ප්‍රජාපතී ගෝතමී හා සුදොවුන් මහරජතුමා සදළුතලයේ පෞද්ගලික සාකච්ඡාවක නිරත වෙමින් සිටියහ. ඒ අසල වෙනත් කිසිවෙක් නොවීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේ පැවසීමට ඇතැයි කී වැදගත් කරුණ කුමක්ද?” “බිසවුන් වහන්ස, සිදුහත් රාජ්‍යය අතහැර යාම නිසා මම නැවත රාජ්‍ය පාලන කටයුතු භාර ගත්තේ කැමැත්තෙන් නොවේ. එහෙත් වසර සයක් පුරාම, සිදුහත් පැමිණි පසු එය භාරදීමේ අදහසින්, මම රාජ්‍යයේ කාර්ය භාරය ඉටු කළෙමි. ඔහු බුද්ධත්වයට පත්වී ඇති හෙයිනුත්, සියලු ලෞකික කටයුතු සම්බන්ධයෙන් ඇලීමක් නැති හෙයිනුත්, රාජ්‍ය කටයුතු කිරීම සදහා සුදුස්සෙක් පත් කර ගත යුතු වෙනවා.” “රජකමට උරුමකරු රාහුල කුමරු වුවත්, ඔහු තාම පසු වන්නේ ළදරු වයසේ. ඔහු නිසි වයසට එළඹෙනතුරු ඔබ වහන්සේම රාජ්‍ය කටයුතු විචාරීම සුදුසු බවයි මට හැගෙන්නේ.” “ඔව්. ඒ ඔබේ හැඟීම. එහෙත් මට දැන් මේ කටයුතුවලින් ඉවත්වී නිදහස් වීමටයි අවශ්‍යව ඇත්තේ. රාහුල කුමරු නිසි තත්වයට පත්වීමට අවම වශයෙන් තව වසර පහලොවක් විස්සක් වත් ගත වේවි.” “ඉතිං කුමක්ද ඔබ වහන්සේගේ අදහස.” “නන්ද කුමාරයා දැන් සුදුසු වයසට එළඹී සිටිනවා. උගත යුතු බොහෝ කාරණා ඔහු හදාරා තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙනුත් ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට රාජ්‍යයේ උරුමකරු ලෙස පත් කර ගනිමු.” “ඔබ වහන්සේ මේ පිළිබදව තවදුරටත් සිතා බලනු මැනවි.” “ඔව්, දැනට ඇති විසඳුම එයයි. නන්ද කුමරු හැම අතින්ම එයට සුදුසුකම් ලබා තිබෙනවා. ශස්ත්‍රවිද්‍යාව හා ශාස්ත්‍ර විද්‍යාව යන දෙඅංශයම ඔහු හොඳින් හදාරා තිබෙනවා. පසුගිය වසර කීපය තුළ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳවවත් විදේශීය වෙළඳ හා අනෙකුත් දූත කණ්ඩායම් සමග කටයුතු කිරීම නිසා ඒ සම්බන්ධ දැණුමත් ප්‍රායෝගිකව ලබාගෙන තිබෙනවා.” “ඔබ වහන්සේගේ කැමැත්තක්.” “අපි කුමාරයාගේ ඔටුණු පැළඳවීමේ උත්සවයත්, විවාහයත්, ගෙට ගෙවදීමත්, එකම දවසක ගනිමු. ජ්‍යොතිෂ වේදීන් ගෙන්වා ඒ සඳහා සුදුසු නැකත් වෙලාවක් තෝරාගනිමු.” “මේ පිළිබඳව සිදුහත් කුමරුගේ හා නන්ද කුමරුගේ අදහස් විමසා බැලීමත් කළොත් හොඳයි නේද මහරජ තුමනි.” “ඔව් හොඳයි. එහෙත් සිදුහත් මෙයට ගාවාගත යුතු නැහැ. ඔහු පිළිබඳව කළ සොයා බැලීම්වලින් හා දැණුවත් වීම් තුළින් ඔහුගේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බව පැහැදිළියි. ඔහු පැහැදිළිව මා වෙත දන්වා තිබුණා, නැවත රජකම පිළිබඳව හෝ ලෞකික කාර්යයන් පිළිබඳව කිසිම දෙයකට මැදිහත් නොවන බව. අපි මේ සම්බන්ධයෙන් නන්ද කුමරු සමග කතා කර ඔහුගේ කැමැත්ත අකැමැත්ත හා අදහස් විමසා බලමු.” “හොඳයි එසේනම් එයත් කල් දැමිය යුත්තක් නොවෙයි. මේ කටයුතු සංවිධානය කර ගැනීමටත් කාලයක් ගතවෙනවානේ.” “එසේනම් අපි අදම නන්ද කුමාරයා ගෙන්වා මේ අදහස ඔහුට කියමු . එවිට ඔහුගේ අදහස හා ඉදිරි සැලසුම් පිළිබඳව පැහැදිළිව දැන ගැනීමට ලැබේවි.” “නන්ද කුමාරයා මාළිගාවේ සිටිනවා දුටුවා. අපි ඔහු කැඳවමු.” යැයි කී ප්‍රජාපතී ගෝතමිය පණිවිඩ කරුවෙකු නන්ද කුමරු වෙත යැවීය. පණිවිඩය ලද නන්ද කුමරු වහා විත් දෙමාපියන් මුණ ගැසුනේය.

1/16

ප්‍රජාපතී ගෝතමී හා සුදොවුන් මහරජතුමා සදළුතලයේ පෞද්ගලික සාකච්ඡාවක නිරත වෙමින් සිටියහ. ඒ අසල වෙනත් කිසිවෙක් නොවීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේ පැවසීමට ඇතැයි කී වැදගත් කරුණ කුමක්ද?” “බිසවුන් වහන්ස, සිදුහත් රාජ්‍යය අතහැර යාම නිසා මම නැවත රාජ්‍ය පාලන කටයුතු භාර ගත්තේ කැමැත්තෙන් නොවේ. එහෙත් වසර සයක් පුරාම, සිදුහත් පැමිණි පසු එය භාරදීමේ අදහසින්, මම රාජ්‍යයේ කාර්ය භාරය ඉටු කළෙමි. ඔහු බුද්ධත්වයට පත්වී ඇති හෙයිනුත්, සියලු ලෞකික කටයුතු සම්බන්ධයෙන් ඇලීමක් නැති හෙයිනුත්, රාජ්‍ය කටයුතු කිරීම සදහා සුදුස්සෙක් පත් කර ගත යුතු වෙනවා.” “රජකමට උරුමකරු රාහුල කුමරු වුවත්, ඔහු තාම පසු වන්නේ ළදරු වයසේ. ඔහු නිසි වයසට එළඹෙනතුරු ඔබ වහන්සේම රාජ්‍ය කටයුතු විචාරීම සුදුසු බවයි මට හැගෙන්නේ.” “ඔව්. ඒ ඔබේ හැඟීම. එහෙත් මට දැන් මේ කටයුතුවලින් ඉවත්වී නිදහස් වීමටයි අවශ්‍යව ඇත්තේ. රාහුල කුමරු නිසි තත්වයට පත්වීමට අවම වශයෙන් තව වසර පහලොවක් විස්සක් වත් ගත වේවි.” “ඉතිං කුමක්ද ඔබ වහන්සේගේ අදහස.” “නන්ද කුමාරයා දැන් සුදුසු වයසට එළඹී සිටිනවා. උගත යුතු බොහෝ කාරණා ඔහු හදාරා තිබෙනවා. රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙනුත් ඔහුට යම් අවබෝධයක් තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කොට රාජ්‍යයේ උරුමකරු ලෙස පත් කර ගනිමු.” “ඔබ වහන්සේ මේ පිළිබදව තවදුරටත් සිතා බලනු මැනවි.” “ඔව්, දැනට ඇති විසඳුම එයයි. නන්ද කුමරු හැම අතින්ම එයට සුදුසුකම් ලබා තිබෙනවා. ශස්ත්‍රවිද්‍යාව හා ශාස්ත්‍ර විද්‍යාව යන දෙඅංශයම ඔහු හොඳින් හදාරා තිබෙනවා. පසුගිය වසර කීපය තුළ රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳවවත් විදේශීය වෙළඳ හා අනෙකුත් දූත කණ්ඩායම් සමග කටයුතු කිරීම නිසා ඒ සම්බන්ධ දැණුමත් ප්‍රායෝගිකව ලබාගෙන තිබෙනවා.” “ඔබ වහන්සේගේ කැමැත්තක්.” “අපි කුමාරයාගේ ඔටුණු පැළඳවීමේ උත්සවයත්, විවාහයත්, ගෙට ගෙවදීමත්, එකම දවසක ගනිමු. ජ්‍යොතිෂ වේදීන් ගෙන්වා ඒ සඳහා සුදුසු නැකත් වෙලාවක් තෝරාගනිමු.” “මේ පිළිබඳව සිදුහත් කුමරුගේ හා නන්ද කුමරුගේ අදහස් විමසා බැලීමත් කළොත් හොඳයි නේද මහරජ තුමනි.” “ඔව් හොඳයි. එහෙත් සිදුහත් මෙයට ගාවාගත යුතු නැහැ. ඔහු පිළිබඳව කළ සොයා බැලීම්වලින් හා දැණුවත් වීම් තුළින් ඔහුගේ ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස්වී ඇති බව පැහැදිළියි. ඔහු පැහැදිළිව මා වෙත දන්වා තිබුණා, නැවත රජකම පිළිබඳව හෝ ලෞකික කාර්යයන් පිළිබඳව කිසිම දෙයකට මැදිහත් නොවන බව. අපි මේ සම්බන්ධයෙන් නන්ද කුමරු සමග කතා කර ඔහුගේ කැමැත්ත අකැමැත්ත හා අදහස් විමසා බලමු.” “හොඳයි එසේනම් එයත් කල් දැමිය යුත්තක් නොවෙයි. මේ කටයුතු සංවිධානය කර ගැනීමටත් කාලයක් ගතවෙනවානේ.” “එසේනම් අපි අදම නන්ද කුමාරයා ගෙන්වා මේ අදහස ඔහුට කියමු . එවිට ඔහුගේ අදහස හා ඉදිරි සැලසුම් පිළිබඳව පැහැදිළිව දැන ගැනීමට ලැබේවි.” “නන්ද කුමාරයා මාළිගාවේ සිටිනවා දුටුවා. අපි ඔහු කැඳවමු.” යැයි කී ප්‍රජාපතී ගෝතමිය පණිවිඩ කරුවෙකු නන්ද කුමරු වෙත යැවීය. පණිවිඩය ලද නන්ද කුමරු වහා විත් දෙමාපියන් මුණ ගැසුනේය.

