනතුරු සියලු දෙනාම විවේකයෙන් ගත කරති. ඉන් පසු නැවත වතාවක් දඹුලු විහාරය වෙත පැමිණීමේ ගමන ආරම්භ කරති. ( මුල් කාලයේදී අම්බොක්ක දේවාලයේ ආරාධනාව පරිදි එම දේවාලයටද අගස් පෙරහැර ගමන් කළ නමුත් දැන් එසේ යන්නේ නැත.) ආපසු එන අතර, වහකෝට්ටේ, මැදබැද්ද හරහා බම්බාව විහාරස්ථානයට පැමිණෙති. බම්බාව
5/11
විහාරස්ථානයේදී පූජා හේවිසි පවත්වනු ලැබේ. බම්බාව විහාරස්ථානයේ තෙද බල පතුරා ඇත්තේ ගලේ බණ්ඩාර දෙවියන්ය. එසේ වුවත් එහි විෂ්ණු දෙවියන් වෙනුවෙන්ද පුද පූජා පවත්වනු ලැබේ. බම්බාව දේවාලය අසල පූජා හේවිසි පැවැත්වීමෙන් පසුව, ගලේවෙල හරහා පහළවැව විහාරස්ථානයට පැමිණෙති. එදින රාත්‍රිය ගතකරන්නේ පහළවැව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේය. රාත්‍රී ආහාරවේල ගම්වැසියන් සියලු දෙනාගේම එකමුතුවෙන් සකස් කරනු ලැබේ. එදින එගම් වාසීන් වෙනුවෙන් දෙවියන් උදෙසා භාරහාර හා පුදපූජා පවත්වනු ලබයි. ගැමියන්ගේ භව භෝග වර්ධනය කරදෙන ලෙස ඉල්ලා දෙවියන් වෙනුවෙන් යාතිකා කරනු ලබයි. පසුදා උදෑසන ආහාරයද සකස්කරනු ලබන්නේ පහළවැව ගම්වාසීන් විසිනි. උදේ ආහාරගැනීමෙන් පසුව බණ්ඩි පෙරහැර එම විහාරස්ථානයෙන් පිටත් වේ. අනතුරුව තලකිරියාගම, පසුකර ඉබ්බන්කටුවට පැමිණෙයි. එහිදී විනාඩි පහලවක් පමණ කාලයක් පූජා හේවිසි පවත්වයි. එම ස්ථානයේ සිට එසේ කරන්නේ දඹුලු විහාරයට එම ශබ්දපූජාව ඇසිය යුතුය යන අදහසිනි. එම ශබ්දපූජා පවත්වන ස්ථානයට විහාරස්ථානය හොඳහැටි පෙනේ. ඉන් අනතුරුව පොහොරන්වැව, උසාවිය හන්දිය නිශ්ශංක හන්දිය හරහා විහාරහන්දියට පැමිණේ. විහාර හන්දියට පැමිණි පෙරහැර නැවත ප්‍රාර්ථනා බෝධිය අසලට ළගාවෙයි. ප්‍රාර්ථනා බෝධිය අසලට විහාරස්ථානය පිහිටි ස්ථානය හොදින් පෙනේ. එසේම මේ ස්ථානයේ සිට පවත්වනු ලබන ශබ්ද පූජාවන්ගේ හඩ විහාරස්ථානයට හොදින් ඇසේ. බෝධිය අසලදී එසේ ශබ්ද පූජා පවත්වා, සුලු වේලාවක් විවේක ගෙන නැවත පෙරහැර සකස්වී සැරසුම්ගල ඔස්සේ විහාරස්ථානයට සමීප වෙයි. මේ ගෙවදීම බොහෝ විට සිදුවන්නේ පෝය ගෙවෙන අවස්ථාවේදීය. පෙරහැරෙන් ගෙන එන ලද බණ්ඩි කත් දෙකම මුලුතැන් ගෙට භාරදෙනු ලබයි. උඩු වියන් බැඳ ආරක්ෂා සහිතව තබන එය පසුවදා පාන්දර පිසිනු ලබන මුරුතැන් බතට මිශ්‍රකරනු ලබයි. මුරුතැන් පිසීම සදහා භාවිතා කරන්නේ අලුත්ම මැටි මුට්ටියකි. එය සම්ප්‍රදායයි. මෑත කාලයේදී සමහර ස්ථානවල විශාල පිරිසක් අලුත් සහල් මංගල්‍යයන් සදහා සහභාගිවන විට ඇලුමිණියම් හෝ තඹ භාජන භාවිතා කරයි. එහෙත් නැවුම් මැටි