රුහුණේ මාගම උපන් වසභ යෝධයා, දසමහා යෝධයන් අතර සිටි ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුත් පියකරුම යෝධයා කිව්වත් නිවැරදියි. ඔහු ලස්සනයි. දුටුවන්ගේ නෙත් සිත් පිනවනවා. ඒ පියකරු ස්වභාවය ඔහුට පෙර පින් බලයෙන්ම ලැබුන එකක්. ඒ වගේම එයාට ලැබීමත් හොඳට තිබුණා. කොහොම වෙතත් පුංචි කාලයේ ඉඳලම මේ දරුවා කාගේත් ආදරය දිනා ගනිමින් පෝෂණය උනා. දෙමාපියනුත් ගමේ වැදගත් අය වීම නිසා ඒ පිළිගැනීම තවත් වැඩි උනා. කෘෂිකර්මාන්තය එවක ප්‍රධාන ජීවනෝමාර්ගය උනා. ලොකු පොඩි හැම දෙනාම ඒ කර්මාන්තයෙහි යෙදුනා. රජවරුත් ඒ සඳහා කැපවී වැඩකළා . ඔබට මතක ඇති දුටුගැමුණු කුමාරයා කොත්මලයට පැනල ගිහිල්ලත් කළේ ගොවිතැන් කරන එක. සද්ධාතිස්ස කුමාරය දීඝවාපියට යැව්වේ ගොවිතැන වර්ධනය කිරීමට. හැම රජ කෙනෙක්මත් වැව් අමුණු බැන්දා. කෘෂිකර්මාන්තයට උපකාර කළා. ඉතිං ලභියවසභත් කුඩා කාලයේ ඉඳලම කෘෂිකර්මාන්තයට දක්ෂයි. සමවයසේ දරුවන් සමග එකතු වෙලා විනෝදයට කළේ කුඩා කුඩා ලියදි අස්සැද්දීම. එයාට තිබුණු උදැල්ල අනෙක් අයගේ උදලුවලට වඩා විශාලයි. පොඩි අයටනම් ඒ උදැල්ලෙන් වැඩ කරනවා තියා පස් තලයක් උස්සන්න හිතන්නවත් බැහැ. ඒත් වසභ කිසි අපහසුවක් නැතුව සැහැල්ලුවෙන් ඒකෙන් වැඩ කළා. ඒ උනත් වසභ කුමාර කාලයේ ඉඳලම අවි සරඹයනුත් පුරුදු පුහුණු උනා. අද වගේ තුවක්කු බයිනේත්තු වලින් නොවේ, දුන්න ඊතලය තෝමරය පාවිච්චි කරන්න හොඳට හුරු උනා. බොහෝ දරුවන්ගේ ක්‍රීඩාවලට ඒ කාලයේ පවතින සමාජ ආගමික පරිසරය බලපානවා. මේ කාලයේ බාහු බලය තමයි ප්‍රධාන උනේ. ඒ බාහු බලයට ඥාන බලයත් එකතු උනාම එයාට ලොකු පිළිගැනීමක් තිබුණා. වසභට බාහු බලයත්, ඥාණබලයත්, දෙකම තිබුනා. ඒ වගේම ප්‍රිය මනාප සිරුරකුත්, කතා විලාශයකුත් තිබුණා. ඒ නිසා කා අතරත් පිළිගැනීමට ලක් උනා. ආදරයට ලක් උනා. එයා තරුණ කාලෙම සමවයසේ පිරිසක් එකතු කරගෙන ගමේ වැවක් හැදුවා. එයාගේ උදැල්ල වගේම පස් අදින කූඩයත්, අනෙක් අයගේ ඒවාට වඩා දහ දොළොස් ගුණයක් ලොකුයි. මෙයා මුල් වෙලා හදපු වැවෙන් ගමේ ගොවිතැන් බත් කරපු විශාල පිරිසකට සෙත සැදුනා. මේක කාවන්තිස්ස රජ්ජුරුවන්ටත් ආරංචි උනා. එතුමා ලභිය වසභව ගෙන්වා තොරතුරු කතා කළා. කළ කාර්යය සදහා ස්තුති කළා විතරක් නොවේ, එයා හදපු වැවට ‘ලභිය වසභවැව’ කියල නමත් දැම්මා. තමන්ගේ හමුදාවේ නායකයෙක් විදිහටත් පත් කර ගත්තා. කාවන්තිස්ස රජ්ජුරුවෝ දුරදිග බලල වැඩ කරපු රජ කෙනෙක්. දක්ෂයා හරියට අඳුනගෙන සුදුසු කාර්යයෙහි යොදවපු රජ කෙනෙක්. ඒ නිසා ලභිය වසභව, දුටුගැමුණු කුමාරයා ආසන්නයේම සේවයට යෙදෙව්වා. ඒ නිසා දුටුගැමුණු කුමාරයා රජකමට පත් උනාට පස්සෙත් සමීපතම සේනාපතියක් කීපදෙනා අතරට ඔහුත් එකතු උනා. අනුරාධපුරය නැවත අල්ලා ගැනීමේ සටනේදීත් එහි තිබුනු බලකොටු අල්ලාගැනීම සදහාත් ඔහු ලොකු මෙහෙවරක් කළා. අනුරාධපුරය අල්ලා ගැනීමෙන් පසුව දුටුගැමුණු රජතුමා සටනේදී පෙරමුණ ගත් හැමෝටම උසස් වීම් හා තුටුපඬුරු පුදානය කළා. ලභියවසභටත් ඒ උසස්වීම් හා ත්‍යාගයන් ලැබුනා. ඉන් පසු රජතුමා සමග රට සංවර්ධය කිරීමේ කටයුතුවලටත් ආගමික පුනරුදය සඳහාත් කැපවීමෙන් කටයුතු කළා. බොහෝ සමාජ සේවා කටයුතු හා පින්කම් කරල, රටට බර නැති කෙනෙක් විදිහට අවසන මරණයට පත් උනා.

1/1

- ආනන්ද මාරසිංහ -