2/16

නන්ද කුමාරයා එතැනින් ගියේය. ප්‍රජාපතී ගෝතමිය මඳ සිනාවක් නගා රජුට සමීප විය. “නන්ද කුමාරිකාවක් කෙරෙහි ඇඟෑළුමක් පවතින බව යසෝදරා මට කීවා. සමහරවිට දෙදෙනා ඒ ගැන කතා කළා විය හැකිය.” “ඔන්න කියනකොටම යසෝදරාත් එනවා.” සුදොවුන් රජතුමා කීවේය. යසෝදරාගේ අතේ එල්ලී සිටි රාහුල කුමරු මුත්තණුවන් දැක දිවගොස් ඔහුගේ උණුසුමට එකතුවිය. “අපි මේ කතා කළෙත් යසෝදරා දියණිය ගැන.” ප්‍රජාපතී දේවිය සිනාසී කීවාය. “ඔව්, නන්ද මලයණ්ඩි යන ගමන් මටත් පණිවිඩේ කියාගෙන ගියේ. කල්‍යාණිය ගැන ඔහුගේ සිතේ බැඳීමක් තිබෙන බවත්, එය මවට දන්වන ලෙසත්, ඉල්ලා සිටියා.” යසෝදරා කීවේ සිනාසෙමිනි. “කවුද කළ්‍යාණි කියන්නේ?” රජු විමසුවේය. “ගිය වසරේ මේ ජනපදයෙහි පඤ්ච කල්‍යාණයෙන් යුත් කාන්තාව ලෙස තෝරා ගැනුනේ ඇයයි. ඇය රූමත්.” යසෝදරා කීවාය. “ඔව් මට මතකයි. ඇය ප්‍රියදර්ශනීගේ දියණියක්. අපේ ඔක්කාක පරම්පරාවේම අය.” ප්‍රජාපතී බිසව කීවාය. “එහෙමනම් අපි වෙලාවක එහි ගොස් මේ යෝජනාව ඔවුන්ට චාරිත්‍රානුකූලව දැණුවත් කරමු.” රජතුමා පැවසීය. සුදොවුන් රජ පවුලේ සමීපතමයන් කීපදෙනෙකු ජනපද කළ්‍යාණිගේ නිවසට ගියේ පූර්ව දැණුම් දීමෙන් පසුවය. එම පිරිසට සුදොවුන් රජු, ප්‍රජාපතී බිසව, සුදොවුන් රජුගේ නැගෙණිය වන ප්‍රමිතා දේවිය, නන්දගේ නැගෙණිය වන නන්දා කුමරිය, නන්ද කුමරු හා යසෝදරා දේවිය, සම්බන්ධ වූහ. යසෝදරා සම්බන්ධවූයේ දැඩි අකැමැත්තෙනි. එද සුදොවුන් මහරජුගේ හා ප්‍රජාපතී ගෝතමීගේ සිත් රිදවිය නොහැකි හෙයිනි. අනෙක කළ්‍යාණියගේ නිවස හා රජ මැදුර අතර දුර මයිලකට වඩා අඩු වීම හේතුවෙනි. උණුසුම් අයුරින් රාජකීය අමුත්තන් කල්‍යාණිගේ නිවෙස්හි වූවන් විසින් පිළිගනු ලැබිනි. සිය කුලගෝත්‍ර පරම්පරාවන් හා ඥාති සම්බන්ධතාවයන් පෙර සිටම පැවැති හෙයිනුත්, උනුන් හා අවබෝධයෙන් යුතුව සිටි හෙයිනුත් මෙහිදී සිදුවූයේ කලෙකින් හමුවූ ඥාතීන්ගේ සුහද හමුවක් වැනි දෙයකි. එහෙත් සුවිශේෂීතාවය වූයේ නන්ද කුමරු හා කළ්‍යාණිය අතර පවත්නා සම්බන්ධතාවය, දෙමාපියන්ගේ ආශීර්වාදය හා දැනුවත්වීම් මත සිදුවන්නක් බව නිල වශයෙන් දෙපිරිසම පිළිගැනීමය. කළ්‍යාණිය මහාර්ඝ කසී සලුවකින් සැරසී, දුහුල් සලුවකින් මුහුණ ආවරණය කරගෙන පැමිණ නන්ද කුමරුට තාම්බූල මංජුසාවක් දී ආචාර කළාය. අනතුරුව වැඩිහිටියන්ටද දන නමා ආචාර කළාය. අනෙක් අයට සමාචාර කළාය. සුදොවුන් රජු ඇයගේ හිස සිට දෙපා දක්වාම සියුම් නිරීක්ෂණයක නිරත විය. ‘නන්ද මෙයාට වසී නොවුනා නම් තමා පුදුමේ.’ රජු තමාටම කියා ගත්තේය. “කුමක්ද රජතුමනි ඔබ තුමා තනිවම කීවේ.” ප්‍රජාපතී විමසුවාය. “මම දැනන් හිටියේ නැහැ, ප්‍රියදර්ශනීට මෙතරම් ලොකු දියණියක් සිටින වග.” රජු ඇත්ත සඟවා කීයේය. කළ්‍යාණි සාඩම්බරයෙන් යුතුව නන්ද දෙස බලා ඇසක් ඉඟි මැරුවාය. යසෝදරා එය දුටුවාය. ඇය මඳ සිනාවක් පෑවාය. “නන්ද කුමරු කළ්‍යාණිය සමග බැඳීමක් ඇති බව දැන ගන්න ලැබුණා. දරුවන් නිසිදේ නිසි කලට කරන්නේ නම් එයට විරුද්ධ වීමේ අයිතියක් නැහැ. මේ සම්බන්ධතාවයට අපේ අකැමැත්තක් නැහැ. දෙදෙනාගේම ජන්ම

3/16

පත්‍ර නිරීක්ෂණය කර, ඒ කාර්යයන් චාරිත්‍රානුකූලව කරමු. ඒ සමගම අපේ අදහසක් තිබෙනවා නන්ද කුමරුට කිරුළු පැළැන්දවීමේ කාර්යයත් එයට සමගාමීව කිරීමට.” සුදොවුන් රජු කීවේය. “ඔබතුමාට තවදුරටත් රාජ්‍ය විචාරීමට හැකියාව තිබියදී රජකම කුමරුට පවරා දෙන්ට සිතන්නේ කුමක් නිසාද?” “කිරුළ දැරීම බාහිරින් සිතනවාට වඩා සම්බාධක සහිතයි. කාර්ය බහුලයි. වගකීම් හා වගවීම් සහිතයි. අප දැන් වියපත්. අපේ ඉඳුරන් අවසඟයි. දුර්වලයි. වෙහෙසයි. කල්පනාව අඩුයි. සටන් බිමකදී ආදර්ශමත්ව ශක්තියක් දෙමින් ඉදිරියෙන් ගමන් කිරීමට අමාරුයි. ඒ බව දැන දැනත්, තවත් එහි ඇලී සිටීම නුසුදුසු බවයි මගේ කල්පනාව.” සුදොවුන් රජු කීවේ හිතට එකඟවය. සුදොවුන් පවුලේ අයගේ මෙන්ම, කළ්‍යාණියගේ පවුලේ අයගේද මුහුණුවල තිබුනේ මහත් උද්දාමයකි. තමන්ට රජකමේ කාර්ය භාරයන්ගෙන් ඉවත් වීමේ මුල් අඩිතාලම වැටුනේයැයි සුදොවුන් රජුට සතුටක් ඇතිවිය. තමන් රාජකීය පවුලේ සමීපතමයින් බවට පත්වීම හා අනාගත රජතුමා තමන්ගේ දියණියගේ ස්වාමියා වීම කළ්‍යාණිගේ දෙමාපියන්ටත් සතුට දනවන්නක් විය. දිවා භෝජනය සඳහා වැඩිහිටි පිරිමි සම්බන්ධ වූයේ මධුවිතද තොලගෑමෙන් පසුවය. ප්‍රජාපතී ගෝතමිය එයට විරුද්ධත්වයක් නොදැක්වූයේ තම සැමියා හැම විටම පමණ දැන කටයුතු කරන බව දත් හෙයිනි. රාජකීයයන්ගේ මන පිනන ආකාරයෙන්, ගෞරවය සුරැකෙන ආකාරයෙන්, භෝජන සංග්‍රහය සකසා තිබින. එය අනුභවයෙන් පසුව සකසා තිබූ නන් ඵලයෙන් හා අවුළුපත්වලින් යුත් අතුරු පසද සියල්ලෝම භුක්ති වින්දාහ. සියල්ලෝ භෝජන මේසයෙන් නැගිට්ටේ තුටු පහටු සිත් ඇතිවය. “නිදහසේ කුස පිරෙන්න ආහාර ටිකක් ගත්තා.” සුදොවුන් රජු කුස අතගාමින් කීවේය. “වෙනද කියල ඔබතුමාට ආහාර පානවලින් අඩුවක් උනාය.” ප්‍රජාපතී කීවාය. “නැහැ දේවීනි, මම අදහස් කළේ එය නෙවේ. සිතේ නිදහස. මාළිගාවේදී කොයි මොහොතේ ගැටළුවක් රැගෙන පැමිණේදැයි කුතූහලයක් තිබෙනවා. ආහාර ගැනීමට ගියත් එය නැතිවන්නේ නැහැ. අද එවැන්නක් මගේ සිතේ දැනුනේ නැහැ. මා අදහස් කළේ එයයි.” ආහාරයෙන් පසු ටික වේලාවක් ඔවුනොවුන් සුහද කතා බහක නිරත වූහ. යසෝදරා හා කල්‍යාණි රාහුල කුමරු සමග ආලින්දයේ පසෙක සිටියහ. නන්ද කුමරුත් එහි සමීප විය. “නන්ද මලයණ්ඩිට දැන් ඉතින් කාර්ය බහුල සමයක් උදාවේවි.” යසෝදරා කීවාය. “ඒ කුමක් නිසාද අක්කණ්ඩි.?” “විවාහ උත්සවයක් සැලසුම් කිරීම භාරදූර දෙයක්. පියතුමන්ලා මෙයටම කිරුළු පැළන්දීමේ උත්සවයත් යෝජනා කරනවා. එය රාජකීය උත්සවයක්. ඒ සඳහා ආරක්ෂක අංශත් සම්බන්ධ කරගෙන සම්ප්‍රදායික උත්සව පැවැත්විය යුතු වෙනවා. අනෙක් කාරණය ගෙට ගෙවදීමේ මංගල්‍යය. ඒ සඳහාත් කැපවිය යුතුයි. සැලසුම් ශිල්පීන් එය නිර්මාණය කරනු ලැබුවත් ඔබේ අවශ්‍යතාවයන්ට අනුරූප වන අයුරින් සකස් කර ගැනීම ඔබේ වගකීමක්. ඒ සදහා ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේදී හා නිසිතැන්වල ස්ථාපනය කිරීමේදී ඔබේ අධීක්ෂණය අත්‍යවශ්‍ය වෙනවා.” “ඒ විතරක් නෙවේ, මේ සියල්ලම කළයුතු වන්නේ මෙතෙක් ඔබ කරගෙන ආ රාජකාරි කටයුතුවලට අමතරවයි. ඒ නිසා කාලය අරපිරිමැස්මෙන් පාවිච්චි කළ යුතු වෙනවා. හැම දෙයක්ම අන් අය කරන තුරු බලා සිටීමට එපා. එවිට සිදුවන්නේ ඔවුන්ගේ මනාපය අනුව කටයුතු වීම මිස ඔබේ මනාපය ඉටු වීම නොවේ.” “ඔබේ අදහස් අගය කරනවා අක්කණ්ඩි.” නන්ද හා කළ්‍යාණි දෙදෙනාම එක වර කීහ. ඔබ දෙදෙනාම එකට පිළිතුරු දුන්නේ අදහස්වල සාම්‍යත්වයක් ඇති නිසයි. කළ්‍යාණි නැගෙණියනි. විවාහයකට පෙර පූර්වකෘත්‍යයන් රැසක් තියෙනවා. ඒවා වැඩි හිටියන්ගෙන් අසා දැන ගන්න.

