“අනේ අයියණ්ඩි මාව බිමින් තියන්න.” යැයි ඈතින් ඇසෙන හේවිසි හඬින් කලබලයට පත්, අසෝක මල් නෙළමින් සිටි තරුණියක් ගස උඩ සිට කීවාය. රජතුමා පැමිණීමට පෙර ඒ කටයුතු පිරික්සීමට පැමිණි සාලිය කුමරු, ඒ ගස යටින් යනවිට ඒ හඬ ඇසී එදෙස බැලුවේ විමතියෙන්. ඇයගේ හඬ ඒ තරම්ම චිත්තාකර්ෂණීය විය. තමන් කවුදැයි නොඇඟවූ කුමරා අසෝක ගසේ සිටි තරුණිය බිම තැබීමට ඔසොවා ගත්තා. ඇය කුමාරයාගේ ගෙල තදින් බදා ගත්තා. දෙදෙනාගේ ඇස් ඔවුනොවුන් හමු උනා. මුවැත්තියකගේ මෙන් දිළිසෙන ඇගේ දිගු දෑස දෙස බලා සිටියා මිස කුමාරයාට තරුණිය බිම තැබීමට උවමනාවක් තිබුනේ නැහැ. ඇය ගල්වන ලද සුවඳින් කුමාරයා කුල්මත් උනා. ඇය එසවීමට තැත් කරන විට අතට අසුවූ ඇගේ නිතඹ ස්පර්ශය ඔහුව පාෂාණීභූත කළා. අත්තක පැටලුනු ඇඳුම උඩට එසවීම නිසා නිරාවරණය වූ කෙණ්ඩා දුටු ඔහුගේ දෑස නිලංකාර උනා. එක් අතකින් ඇයව බදාගෙන අනෙක් අතින් ඇයගේ ඇඳුම නිදහස් කිරීමට යාමේදී ඇගේ පාදය ස්පර්ශ උනා. “අනේ මාව වැටෙයි.” ඇය කීවේ විළියෙන්. ඒ මිහිරි කටහඩෙන් ඔහු කෙතරම් මත් වූයේද යත්, ඇයව බිම තබනවා වෙනුවට තවත් තදින් අල්ලා ගැනුනා. ඇගේ පුන් පියවුරු ඔහුගේ ගතට හිර උනේ ඒ අහම්බය නිසාමයි. සිහින් හිරියක් ඇඟ පුරාම දිව ගියා. ඒ ස්පර්ශය ඇයටත් ගෙනාවේ කිසිදා අත් නොවිඳි ආශ්වාදයක්. ඇගේ මුවගට නැගුනේ විළිය මුසු මඳ සිනාවක්. එහි ශෘංගාරය, ආශාව, ආදරය, ගෞරවය, වගේ බොහෝ දේවල් කැටිව තිබුණා. දඬු අඬුවකට අසු උනාක් මෙන් වුවත්, මෙවන් ආරෝහ පරිනාහ සම්පන්න නාඹර තරුණයෙකුගේ දෑතට හිරවීම ඇයගේ මන මත් කළා. “බිමින් තියන්න. බිමින් තියන්න. කවුරුවත් දකිවි. කවුරුවත් දකීවි.” ඇය කලබලයෙන් කීවා. තමන්ගේ ඇඟට තරුණියක් සිරවී සිටින බව සාලියට දැනුනේ එවිටයි. ඔහු වහාම ඇය බිමින් තැබුවා. “මට සමාවන්න නැගෙණියනි. ඔබ මා අතට සිරවී සිටි බවක් මට ඇඟුනේ නැහැ.” සාලිය කීවා. “අයියණ්ඩිට බෝම පිං.” ඇය ලැසි ගමනින් එතැනින් පිටව ගියා. ඈ ඈතට යනතුරුම කුමරු දෑස් අදහාගත නොහැකිව බලාගෙන සිටියා. ඈතින් සිටි තමන්ගේ හිතවත්ම සේවකයා ඇමතුවා.
