කලුඅප්පු හේනට ගියේ මාස් වැස්ස පටන්ගන්ට ඉස්සරවෙලා ඒක කැති ගාල, මැල ගහල, පුච්ච ගන්න ඕන හන්දා. කලුඅප්පුගෙ ගෙදර උන්දැත් කලු අප්පුත් එක්කම ගියේ උදව්වක් පදව්වක් කරන්න හිතාගෙන. උදව්වක් පදව්වක් කීවට උන්දැත් කලුඅප්පු එක්ක හරි හරියට වැඩ කරනවා. ගෙදර වැඩ කරන්න කම්මැලි උනාට හේනට ගියාම කලුඅප්පුට බැරිදෙයක් නැහැ. කවුරු මොනව කීවත් තමන්ගේ මනුස්සයාගේ අත්ගොබ දැක්කහම එතනට ලොකු ආඩම්බර කමක් ඇති වෙන්නේ ඒකයි. හුස්මක් වැඩකරල වතුර පොල්කට්ටක් නවාගෙන බීල, විටකුත් සප්පායම් වෙලා ආයෙත් වැඩ කරන්නේ ගිනි කසය වගේ. මේ මනුස්සය මරවල මිනිස්සු වැඩ ගන්නේ මෙහෙම වැඩ කරන හින්ද තමයි. ඇය හිතුවා. “උඹල ටිකක් මහන්සි ඇරල වැඩ කරපල්ලා.” එතනා කලුඅප්පුගේ නිරුවත් පිට දිගේ ගලන දාඩිය ඇගිල්ලෙන් හූරල විසික්කරන ගමන් කීවා. මස් ගොබ බුරුත කදන් වගේ හයියයි. “එහෙම මහන්සි ඇර ඇර බෑනේ. ආකාහෙ වැස්සට සූජානම් වෙලා, හරි බරි ගැහිල ඉන්නේ. එයාගෙ වැඩ පටන් ගන්න ඉස්සරවෙලා අපි අපේ වැඩ අහවර කරන්න ඕන.” කලු අප්පු බිරිඳ දිහා බලල කීවා. “උඹල එහෙනම් තව ටිකක් වැඩ කරල වරෙල්ලා. මම පොල්පලා මුට්ටිය ලිපේ තියන්නම්.” එතනා චීත්ත කෑල්ල කැහැපට ගන්නා ගන්න ගමන් කීවා. ඇය පොල්පලා මුට්ටියට දර කෑලි දෙකක් කිට්ටු කරල කලුඅප්පුට උදව්වට ආයෙත් එකතු උනා. ගිය කන්නේ වැඩ නොකරපු හින්ද ලඳුකැලේ වැවිල තිබුනේ. පොඩිසිඤ්ඤොමරං ගස් අතක් තරම් මහතට වැවිල. එරමිණිය ගාලට හැදිල. කටු පිල පඳුරු වගේම හිඟුරු ගසුත් වැවිල. ඒත් කලු අප්පුගේ කැතිපහරට ඒවා පරාජය වෙලා වැටෙන හැටි දකිනකොට එතනට ඇති උනේ ආඩම්බරයක්. කපපු ගස් කැත්තෙන්ම හැත් ගහල ඒ ගමන්ම පැත්තකට කරලයි කලු අප්පු වැඩ කළේ. පස්සෙ මැලගහනකොට එයාට ඒක පහසුවක්නේ. කලු අප්පු කෝංගහේ හෙවනට ගියේ එතන එතෙන්ට පොල්පලා මුට්ටිය ගෙනාපු හන්දා. සරමේ කැහැපටේ ලිහාපු කලුඅප්පු, සුම්බරෙත් අතට අරන් එතැන තිබිච්චි ගලක් උඩ වාඩි උනා. අත් දෙක එකට ඇතිල්ලුවා. ඒ දෙකේ සද්දේ සර සර ගානවා. ඒතරමට ගොරෝසු වෙලා. ඇඟිලි මුල කරගැට මතුවෙලා, ඒවා ගල් වගේ තද වෙලා. එතනා පොල් කටුවට පොල්පලා වක්කරල දුන්නා. “ටිකක් නිවිච්චදෙන්.” කලු අප්පු ඒක බිම තියල පට්ටලවෙන්ට ටිකක් කරකැව්වා. දෙන්න දෙමහල්ලෝ ටිකක් නිවිහැනහිල්ලේ කතා කළා.. මේ වගේ වෙලාවක කතා කළොත් තමා. නැත්තං ඉතිං කලු අප්පු ගෙදර ඉන්න එකක්ය. “මේ සැරෙත් මේ කෝං ගහේම උඩ අට්ටාලෙ ගහන්න ඕන. එතෙන්ට මුලු හේනම පේනවා”. කලු අප්පු කීවා. “ඔව් ඒක හොදයි. ඒකෙ අතුත් තියෙනවා අනෙක ඒ අතු හයියනේ.” එතනා කීවා.