4/16

“අක්කණ්ඩිලා අපේ වැඩිහිටියෝ තමයි.” කළ්‍යාණි සිනාසී කීවාය.” “අපි පිටත් උනොත් හොඳයි නේද?”සුදොවුන් රජතුමා ප්‍රජාපතී දේවියට කීවේය. “රාජ්‍ය කටයුතුවලින් මිදෙන්ට ඕනෑය කීවාට ඉන් බැහැරව හෝරා දෙකතුනක්වත් ගත කරන්න ඔබ තුමාට හැකියාවක් නැහැ.” ප්‍රජාපතී ගෝතමියද නැගිටිමින් කීවාය. “යසෝදරා දියණියත් අපිත් එක්කම යනවානේ.” “ඔව් ප්‍රජාපතී මෑණියනි. නන්ද මළණුවන් ටිකක් නැවතී සතුටු සාමීචියේ යෙදී සිට පැමිණේවි.” යසෝදරා සිනාසෙමින් කීවාය. එයට නන්ද හා කළ්‍යාණි සතුටු වූහ. “ඒකට කුමක් වෙනවද. ටිකක් කතා බහ කරන්න. ඉදිරි සැලසුම් දෙමාපියන් සමග සාකච්ඡා කරන්න. අපි සමග ඉන් පසු කතා කරන්න. අපි එහෙනම් පිටත් වෙමු.” කළ්‍යාණි, ප්‍රජාපතී සුදොවුන් දෙපලටත්, ප්‍රමිතා බිසවටත්, දනගසා වැන්දාය. යසෝදරා වැළඳගෙන ආචාර කළාය. කළ්‍යාණිගේ නිවාසයෙන් ආගන්තුකයන් පිටත්වී ගිය පසු හැමදෙනාම ආලින්දයට විත් අසුන්ගත්හ. “අද නන්ද කුමරුගේ දෙමාපියන්ට සතුටු ඇති.” කළ්‍යාණී කීවාය “අද විතරක් නෙවේ, උපන්න දවසේ ඉඳල ඒ අයට සතුටුයි. මා උපන්න දවසේ මට නන්ද කියල නම දාල තියෙන්නේත් මම හැමදෙනාම සතුටු කරන නිසා කියලයි මෑණියන් කියල තියෙන්නේ.” නන්ද කුමරු සිනාසී කීවේය. “ඒ සියලු දෙනා කියන ගොඩට අපත් ඇතුල් කර ගන්න.” කළ්‍යාණිගේ මෑණියන්ද සිනාසී උත්තර දුන්නාය. “ඇත්තටම පවුලේ අය මට කැමැතිද කුමරුනි.” කළ්‍යාණිය විමසුවාය. “ඔව්. අපේ පවුල් අතර ඇති ඥාතිත්වයත් එයට හේතු උනා. මම යසෝදරා අක්කණ්ඩිට කලින් මේ ගැන කියල තිබුනේ. එයා මෑණියන්ගේ හා පියාණන්ගේ හිත් පොළඹවලා තියෙනවා.” “ඒ අය අකැමැති උනා නම්?” කළ්‍යාණි විමසුවාය. “එහෙනම් ඉතිං රජකිරුළ අතහැරල කළ්‍යාණි කිරුළ තමයි පළඳින්න වෙන්නේ.” නන්ද සිනාසී කීවේය. “ඒක නෙවෙයි නන්ද කුමරුනි, රාහුල කුමරුට රජකම දියයුතුයි කියල යසෝදරා දියණිය කීවේ නැද්ද?” “ඔබ යසෝදරා අක්කණ්ඩි පිළිබඳව නිවැරදිව නොදැනයි ඔය පැනය විමසුවේ. සිදුහත් අයියණ්ඩි රජමැදුරෙන් ගිය දවසෙ සිට ඇය සිටියේ දැඩි සිත් වේදනාවෙන්. රාහුල පුතණුවන් ඇති දැඩි කළේ සිය දෑස වගේ . රජකම කියන්නේ මහා ගිනිගොඩක් කියලයි ඇය කීවේ. ඇය මට රජකම දෙනවාට ඉහළින්ම කැමැති උනා. රාහුල කුමාරයාට රජකම දුනහොත් තමන් තවත් තනිවෙතැයි ඇය කීවා. අනෙක තමයි රාහුල කුමරු තවම ළදරු වයසේ සිටීම. එයා කීවේ තමනුත් කවද හරි සිදුහත් ගිය පාරෙම යනවාය කියලයි.” “ඔබ රාහුල කුමාරයාව යුවරජු ලෙස පත් කරගන්න. එවිට ඒ පැත්ත සමබර වේවි.” කළ්‍යාණිගේ මව කීවාය. “ඒ ගැන අපි පසුව බලමු. මුහුදට හත් ගව්වක් තිබියදී නානකඩ ඇඳිය යුතු නැති බව කියනවානේ.” නන්ද කුමරු සිනාසී කීවේය. “අපි විහිළු තහළු කළා වගේ නෙවේ නන්ද කුමරුනි. කිරුළු පැළඳවිම හා විවාහය යන දෙකම භාරදූර කටයුතු. ඒ පිළිබදව සැලසුම් සකස් කරන්න වේවි.”

5/16

“අප බිය විය යුතු නැහැ. අදම පියාණන් ඒ පිළිබඳව ඇමැති අනුකාරක සභාවක් පත්කර සියලු කටයුතු ආරම්භකර ඇති බව ඒකාන්තයි. සර්ෂප මාත්‍රයකවත් අඩුවක් නොමැතිව ඒවා සිදුවේවි. අපට තිබෙන්නේ නිරීක්ෂණය කිරීම පමණයි.” නන්ද කුමරු විශ්වාසයෙන් යුතුව කීවේය. බොහෝ වේලාවක් ඔවුන් කතා බහ කරමින් සිටියහ. සේවිකාවන් විසින් ගෙන එන ලද අතුරුපස හා ඖෂධීය රණවරා බදුන ශර්කරා සමග පානය කර කුමරු යෑමට සූදානම් විය. “මම ලබන සතියේම රන්කරුවෙකුට මෙහාට පැමිණීමට නියෝග කරන්නම්. අපි එදිනට ඔබට අවශ්‍ය සියලුම රන් ආභරණ ඇණවුම් කරමු. ඔබට යෝග්‍ය යැයි සිතෙන ආකාරයේ නිර්මාණ කීපයක සැලසුම් සොයා තබා ගන්න.” නන්ද කුමරු කීවේය. “අලුතෙන් සෑදිය යුතු නොවේ පුත් කමරුනි. මා සන්තක සියලු රන් ආභරණද එදිනට මම ඇගේ ගෙල පළඳනවා.” කළ්‍යාණිගේ මව කීවාය. “ඒක ඔබ තුමියගේ කැමැත්තක්. එහෙත් මා කරන්නේ විවාහාපේක්ෂකයෙකු විසින් මනමාලියක වෙත තිළිණ කරන ත්‍යාගයන් සකසා ගැනීමයි.” නන්ද කුමරු සිනාසී කීවේය. “ආ මගේ මනමාලයා.” කළ්‍යාණිය සිනාසී නන්ද කුමරුගේ කණට කර කීවාය. නන්ද කුමරු සිනාසුනා මිස කිසිවක් කීවේ නැත. කපිලවස්තු පුරයෙහි නව රජකෙනෙකු වෙත කිරුළ හුවමාරු කරන බව රට වැසියෝ කටින් කට ආ තොරතුරුවලින් දැන ගත්හ. ඒවා සුදොවුන් රජමාළිගාවෙන්ම පිටතට පැමිණි ආරංචි විය. ඒවා සත්‍ය හෝ අසත්‍යයැයි කීමට රජමාළිගය උත්සුක නොවීය. සුදොවුන් රජතුමා පත්කරන ලද කාර්ය සාධක බලකායන් තම තමන්ට නියමිත කාර්යයන්හි යුහුසුලුව නිරත විය. ඒ වෛශාඛ පූර්ණමී දිනය වන විට ඒ කටයුතු සිදුවන හෙයින් ඊට සතියකට පෙර සියලුම කටයුතු අවසන් කර පෙරහුරුද පැවැත්විය යුතුයැයි රජතුමා නියෝග කර තිබූ හෙයිනි. ඒ සියල්ල ඒ ආකාරයෙන්ම ඉටු වෙමින් පැවතුනි. සියලුම උත්සව කපිලවස්තු පුරයම කේන්ද්‍රගතව පැවැත්වෙන හෙයින් මුලු කපිලවස්තුවම එකම මඟුල් නිවසක සිරි ඉසිලීය . රජ මාළිගාව දස දහසක් අමුත්තන්ට භෝජන සංග්‍රහ කළ හැකි ආකාරයේ සුවිශාල ශාලාවන්ගෙන් සමන්විත විය. ඒ සියලුම දෙනාට ප්‍රමාණවත් වන ආකාරයට යටිතල පහසුකම් සංවර්ධනය විය. නගරාසන්නයේ පිහිටි සියලුම රාජකීය උද්‍යාන හා ප්‍රමාණවත් ඉඩකඩ ඇති පෞද්ගලික උද්‍යාණ ප්‍රීත්‍යුත්සව සඳහා සංවර්ධනය කෙරින. නව රජු වෙනුවෙන් ඉදි කෙරෙන මන්දිරයෙහිද සියලු කටයුතු නිමවෙමින් පැවතින. දිනක් සුදොවුන් රජතුමා පවුලේ සමීපතමයන් හමුවේ අලුත් තොරතුරක් තැබීය. “සිදුහත් අපේ රටට පැමිණීමට කැමැත්ත පළකරලා තියෙනවා. කාලුදායි ඒ බව දන්වා දූතයෙකු එවා තිබෙනවා. එහි සදහන් ආකාරයට තව දෙමසකින් වෛශාඛ පුන්නමී දිනයට පැමිණීමටයි යොදාගෙන ඇත්තේ. අපේ නැකත් යෙදී ඇති දිනයන්හිදීමයි සිදුහතුන්ගේ ආගමනයත් සිදුවන්නේ.” “එය ඉතා යහපත් පියාණෙනි. ඔටුණු පැළඳීමේ උත්සවයට හා මගේ විවාහය සිදුවන අවස්ථාවේ පවුලේ වැඩිමහල් සහෝදරයා ලෙස ඔහුව සහභාගි වේවි. එයට එතුමාත් මනාප වේවි.” “එය එසේ වේදැයි ශංකා සහිතයි නන්ද. කෙසේ නමුත් සිදුහත්ගේ පැමිණීම අප කවුරුත් අපේක්ෂා කළ දෙයක්. එය මේ මංගල සම්මත අවස්ථාවේම සිදුවීම සුභ ලකුණක්.” සුදොවුන් රජු කීවේය. “ඔව් එතුමාගේ සම්ප්‍රාප්තියත් අපගේ උත්සව කටයුතුත් සමගාමීව කිරීමට රාජ්‍ය නිළධාරීන්ට උපදෙස් දිය යුතුයි මහරජතුමනි.” ප්‍රජාපතී ගෝතමිය කීවාය.