බදුනක කිරි ඉතිරවීම හා අලුත් සහල් බත් පිසීම අපේ සම්ප්‍රදායයි. දඹුලු විහාරයේ අලුත් සහල් මංගල්‍යයන් සදහා පෙරසිටම මැටිවළං ලබා දුන්නේ ලේනාවල ගමෙනි. උදෑසන සකස් කරගන්නා මුරුතැන් පූජාව ශ්‍රී විෂ්ණු දේවාලයට හා විහාර පහේ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් එක්වරම පූජා පවත්වනු ලැබේ. එහිදී විෂ්ණු දේවාලයේ ප්‍රධාන කපුමහත්මා ඇතුලු සෙසු දෙවාලයේ කපු මහත්වරුන් විසින්ම දේවාලයේ පූජාව කරනු ලැබේ. එයට බාහිර පුද්ගලයන්ට සහභාගිවන්නට අවස්ථාව නොසැලසේ. විහාර මන්දිරවල පූජාවන් පවත්වනු ලබන්නේ අදාල විහාරස්ථානවල තේවාවන් කරන ගෞරවණීය ස්වාමින් වහන්සේලා විසිනි. හේමකත් මගින් මුරුතැන් රාළලා විසින් එම මුරුතැන් වඩම්මවති. මෙම පූජාව පැවැත්වීමෙන් පසුව දේවාලයේ කෙතෙන් ගලවාගත් කිරි බණ්ඩි කරල් විහාර පහේම ප්‍රධාන ප්‍රතිමා වහන්සේලා වෙනුවෙන් පූජා කරනු ලැබේ. එසේ කරන්නේ ඒවා කරල් වශයෙන් ප්‍රතිමාවන්ගේ පය පාමුල තැබීමෙනි. ඉන් අපේක්ෂා කරන්නේ තෙරුවන්ගේ ආශීර්වාදයයි.
6/11
අග්ගස් පූජාවේ අවසන් කාර්යයන් වන්නේ ‘කඩවර පූජාව’ හා ‘බහිරව පූජාව’ පැවැත්වීමයි. කඩවර පූජාව පවත්වනුයේ ඇහළ කණුව අසලදීය ඒ පුරාතන චාරිත්‍රයයි. එහෙත් අද ඇහැළ කණුව නැත. ඒ වෙනුවට ඇවරි කණුවක තබා කඩවරගොටුව කාලයක් පූජා කරන ලදී. අද කෙරෙන්නේ ඒ වෙනුවෙන් දේවාලය ඉදිරිපස සකසා ඇති යකඩ ආධාරකයක් මත කඩවර ගොටුව තබා පූජා පැවැත්වීමයි. එය සිදු කරන්නේද කපු මහත්මයෙකු විසින්මය. ඔහු දේවාල මන්දිරයේ සිට එතැනට පැමිණෙන්නේ දේවාලයට පිටු නොපා පසු පසටය. ඉන් අනතුරුවයි බහිරව පූජාව තබනු ලබන්නේ එය තබන්නේ බහිරව පහණ අසලය . බහිරව පහණ ලෙස හදුන්වන්නේ විහාරයට ප්‍රවේශවෙන මාර්ගයේ ඇති අති දුෂ්කරම පඩි පේලි සහිත කොටසයි. වර්තමානයේ එම ස්ථානයෙන් ගුවන් පාලමක් දමා යටින්ද මහජනයාට පහසුවෙන් ගමන් කිරීමේ පහසුව සකස් කර තිබේ. එහි පුරාණයේ පැවැති බහිරව පහණ අසලය මෙම පූජාව පවත්වනුයේ. අගස් මංගල්‍යයේ අවසාන කාර්යය වන්නේ ඉතුරුවූ අගස් සතර දිසාවට විසිකිරීමයි. මෙය සිද්ධවන්නේ විහාරස්ථානයේ ප්‍රවේශ දොරටුව අසලදීය. එහිදී ඉදිරිපස බලාගෙන හිසට ඉහළින් බණ්ඩි ගස් කිහිපයක් පිටුපසට විසි කරනු ලබයි. මෙය සතර දිසාවටම විසිකරයි. මෙය කරන්නේ දේවාලයේ කපු මහතෙකු විසිනි. ඉන් අදහස් කරන්නේ සතර දිසා වැසියන්ගේම ලෙඩදුක් කරදර වසංගත දුරුවී භවභෝග සරුසාර වේවායි යන්නයි. එසේ විසිකරනු ලබන එක බණ්ඩි ගසක් හෝ අහුලාගෙන තමන්ගේ කෙතෙහි