අහම්බෙන් සමහර අතපසු වීම් කාටත් සිදුවෙනවා. මේත් කලු අප්පු අතින් සිද්වෙච්චි අත් වැරද්දක්. සමහරු හිතනවා ඒක මෝඩකමක් කියල. අනේමන්ද. ඔය ගොල්ල හිතන දෙයක් හිතන්න. කලු අප්පුගෙ රත්ති කඩාගෙන ගිහිල්ලා. එයා ලනුවත් අරගෙන රත්තිව හොය හොයයි මේ ඇවිදින්නේ. පැයක් විතර ඇවිද්දට පස්සේ මෙන්න මේකා හම්බ උනා, ඇල අයිනේ හරක් රංචුවකුත් එක්ක. කලු අප්පු දැකල අනික් හරක් එහාට මෙහාට උනත් රත්ති තණ කකා එකතැන හිටියා. කලු අප්පු රත්තිව බැඳගෙන ආපහු ගෙදර අරන් ආවා. අතර මගදී උක්කුමැණිකලගේ ගේ ළගින් එනකොට උන්දෑ කතා කළා. අවුරුදු හැත්තෑවක් විතර වෙච්චි උන්දෑ කණවැන්දුම් උනේ අවුරුදු හත අටකට ඉස්සර වෙලා. ගෙදර කොල්ලෝ කුරුට්ටෝ කවුරුවත් නැහැ. උනුත් පිළිවෙලක් වෙලා වෙනම පවුල් කනවා. මුන්දැටත් එන්න කීවට හිතුවක්කාර කම කියන්නේ මේකෙම වැටිල ඉන්නවා. කොහේවත් යන්නේ නැතුව. අනේ කලු අප්පු, පුලුවන්නම් මේ කෙහෙල් කැනක් තියෙනවා කපල දීල පලයන්කෝ. එක ඇවරියක් පාට වෙන්නත් ඇවිත් තියෙන්නේ. මට ඒක කපන්ටත් බෑ. කපව්වත් උහන්ටත් බැහැ. උඹත් ඒකෙන් ඇවරියක් ඇන්න පලයන්. කලු අප්පු කෙහෙල් කැන දිහා බැලුවා. ඇම්බන් කැනක්. ඇළ අයිනේ දිය සීරාවට හොඳට හැදිලා. ගෙඩි දෙසීයකට වැඩිය තියෙනවා. ගහත් අඩි දොළහකට වැඩියි. “උක්කු අම්මේ වැඩේ ටිකක් බරපතලයි. කෙහෙල් කැනත් රාත්තල් හැට හැත්තෑවක් විතර තියෙයි. උඹටත් උදව්වක් කරන්න බැහැනේ. අපිමේක ඇළට කපමු. ඇළේ වතුරට වැටුනට කැන තැලෙන්නේ නැහැ. ඊට පස්සෙ හෙමීට ගොඩට ගමු.” “උඹට පහසු විදිහකට කරපන් කලු අප්පු.” “උඹල ගෙදර තියෙන කැලෑ කැත්ත ගෙනත් දීපන්කෝ.” උක්කුමැණිකේ කැත්ත ගේන අතරේ කලු අප්පු රත්තී ගහක බැඳල සරම කැහපොට ගසාගෙන සූදානම්ව සිටියේය. “කෝ මෙහෙ දියංකො කැත්ත.” කලු අප්පු කැත්ත ඉල්ලා ගත්තේය. පොරවෙන් ගසක් කපන්නාක් මෙන් කෙහෙල් ගසේ මුලින් කැපුවේය. ‘බ්රාස්’ හඩ නගමින් කෙහෙල් ගහ ඇළ හරහා වැටුනේය. ඒ දණ්ඩක් වගේ කෙහෙල් ගහ ඇළ හරහා පට්ටල විය. කෙසෙල් කැණ බිම වැදී යටි පැත්ත සම්පූර්ණයෙන්ම චප්ප වී තිබුණේය. “අපෝයි කලු අප්පු කෙහෙල් කැන ඉවරයි නේද?”

1/2

“ඔව් ටිකක් වෙන්ට චප්ප වෙන්ට ඇති බලමු.” කී කලු අප්පු කැත්තෙන්ම අතුටික කපා දමා කැති පාරකින් කැනද වෙන් කළේය. පොළොවේ වැදිච්චි හින්ද එක පැත්තකුත් කඳට යටවෙච්චි හින්ද අනෙක් පැත්තේත් ගෙඩි ගොඩක්ම විනාශ වෙලා තිබුණි. “කමක් නැහැ උක්කු අම්මේ, ගෙඩි පනහක් විතර හොඳට තියෙනවා. උඹත් තනියමනේ ඉන්නේ. අපිට ගෙඩි හත අටක් ඇති. අපේ ගෙදරත් තුන් දෙනයිනේ ඉන්නේ.” ඇවරියකින් භාගයක් කපා ගනිමින් කලු අප්පු කීවේය. “උඹට මේ වැඩේ කීවට වඩා හොදයි, ගහේම තිබ්බනම්. සතෙක් හරි කාල යයි.” උක්කු අම්මා කණගාටුවෙන් කීවා. “එහෙම උනානම් මේ ගෙඩි ටිකවත් උඹට නැතිවෙවනේ බං.” කියමින් කලුඅප්පු රත්තිත් අරගෙන ගෙදර ගියේය.

2/2

- ආනන්ද මාරසිංහ -