6/16

“ඔව් සිදුහතුන්ගේ ශ්‍රාවකයන් පමණක් නොවේ, ඔහුගේ අනුගාමිකයන්ද විශාල පිරිසක් සිටින බවටයි තොරතුරු ලැබෙන්නේ. ඒ සැම දෙනාටම, ඔවුන්ට යෝග්‍ය, ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූල වන ආකාරයේ උපරිම සංග්‍රහයන් කළ යුතුයි. සිදුහතුන්ගේ නවාතැන් සදහා නිග්‍රෝධ ශාක්‍යයන්ගේ උයන සුදුසු බවට කාලුදායිම යෝජනා කර තිබෙනවා. ඒ පහසුකම් එහි සැකසීම සංවිධාන කටයුතුවලට එක් ආකාරයක පහසුවක්.” “කිරුළු පැළදීමේ, ගෘහප්‍රවේශ හා විවාහ මංගලෝත්සවය සදහා පැමිණෙන්නන්ට ඉහළම තත්වයේ මුද්‍රික පානයන්ගෙන් හා විවිධ මත්ස්‍ය මාශයන්ගෙන් යුත් ආහාර පාන සම්පාදනය කළ යුතුය. ප්‍රීති ප්‍රාමෝද්‍යය සඳහා අවශ්‍ය සියලුම දේ සම්පාදනය කළ යුතුයි. මුලු නගරයම ධජපතාක හා තොරණවලින් අලංකාර කළ යුතුයි. ඊට අමතරව සතර වාහල් දොරටුවලම දුගී මගී යාචකාදීන්ට ආහාරපාන සැපයීමේ වැඩ පිළිවෙලකුත් සම්පාදනය කළ යුතුයි. වෙසක් පුන් පෝදිනට දෙදවසක් තිබෙන විට කිඹුල්වතට ගව් සතරක් පමණ දුරින් බුදු රජාණන් වහන්සේ ඇතුලු දස දහසකට අධික උන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නවාතැන් ගෙන සිටියහ. උන් වහන්සේගේත් පැමිණෙන සියලුම දෙනාගේත් ප්‍රත්‍ය හා නේවාසික පහසුකම් සුදොවුන් රජතුමා සම්පාදනය කළේ ඒ පළාත්වල ජනප්‍රධානීන්ගේද අනුදැණම හා සහයෝගය මතය. එහි සිට කිඹුල්වත දක්වාම මාර්ගය සුදොවුන් රජතුමාගේ නිළ ධජය හා වෙනත් සැරසිළිවලින් අලංකාර කරන ලද්දේය. බොහෝ නිවෙස්වල කැන් සහිත කදලි වෘක්ෂයන් සිටුවා තිබුණි. නගරවාසීහූ තමන්ගේ හිටපු රජතුමා දැක ගැනීමේ ආසාවෙන් මග දෙපස සිටියහ. සිදුහත් පිළිබදව ප්‍රචාරය වී තිබූ අදහස්වලට අනුව ඔවුන් බලාපොරොත්තු වූයේ අද්භූත ආකාරයෙන් වෙනස් වී ඇති කෙනෙකි. එහෙත් ඔවුනට දක්නට ලැබුනේ සියලුම රාජාභරණ හා ඇඳුම් පැළඳුම් ඉවත් කර කාශාය වස්ත්‍රයකින් සැරසුණු සාමාන්‍ය පුරුෂයෙකි. එහෙත් ඔහු ළඟ පෙර තිබුණාට වඩා කුමක්දේ අමුතු තේජසක් තිබෙන බව පෙනුනි. ඔහු පිරිවරා පැමිණි පිරිසද කාශාය වස්ත්‍ර හැඳ හිස මුඩු කර මැටි පාත්‍රා අතැතිව සිටියහ. රාජකීය වාහන හෝ ආචාර පෙළපාලි, සන්දර්ශන කිසිවක් නොවීය. ඔවුන් සැම දෙනාම ගමන් කළේ එකිනෙකා පසුපසය. එහි යම්කිසි සංවරකමක් තිබුණි. පිළිවෙලක් තිබුණි. ඔවුහු එකිනෙකා දොඩමලු වීමක් නොවීය. වියදඬු පමණ දුර බලමින් බිමට නැඹුරු කරගත් දෙනුවනින් යුතුව ගමන් කළහ. මොවුන් තුළ නිගණ්ඨයන් හා වෙනත් පරිබ්‍රාජකයන් සතුව පවතින ජුගුප්සා ජනක, සම්මත විරෝධී, ආචාර සමාචාර නොපවතින බව පෙනේ. යම් දැමුණු බවක් තිබේ. එසේම හමුදාවක මෙන් විනයානුකූල බවක්ද පෙනේ. රැස්ව සිටිය ජනතාව ඒ වෙනස පිළිබදව ඔවුනොවුන් කතිකා කළහ. සියලු දෙනාම ගියේ නිග්‍රෝධ ශාක්‍යයාගේ උයනටය. එහි නිග්‍රෝධාරාමය සකසා නේවාසික පහසුකම් සපයා තිබුණි. තුරු ලතා නන් පැහැ පුෂ්පයෙන් බරව තිබුණි. මී මැස්සන්ගේ ඣංකාරය සවනට මිහිරක් ගෙන ආයේය. ළපල්ලවයන් මඳ සුළඟින් චංචල වූයේ කාගේත් සිත් තුළට සුවයක් දනවමිනි. වැඩම කළ හැම දෙනාම ගොස් අසුන් ගත්තේ විශාල රුක් ගොමුවලින් යුත් විවෘත භූමියක සෙවන යටය. එහි අසුන් පැනවීමක් නොවීය. ශ්‍රාවකයන් අත පැවැති පත්කඩක් බිම එලා එහි වාඩිගත්හ. රජතුමා විසින් සංවිධානය කර තිබූ පරිදි ගිලන්පස පිළිගැන්වින. එය අතට ගත් හැමෝම සෙමින් මෙසේ කීහ. “ උපන්නාවූ, දුක් වේදනාවන් සමනය කිරීම පිණිස, යෝනිසෝ මනසිකාරයෙන් යුතුව, මේ ගිලන්පස වළඳමි.” එසේ කරන විට බොහෝ දෙනා එදෙස කුතූහලයෙන් බලා සිටියහ. සුදොවුන් රජතුමා ඇතුලු පිරිස බුදුරදුන් සමග කතා කළහ. ඒ කතාවට අන් කිසිදු ශ්‍රාවකයෙකු කිසිවක් නොදෙඩූහ. මැදිහත් නොවූහ. ඔවුන්ගේ කාය වාග් සංවරය විශ්මය දනවන සුළු විය. “ඔබ වහන්සේ ගිහි ගෙය යහපත් සේ සිතන්නේද මෙම පැවිදි දිවිය යහපත් සේ සිතන්නේද?” සුදොවුන් රජු විමසීය

7/16

“පියරජතුමනි. ගිහිගෙය ගිනි ගෙයකි. ඒ බව වැටහෙන්නේ ඉන් නික්ම ගිය පසුය. දැන් මගේ කිසිදු බැඳීමක් නැත. මගේ යැයි කිසිවක් කෙරෙහි ආලම්බනයක් නැත. සිත අබවස මෙන් නිදහස්ය. අබවස පියාසර කරන සකලයෙකු සේ සැහැල්ලුය. මම මේ සැපත සැම දෙනාටම ලබා දීමට පියවර ගනිමි.” බොහෝ වෙලාවක් කතා බහ කළත්, සුදොවුන් රජු සිදුහත්ට වන්දනා කළේ නැත. කුඩාවුන් මගින් වැන්ද වූවා පමණි. ‘ශාක්‍යයෝ මාන්නාධිකයෝය. ඔවුන්ගේ මන් අදම බිඳ හෙලිය යුතු වේ. ඉදිරි ධර්මප්‍රවර්ධන කටයුතු වලටද එය මහත් පිටු බලයක් වේවි.’ යැයි සිතු බුදු රජාණන් වහන්සේ ආපෝ කසිනයට හා තේජෝ කසිනයට එක්වර සමවැද යමා මහ පෙළහැර පෑහ. ඉන්ද්‍රජාලිකයන් දැක පුරුදු වැසියෝ එය ඉන්ද්‍රජාලයක් සේ මුලින් සැලකූහ. එහෙත් ඉන් ඔබ්බට ගොස් ජලය හා ගින්න උපයෝගී කර ගෙන මෙතෙක් දැක නැති අද්භූත ප්‍රාතිහාර්යයන් රැසක් කරනු දුටු ඔවුහු, මෙය නම් සිදුහතුන්ගේ ප්‍රාතිහාර්යයක්ම විය යුතුයැයි සිතූහ. මුලින් ඇස කන නාසය වැනි ප්‍රධාන ඉන්ද්‍රියයන්ගෙන් පටන් ගත් එය පසුව රෝම කූපයන් කරාද ගෙන ගියවිට කිසිවෙකුට උන් හිටිතැන්වල සිටීමට නොහැකි විය. බුද්ධශ්‍රාවකයෝද එම යමා මහ පෙළහැරෙන් විශ්මපත් වූහ. ඔවුහුද එවැන්නක් දැක නොතිබිණි. රජතුමා ඇතුලු රාජකීයයයෝ බුදුන් හමුවේ දණ්ඩ නමස්කාර කළහ. සාදු සාධූයි හඩ ගෑහ. එය ඉන්ද්‍රජාලයක් දැක හර්ෂයෙන් උදම්වනවාට වඩා වෙනස්ම වූ, අභ්‍යන්තරයෙන්ම පැන නැගුණු හැඟීම් දනවන්නක් විය. එක්වර ජලය හා ගින්න උපයෝගී කරගෙන කළ එම ප්‍රාතිහාර්යයෙන් බුදුන්ට යම් හානියක් සිදුවෙතැයි රජතුමා ඇතුලු රැස්ව සිටි පිරිස බියට පත්වූහ. එහෙත් විශ්මය ජනක කාර්යය වූයේ, කිසිවෙකුගේ රෝමකූපයකටවත් හානියක් සිදුවී නොතිබීමයි. බුදුමුව පෙර පරිදිම සුපුරුදු මඳ සිනාවෙන් හා ශාන්ත බවෙන් යුක්ත වීමය. එහි කිසිදු වෙහෙසකාරී බවෙක් නොවීය ඉන්පසු බුදුරජාණන් වහන්සේ හෝරාවක් පමණ තමන් ලබාගත් අවබෝධඥාණය පිළිබදව පැහැදිළි කිරීමක් කරමින් දහම් දෙසූහ. මෙතෙක් තමන්ගේ අවධානයට ලක් නොවූ, එහෙත් ලොව පවත්නා සත්‍යමය කරුණු උන් වහන්සේ විවිධ උදාහරණ දෙමින් පැහැදිළි කළහ. “මේ සිරුර ක්ෂණ භංකුරය. මේ ගහවැලද එම ධර්මතාවයෙන් යුක්තය. සතාසීපාවාද, පෘථුවිය ඇතුලු හැම සංස්කාර ධර්මයකමද ස්වභාවය එයයි. නිවසින් පැමිණි ඔබ නොවෙයි, ආපසු නිවෙසට ගමන්කරන්නේ. වෙනස්වූ පුද්ගලයෙකි. ඔබ මෙහි පැමිණෙන විට නිවස ඉදිරිපිට තිබුණු වෘක්ෂයට වඩා වෙනස් වෘක්ෂයකි, නිවසට යන විට පවතින්නේ. මෙම වෙනස්වීම අවබෝධ කර ගන්න. ඉපදීම, පැවැත්ම, විනාශය, යන්න හටගත් හැම දෙයකම ස්වභාවයයි. එය වෙනස් කළ යුතුව තිබේ. එය වෙනස් කිරීමට නම් හටගැනීම නැවැත්විය යුතුය. එසේ නොවෙනතාක් චක්‍රයක් සේ නැවත නැවත පහළවීම සිදුවේ.” “ඔබ දකින, ඔබගේ යැයි සිතන, මේ සිරුර හෝ වස්තූන් ඔබේ නොවේ. මමය මාගේය යන හැඟීම නිසයි ඔබ නිරන්තරයෙන්ම දුකට, පීඩාවට, පත්වෙනුයේ. අප මුලා වී සිටින ඒ මමත්වය නැති කළ යුතු වේ. එය එක් වරම කළ නොහැකිය. මම වසර සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා මහන්සිවී ඒ සත්‍යය අවබෝධ කරගතිමි. එය අවබෝධ කරගත්තේ ඔබ වෙනුවෙනි. මම ඔබට මග පෙන්වමි. එන්න මා සමග. මට සමීප වන්න. මම ඔබ මේ සසර කතරින් එතෙර කරවමි. නැවත නැවත ඉපදීම නතර කිරීමේ මාර්ගය කියාදෙමි.” උන් වහන්සේගේ දේශනාව බොහෝ දෙනෙකුට අලුත් අත් දැකීමක් විය. මහජනතාවගේ ඇස් පෑදීමට, ඥාණමාර්ගය විවර කිරීමට හේතුවක් විය. එම දේශනාවන් නිරවුල් විය. පැහැදිළි විය. ගෝෂාකාරී නොවීය. ආදර්ශමත් විය. යටිකුරු කරන ලද කළයකට උඩු කුරු කර ජලය දමන්නාක් මෙන් සප්‍රයෝජන විය. රැස්ව සිටි මධ්‍යස්ථ මතධාරී බොහෝ දෙනාගේ සිත් හිරු දුටුවිට ප්‍රබෝධමත් වන පියුම් මෙන් විකසිත විය. රොණට ඇදෙන භෘංග සමූහයක් සේ ඒ වදන්වලට ආශක්ත වූහ. හැම දෙනාම පාහේ එතැනින් පිටත්ව ගියේ පිරුණු හදින් යුතුවය. පසුදිනත් පැමිණ උන් වහන්සේ හමුවී නව දහම පිළිබඳ තව දුරටත් කරුණු දැනගැනීමේ අභිලාෂයක් ඔවුන් අතර විය. රජතුමා ඇතුලු පිරිස මාළිගාවට පැමිණ තොරතුරු කියන තුරු ප්‍රජාපතී, යසෝධරා, ඇතුලු පිරිස සිටියේ නොඉවසිල්ලෙනි.