එල්ලීමට සමහරු පුරුදුවී සිටිති. අගස් මංගල්‍යයේ අතීතය හා වර්තමානය අතර ඇත්තේ දුක්ඛදායී පසුගාමී තත්වයෙකි. එය සමස්ත රටේම සම්ප්‍රදායික මංගල්‍යයන් වෙතම බලපාන දෙයකි. පුරාණයේදී රාජකාරි මට්ටමෙන් ඒ සඳහා බැඳී සිටියවුන්, අද තමන්ම නිදහස් වී ඇත. සමහර සම්ප්‍රදායන් නූතන පරපුර අවඥාවට ලක් කරති. විහාරාධිපති, භාරකාර, ස්වාමින් වහන්සේ හා ප්‍රධාන කපුරාළ තනතුරට පත්වන අයගේ පෞරුෂත්වය හා ලැදියාවන් අනුව සමහර කරුණු වෙනස්වෙමින් පවතී. ඒවා එසේ නොවිය යුතුය. සම්ප්‍රදායන් යනු ලේඛණගත නීතිමාලාවක් නොවේ. ඒ නිසාම එක් එක් යුගවලදී මේ මංගල්‍යයන් ගැන ලියූ ලේඛණවල ඇත්තේද ඒ වකවානුවේ පැවති ආකාරයයි. තවත් ප්‍රධානියෙකු යටතේ එම සිදුවීම් ගැන ලියූ ලේඛණ අතර පරස්පරතාවයන් දැකිය හැක්කේ එහෙයිනි. කැවුම් පෙරහැර. දඹුලු විහාරයේ මූලික මැදිහත් වීමකින් තොරව, එහෙත් වාර්ෂිකව සිදුවෙන බොහෝ දෙනාගේ ප්‍රසාදයට පත් වෙන පෙරහැර මංගල්‍යයෙකි ‘කැවුම් පෙරහැර.’ මෙයට කැවුම් පෙරහැර යනුවෙන් දේවාලයේ කාර්ය මණ්ඩලයත් ගම්වාසීනුත් ප්‍රදේශවාසීනුත් හඳුන්වන්නේ පෙරහැරෙන් කැවුම් කත් තුනක් වඩම්මාගෙන විත් විෂ්ණු දෙවියන් වෙනුවෙන් පූජා කිරීම නිසාය. එය දඩුබැඳිරුප්ප ගම්වාසීන් විසින් තමන්ගේ භාරයක් ඔප්පු කිරීම් වස් වාර්ෂිකව පවත්වනු ලබන පෙරහැරකි. මෙම පෙරහැර පැවැත් වෙන්නේ වෙසක් පෝයට පසුව පොසොන් පෝයට සතියක් තිබියදීය. මෙම පෙරහැරට දිගු ඉතිහාසයක් තිබේ. දඬුබැඳිරුප්ප ගම්මානය පිහිටා ඇත්තේ දඹුලු විහාරයට බටහිර දෙසින් සැතපුම් හයක් පමණ දුරිනි. මෙහි වැසියන් ජීවත් වූයේ කෘෂිකර්මාන්තයෙනි.
7/11
ගැමියන්ගේ ජනප්‍රවාද අනුව මෙම ගම්මානයට එම නම ලැබී ඇත්තේ භාතිය රාජසමයේ රජතුමාට කළ සංග්‍රහයක් නිමිති කරගෙනය. ඉන් හැගෙන්නේ මෙම ගම්මානයේ ආරම්භය භාතිය රාජයුගයටත් (ක්‍රි. පූ. 19- ක්‍රි.ව 09) පූර්ව යුගය දක්වා දිවෙන බවයි. එක්තරා කාලයක මෙගම් වැසියන්ට කොටියෙකුගෙන් මහත් ව්‍යසනයක් ඇතිවිය. ඔවුන්ගේ ගව මහිසාදීන් පමණක් නොව ගමේ පිල්කඩවල නිදාසිටින ගැමියන් පවා ඇදගෙන ගොස් මරා කන තරමට කොටි උවදුරු දරුණු විය. මේ කොටි උවදුරින් වැඩි වශයෙන් ව්‍යසනයට පත්වූයේ නාඹර තරුණ වියේ සිටි පිරිමි දරුවන් වීමද විශේෂයක් විය.