1/10
“ඔබ මැය පසු පස ගොස් ඇය පිළිබඳ සියලු තොරතුරු රහසේ විමසා ඒවා මවෙත රහසේම දන්වන්න.”යැයි කීවා. ඔහු ඇයට නොදැනී ඈ පසු පසින් ගියා. තම හිතවත් සහායකයා පසෙකට කැඳවූ සාලිය කුමරු ඔහුගේ දූත කාර්යයේ ප්‍රගතිය පිළිබඳව විමසුවා. “කුමාරයාණන් වහන්ස, ඇය කෙරෙහි ඔබ වහන්සේ දක්වන උනන්දුව නැතිකරගත මැනවි.” “ඔබ කුමක්ද මේ කියන්නේ .” “එසේය. මා ඇය පසුපස ගියා. ඇය හෙල්ලෝලි ගම නායකයාගේ දියණිය. එම නිවෙස්වලට කුලැත්තන් පය තබන්නේ වත් නැත.” “මඩ වගුරක පිපෙන නෙලුම් මල්වල අගයක් නොතිබෙන බවද ඔබ කියන්නේ?” “නැත කුමරුවනි. එහෙත් රාජ සම්මතයෙන්ම කුල හීනයැයි වෙන්කළ ගම්මානයක තරුණියක් කෙරෙහි සොයා බැලීම අනවශ්‍යයයි කුමරුනි.” “මා රටේ ඊළඟ පාලකයා බව ඔබ නොදන්නේද? පාලකයා රටවැසි හැමදෙනාගේම නායකයාය. ඔහුට හැමදෙනාගේම සුවදුක් හා තොරතුරු සොයා බැලීමට අයිතියක් හා යුතුකමක් තිබේ.” “එහෙත් කුමරුනි, ඔබ වහන්සේ මේ සොයා බැලීම් කරන්නේ එවැනි හැඟීමකින් නොවන බව මට හැගේ.” “ඔබට ඒ පැහිච්චකමක් අවශ්‍ය නොවේ. ඔබ ඒ නිවසට ගියාද ඇය හමු වූවාද?” “එසේය මම නිවසට ගියෙමි. ඇයගේ මව නිවසේ විය. ඇය මාව රාජ සේවයේ නියුතු වූවෙකු බව දේහ ලක්ෂණයෙන්ම හඳුනා ගත්තාය. ඇය මා ආලින්දයේ වාඩි කරවා මගේ කැමැත්ත විමසා රණවරා බඳුනක්ද පිළි ගැන්නුවාය.” “මා රාජ සේවයේ නියුතු බව ඔබ දන්නේ කෙසේද?” මම ඇයගෙන් විමසුවෙමි. “අපේ පරම්පරාවේ අය දේහ විද්‍යාව පිළිබඳ නිසි අවබෝධයක් ඇතිව සිටි අය. ඒ දැනුම පරම්පරාවෙන් අප සතුව තිබේ. ඒ අනුසාරයෙන් පුද්ගල ස්වභාවය තේරුම් ගෙනයි, එම නිගමනයට පැමිණියේ.” යැයි ඇය පැවසුවා. එම නිවසේ ආලින්දයේ කොනක මේසයක් මත අසෝක මල් කීපයක් තිබුණා. “මේ අසෝක මල් කොහෙන්ද, මේ වත්තේ අසෝක ගස් තිබෙනවාද?” මම විමසුවා. “නැහැ. අපේ දියණිය සෑම දිනකම රන්මසු උයණ අසල පිහිටි ගස්වලින් මල් නෙලාගෙන එනවා. ඒ ඉසුරුමුණි විහාරයට පූජා කිරීමට. අදත් ඇය එසේ නෙලාගෙන ආවා. වෙනදා නම් ඇය ඒ මල්, බඳුනක අසුරා අවසන් වෙලයි වෙනත් කටයුත්තක නිරත වන්නේ. එහෙත් අද ඇය නිවසට ආවේත් කලබලයෙන්. මේ මල් ටිකත් මෙතැන තබා නිවස ඇතුළට ගියා. තාම එළියට පැමිණියේ නැහැ.” “මෑණියනි කවරෙක් සමඟද දොඩන්නේ.” යැයි කියමින් ඒ වෙලාවේ තරුණිය එලියට පැමිණියා. ඇයගේ රූපයෙන් මා මුසපත් උනා. ඔබ වහන්සේ ඇය කෙරෙහි උනන්දුවක් නොදක්වන්නේ නම් අනිවාර්යයෙන්ම මා රාජසේවයෙන් ඉවත්වී හෝ ඇය වෙතට යනවා.” “ඔබ මගේ හිතවත්ම සේවකයා නොවීනම් හිස මෙතැනදීම කඳින් වෙන් කරනවා. මින් පසු ඇය ගැන එවැනි කිසිම වදනක් නොපැවසිය යුතුයි. එවැනි හැඟීමක් ඇති නොකර ගත යුතුයි.” “එසේය. එසේය. මට සමාවනු මැනවි. ඔබ වහන්සේට රූපයෙන් ඇය ගැලපුනත් කුලගොත් පරම්පරාවෙන් ආසන්නයේවත් තැබිය නොහැකියි.” සේවකයා මඳ සිනාවක් නගා කීවේය. “මඩගොඩේ උපදින මාණික්‍යයන් රජවරුන්නේ කිරුළෙහි පැළඳීමට තරම් යෝග්‍ය වන්නේනම් ඇය මා ආසන්නයේ තබා ගැනීමට අයෝග්‍යයැයි තොප සිතන්නේද?.”
