දවසක් අන්දරේ ගෙදරින් එළියට බැස්සේ වැදගත් ගමනක් යන්න බලාපොරොත්තුවෙන්. ටික දුරක් යනකොට තරුණයෙක් හා තරුණියක් ඈතින් යන හැටි ඔහු දැක්කා. තරුණිය කොහේදී හෝ දැක පුරුදු හුරුවක් තිබූ නිසාත්, තරුණයා මින් පෙර නුදුටු කෙනෙකු වීම නිසාත් , ඔවුන් අතෙහි කොට්ට පැදුරු හා රෙදි පොට්ටනියක් තිබුණු නිසාත්, ගමනෙහි හා හැසිරීමෙහි කලබලකාරී ස්වභාවයක් තිබුණු නිසාත්, අන්දරේ වහා ගොස් ඔවුන් ඉදිරියෙහි මග හරස් කර හිට ගත්තා. “තොපි කවුරුන්ද? මේ කොහි යන්නේද?” ඔහු උස් හඩින් ඇසුවා. තරුණිය ඔහු රජමැදුරේ කෙනෙක් බවට අදුනා ගත්තා. ඔහු රාජ පුරුෂයෙක් යැයි බියට පත්වූ තරුණයා පොට්ටනියත් බිමදමා, ඇය මහමග තනිකර පලා ගියා. ඇය තාමත් හිසේ තබාගත් බරපොදි හා කිහිල්ලේ ගසා ගත් දෑ සමගින් කියන්නේ කුමක්ද, කරන්නේ කුමක්දැයි නිනවුවක් නැතුව බියෙන් සලිත වී සිටියා. “කොට්ට පැදුරු පළමුව බිම තියාපන් පොට්ටනියේ මොනවද මට කියාපන් හැට්ට අතට යටකළෙ කිම කියාපන් පට්ට පදුරු දහමන් දරි බලාපන්.” අන්දරේගේ තර්ජනය හමුවේ ඇය සියල්ලක් ඔහුට නොවලහා කීවා. “අනේ උතුමාණෙනි මට ආපසු ගෙදර යන්න බැහැ. මම තමුන්නාන්සේගේ භාර්යාව වීමට කැමැත්තෙමි. මා ඔබේ නිවසට කැඳවාගෙන යනු මැනවි.”කියල බැගෑපත්ව කීවා. අන්දරේ හිනා උනා. “මීට වසර ගණනාවකට පෙර එසේ කීවා නම් මට තී කැටුව යාමට තිබුණි. එහෙත් එයට දැන් ප්‍රමාද වැඩිය. මගේ ප්‍රියම්බිකාව ගෙදර සිටී. ඇය මට දෙවඟනක් සේ වටී. එක් වතාවක් දුටුවිටම විවාහ වීමට කතා කිරීමට තරම් තී මෝඩ බව පෙනේ.” “අනේ උතුමාණෙනි මට පිහිට වුව මැනවි.” “මම අද මේ යන්නේ වැදගත් ගමනක්. මම ආපසු පැමිණි විට තී තිගේ ගෙට ඇරලමි. එතෙක් මගේ නිවසෙහි රැඳී සිටිනු.” යි ඇය තමන්ගේ නිවසේ රඳවායාමට අන්දරේ කල්පනා කළා. ඇය නිවසට කැඳවාගෙන ගියත් බිරිඳ එයට එකඟ උනේ නැහැ. “තමුසේ මේ ගෙනා මළ ඉලව්වත් හිටපු තැනකටම ගිහින් දාල යනවා.” අන්දරේගේ බිරිය කීවාය. අන්දරේ යාප්පුවෙන් තමන් එනතෙක් ඇයව තබා ගන්නා ලෙසත් නැවත පැමිණි පසු ඇය නිවසට ගොස් ඇරලවන බවත්, කියා ගමන පිටත් වී ගියේය. දින කීපයක් අන්දරේගේ ගෙදර නැවතී සිටි ඇයගේ කල්කිරියාව ගැන අන්දරේගේ බිරිය හොඳටම කළකිරුණාය. වහාම ඇය ගෙනගොස් දෙමාපියන්ට භාරදෙන ලෙස අන්දරේට කීවාය.

1/2

“දොසා කිසිත් නැති දෙගුරුන් හැර මෑලා වේසාකමට මග එන එක නැත සපලා ආසා ඇතත් රාගෙට හොර ලියන් තලා රාසා හෙළිකරව තිගෙ දෙගුරුන් දැකලා.” අන්දරේට වෙන කළ හැකි දෙයක් නොවීය. තරුණිය ගෙදර තබාගත නොහැක. මහමග දමායාමටත් නොහැකිය. එමනිසා ඇයත් කැටුව ඇගේ නිවසට ගියා. තමන්ගේ දියණිය හොරෙන් පැන ගිය එක සම්බන්ධයෙන් කෝපයෙන් සිටි දෙමාපියන් හා සහෝදරයන් ඇය පැන ගියේ මොහු සමගයැයි සිතා අන්දරේ මිදුලට ගොඩවෙන විටම අල්ලාගෙන අතින් පයින් හා මුගුරුවලින් මදි කොකියන්ට පහර දුන්හ. වහා ඉදිරිපත්වූ තරුණිය සියල්ල හෙළි කළාය. අන්දරේ දැක නොතිබුනත් අසා තිබුණ හෙයින්, ගෘහ වාසිහූ බියට පත්ව සමාව ඉල්ලා කෑම බීම වලින් සංග්‍රහ කළහ. තෙල් බේත් ගැල්වූහ. හැංගිලා යන දියණි දැකලා අල්ල ගෙනවිත් දුන් කලා රිංගලා මට යන්ට බැරිලෙස දුන්නෙ බැට පඬුරට තලා සැංගිලා ඉන්නාවු දෙවියෝ මේක හොඳහැටි අහ බලා තැම්බිලා මුන් යන්න උවදුරු එවනු හෙට හැන්දෑ වෙලා. අන්දරේගේ වස් කවිය ඇසූ සියල්ලෝම බියට පත්වූහ. එම වස් කවිය ඉවත් කරන ලෙස බැගෑපත්ව දෙපා වැද ඉල්ලා සිටියෝය. තරුණියද ඔහුගේ දෙපා අල්ලා ආයාචනා කළාය. කරුණාවෙන් තෙත්වූ හදැති අන්දරේ මෙසේ කියා උනට සමාව දුන්නේය. සිද්ධ කිහිරැළි සමන් බොක්සැල් සිද්ධ පත්තිනි දෙපා නමදිමි මුග්ධ මුන් දුන් පහර මාගෙම පූරුවේ කරුමෙකැයි සලකමි කන්ද ගණපති බින්ද අණවින බැතිබරව ඔබෙ දෙපා සිඹගමි සිද්ද වරදට සමාවෙනු මැන නිතර ඔබ සැම දෙනට පින් දෙමි අන්දරේ ඊට පස්සෙනම් අනුන්ගෙ ගෑනුන්ට උදව් කරන්න ගියේ නැහැ.

2/2

- ආනන්ද මාරසිංහ -