මෙයින් ආරක්ෂාවීමට ගැමියන් විවිධ උපක්‍රම යෙදුවත් සාර්ථක නොවීය. ඒ නිසා අවසානයේ ඔවුන් මුලු ගමම ආවරණය වන පරිදි විශාල දඬු ගෙනවිත් එකට තබා වැටක් නිර්මාණය කළහ. දඬු +බැඳි+රුප්ප = පසුව ‘දඬුබැඳිරුප්ප’ වී යයි සමහරු පවසති. භාතිය රජතුමා මේ ගම හරහා යන අවස්ථාවේදි, ගැමියෝ එක්ව වනාන්තරයේ දඬුවලින් රුක්පාවෙහි (ගස්මුල) මැස්සක් බැඳ, ඒ මත්තෙහි සලු පිළි අතුරා සුවපහසු අසුනක් පනවා, රජතුමාට වනාන්තරයෙන් පලුවීර වැනි පලාඵලවලින් සංග්‍රහ කළ බවත්, ඒ නිසා රුක්පා දඬුබැඳි නිසා, දඬුබැඳිරුප්ප වූ බවත්, එයට මුල්වූවන්ට, “රන වීර වනසිංහ” යන නාමය ප්‍රදානය කළ බවත් පැරැණි ගැමියෝ පවසති. මේ අදහස් ගම්‍යවන තුන්තේරවිල්ලක්ද එගමෙහි වෙයි. එනම් “කෝටු වෙලුම් අම්බලම” යන්නයි. කොටු නම්-දඬු, වෙලුම් නම් බැඳි, අම්බලම නම් රුප්ප. ඒ ගමේ නාම නිෂ්පත්තියට ගැමියන් දක්වන අදහස්ය. කොටි උවදුරෙන් ගැලවීම සදහා මෙසේ දැඩි වෙහෙසක් ගත්තත් එය ව්‍යර්ථ විය. කුමන හෝ ආකාරයකින් මසකට වරක්වත් කොටියා නර බිල්ලක් ගනී. මෙය දේව කෝපයක් නිසා සිදුවන්නක් විය හැකියැයි විශ්වාස කළ ගැමියෝ මෙම අඩවිය භාර විෂ්ණු දෙවියන් වෙනුවෙන් භාරයක් වීමට කතිකා කර ගත්හ. ඒ අනුව දඹුලු විහාරයේ විෂ්ණු දේවාලයට පැමිණි ඔවුහු ප්‍රධාන කපු මහතා හා විහාරාධිපති හිමියන් හමුවී තමන්ගේ දුක් ගැනවිල්ල කියා එයට දෙවියන්ගේ පිහිට ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. කරුණාවෙන් තෙත්වූ හදවත් ඇති ඔවුහු එයට අවස්ථාව සලසා දුන්හ. දෙවියන් ඉදිරියේ තමන්ගේ දුක් ගැනවිල්ල කියූ ඔවුහු තමන්ගේ අත් වැරැද්දකින් හෝ කට වැරද්දකින් යම් වරදක් වීනම් එයට සමා වී මේ උවදුරින් තමන් ගලවා ගන්නා ලෙසත්, එසේ වීමෙන් පසුව භාරය ඔප්පු කිරීම සඳහා සෑම වර්ෂයකම කැවුම් කදවල් තුනක් හා කෙසෙල් කදවල් තුනක් ගෙනවිත් භාරය ඔප්පු කරන බවටත්, යාඥා කර සිටියහ. විහාරාධිපති හිමියන් හා ප්‍රධාන කපු මහතා කියා සිටියේ දවසේ ඕනෑම වේලාවක ඔවුන් භාරය ඔප්පු කිරීමට පැමිණෙන්නේ නම් ඒ වෙලාවට දේවාලයේ දොර හැර එයට අවස්ථාව ලබා දෙන බවයි. අද දක්වාම කැවුම් පෙරහැර කුමන වේලාවක පැමිණියත් එය භාරගෙන ඔප්පු කිරීමට දේවාලය බැඳී සිටින්නේ එහෙයිනි. මේ හැර කිසිදු විටෙක දේවාලය නියමිත පූජා කාලයෙන් බැහැරව විවෘත කරන්නේ නැත. එවක දඬුබැඳිරුප්ප ගම, ගම්මැණ්ඬි වශයෙන් කොටස් තුනකට වෙන්ව තිබුණි. එනම් වෙලංගොල්ල, පරණගම, හා මුතුරෝසගම, යනුවෙනි. එසේ වෙන්වුවත් එය එකම මහගමක් විය. අද එසේ බෙදීමක් නැතත් කැවුම් පෙරහැරේදී එම පොරොන්දු වූ ආකාරයෙන් හේම කත් තුනක් සකස් කෙරේ. නාඹර තරුණයන්ට සිදුවූ හානිය මූලික කරගෙන භාරවූ හෙයින් විහාරස්ථානයට හේම කත් රැගෙන ඒමට පොරොන්දු වූයේද නාඹර තරුණයන්ගේ කර මතිනි.