1/2

දෙන්නම පොල්පලා බීල විටක් හපන්ට ලෑස්ති උනා. බුලත් මඩිස්සලේ අරගෙන පුවක් ගෙඩියක් කපන්නට තියා ගත්තා. බුලත් මඩිස්සලේ කීවට ඒකෙ වැඩි පුර තිබුනේ තලාකොල. තලාකොල හේනෙ තියෙනවා. සමහරු බුලත්වලට වඩා තලාකොල කන්ටයි කැමැති. තලාකොල වල අමුතු සැරක් තියෙනවානේ. කලු අප්පුට නම් කොයිකත් එකයි. කලු අප්පු පුවක් ගෙඩිය කපල ගිරේ මල්ල උඩින් තියල තලාකොල ටිකක් ගන්න මල්ලට අත දැම්මා. මල්ල උඩ තිබුණු ගිරේ ලිස්සල ගියා. හැබැයි ඉතිං වෙලාව කියන්නේ ඒක වැටුනේ හුඹහ ඇතුළට. ගිරේ ඔලුව පැත්ත ඉස්සරහට වැටිච්ච හන්ද ගිරේ හුඹහ ඇතුලට වැටිල නොපෙනී ගියා. කලු අප්පු අත දැම්මා ගිරේ අහුවෙන්නේ නැහැ. “ඔය හුඹහට අත දාන්න එපා. සත්තු සර්පයෝ ඇති.” එතනා කීව. ‘දැන් මොකද කරන්නේ.’ ගිරේ ගන්ට ක්‍රමයක් කලුඅප්පු කල්පනා කළා. හුඹහේ වෙනින් කටවල් තිබුනේ නැහැ. තිබුනේ එක කටක් විතරයි. දෙබලක් දාල බැලුව ඒත් එන්නෙ නැහැ. “ මේ ගිරහය කොහෙද මාරු උනේ.” “දැන් ඉතිං ඔක්කොම වැඩ නවත්තල හුඹහ කොටන්ට වෙයි ගිරේ හොයා ගන්න.” එතනා කීවා. “එහෙම නෙවෙයි. මේ හුඹහෙ කටවල් තියෙන්නේ එකයි. ගිරහය වැටුවේ ඒකෙන්. ආපහු එන්න ඕනත් ඒකෙන්නේ. මම හොඳ වැඩක් කරන්නම් ඕකට.” “මොකද කරන්න යන්නේ.” “පොඩ්ඩක් බලං හිටපල්ලකෝ.” කලු අප්පු හොද නාවා පට්ට ටිකක් හොයාගෙන ආවා. හුඹහේ කටට තියලා ගැහුවා මන්දක්. එතැන තිබිච්ච කණුවක මන්දෙ කොනක් ගැට ගැහුවා. “දැන් ඉතිං උන්ද ගොඩට ආපු ගමන් මාට්ටු.” කලු අප්පු සන්තෝසෙන් කීවා. “අපි අපේ වැඩේ කරමු.” එයා එතනත් එකතු කරගෙන හේනේ වැඩ කළා. ඉරගල වැටිල හවස් වෙනකන්ම වැඩ කරල ඇවිත් බලනකොටත් ගිරහය උඩට ඇවිත් තිබුනේ නැහැ. “මෙතැන අපේ සද්ද බද්ද හින්ද තමයි එන්ට නැත්තේ. අපි හෙට උදේම ඇවිත් අල්ලගමු.” හවස ගෙදර යන්ට ඉස්සරවෙලා කලු අප්පු හිස් මන්ද දිහා බලල කීවා. “ හොඳයි හොඳයි. අපි එහෙනම් ගෙදර යං. මන්දට අහුවෙලා හිටියේ නැත්තං හෙට හුඹහ කොටල අල්ල ගමු.” එතනා හිනාවෙලා කීවා. තමන්ගේ මනුස්සයගෙ වැඩ ගැන හිනාවෙන්ට හොඳ නැති නිසා එතනා කරබාගෙන කලු අප්පු පස්සෙන්ම ගෙදර ගියේ තනියම හිනාවෙවි

2/2

- ආනන්ද මාරසිංහ -