8/16

“සිදුහතුන් මා පිළිබදව, යසෝදරා පිළිබදව, රාහුල කුමාරයා පිළිබදව විමසුවාද ස්වාමීනි.” රජු පෙරමගට ගිය ප්‍රජාපතී ගෝතමිය විමසුවාය. “ඔහු ඒ කිසිවෙක් පිළිබඳ කතා නොකළේය බිසවුනි. ඔහු ලෝකය අත්හැරීමට මිස අල්ලාගැනීමට මුල් තැන නොදෙන්නක් බව පෙනේ. සියලු දෙනාටම සැලකුයේ තමන්ගේ දරුවන් ලෙසය. මම ඔහුට පුත්‍රවාදයෙන් කතා කළෙමි. එසේ කතා නොකරන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටියේය.” වසර හතක් තිස්සේ තමන් මග බලන් සිටියත්, තමන් පිළිබඳව වචන මාත්‍රයකින්වත් නොවිමසීම ගැන යසෝදරාගේ සිතෙහි විස්සෝපයක් ඇති විය. අතීත මතකයන් සිතුවම් පටක් මෙන් විද්‍යමාන වන්නට විය. සිහින් ඉකියක් විත් උගුරේ සිරවෙන්නාක් සේ ඇයට දැනින. “ඇයි මෑණියනි සිදුහත් මේ තරමටම අපට රිදවන්නේ. අප කුමන වරදක් කළාටද? මේ මාළිගාවෙහි මෙතරම් ඉඩකඩ තිබියදී වෘක්ෂමූලික වී සිටින්නේ ඇයි.? මේ රාහුල පුතණුවන්ගේ සුරතල් මුහුණ දැකීමට ඔහුට රුචියක් පහළ නොවන්නේ ඇයි?” ඇය ගෝතමියගෙන් විමසුවාය. ‘හෙට එයා මාළිගාවට ඒවිනේ. අපි එයාගෙන්ම අහමු.’ඇය කීවාය. වෙසක් අවපෑලවිය දවසේදී යසෝදරා හිමිදිරියේම අවදි වූවාය. ඇයගේ ඇතුළාන්තයෙහි නව බලාපොරොත්තු තෙරපෙමින් තිබුණි. ඒ සිදුහතුන් පිළිබදවය. ඒකාන්තයෙන්ම අද සිදුහතුන් මාළිගාවට පැමිණෙනු ඇත. ඔහු පිළිගන්නේ කෙසේද? ඔහු තමන්ගේ ස්වාමියාය. දහතුන් වසරක් තිස්සේ එක වහලක් යට අඹු සැමියන් ලෙස ජීවත්වූ ස්වාමියාය. තමන්ට පුතෙකු උරුම කරදුන් ස්වාමි පුරුෂයාය. රාහුල කුමරුන්ගේ පියාය. ඔහු ලෝකයාට ශාස්තෘවරයෙකු වුවත්, මුනිවරයෙක් වුවත්, තමන්ගේ ස්වාමි පුරුෂයා නොවන්නේද? යසෝදරා සිතුවාය. නැහැ. ඔහු මට අයිති නැත. මම ඔහු ගැන සිතුවත් ඔහු මා අත් හැර දැමුයේ එදා ඡන්න සමග රජ මාළිගාවෙන් පිටවී ගිය දිනයේමය. ඔහු අයිති වන්නේ ලෝකයාටය. ඔහු මගේ කරගැනීමට තරම් මම ආත්මාර්ථකාමී විය යුතු නොවේ. සිදුහත් මාළිගාවේ සිටියදී කීවේත්, හැකිතාක් පරාර්ථකාමී වන ලෙසය. කෙතරම් දුෂ්කර වුවත් ඔහු මමත්වයෙන් මිදී රජකමත්, මව් පියනුත්, සියලු සම්පත්තියත්, බිරිය හා දරුවනුත් අත්හැර දැමීය. එවන් ඔහු මගේ කර ගැනීමට වෙර දැරීම මා නොකළ යුතු දෙයකි.’ ඇය තමන්ටම කියා ගත්තාය. එහෙත් සියල්ල එකවර අත්හැර දැමීමට අකැමැති වූ ඇය බලාපොරොත්තු මාත්‍රයක් තබා ගත්තාය. උදෑසනම ශ්වේත වර්ණ සාටකයක් හැඳ පෙරව විටින් විට නිග්‍රෝධාරාමය දෙසට වැටී ඇති මහවීදිය දෙස බැලුවාය. හිරු නැඟ එනවිට මාළිගාවේ ඉහළමාලයට නැඟුනාය. එතැනට මහවීදිය පැහැදිළිව පෙනේ. යසෝදරාගේ සිත අමන්දානන්දයට පත්වූයේ ඒ අතරය. ඒ ඇය අපේක්ෂා කළ දසුන නෙත ගැටීමෙනි. පිරිසේ මුලින්ම ගමන් කළේ සිදුහතුන්ය. ඔහු ළඟින්ම පැමිණෙන්නේ කවුරුන්දැයි ඇයට හඳුනාගත නොහැකි විය. ඔහු සිදුහතුන් හා සමාන සිරුරක් ඇත්තෙකි. ඒ උස මහත ඇත්තෙකි. ඔහුගේ ශරීර වර්ණයද ඒ හා සමානය. කාලුදායි ඇමැතිවරයාත් ඔවුන් සමග වෙත්දැයි ඇය බැලුවාය. එහෙත් ඒ විශාල පිරිස අතරේ ඔහු හඳුනා ගැනීමට ඇය අපොහොසත් වූවාය. නිසැකයෙන්ම ඔහු මේ පැමිණෙන්නේ තමන් හමුවීමට මාළිගාවට බව ඇය සිතුවාය. එහෙත් ඇයට ගැටළුවක් වූයේ, එසේ පැමිණෙන ඔහු ගෙයක් ගෙයක් පාසා යමින් කුමක් කරන්නේද, යන්න වටහා ගත නොහැකි වූ හෙයිනි. මොහොතක් බලා සිටින විට ඇයට වැටහුනේ ඔහු ගෙයක් ගෙයක් පාසා, පිඩු සිඟා යන බවයි. මේ කුමන අපහාසයක්ද? මේ භූමිය පාළනය කළ ඔහු, අද බත් සරළුවක් වෙනුවෙන්, පුලන්නෙකු මෙන් රජමාළිගය ඉදිරිපිටම ගෘහද්වාරයන්හි සිටගෙන සිටියි. ඇයගේ දුක වාවනු නොහැකි විය. මෙය රජ පවුලටම කරන අවමානයක් නොවන්නේද? තමන් නිරුවතින් සිටින්නාක් වැනි හැඟීමක් ඇයට ඇති විය. තමන්ට මෙවන් සිත් රිදවීමක්, නිග්‍රහයක්, කිරීමට සිදුහත්ට සිත් දුන්නේ කෙසේද? යසෝදරා තීරණයක් ගත්තාය. හැකිතාක් වේගයෙන් සුදොවුන් රජු කරා දිව ගියාය. කුඩා කල කෙළි පිටියේ එසේ කළාට පසුව අද තරම් ඉක්මන් ගමනකින් ඇය ගමන් නොකළාය. ස්වාමි දියණියගේ කලබලකාරී හැසිරීම

9/16

දුටු සේවිකාවෝද කලබල වූහ. එහෙත් උනට එයට හේතුවක් සිතා ගත නොහැකි විය. ප්‍රජාපතී ගෝතමියද සුදොවුන් රජතුමාද තමන් වෙත ඉක්මන් ගමනින් එන යසෝදරා දුටහ. “කුමක්ද දියණියණි මේ කලබලයෙන් දිව එන්නේ?” “අනේ පිය රජතුමනි. අනේ පිය රජතුමනි.” ඇයට වෙහෙස නිසා කාරණය කියා ගත නොහැකි විය. දෑසින් කදුළැළි කඩා හැළිණි. “කියන්න දියණියනි, කියන්න. කළබල නැතිව කියන්න.” “අනේ පියරජතුමනි, බලන්න. ඔබේ පුත් සිදුහතුන් අපට කරන නිගාවක තරම බලන්න. එද ඈත දුර බැහැරක නොවේ රජමාළිගාවට නුදුරෙන්ම.” “කියන්න දියණියනි. කියන්න. සිදුහත් කරන නිගාව කුමක්ද.” කලබල වූ සුදොවුන් රජු යළි විමසීය. “ඔහු මහමග සිඟා වඩිති. දොරින් දොර භික්ෂා යදිති. මැටි බදුනක් අතින් දරා සිටිති. ඔහුට අහර වේලක් දීමට තරම් ඔබ අපොහොසත්ද රජතුමනි.” “කුමක්ද දියණියනි ඔබ පවසනුයේ?” සුදොවුන් රජතුමා හැඳ සිටි ඇඳුම පිටින්ම මහමගට දිව ගියේය. ඒ දෙදෙනා අතර සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට යසෝදරාද නැවත උඩු මහලටම නැගුනාය. එතැනට සියල්ල හොඳින් පෙනේ. දැන් දැන් සිදුහත් තමන් දෙස බලනු ඇතැයි යසෝදරා සිතුවාය. එහෙත් එවැන්නක් නොවීය. ඔහු සුපුරුදු ලෙසම පිඬු සිඟා වැඩියේය. ‘ඔහුට මා එතරම්ම නොවටනේද’ ඇය දුකින් සිතුවාය. සුදොවුන් රජු ඉක්මන් ගමනින් බුදුන් ඉදිරියට යනු යසෝදරා දුටුවාය. ඔවුන් දෙදෙනා යම් දෙබසක නිරත වෙනුද ඕ දුටුවාය. ඒ කුමක්දැයි එතැනට නොඇසේ. එම දෙබස සිදුවන්නේ ඇය සිටි තැනට බඹ දෙසීයක් තරම් දුරකිනි. ටික වෙලාවක් පැවැති එම සංවාදය අවසන රජු බුදුන්ද කැටුව මාළිගයට එනු දුටුවාය. සෙසු අයද ඒ අනුව මාළිගාවට පිවිසියහ. දැන් ඔවුන් කුමන හෝ මොහොතක තමන් හමුවට එනු ඇතැයි ඈ සිතුවාය. ඔවුන් දැන් මාළිගය තුළ දන් වළදනු ඇත. තමන් එහි යා යුතු නැත. තමන් හමුනොවී ඔහුට යා නොහැකි බව ඇයට විශ්වාසය. “බිසවුන් වහන්ස, ප්‍රධාන ශාලාවට වඩින ලෙස රජතුමා දන්වා සිටිනවා.” එහි පැමිණි සේවිකාවක් කීවාය. “ඔබ යන්න.” ඇය කීවාය. “ඔහු වෙනුවෙන් කැපවී මුලු දඹදිවෙන්ම පැමිණි විවාහ යෝජනාවන් මම ප්‍රතික්ෂේප කර ඔහුම තෝරා ගතිමි. දහතුන් වසක් සෙවැනැල්ලක් මෙන් ඔහු පසු පස සිටියෙමි. දැන දැන වචනයකින්වත් අපහාසයක්, උපහාසයක්, නොකළෙමි. ඔහුගේ කායික මානසික අවශ්‍යතාවයන් මට හැකි උපරිම ආකාරයෙන් ඉටු කළෙමි. මම කිසි වරදෙක නොබැඳුනෙමි. වෙනත් විවාහයක් කර ගැනීමට මගේ පවුලේ සාමාජිකයන් බලපෑම් කරද්දී, මම ඔහු වෙනුවෙන්ම කැපවී, පතිව්‍රතාව ආරක්ෂා කරගෙන උනිමි. රාහුල කුමරුට මවක් වී ඔහු එනතුරු සිටියෙමි. එහෙව් මා හමු නොවී යන්නේ නම් එසේ වේවා.” “ස්වාමි දියණියනි, ඔබ තුමිය කැඳවාගෙන එන ලෙස මහරජ තුමා නැවත මතක් කළා.” යළි පැමිණි සේවිකාව කීවාය. “ඔබ යන්න.” ඇය දැඩි තීරණයක එල්බ කිවාය. සිදුහත් කුමරුන් වනගත වූ බව පවසා, ඔහුගේ ඇඳුම් පැළඳුම් රැගෙන ආ අවස්ථාවේ, තමන් ඒවා වැළඳගෙන කඳුළු සැලූ අයුරු ඇයට සිහිපත් විය. ගෝතමී මෑණියන් හා සුදොවුන් මහරජු තමන් වෙත අනුකම්පාවෙන් බලමින්, තමන් සැනසූ අයුරු ඇයට සිහිපත් විය. ඒ කරුණාව නොවන්නට, අද තමන්ගේ තත්වය මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණු බවද ඇය සිතුවාය.