8/11
හාස්කමක මහත. එතැන් සිට ගමට කිසිදු කොටි උවදුරක් නොවීය. එතැන් සිට සෑම වසරකම සියලුම ගම්වැසියන්ගේ ආධාරයෙන් හා සහභාගිත්වයෙන් එම පෙරහැර පැවැත්වේ. කැවුම් පෙරහැරේ ආරම්භය එසේය. අප මුලින් සඳහන් කළ ආකාරයටම මෙම කැවුම් පෙරහැර සංවිධානය කිරීමේදී දඹුලු විහාරයේ හෝ දේවාලයේ කාර්ය මණ්ඩලයේ සෘජු මැදිහත්වීමක් නොමැත. ඔවුන් සම්බන්ධවන්නේ පෙරහැර විහාර භූමියට සම්ප්‍රාප්ත වීමෙන් පසුව සිදුවන සෙසු කටයුතුවලදීය. දඬුබැඳිරුප්ප ගම්මානයේ වැසියන් මෙම කාර්යයට අත ගසන්නේ වෙසක් පොහොය ඉකුත්වීමත් සමගමය. එහිදී කුඩා සීනුවක් ගෙන හඬවමින් මුලු ගම්මානය පුරාම සංචාරය කරන්නේ මේ පිංකම ගැන සිහිපත් කරමින් ඒ ගැන සාකච්ඡා කර ගැනීමට පැමිණෙන ලෙස මතක් කිරීමය. මෙය අණබෙරකරුවෙකුගේ කාර්යයට සමානය. මෙම රැස්වීම පවත්වන්නේ ගම මැද ඇති විශාල මාර ගසේ වදුල යටදීය. එහිදී පෙරහැර කළයුතු ආකාරය, දිනය, වේලාව, පූජාද්‍රව්‍යයන් එකතු කරගන්නා ආකාරය. ආදි සමස්ත ක්‍රියාවලියම පිළිබඳ දැණුවත් කිරීම්, සාකච්ඡා කිරීම්, සංවිධාන කටයුතු, සියල්ලම ගැන අවසන් තීන්දුවකටද පැමිණේ. වාර්ෂිකව සිදුවන කාර්යයක් නිසා බොහෝ දෙනා ඒ පිළිබදව දැණුවත්ව සිටී. ඒ නිසා බෙදීම් ගැටීම් නැතිව සාර්ථකව අවසන් තීන්දුවකට පැමිණීමට අසීරු නොවේ. සම්ප්‍රදායිකව මුල් යුගයේ පැවැති ගම්මැණ්ඩි තුනට සම්බන්ධ අය ඒ ඒ කටයුතු බෙදා ගනිති. ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේ, දඹුලු විහාරයේ නායක ස්වාමින් වහන්සේ , විෂ්ණු මහ දේවාලයේ ප්‍රධාන කපු විදානේ මහත්මයා, දැණුවත් කරන්නේ ඉන් අනතුරුවය. දඹුලු විහාරේ නායක හිමියන්ද ඒ අනුව නිල වශයෙන් විදානේ මහත්මා දැණුවත් කරයි. විදානේ මහත්මා දෙවාලයේ සෙසු කපු මහත්වරුන් දැණුවත් කරන්නේ එදින වෙනත් රාජකාරිවලින් නිදහස්වී මුලුදවසේම දේවාල භූමියේ රැඳී සිටිය යුතු බවද දන්වමිනි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වුවත් මේ ගමේ, තෙල් තාච්චි ලිප නොතබති. එය කරනු ලබන්නේ කැවුම් පෙරහැරට කැවුම් සෑදීමෙන් පසුවය. ගමේ යම් කටයුත්තට අතිරස වැනි තෙල් කෑම අවශ්‍යනම් ඒවා පිටස්තරින් ගෙන භාවිතා කරති. එවන් තහංචියක් නොමැත. කැවුම් පෙරහැර සඳහා කැවුම් කත් තුනක් සකස් කරගනු ලැබේ. ඒ ගමේ කොටස් තුනටය. නැවතත් මතක් කරන්නේ ඒ ගමේ බෙදීම් නොව, පුරාණයේ පැවැති ගම් මැණ්ඩි බෙදීම් සංකේතවත් කිරීමකි. ප්‍රධාන වශයෙන් එම හේම කත් තුන සකස්වේ. කැවුම් කත් තුනයි. කෙසෙල් කත් තුනයි. ඊට අමතරව තම තමන් විෂ්ණු දේවාලයට පෞද්ගලිකව වූ භාරයන් ඔප්පු කිරීම සදහාද හේම කත් සකස් කර ගැනීමේ බාධාවක් නැත . ඒ අනුව සමහර විට