2/10
“නැත කුමරුනි. එහෙත් ඔබට රාජධර්මයන් ඉක්මවා යා නොහැකියි. රජකිරුළද - ඇයද යන දෙකින් එකක් තෝරා ගැනීමට සිදු වේවි.” “ඔව් අපි බලමු. ඇයගේ මවගේ බස සැබෑනම් අනිවාර්යයෙන්ම හෙට දිනයේදීත් ඇය මල් නෙලීමට පැමිණෙනු ඇත. අපි එහිදී ඇය මුණ ගැසෙමු. ඔබ මේ වගක් කිසිවෙකුට නොබිණිය යුතුය. හෙට අපි රහසිගතව ඒ ස්ථානයේ රැඳී සිටිමු. ඇය හමුවී කතා කරමු.” “හොදයි කුමරුනි ඔබේ කැමැත්තක්.” සාලිය කුමාරයාත්, ඔහුගේ සමීපතම ආරක්ෂකයාත්, පසුදා ඉසුරුමුණි විහාරයට ගියේ වන්දනා කිරීමට නොවේ. ඔවුන්ගේ පරමාර්ථය වී තිබුනේ හෙල්ලෝලි ගම, නායකයාගේ දියණිය හමුවී කතා කිරීමයි. තමන් දුටුවහොත් ඇය නොපැමිණෙතැයි සිතූ කුමරු රන්මසු උයනේ ඈත කොණකට වී සිටියේය. චරපුරුෂයා පමණක් අසෝක ගස් ආසන්නයේ සැඟවී සිටියේය. අඩ හෝරාවක් පමණ ගියපසු මල් කැඩීම සඳහා පැසක්ද සහිතව තරුණිය එහි පැමිණ වට පිට බලා හෝපලු ගසට නැගුනාය. චරපුරුෂයා කුමාරයාට අතින් සන් කළේ එහි පැමිණෙන ලෙසය. දෙදෙනාම එකතු වී තරුණිය කරන්නේ කුමක්දැයි විපරමින් සිටියහ. ගස උඩ සිටි තරුණිය හෝපලු පුෂ්පයන්ගෙන් පැස පුරවාගෙන එය රුක් දෙබලක හඟවා සිහින් හඬින් ගීයක් මුමුණන්නට විය. කුමාරයා හා ආරක්ෂකයා ළඟට එනතුරුම ඇය නොදුටුවාය. දිගු හෝපලු පත්‍රයන්, ඇයට ඔවුන් ආවරණය කළාක් මෙන්ම ඔවුන්ටද ඇයව ආවරණය කළේය. “රාජකීය උද්‍යාණයෙහි හෝපලු වෘක්ෂයන්ගේ නැගී ගී ගයන තොප කවුරුන්ද?” කුමාරයා ගස මුල සිට විමසුවේය. වහා ගායනය නැවැත්වූ තරුණිය හෝපලු පත්‍ර මෑත් කොට බිම බැලුවාය. ඊයේ මුණගැසුණ තරුණයාය. ඇය වහා ගසෙන් බිමට බැස්සාය. දෙදෙනාගේ දෑස් එකිනෙක සම්මුඛ විය. තමන් මෙතෙක් ආරූඪ කරගත් ස්වරූපය කුමාරයාගෙන් අතුරුදන් විය. මඳ සිනාවක් දෙතොලග දිදිළීය. ඇයගේ මුහුණපුරාද කෝළ සිනාවක් පැතිරිනි. ඇයට ඊයේ ඔහුගේ සිරුරින් දැනුණු උණුසුම සිහිපත් විය. රාත්‍රී බොහෝ වේලාවක් යනතුරුම ඇය නිඳිවැරුවේද ඒ උණුසුම සිහිපත් කරමිනි. ඔහු නැවත හමුවෙතැයි ඇගේ යටි සිත කීවත්, මෙතරම් ඉක්මනින් හමුවෙතැයි