10/16

“ස්වාමි දියණියනි, සිදුහත් මුනිතුමා මෙහි පැමිණෙන බව දන්වන්නැයි මහරජ තුමා පැවසුවා.” සේවිකාව නැවත පැමිණ කීවාය. යසෝදරා ශ්වේත වර්ණ නව ඇතිරිළි කීපයක් සේවිකාවන් ලවා අසුන්වලට දැමුවාය. අත තබා ඒවා යළි සකස් කළ ඇය පසෙකට වී දොරටුව දෙස බලා සිටියාය. යසෝදරාගේ හදවත නුහුරු හැඟීමකින් සැලින. සිදුහක් කුමරු දුටු මුල්ම දිනයේත්, මෙවන් කෝල ගතියක් ඇයට දැනුනි. අද මම මේ අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේද. ඇය සිතුවාය. ඈතින් සුදොවුන් මහරජුත්, ප්‍රජාපතී දේවියත්, බුදුරජාණන් වහන්සේ හා තවත් ශ්‍රාවකයන් දෙදෙනෙකුත් පැමිණෙති. උන් වහන්සේ ඈත තියාම තමන් සමග සිනාසෙතියි ඇයට සිතුනි. එහෙත් එවැන්නක් නොවීය. වට පිට නොබලා පැමිණි සිදුහත් මුණිවරයා යසෝදරාගේ මුහුණ බලා, පනවා තිබූ අසුනෙහි වාඩි විය. “එතුමාට කතා කරන්න යසෝදරා දියණියනි.” සුදොවුන් රජතුමා කියනු ඇයට ඇසුනි. එය නියෝගයක් නොවීය. එහි යම් කිසි දුක්මුසු බවක් තිබේ. ආයාචනාත්මක බවක් රැඳී තිබුණි. යසෝදරා රූකඩයක් මෙන් ගොස් බුදු පාමුල වැටුණාය. ගොප්මස අල්ලා ගත්තීය. සිරිපා මත හිස තබාගෙන ඉකි ගසමින් හැඩුවාය. ඒ ඇය සිතා මතා කළ දෙයක් නොවේ. “නැගිටින්න දියණියනි.” සුදොවුන් රජු කඳුළු වැකි මුහුණින් යසෝදරාගේ උරහිසට අත තැබුවාය. “ඇයට එසේ සිටින්න ඉඩ හරින්න පිය රජතුමනි. බුදුරජාණන් වහන්සේ සිහින් සරින් පැවසූහ. වසර සතකට පසු ඇය සිදුහතුන්ගේ හඩ ඇසුවාය. ඔහුගේ සිරුරේ ස්පර්ශය ලැබුවාය. ඇගේ ගත, සිත නැති මළ කඳක් වැන්න. ඇයට උන් වහන්සේගේ මුදු පහස අත් හැරිය නොහැකිය. දෙපා අත් හැරිය නොහැකිය. අවට සිටියෝ වදනකුදු නොදෙඩූහ. සුදොවුන් මහරජු දෑස්වල කඳුළු පුරාගෙන සිටියේය. ඔහුට මුලු ලෝකයම පෙනුනේ බොඳවීය. ප්‍රජාපතී ගෝතමිය ඇඳ සිටි වස්ත්‍රයෙන් මුහුණ වසාගෙන ඉකි බින්දාය. බුදුරදුන් හා පැමිණි දෙදෙනා වහන්සේද ධර්ම සංවේගයට පත්ව සිටියෝය. සේවක සේවිකාවෝද ඈතට වී දුකින් බලා සිටියහ. යසෝදරාගේ කඳුළුවලින් බුදු සිරිපා තෙත්වී තිබිණි. ඒ කඳුළු ගලායාමත් සමගම, ඇගේ වේදනාවද අඩු වෙමින් තිබිණි. “ඔබ වහන්සේ කෙරෙහි මෙතරම් කැපවීමක් කළ මා නොතකා හැරියේ කුමක් නිසාද ස්වාමීනි. ඔබ වහන්සේට අවබෝධඥාණය ලබා ගැනීමට උපකාරී වූයේ මම ස්වාමීනි. මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු බිහිකිරීමට උපකාරී වූයේ මමයි ස්වාමීනි. මෙවැනි ශ්‍රේෂ්ඨ ස්වාමි පුරුෂයෙකු ලෝක සත්වයාට සේවය කිරීම සඳහා අත හැරියේ මමයි ස්වාමිනි. සර්වඥතාඥාණය නමැති ගස වර්ධනය කරගැනීමට මම භූමිය වීමි. ජලය විමි. පොහොර විමි. එය දැන් මහා වෘක්ෂයක් වී, අතුපතර වැඩී, මල් පලුපල ලබා, ලෝකයට සෙවන දෙයි. ඔබ වහන්සේ මවෙත වටිනාකමක් එකතු කළෙහිය. පෙර මම සිදුහත් රජුගේ බිරිඳ වීමි. දැන් ඔබ වහන්සේ මේ භූමියටපමණක් ලොව තුන් ලොවටම අධිපතිය. මම ඔබ වහන්සේගේ පතිනිය වී සිටියෙමි. මෙතෙක් ඔබ වහන්සේ ගැන සිතමින් සිටි මගේ දුක මම නැති කර ගනිමි. ඔබ වහන්සේ ගිය මග මමද යමි. මට එයට උපකාර කරන්න.” යසෝදරා දෙපා සෙමින් අතහැර බිම දන් ඔබාගෙනම මිමිණුවාය. “සිහි එළවා ගන්න යසෝදරා. ඔබ මා වෙනුවෙන් කැපඋනේ මේ අත් බවේදි පමණක් නොවේ. සසර පුරාම මා සමග සිටියාය. කඳුළු වැගිරුවාය. ශෝක කළාය. පීඩා වින්දාය. මේ අත් බවින් පසු එය නවතීවි යසෝදරා.” ගොප්මස අත්හල යසෝදරා බුදු මුව දෙස බැලුවාය. දෙනෙතට දෙනෙත හමුවිය. ඒ දෑසේ ඇත්තේ සරාගී බවක් නොවේ, වීතරාගී බවෙකි. ශාන්ත බවෙකි. සිසිල් බවෙකි. ඕනෑම ගින්නක් නිවිය හැකි තරමේ සිසිලසකි. එදා ගතෙහි තිබූ කාන්තිය තවමත් තිබේ. එය තිබුණාටත් වඩා වැඩිවී තිබේ. එහෙත් එය වැළඳ ගැනීමට ඇයට නොසිතිනි.. “මේ සසර පුරාවටම ඔබ මට අත්වැලක් විය යසෝදරා. බුදුවන අත් බවේත්, ඔබ මට ශක්තියක්ම විය. මා ඔබ අත හැර ගියේ ඔබ වෙත අනදරයෙන් නොවේ. ඔබෙන් වූ අඩුපාඩුවක් නිසා නොවේ. ලෝක සත්වයා වෙත කරුණාවෙනි. එය ඔබට තාවකාලික දුක්ඛයක් වුවත්, ලෝකයාට සදාකාලික සැප ගෙනදෙන උදාර කැපකිරීමක් විය. පරිත්‍යාගයක් විය.”

11/16

“පෙර චන්ද කින්නරාවක්ව ඔබ පෑ සෙනහස, මට සිහිපත් වේ. ඔබ එවන් සෙනෙහස පරාර්ථ චර්යාව වෙනුවෙන් කැපකළාය. එවක් අය දුර්ලභය. විශේෂයෙන්ම කාන්තාවන් අතර තවත් දුර්ලභය.” “ මම සත්‍යය අවබෝධ කර ගතිමි. මම දුකින් මිදුනෙමි. ලෝකයාද දුකින් මිදවීමේ කාර්යය ආරම්භ කළෙමි. මම සසරින් එතෙර වීමි. අන් අයද එතෙර කරවමි. මේ සසර දුක් ගොඩකි. ඉන් මිදිය යුතුමය.” “එහෙමයි ස්වාමීනි. මට එය වැටහේ. ඔබ වහන්සේ එයට උපකාරි කළ මැනවි.” යසෝදරා නැවත බුදුන් වෙත නමස්කාර කළාය. ඇගේ දුක තුනී වී ඇත. ඇගේ සිතට මහත් සැහැල්ලුවක් දැනිනි. “මට සමාවන්න ස්වාමිනි. මට මාවම පාළනය කරගත නොහැකි විය. මගෙන් ඔබ වහන්සේට යම් අගෞරවයක් වී නම් කමා කරනු මැනවි.” යසෝදරා ආයාචනාත්මක බැල්මක් හෙලා කීවාය. “එය ඔබේ වරදක් නොවේ යසෝදරා. සිතේ ස්වභාවයයි. එය අදාන්තය. අප විසින්ම එය ශාන්ත කරගත යුතුය. හීලෑ කර ගත යුතුය. දමනය කරගත යුතුය. ප්‍රඥාවන්තයෝ ඉක්මනින්ම සිත දාන්ත කරගනිති. ඔබද ප්‍රඥාවන්ත බව දනිමි. ඔබේ සිතද රාග ද්වේශ මෝහ යන ක්ලේශයන්ගෙන් මුදවා ගන්න.එවිට විමුක්තිය දුරස් වන්නේ නැත.” “එසේය ස්වාමීනි.” ඇය සන්සුන් බවින් කීවාය. “යසෝදරා මා යා යුතුව ඇත. පියාණෙනි, මෑණියනි, මා යා යුතුව ඇත. ඔබ සැම බොහෝ ආත්ම ගණනක් මා සමග සිටියහ. මා නිසා විවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන්නෝය. මේ ආත්මයේදීත් එවන් පීඩා වින්දහ. එය පෘතග්ජන ගතියයි. එහෙත් ඒ සියල්ලෙන් මිදිය යුතුව තිබේ. එයට මම ඔබට උපකාර කරමි. නිසි වෙලාවේදී මම ඔබ සැමට ඒ මාර්ගය විවර කර දෙමි.” බුදුරජාණන් වහන්සේ වැඩ හුන් ආසනයෙන් නැගිට්ටේය. සුදොවුන් රජතුමා මාළිගා පරිශ්‍රයෙන් පිටතට යනතුරුම බුදු රජාණන් වහන්සේ පසු පසින් ගියේය. යසෝදරා නිවුණු සිතින් යුතුව එදෙස බලා සිටියාය. රජ මාළිගය කඩිගුලක් සේ ක්‍රියාශීලීය. නන්ද කුමරුගේ මංගල්‍ය තුනකි. බුදුරජාණන් වහන්සේ ඇතුලු දස දහසක් පමණ පිරිසකට සංග්‍රහ සම්මාන දැක්විය යුතුය. රජතුමා ඒ සියල්ල නිසිසේ කළමනාකරණය කරගත්තේය. කළ්‍යාණිය සැරසී සිටින්නේ පසුදා මනාළියක් වීමටය. වසර කීපයක ප්‍රේමයේ අග්‍රඵලය භුක්ති විඳීමටය. නන්ද- කළ්‍යාණි යුවල පිළිගැනීමට නව මාළිගය සූදානමින් සිටී. ගෘහප්‍රවේශය, රාජාභිෂේකය. විවාහ මංගල්‍යය වෙනුවෙන් ප්‍රශස්ති ගායනය සදහා පෙරහුරුද පවත්වා අවසන්ය. හෝම පූජාවන් සඳහා බමුණෝ ආරාධනා ලැබ සිටිති. දැන් සියල්ල ඇත්තේ අවසන් අදියරේය. නගරයට පැමිණි දෙවෙනි දිනයේ දහවල් බුදුරජාණන් වහන්සේ ඇතුළු පිරිස නන්ද කුමරුගේ මාළිගයේ දනට වැඩියහ. දන් වළඳා අවසන ආපසු විහාරයට වඩින විට බුදුහු නන්ද කුමරුන් අතට පාත්‍රය දුන්හ. “නන්ද මෙය ගන්න. මා සමඟ එන්න.” බුදුහු දෙසූහ. නන්ද ගෞරවයෙන් එය අතට ගත්තේය. සහෝදර ප්‍රේමය මුසු දයාබර කමක් හා ගෞරවයක් ඔහු සිත් තුළ ඇති විය. “ස්වාමීනි මගේ නව නිවසට පැමිණීම ගැන සතුටුයි. මගේ විවාහය සිදුවන්නේ හෙටයි. ඔබ වහන්සේත් එයට වඩින්න ඕන. මට ආශීර්වාදය කරන්න ඕන.” නන්ද කුමරු කීවේය. “මම ගෘහයන් නිර්මාණය කරන වඩුවා හඳුනා ගත්තෙමි නන්ද. නැවත නැවත ගෘහයන් සකස් කිරීම නැවැත් විය යුතුය නන්ද. රජකිරුළ මහ බරක්. තමන්ගේ විමුක්තිය සොයා ගැනීමට එය බරක්. විවාහය ගැන කිව හැක්කේද එයමයි. මේ බැඳීම් සසර තව තවත් දිගු කරලීමටම හේතු වේ. මම ඉන් මිදුනෙමි. ඒ මිදීමේ සුවය තරම්