කත් දහයක් පහළවක් හෝ විස්සක් තිහක් වුවද පෙරහැරට එක්විය හැකිය. පෙරහැර පිටත් වීම සදහා විශේෂ සුභ නැකත් බැලීමකට මුල් තැන් දෙන්නේ නැත. එහෙත් පොසොන් පුර අටවකට පෙර රාහු කාලය මගහැර කත් සදහා කෙසෙල් කැන් කපනු ලැබේ. ඒවා ‘බිම තැබීම’ හෙවත් ඉදවීම සදහා වලේ දමන්නේ බදාදා දිනයකය. ( ඉදවීමට නව තාක්ෂනික ක්‍රම භාවිතා නොකරයි.) ගොඩ ගන්නේ සිකුරාදාය. එසේ ගොඩ ගෙන හේම කද බැඳ සුදු පිරුවටවලින් ආවරණය කර තබයි. එදිනම දේවාලයට ගෙන යන හෙයිනි. පසුදිනට එළඹෙන සෙනසුරාදාට එළිවෙන්න දේවාලයට යායුතු හෙයිනි. නියමිත පෙරහැර ගමන් ආරම්භ කිරීමට පෙර, මුලු ගම්මානයම එකට එක්වී එක් තැනකදී ආහාර ගනු ලැබේ. ගැමියන් එය හදුන්වන්නේ ‘තැම්ම’ යන නමිනි. එම ආහාර සම්පාදනය කරනු ලබන නිවස හදුන්වන්නේ, ‘මුරුතැන් ගෙදර’ යන නමිනි. ‘තැම්ම’ සකස් වන්නේ බත්, වට්ටක්කා,
9/11
අගුණකොල මැල්ලුමක් හා දෙහි දැමූ කිරි හොද්දකිනි. කිසිදු පිළිහුඩුවක් ඒ සදහා භාවිතා නොකරයි. ආහාර අනුභව කරන්නේ නෙලුම් කොලයක හෝ කෙසෙල් කොලයකය. ගමේ හැමදෙනාම පෙරහැර පැවැත්වෙන දිනයේ පිළිහුඩු භාවිතයෙන් ඈත්ව සිටිති. පෙරහැර ගමෙන් පිටත් වන්නේ සවස් කාලයේය. හැම නිවසකින්ම අවම වශයෙන් එක් අයෙකු හෝ සහභාගි විය යුතුම විය. එයිනුත් තරුණ වියේ අයගේ සහභාගිත්වය අනිවාර්ය විය. එයට හේතුවූයේ මුලු දුරම හේම කත් කරේ තබා ගෙන යාමට ඔවුන් අවශ්‍ය හෙයිනි. අනෙක භාරය වූ දිනයේම එසේ පොරොන්දු වී සිටි හෙයිනි. පඤ්ච තූර්ය වාදන සහිතව, පන්දම් එළි සහිතව, හේමකත් උරෙහි ලාගෙන, සාධුකාර හඬ මධ්‍යයේ ගමන් කරන කැවුම් පෙරහැර, ඇත්තෙන්ම චමත් කාරය. එය ගමන් කරන්නේ දඬුබැඳිරුප්ප, තලකිරියාගම, පොහොරන් වැව, පිරිවෙන හන්දිය, උසාවිය හන්දිය හරහා නිශ්ශංක හන්දියට පැමිණ මාතලේ පාරෙන් විත්, මකර තොරණින් ඇතුල්වී සැරසුම් ගල ඔස්සේ විහාරස්ථානයට ගෙවදීමය. දේවාල භූමියට පැමිණීමෙන් පසුව දේව දුතයෝ හා ගම්වැසියන් බුලත් අතක් දීමෙන් හා මල් වටිටියක් දීමෙන් ඔවුනොවුන් පිළිගනිති. ගෙන එන ලද සියලුම පූජා ද්‍රව්‍යයන් දේවාලය වෙත පුජා කොට කපු මහත්වරුන් ලවා යාතිකා කරගෙන භාරයන්ගෙන් නිදහස් වෙති. ඒ වෙලාව සමහර විට මධ්‍යම රාත්‍රිය හෝ පාන්දර දෙක තුනද විය හැකිය. එම අවස්ථාව වෙනතුරු දේවාලයේ කාර්ය මණ්ඩලයද නිදිවර්ජිතව සිටිති. දේව පූජාව අවසන් වුවත්, පැමිණි බැතිමතුන් ආපසු පිටත්ව යන්නේ නැත. ඔවුහු විහාරය ඉදිරිපිට බරාඳයේ හෝ මලුවේ විවේකීව එළිවෙනතුරුම සිටිති. ඒ වනවිට විහාර මන්දිර වසා තබා ඇති හෙයින් ඔවුනට විහාර මන්දිර තුළට පිවිසිය නොහැකිය. එළිය වැටීමෙන් අනතුරුව විහාර භූමියේදීම ලිප් බැඳ ගිනි මොළවා, උඩට උඩුවියන් බැඳ, කිරි