මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට බුදු දහම ගෙනවුත් වැඩි කලක් යාමට පෙර රට පුරා නව දහම ප්‍රචලිත විය. මිහින්තලේ අටසැටලෙන් නිර්මාණය වූවාසේ ඒ අනුව යමින්, බොහෝ ගල්ලෙන් හා පර්වත ගුහා භික්ෂුවාස බවට පත්විය. පුණ්‍යභූමි බවට පත්වූ ඒවායෙහි භික්ෂූන් වහන්සේලා සියගණනක් වාසය කළහ. මහරහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත් එවන් ශුද්ධ භූමියක් ලෙස වෑවලවැව ඓතිහාසික ගල්ලෙන් අරණ්‍ය සේනාසනය පෙන්වා දිය හැකිය. දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් 30 ක් තරම් දුර අතිරමණීය කදු වැටියක් ආශ්‍රයෙන් නිර්මාණය වූ මෙම සේනාසනයෙහි කටාරම් සහිත ගල් ලෙන් 13 ක් වෙයි. ඉන් කිහිපයක්, ඉදිරියෙන් බිත්තිවලින් ආවරණය කර ඇත්තේ යෝගාවචරයන් වහන්සේලාගේ ආරක්ෂාව සදහාය. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට 8 වැනි සියවස දක්වා අඛණ්ඩවම මෙහි භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට සාධක තිබේ. මෙහි ශෙල් ලිපි හා ‘අත්තානි’ කණු කීපයක්ම වේ. ‘අමරසල බතිකන’ නමැති ඇමතිවරයෙකු මේ විහාර කර්මාන්තයේදී මූලිකත්වය ගත් බවත්, ධම්මගුත්ත නමැති මහතෙර කෙනෙක් මෙහි වැඩ වාසය කළ බවත්, ශෙල්ලිපිවල සඳහන්වේ. වසභ රජු හා කිත්සිරි මෙවන් රජු විසින් ලියන ලද ‘අත්තානි’ ලිපිවල මේ විහාරය සදහා අක්කර 1700 ක පමණ ඉඩම් පූජා කළ බවට සටහන් තිබේ . එහෙත් අද ඒ ප්‍රමාණය ඒ ආකාරයෙන් නැත. අක්කර 165 ක් පමණ රජයෙන් මැන නිරවුල් කර පුරාවිද්‍යා භූමියක් සේ වෙන්කර දී තිබේ. සේනාසන භූමියෙහි වැව් සතරක් තිබුණු බවට ශෙල් ලිපිවල සඳහන්වේ. එහෙත් අද ඒවා දක්නට නොමැත. දාගැබක නටබුන් තිබේ. ගල්කණු, සඳකඩ පහණ, හා වෙනත් පුරාවස්තු තිබේ. මෙහි සමහර සඳකඩ පහන්වල කැටයම් ඇති අතර සමහර ඒවා අර්ධ වෘත්තාකාර ගල් පුවරු පමණි. යුග කීපයකට අයත් බව ඉන් හැගේ. වසර පුරාම උතුරා යන දියබුබුලක් දක්නට ඇති අතර, මේ අවට තිබී යපස් උණු කරන උඳුන් තුනක් හමුවී තිබේ. එකක් සීගිරිය කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර අනෙක්වා මේ භූමියෙහිම ඇත. වල්බිහිව තිබූ සේනාසනය නැවත භික්ෂු වාසයක් බවට පත් කළේ, අපවත්වී වදාල පන්නම්පිටියේ ජිනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසිනි. වර්තමානයෙහි සේනාසනාධිපතිව වැඩ වාසය කරන්නේ සියම් මහ නිකායේ වනවාසී පාර්ශ්වයේ හිටපු ලේඛකාධිකාරී, වතුරුවිල වනවාස පිරිවෙනෙහි හිටපු පරිවෙණාධිපති, කම්මට්ඨාණාචාර්ය, අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත නාලන්දේ ජිනාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. විහාරාධිකාරීත්වය උසුලන්නේ පුජ්‍ය වෑවලවැව සිරිධම්ම ස්වාමින් වහන්සේ විසිනි. සියම් නිකායේ වනවාස පාර්ශ්වයේ විහාරස්ථානයක් වශයෙන් අංක 05/06/021. යටතේ, බෞද්ධකටයුතු පිළිබද දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචිව ඇති අතර, භික්ෂූන් වහන්සේලා සිවු නමක් නේවාසිකව වැඩ වසති. විහාරස්ථ දායක සභාවක් පවතින අතර, සිසුන් 250 ක් පමණ අධ්‍යාපනය ලබන දහම් පාසැලක්ද ක්‍රියාත්මක වේ. පෞරාණික නටබුන් අරණ්‍ය සේනාසනයෙහි ඉහළ භූමියෙහි පවත්නා අතර දායක පින්වතුන් හා සම්බන්ධතාවයන් පවත්නා විහාරගෙය, ආවාසගෙය, ධර්මශාලාව, දානශාලාව, බෝධිය, දාගැබ ආදී විහාරාංගයන් වෙනමම පර්වත පාමුල පිහිටා තිබේ. තුරුලතාවන්ගෙන් සපිරි ආයතනයට ඇතුලුවන විටම සිතට ඇතිවන්නේ සිසිලසකි. ශාන්ත බවෙකි. භක්තියකි. අරණ්‍ය සේනාසනයක් වශයෙන් උන් වහන්සේලා ලෝකෝතර ගමන්මාර්ගයක් තෝරාගෙන ඇති අතර ඒ තුළින් අරණ්‍යයේ පෞරාණික වස්තූන්ගේ ආරක්ෂාවද සැලසේ. උන් වහන්සේලාට දෙලොව යහපත වෙනුවෙන් කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය තවදුරත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

1/1

- ආනන්ද මාරසිංහ -