12/16

සැපතක් වෙන නැත. ඔබ මගේ ගිහිකල සහෝදරයාය. ලේ ඥාතියාය. මම ඔබද මේ කරදර දුක් කම්කටොලු වලින් මුදවා ගනිමි.” නන්දට බුදුරජාණන් වහන්සේ කියන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකි විය. ඔහුගේ හිස මත වැඩ රාජකාරි බොහෝමයක් පැටවී තිබේ. දැන් ජනපද කළ්‍යාණිය හමුවීමටද යොදාගෙන තිබේ . එහෙත් බුද්ධ ගෞරවය නිසා පාත්‍රය දීමටද නොහැකිය. එය ගන්න යැයි කීමටද නොහැකිය. බුදු රජාණන් වහන්සේ ඒ පිළිබඳව හැඟීමක් නොමැතිව ගමන් කරයි. කළ්‍යාණිය ගේ නිවෙස ආසන්නයෙන් යන විට නන්ද එදෙස බැලුවේය. කළ්‍යාණිය උඩු මහලෙහි සිට, බුදුන් ආපසු නිග්‍රෝධාරාමයට වඩින දෙස බලා සිටින අයුරු දුටුවේය. ඇය දුර තියාම බුදු රජාණන් වහන්සේ ආපසු මාළිගාවට වඩිනු දුටුවත් නන්ද කුමරුත් උන් වහන්සේ සමග සිටිනු දුටුවේ මඳක් සමීප වූවායින් පසුවය. ඇය සතුටට පත් වූවාය. ඔහු දැකීම ඇයට සතුටකි. ඇය ඈත තියාම ඔහු හා සිනාසුනි. ඔහුද ඇයට සිනාසුනේය. ඇගේ දෑස් ආදරයෙන් වෙලී තිබුණි. එහි කාන්තිය නන්ද දුටුවේය. ඇය කේශ කලාපය විදහාගෙන සිටියාය. එය මඳ සුළඟට සෙලවෙනුද ඔහු දුටුවේය. ඇගේ මුතුවන් දසන් තුළින් කාන්තියක් විහිදෙතියි ඔහුට සිතුනි. ඇගේ පිරුණු අඟපසග ඔහුගේ හැඟීම් උද්දීපනය කළේය. ඇය සමග දොඩමලු වීමේ රුචියක් ඔහුට ඇති විය. ‘ගිහින් ඉක්මනට එන්න.’ මාළිගාව පසු කර ගමන් කරන විට ඇය හස්ත මුද්‍රාවෙන් කුමාරයාට කීවාය. නන්ද හිස වනා සිනාසී එය පිළිගත්තේය. ඇගේ මුහුණේ ඇති අපේක්ෂා සහිත බව ඔහුට මනාව පෙනින. නිවස පසු කර නන්ද ආපසු බැලුවේය. ඇය තවමත් සිනාමුසු මුහුණින් බලාසිටින්නීය. අත වැනුවාය. නන්ද දෑතින්ම පාත්‍රය අල්ලාගෙන සිටි නිසා අත වැනිය නොහැකිය. ඔහු හිස සලා සිනාවකින් ඇයට සංග්‍රහ කළේය. නිග්‍රෝධාරාමයට යනතුරුම බුදුහු පාත්‍රය නොගත්හ. එය ගන්නැයි පැවසීමටද නොහැකි නිසා නන්ද කුමරුද ඒ ගැන නොදොඩාම පසු පසින් ගියේය. “නන්ද මහණ වෙමුද?” බුදු රජාණන් වහන්සේ නන්දගෙන් ඇසුවේ අනපේක්ෂිත ප්‍රශ්නයකි. එක එල්ලේම එයට පිළිතුරක් දීමට නන්ද කුමරුට නොහැකි විය. “නන්ද පැවිදි වීමට කැමතිද?” බුදුහු නැවත ඇසුවේ එහෙයිනි. “එහෙමයි.” නන්දට කියවුනේ ඉබේමය. “මේ නන්දව පැවිදි කරන්න.” බුදු රජාණන් වහන්සේ නන්ද කුමරු භික්ෂූන් වහන්සේලාට භාර දුන්හ. භික්ෂූන් වහන්සේ නන්ද කුමරු කැඳවාගෙන ගොස් හිස රැවුල බෑවෝය. ගිහි සළු පිළි ඉවත් කර චීවරයක් පොරවන ලද්දේය. දෙමාපියන් විසින් බලහත්කාරයෙන් නහවන ළදරුවෙක් මෙන් නන්ද කුමාරයා තමන් පැවිදි කරන තෙක් බලා සිටියේ වික්ෂිප්ත වූ මනසකිනි. නන්ද කුමරු මහණ වූයේ කැමැත්තකින් නොවේ. එක් අතකින් එය මහණ වීමක් නොව මහණ කිරීමකි. එය උත්තරය මුවට දී ගත් අනුමැතියකි. වැඩිමහල් සහෝදරයාගේ බස ඉක්මවීමට නොහැකියාව නිසා සිදුවූ මහණ කමකි. නන්ද කුමරු පැවිදි කළ පසු අභ්‍යන්තර කුටියක හුදෙකලාව සිටියේය. හෙට දින රජ කිරුළ පැළඳවීමට, තෙල් ගල්වා අලංකාර කර තිබූ කෙස් වැටිය බූ ගා දමා ඇත. හන් පළන් අබරණ සියල්ල ගලවා ඉවත්කර ඇත. කළ්‍යාණියට කියන්නේ කුමක්ද? දැන් ඇය තමන් එනතුරු මග බලාගෙන සිටින්නීය. ඒ බව සක් සුදක් සේ පැහැදිළිය. ඇගේ අපේක්ෂාවන් බිඳ හරින්නේ කෙසේද? මා යා යුතුය. එහෙත් මේ ආකාරයෙන් යන්නේ කෙසේද. නන්ද තමන්ටම කියා ගත්තේය. තමන් හැඳ සිටි ඇඳුම් භික්ෂූන් වහන්සේලා විසින් කුමන හෝ ස්ථානයක දමා ඇත. ඒවා සොයමින් සිටිය යුතු නොවේ. මේ විලසින්ම යායුතුය. නන්ද හිමියෝ මාලිගයට යාමට සිතා, සිටි තැනින් නැගිට මඳක් ඉදිරියට

13/16

ආවෝය. බුදු රජාණන් වහන්සේ ඉදිරියෙහි පිරිසක් සමග සිටී. එතැනින් යාමට නොහැක. ඒ උන් වහන්සේ දකින හෙයිනි. ඔහු නැවත මොහොතක් වාඩි වී සිටියේය. මේ අතර නන්ද කුමරුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටි කළ්‍යාණිය, ඔහුගේ ප්‍රමාදය නිසා, ඔහුට එන්නැයි කියා සුදොවුන් මාළිගයට පණිවිඩයක් යැවීය. සුදොවුන් රජු සිතා සිටියේ බුදුන් සමග ගිය නන්ද කළ්‍යාණිගේ නිවසට යන්නට ඇතැයි කියාය. ඔහු වහාම බුදුන් හමුවට ගියේය. නන්ද ගැන විමසුවේය. “බිය විය යුතු දෙයක් නැහැ පිය රජතුමනි. නන්ද සුවෙන් සිටී.” බුදු රජාණන් වහන්සේ සැහැල්ලුවෙන් කීහ. “අපි බියෙන් පසුවීමූ හිමියෙනි. කළ්‍යාණියත් ඔහු එනතුරු අපේක්ෂාවෙන් සිටී. හෙට කිරුළු පැළදීමේ කටයුතු සඳහා කළ යුතු රාජකාරි බොහෝමයක් තිබේ. මම ආවේ ඔහු එකතු කරගෙන යාම සඳහාය.” “මම ඔහුට සඟ සසුනේ දොර විවර කළෙමි පියතුමනි.” කී උන් වහන්සේ නන්ද හිමියන් කැඳවීය. දැන් තමන්ට පියාණන් සමග යා හැකියැයි නන්ද සිතුවේය. ඔහු පියා හමුවට ආයේ ඒ අදහසිනි. නන්ද කුමරු පැවිදි කරවා ඇති බව දුටු රජතුමා කණගාටුවට පත්විය. තාපයට පත්විය. ඔහුගේ සිතට සියුම් කෝපයක් ආයේය. ඒ තම වැඩි මහල් පුතු සිදුහතුන්ගේ හිතුවක්කාරී වැඩ නිසාය. මුලින්ම ඔහු රජකම අතහැර දමා ගියේය. තම ලේලිය හා මුණුපුරා දමා ගියේය. දැන් තම කිරුළ දැරීමට සිටි නන්ද කුමරු පැවිදි කරවා ඇත. කළ්‍යාණිය ඔහු එනතුරු බලා සිටී. කහවනු ලක්ෂ ගණනක් උත්සව වෙනුවෙන් වියදම් කර තිබේ. ඥාතීන්ගේ අපවාද ඊට අධික විය හැකිය. මේ සියල්ලටම තමන් වගකිව යුතුව තිබේ. “කුමක්ද හිමියනි ඔබ මේ කළේ. ඔහු හෙට රජ වීමට සිටි කුමාරයාය. විවාහාපේක්ෂාවෙන් සිටි කුමාරයාය. රජ පවුලේ හැම දෙනාගේම අනාගතය රැඳී තිබුනේ ඔහු අතය. මෙවැනි හිතුවක්කාරකමක් කළේ කුමක් නිසාද.? දුර දිග නොබලා වැඩ කළේ ඇයි?” තම පිය රජතුමා අසරණ වී සිටිනු දුටු නන්ද හිමි ද කණගාටුවට පත් වූයේය. “පියාණෙනි, ඔබ වහන්සේ මාළිගාවට වඩින්න. මම නැවත මාළිගාවට පැමිණෙමි. කළ්‍යාණියටද ඒ බව කියන්න. මම නොවලහා පැමිණෙමි. හිස රැවුළු බෑවේයැයි කළ්‍යාණිය මා ප්‍රතික්ෂේප නොකරනු ඇත. ඇයටද ඒ බව කියන්න. ඔබ වහන්සේ බුදුන් සමග බහින් බස් නොවී මාළිගාවට වඩින්න.” නන්ද හිමි සුදොවුන් රජුගේ කනට කර කීවේය. “සිදුහත් පුතණුවනි, නැවත මෙවන් නොකටයුතු දෑ නොකරන්න. ප්‍රජාපතී මෑණියන්ටත් නන්ද කුමරු නොමැතිව නොහැකිය. රාහුල කුමරුවන්ටත් සිය සුළු පියාණන් නොමැති අඩුව සපුරාගත නොහැකිය. කළ්‍යාණියගේ විවාහය හෙට සිදුවේ. ඇයත් ඥාතීනුත් පත්වෙන අසීරුතාවය පිළිබඳව හිතන්න.” සුදොවුන් රජු බුදුන් ඉදිරියේ පැවසුවේ හිතට ආ වේදනාව නිසාමය. “පියාණෙනි, ඔබතුමා සිතනුයේ අද ගැන පමණි. එහෙත් මම අනාගතය බලමි. නන්ද මේ වැටීමට ගිය මහා ආගාධයෙන් මුදවා ගැනීමට මම එසේ කළෙමි. එය වේදනාවක් සේ තාවකාලිකව දැනුනත්, ඉන් ඇතිවන විමුක්ති සුවය පිළිබඳව පසුවට සතුටු වනු ඇත. සුළුමෑණියන්ද එසේමය. රාහුල පුතණුවන්ට එය දිනකින් දෙකකින් අමතක වෙනු ඇත.” බුදුහු දෙසූහ. “පියාණෙනි ඔබ වහන්සේ ආපසු වඩින්න. මම පැමිණෙන බව කළ්‍යාණියටත්, මෑණියන්ටත්, පවසන්න.” නන්ද හිමි පියාගේ සිත සනහා නැවත කීවේය. සුදොවුන් රජු ගැඹුරු හුස්මක් ගෙන පිට කළේය. එහි උණුසුම නන්දටත් දැනෙන්නට ඇත. “මම යනවා.” යි නොරුස්නා බවින්ම කී සුදොවුන් රජු පිටත්වී ගියේය. “නන්ද අපට තව මොහොතකින් ගමනක් යන්න තිබෙනවා. මදක් අභ්‍යන්තරයට වී සිටින්න. බුදු රජාණන් වහන්සේ නන්ද හිමි අමතා කීවේ බුදු රජාණන් වහන්සේ නන්ද හිමියන් අසලට පැමිණියේය. නන්ද හිමිගේ