උතුරවා, කිරි ආහාර සකස් කොට විහාර ගෙවල් පහම වෙනුවෙන් පූජා පවත්වති. ඒ සදහා විහාරයන්හි තේවා කාරක ස්වාමින් වහන්සේලාද සහභාගි වෙති. එසේ කොට විෂ්ණු දෙවියන් ප්‍රධාන සියලුම දේව සමූහයාටත්, මිය ගිය සියලුම දෙනාටත්, පිං අනුමෝදන් කරවති. සමහර පුරාණ චාරිත්‍ර අද ඒ ආකාරයෙන්ම සිදු වන්නේනැත. මුලදී තලකිරියාගම හරහා ආගමනය සිදුවූවත් පසුකාලයේදී ඊට වඩා කෙටි මාර්ග ඔස්සේ විහාරස්ථානයට ළඟාවෙති. එසේම මුල් වකවානුවේදී උසාවිය හන්දිය, නිස්සංක හන්දිය, මකර තොරණ ඔස්සේ විත් සැරසුම් ගලින් ගොස්, දේවාලයට ප්‍රවිෂ්ඨ වුවත් වර්තමානයේදී පිරිවෙන හන්දියෙන් හැරී, පිරිවෙන් පාර ඔස්සේ විහාරයට ප්‍රවිෂ්ඨ වෙති. හුරුලු වැව කලාපයේ අලුත් සහල් මංගල්‍යය (දඹුල්ල) ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරයේ සම්ප්‍රදායික පූජා චාරිත්‍රවලට අලුතින් එක්වූ චාරිත්‍රයක් ලෙස, හුරුලු කලාපයේ අලුත් සහල් මංගල්‍යය හඳුන්වා දිය හැකිය. මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වීමෙන් පසුව ජන ජීවිතවල විවිධ වෙනස් කම් රැසක් සිදුවිය. මහවැලිය රජරටට හැරවීමත් සමග, අලුත් වැව් ඉදි විය. පරණ වැව් ප්‍රතිසංස්කරණය කර ජල ධාරිතාව වැඩි කරන්නට විය. නව ඇළ වේලි සක්සවන්නට විය. අලුත් ජනාවාස බිහිවෙන්නට විය. 1997 පළ කළ අංක 984/5 ගැසට් නිවේදනය මගින් කලුන්දෑව, සීගිරිය, හා පලුගස්වැව යන කොට්ඨාශවලින් යුතු මහවැලි කලාපය විශේෂ බල ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී. 2008 දී එතෙක් මහවැලි එච් කලාපයට අයත්ව තිබූ ගල්කිරියාගම හා මඩාටුගම කොට්ඨාශයන්ද හුරුලු වැව කලාපයටම එක් කරනු ලැබීය. ඒ අනුව හුරුලු වැව මහවැලි කලාපයට වාරි ඉඩම් හෙක්ටයාර 9100 ක වපසරියක කළමනා කරණය භාර විය.
10/11
රංගිරි දඹුලු රජමහ විහාරය හා විෂ්ණු මහ දේවාලය ඈත අතීතයේ සිටම මැදරට ප්‍රදේශයෙහි මහත් ගෞරවයට හා පූජාවට ලක් වූ ස්ථානයකි. ඒ අනුව ඉහත කී හුරුලු වැව මහවැලි කලාපයට අයත් කෙත් වතු වලින් ලැබෙන නව ශෂ්‍යයන් හෙවත් අලුත් සහල්, බුද්ධ භෝග ලෙස පූජාකිරීමට මහවැලි සංවර්ධන අධිකාරිය විසින් යෝජනා කර ගන්නා ලදී. මෙම අලුත් සහල් මංගල්‍යය සදහා, ගල්කිරියාගම කොට්ඨාශයෙන් ගොවි සංවිධාන 31ක්, මඩාටුගම කොට්ඨාශයෙන් සංවිධාන 51 ක්, හා කලුන්දෑව, සීගිරිය, පලුගස් වැව කොට්ඨාශවලද ගොවීහුද සහභාගි වෙති. ගොවි සංවිධාන හා ව්‍යාපාර කමිටුව සහභාගි වී අලුත් සහල් මංගල්‍යය සඳහා දිනය සම්මත කිරීමෙන් පසුව, රංගිරි දඹුලු රජමහ විහාරයේ භාරකාර ස්වාමින් වහන්සේ හා ශ්‍රී විෂ්ණු මහ දේවාලයේ ප්‍රධාන කපු මහතාත්, විහාර තේවා භාරකාර