අන්දරේ අමාරුවේ වැටිච්චි අවස්ථාවනුත් නැතුවා නෙවෙයි. අන්දරේ හිතාගෙන හිටියෙ තමන් හරි දක්ෂයෙක් කියල. රජ්ජුරුවන්ට ඕන වෙලා තිබුණ අන්දරේට පාඩමක් උගන්නන්ටත්. මතකනේ, දවසක් රජ්ජුරුවන්ට කරන්ට බැරි දේවලුත් තියෙනවා කියල, එතුමා අපහසු තාවයට පත් කරපු හැටි. දවසක් මහවැලි ගගේ එගොඩට ඔරුවකින් යන ගමන් රජ්ජුරුවෝ අන්දරේගෙන් මෙහෙම ඇහුවා. “අන්දරේ කවියක් වත් කියමුද?”. “කියමු දේවයන් වහන්ස.” “එහෙනම් මේ හැමෝටම කවිය ගානේ කියමුකෝ.” ඔරුවෙ හිටපු අනෙක් අය පෙන්නලා රජ්ජුරුවෝ කීවා. අන්දරේ ඔරුවේ හිටපු ඔක්කොටෝම කවිය ගානේ කිව්වා. “අන්දරේ උඹනම් හැබෑ හපනෙක්. උඹට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක කවියක් කියන්ට පුලුවන්ද?” “එහෙමයි දේවයන් වහන්ස, ඕනෑම වෙලාවක මගේ හිතට කවි සිතුවිල්ලක් පහළ කර ගන්න පුලුවන්.” ගග අවට සිරියාව බලමින් අන්දරේ කිව්වා. “අපි බලමු එහෙනම්.” කියල රජතුමා සෙබලුන්ට කීවා, අන්දරේගේ කකුල් ගැට ගහල ගගට දාන්ට කියල. රාජපුරුෂයොත් ඒ විදිහටම කළා. ගඟට දාපු අන්දරේ ගගේ ගිලෙන්ට ගත්තා. රජ්ජුරුවන්ගේ අභියෝගය හරි අමාරු එකක්. මේ වගේ අභියෝගයක් දෙයි කියලනම් අන්දරේ හිතුවේ නැහැ. අන්දරේ ජීවිතයත් මරණයත් අතර සටනක. එයා වතුරේ උඩ යට ගිලෙන වාරයක් ගානේ මේ කවිය කීවා. කකුල් ගැටගහල හන්දා කිසිදෙයක් කරගන්ට බැහැ. අනෙක රාජ නියෝගයෙන් කරපු දෙයක්නේ . රාජ නියෝගවල හොද නරක දෙකක් නෑනේ. කිව්වොත් කිව්වා. කටින් පිටවෙනකොටම නීතියක් වෙනවනේ. අප වැනි අයට කොච්චර දුකද හිමිතුමා මෙච්චර දුකට පිහිටක් නූන කල කිමා රිවිකුල රජුන් හට ඇත්තේ මහ පුදුමා කවි කියවන්න හැදු වේලාවක මහිමා. අන්දරේගේ ඇස් රතුවෙලා හුස්ම හිරවෙලා නහයෙන් කටින් වතුර පෙවී පෙවී නමුත් ඒ විදිහට කවිය කිව්වා. අවසාන පේලිය කියනවාත් රක්කම රාජ නියෝගයෙන් ආපහු අන්දරේ ඔරුවට ඇදල ගත්තා. එහෙම ඇදල ගත්තෙ නැත්තං අන්දරේ එදා මැරෙන්නේ වතුරෙ ගිලිල. ගොඩට ආපු අන්දරේ අමාරුවෙන් හිනාඋනා. “අනේ දේවයන් වහන්ස, කවි කීමත් අදනම් එපා උනා.” අන්දරේ කීවා. “ඒ උනත් උඹ හරි හපනා අන්දරේ.” රජතුමා කීවා.

1/1

- ආනන්ද මාරසිංහ -