14/16

මුහුණේ කිසිදු සතුටක් නැත. එහි ඇත්තේ මැළවුණු ස්වභාවයකි. බුදු හිමියන් දුටු නන්ද හිමියන් අසුනෙන් නැගිට උන් වහන්සේට නමස්කාර කළේය. “නන්ද කළකිරීමෙන් බවයි පෙනෙන්නේ.” “එසේය ස්වාමීනි. ඔබ වහන්සේට මුසා බිණිය නොහැකි බව මම දනිමි. මගේ සිත නිතරම ඇදී යන්නේ කළ්‍යාණිය වෙතයි. මට ඇය අමතක කළ නොහේ ස්වාමීනි. මට ආපසු යාමට අවසර දෙන්න.” පිරිමියෙකුගේ සිතට ගැහැණියක තරම් හෝ, ගැහැණියකගේ සිතට පිරිමියෙකු තරම් හෝ, වෙනත් ආලම්භනයක් නොමැත නන්ද. ඒ නිසා ඔබ කළ්‍යාණිය කෙරෙහි ආශක්ත වීම අරුමයක් නොවේ. ආපසු යාමට මගෙන් ඔබට බාධාවක් නොවේ. එහෙත් ඊට පෙර ඔබ මා සමග එක් ගමනක් යා යුතුය. ඉන් පසු ඔබට මනාපයක් කර ගැනීමට අවසර තිබේ නන්ද.” “ස්වාමීනි මා කැඳවාගෙන යන්නේ කොහිද?” “මා ඔබට අයහපතක් කරන්නේ නැහැ නන්ද. එන්න මා සමග.” යැයි පැවසූ බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් නන්ද හිමියන් සමග දෙව් ලොව බලා වැඩියේය. අතර මගදී අපූරු දර්ශනයක් නිසා ගමන මදක් නතර කළ උන් වහන්සේ නන්ද හිමියන්ට යමක් පෙන්වීය. “නන්ද පහතින් පෙනෙන්නේ දාව ගිය වන පෙතකි. දැවුණු ගසක සිටින්නේ කවරෙක්දැයි බලන්න.” “ස්වාමීනි ගින්නෙන් දාව ගිය වැඳිරියකි. ඇයගේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. පොතු හරින ලද පළතුරක් මෙනි. ඇගේ ස්වභාවය ශෝචනීයය. ඇයගේ ජීවිතය රැකේදැයි සැක සහිතය. එතරම්ම ඇය විරූපීය. ජුගුප්සා ජනකය.” “එය ඇගේ පෙර කරුමයක් නිසා වන්නට ඇති නන්ද. අපි අපේ ගමන යමු.” යි පැවසූ බුදුරජාණන් වහන්සේ නන්ද කුමරු දෙව් ලොවට කැඳවාගෙන ගියේය. එහිදී විවිධ පින්කම් කර එහි උපන් දිව්‍යාප්සරාවන් විත් බුදු රජාණන් වහන්සේට නමස්කාර කර පසෙකට වී සිටියහ. ඔවුහු දිළිසෙන රූපයෙන් යුක්තය. හන් පළන් අබරණින් රූමත්කම තවත් ඔපවත්වී පෙනේ. අඟපසඟ වාත්තු කළාක් වැනිය. දෙවිවරුද එසේම පැමිණ උන් වහන්සේට නමස්කාර කළහ. නන්ද කුමරු ඔවුන් දෙස බලා සිටියේ ඉදුණු පළතුරක් දෙස බලා සිටින බාලයෙක් පරිද්දෙනි. බුදු රජාණන් වහන්සේ දෙවියනට කෙටි ධර්ම දේශනයක් පවත්වා ආපසු ඒමට හැරුණේය. නැවත නන්ද හිමියන් ඇමතීය. “නන්ද මෙහි ඇති අප්සරාවන් මෙහි උපත ලබා ඇත්තේ ඔවුන් කළ පින්කම්වල ආනුභාවයෙනි. ඔබත් එසේ පින්කම් කර මෙහි ඉපදීමට කැමැතිද? “කැමැතියි ස්වාමීනි. “නන්ද මම ඔබෙන් සෘජුවම පැනයක් විමසමි. පිළිතුරද සෘජුවම ලබා දෙන්න.” “කුමක්ද ස්වාමීනි?” “ඔබ මෙම දිව්‍යාප්සරාවක් විවාහ කර ගැනීමට කැමැත්තේද?” “ස්වාමීනි, මෙවන් රූමත් ලළනාවක් ලබාගත හැකිනම් එය ප්‍රතික්ෂේප කරන්නෝ කවරහුද?” “මට සෘජු පිළිතුරක් දෙන්න නන්ද.” “මම මොවුනට මනාපයි ස්වාමීනි. පින්කම් කර මෙහි ඉපදීමට මනාප බව කීවේත් එහෙයිනි.” නන්ද හිමියෝ විළිබර සිනාවක් පාමින් කීහ. “නන්ද එතකොට ඔබගේ ප්‍රෙමවන්තියව සිටින කළ්‍යාණිය?”

15/16

“ස්වාමීනි කළ්‍යාණිය ඉතා රූමත්ය. ජනපදයේම එවන් රූමත් කුමාරිකාවක් නොමැත. එහි විවාදයක් නොමැත. එහෙත් මේ දිව්‍යාප්සරාවන් හා සාපේක්ෂකව බලන විට ඇය හා මොවුන් අතර ඇත්තේ අහසට පොළව මෙන් දුරස් බවකි.” “ඔබ කියන්නේ ඇය රූමත් නැති බවද?” “නැත ස්වාමීනි. ඇය රූමත්. එහෙත් දිව්‍යාප්සරාවන් හා සමග සසඳන විට, මට සිහිවන්නේ අප මගදී දුටු දාව ගිය වනපෙතේ අසරණව සිටි වැඳිරියයි.” “ඔබ එතකොට කළ්‍යාණිය සමාන කරන්නේ දාව ගිය වැඳිරියකටද?”. “එසේය ස්වාමිනි. නැත ස්වාමීනී. මා එය ප්‍රකාශ කළේ සංසන්දනය කිරීමට පමණකි.” “මම එය දනිමි නන්ද. ඔබ කලක් ඇසුරු කළ කළ්‍යාණියට එසේ අපහාස නොකරණ බවත් දනිමි. කෙසේ වෙතත් ඔබට දිව්‍යාප්සරාවන් ලබාගත යුතුනම් මා කියන ආකාරයට වැඩ කළ යුතු වෙයි. මා ඔබට එහි ගිය පසු ඒ සඳහා නිසි කමටහනක් ලබා දෙමි. එය වැඩීමෙන් ඔබේ අරමුණ ශාක්ෂාත් කර ගත හැකිවේවි.” යළි නිග්‍රෝධාරාමයට වැඩම කළ බුදු රජාණන් වහන්සේ කමටහනක් නන්ද හිමියන්ට ලබා දුන්හ. හෙතෙම දිව්‍යාප්සරාවන් ලැබීමේ අරමුණින් ඉතා ඕනෑකමින් එම භාවනාව වැඩුයේය. ජීවිතයේ හා ශරීරයේ ක්ෂණ භංගුරත්වයත්, පටික්කූලත්වයත් උන් වහන්සේට අවබෝධ විය. ශරීරය යනු නොයෙක් අංශුවලින් සැකසුනු නාම මාත්‍රයක් බවත්, ශූන්‍ය දෙයක් බවත් වැටහී ගියේය. රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ඵොට්ඨබ්භ යනු මිනිසා විසින් මවාගත් ආලම්භනයන් පමණක් බවත් වටහා ගත්හ. නන්ද හිමියන්ට සිතේ මහත් සැහැල්ලු බවක් දැණුනි. බුදු රජාණන් වහන්සේ තමන්ට ඉගැන්වීමට සූදානම් වූ දේ උන් වහන්සේට අවබෝධ විය. බුදු රදුන් සිටි දෙසට ඇදිළි බැඳ නමස්කාර කළ නන්ද හිමියෝ “ස්වාමීනි ඔබ වහන්සේ මා මැනවින් දමනය කළ සේක. ජීවිතය කුමක්දැයි අතැඹුලක් සේ පැහැදිළි කර දුන්සේක. මගේ සිත්හී තිබූ සියලු බැඳීම් නැති කළ සේක”.යි ප්‍රකාශ කළහ. “සාධු නන්ද සාධු. ඔබ දැන් නිෂ්ඨාවට පත්ව ඇත. මමද ඔබට පොරොන්දුවක් දුනිමි. මම එට ඉටු කරන්නෙමි. මම ඔබට දිව්‍යාප්සරාවක් ලබා දෙන්නමි. ඔබට නිවසට යාමට අවසර ලබාදෙන්නෙමි.” “ස්වාමීනි මට සමාවන සේක්වා. පුහුදුන් මම එසේ ප්‍රකාශ කළෙමි. එහෙත් දැන් මට දිව්‍යාප්සරාවක් විවාහ කරගැනීමට හෝ ආපසු මාළිගාවට යාමට උවමනාවක් නැත. ඔබ වහන්සේ මගේ දෙනෙත පෑදූ සේක. මම නැවතද ඔබ වහන්සේට නමස්කාර කරමි.”යි නන්ද හිමි බුදුරදුන්ට නමස්කාර කළේය. බුදුරදුන්ගේ වත කමල මද සිනාවකින් ආලෝකමත් විය.

16/16

- ආනන්ද මාරසිංහ -