ස්වාමින් වහන්සේලාත් දැණුවත් කරති. ඒ සදහා සත්කාරක කොට්ශ නියේජිතයන් සහභාගි වෙති. කලාපයට අයත් සෑම නිවෙසකින්ම මහ කන්නයේ අලුත් සහල් ගොවි සංවිධාන නියේජිතයන් මගින් එක් රැස් කර ගන්නා අතර ඒවා පුජාව සඳහා යොදා ගනු ලැබේ. මෙම අලුත් සහල් මංගල්‍යයේ පෙරහැර කටයුතු ආරම්භ වන්නේ දඹුලු රජ මහ විහාර මලුවේ සැරසුම්ගල පාමුල ඇති ප්‍රාර්ථනා බෝධිය අසලදීය. එහිදී කණ්ඩලම ජලාශයෙන් හා ඉබ්බන්කටුව ජලාශයෙන් ලබා ගන්නා ලද ජලය පිරිත් කරවා, ප්‍රාර්ථනා බෝධි වහන්සේ නැහවීම කරනු ලැබේ. ඉන් අනතුරුව දඹුලු ලෙන් විහාරයේ නිර්මාණය කර ඇති 152 ක් වූ ප්‍රතිමා වහන්සේලා වෙත වෙන වෙනම කිරි ආහාර පාත්‍රය බැගින් පූජා කිරීම සඳහා පෙරහැරේ වඩම්මාගෙන යයි. කොඩි සේසත් සහිතව සැරසුම්ගල ඔස්සේ ගමන් කරන පෙරහැර විහාරයට සම්ප්‍රාප්ත වේ. අනතුරුව තේවාභාර ස්වාමින් වහන්සේලාගේ සහභාගිත්වයෙන් කිරි ආහාර බුද්ධපූජාව පවත්වනු ලැබේ. අනතුරුව ශ්‍රී විෂ්ණු මහ දේවාලය වෙත මල් බුලත් හා පළතුරු සහිත පූජා වට්ටියක් පූජා කොට කලාපයේ සියලුම ගොවි ජනතාවට දේවාශීර්වාදය ලබා ගනිති. ඉන් අනතුරුවයි අලුත් සහල් මංගල්‍යය පවත්වනුයේ. එය පවත්වනුයේ උයන්වත්ත රජ මහ විහාරයේ ඇති ධර්මචක්‍ර ප්‍රතිමා වහන්සේ ඉදිරිපිටදීය. ගොවීන් විසින් ගෙන එන ලද අලුත් සහලින් පාත්‍රය පිරී ඉතිරී යාමට සලස්වනු ලබයි. කාලයා විසින් විහාරයේ මංගල්‍යයන් රැසකම වෙනස්වීම් සිදු වී තිබේ. කාර්තික මංගල්‍යය නොපැවෙන තරම්ය. ඇසල පෙරහැර මංගල්‍යය නොපැවැත්වේ. අලුත් සහල් මංගල්‍යයේත් වෙනස් කම් බහුලය. ලේනාවල වලව්වේ සමහර පෞද්ගලික හැලහැප්පීම් පෙරහැරටද බලපා තිබේ. සමහර වර්ෂවල පෙරහැර ගමන් මාර්ගය හා වේලාවන්වල වෙනස් කම් දක්නට ලැබේ. විහාර භාරකාරත්වයට පත්වෙන ස්වාමින් වහන්සේගේ සම්බන්ධතා උඩ සමහර දේවල්වල වෙනස් කම්ද සිදුවෙන බව පෙනේ. විහාර හා දේවාල ඉඩම් භුක්ති විඳින්නන් සිය රාජකාරි නිසි ආකාරයෙන් ඉටු නොකිරීමද අගස් පෙරහැර මංගල්‍යයේ මෙන්ම අනෙකුත් මංගල්‍යයන් වෙතද අහිතකර ලෙස බලපා ඇත. මෙම මංගල්‍යයන්ට අමතරව විෂ්ණු දේවාලය වෙනුවෙන් අවට ගම්මානයන් වන ඇරෑවුල, කලුන්දාව, කණ්ඩලම, අතුපාරයාය, යන ගම්මානයන්හී කෙත්යායයන්හී ගොවියෝද, සිය අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව කිරි ආහාර සකස් කරගෙන මහ පෙරහැරින් විත් පුද පූජා පවත්වා විහාර මන්දිරයන් වෙතද කිරි ආහාර පූජා කරති. විහාරයේ මංගල්‍යයන් මේ ආකාරයෙන් හෝ පවත්වාගෙන යාමට භාරකාර හිමිවරුන් හා විහාරස්ථ විෂ්ණු දේවාලයේ ප්‍රධාන විදානේ මහතා ඇතුලු සෙසු කපු මහතුනුත් විහාර කාර්ය මණ්ලයත් කරන කැපවීම් අගය කළ යුතු වෙයි.
11/11