අන්දරේගේ විහිලු තහලු වලට ලක්වෙච්චි තරුණියන් පිරිසක් දවසක් රහසේ සාකච්ඡාවක් කළා. ඒක ඒ අය අතර විතරක් රහසක් විදිහට තියා ගන්නත් කතාකර ගත්තා. අන්දරේ සුපුරුදු විදිහට නෑමට යන තොටුපලක් ලේවැල්ල අසල මහවැලි ගගේ තිබුණා. දින කීපයක් අන්දරේගේ දින චරියාවන් ගැන සැලකිල්ලෙන් හිටපු තරුණියන් අන්දරේ නෑමට එන තොටුපලට නාන්ට ගියා. තව සුලු වෙලාවකින් අන්දරේත් එහි එන බව ඔවුන් හොඳින් දැනගෙන හිටියා. අන්දරේ ආවා. සරුවාලයක් ඇදගෙන ගඟට බැස්සා. අන්දරේට වතුර දෝතක් ගහල තරුණියන් අන්දරේව කතාවට අල්ල ගත්තා. කොහොමත් අන්දරේ කාන්තා පාර්ශ්වයට වැඩි ඇල්මක් දක්වනවානේ. “අන්දරේ අයියේ, අපි සෙල්ලමක් කරමුද?” එකියක් ඇහුවා. “මොකක්ද අප්පේ ගැහැණු ළමයි එක්ක මට වතුරේ කරන්න පුලුවන් සෙල්ලම?” අන්දරේ හිනාවෙලා ඇහුවා. “අපි ඔක්කොම වතුරේ යට කිමිදිලා කොහෙන් හරි බිත්තරයක් හොයාගෙන එන්න ඕන. බිත්තරයක් හොයාගෙන නාවොත් එයා පරාදයි.” “වතුර යට කොහෙන්ද බිත්තර.” අන්දරේ ඇහුවා. “ඒක තමයි හොයන්ට ඕන. සොයන්නාට සම්බවේ කියලනේ කියන්නේ.” කටකාර එකියක් කීවා. අන්දරෙත් හා කියල තරඟයට බැස්සා. ජලය යට පීර පීර බිත්තර හෙව්වා. ඒත් වතුර යට කිකිළි බිත්තරයක් තියා මාලු බිත්තරයක්වත් හම්බ උනේ නැහැ. ඒත් තරුණියන් සැම දෙනාම වතුර යට තිබිලා බිත්තර සොයා ගත්තා. ඔවුන් ජලයෙන් මතුවී තම තමන් සොයාගත් බිත්තර අත් ඔසොවා පෙන්නුවේ ජයග්‍රාහී විදිහට. තමන් අමාරුවේ දැමීමට මොවුන් කල් ඇතුව බිත්තර ජලයේ සගවා තිබුණු බවට අන්දරේ තේරුම් ගත්තා. මේ ලාබාල තරුණියන්ට තමන් පරාජය නොවිය යුතුයැයි අන්දරේ සිතුවා. ඔහු ක්ෂණිකව දෑත් දෙපසට විහිදුවා නවා වැළමිටි දෙකෙන් උදරයේ දෙපැත්තට සද්දයක් නැගෙන ලෙස ගැසුවා. ‘කුක්කු කූ කූ..’ යැයි කීප වරක් හඬලෑවා. “මොකෝ අන්දරේ අයියා. පරාජය පිළිගන්නවාද.?” “මං මොකටද පරාජය පිළිගන්නේ? මමනේ මෙතැන ඉන්න එකම කුකුලා. කිකිළියෝ බිත්තර දැම්මට කුකුලෝ බිත්තර දමනවාය.” “අදත් එහෙනම් උඹ දිනුම් අන්දරේ අයියා.” තරුණියෝ කීවා. “අපිට කවියක් කියන්නේ නැද්ද?” තරුණියක් ඇහුවා. “කියන්නම්.. කියන්නම්.” කියපු අන්දරේ මේ කවිය ඔවුන්ට කීවා. “පැටිතන රෙදිකඩක හිරකර තබන්නී රනවන සිරුර දිය බේරී සිටින්නී දෙනයන බැලුම මලවිද හලු කරන්නී දෙවඟන වැනිය මහවැලි ගඟ නාන්නී”
1/1