නම් කිසිසේත් නොසිතුවාය. “නැගෙණියනි, ඔබ කවරෙක්ද. ඔබේ දෙමාපියන් කවරහුද?” “පළමුවෙන්ම මම ඔබ තුමාගෙන් සමාව ඉල්ලා සිටිනවා, ඊයේ සිදුවූ දේ පිළිබදව.” “කුමක් පිළිබඳවද?” “රජතුමා එන බව හඟවන හේවිසිය ඇසෙන විට මා කලබලයට පත් උනා. ගසෙන් බැසීමටවත් නිනව් නැතුව ගියා. ඔබතුමාගේ උපකාරය ඉල්ලා සිටියේ ඒ නිසයි. මම ගසෙන් බසිද්දී ඔබතුමාට සිදුවූ අපහසුතාවය පිළිබඳව මම සමාව ඉල්ලා සිටිනවා.. මම හෙල්ලෝලි ගම නායකයාගේ දියණිය. නම දේවි. ඉසුරුමුණියට මල්පිදීම සඳහා සෑම දිනකම මෙහි මල් නෙලීමට පැමිණෙනවා. අදත් පැමිණියේ ඒ සඳහායි.” “මේ රජතුමාගේ මල් උයන. අනවසරයෙන් මල් නෙලීම වරදක් බව නොතේරේද?” “මල් උයන සමීපයේ තිබෙන මේ හෝපලු රුක රාජකීය උද්‍යානයට අයිති එකක් නොවේ. එහෙයිනි මා එම මල් නෙලූයේ. අනෙක් අතට ගස මුල පරවී වැටීයන පුෂ්පයන් බුදුන්ට පිදීම වරදක් සේ නොදැක්කෙමි.” “ඔබ මෙසේ කියන්නේ මා කවරෙක් ලෙස සිතාගෙනදැයි කුමරු මද සිනාවක් නගා තරුණියගෙන් විමසුවේය.” “ඔබතුමා මහ රජ්ජුරුවන්ගේ පුතා වුවත්, මා කීයේ වරදක්දැයි ඔබ තුමාම සිතා බලන්න.” තරුණියද සිනාසී කීවාය.
3/10
“නැත. නැත. ඔබ කීවේ සත්‍යයකි. රුක්මුල පරවී යනවාට වඩා බුදුන්ට පිදීම ශ්‍රේෂ්ඨ වන්නා සේම, ඔබ වැනි රුවැති තරුණියක් හිමිවිය යුත්තේද රාජකුමාරයෙකුටම තමයි.” කියමින් කුමාරයා තරුණියගේ අතින් ඇල්ලුවේය. “රාජකුමාරකම් කෙසේ වෙතත් ඔබ තුමා මා අත ගන්නේ නම් මමද මනාප වෙමි.”යි ඇය කුමරු දෙස යටසින් බලා එහෙත් අත ඉවතට ගෙන සිහින් හඬින් කීවාය.” “ඔබ අස්වාමික බවයි ඉන් හැගෙන්නේ.” “ඔව්. එහෙත් ඔබතුමා හමුවූ පසු දැන් හැගෙනවා සස්වාමික වීමට නිසි කල උදාවී ඇති බව.” “එය එසේනම් අදම සස්වාමික විය හැකිය.” “සමාවන්න එතරම් හදිස්සි විය යුතු නැත. අපි මදක් ඉවසමු. දෙමාපියන්ගේ අවසරය ලබාගෙන චාරිත්‍රානුකූලව එය කරමු.” “නැත, එය අදම විය යුතුය. මම ඔබගේ නිවසට පණිවිඩයක් යවන්නම්. ඔබ නොමැතිව මට එක් දවසක්වත් සිටිය නොහැකියි. ඊයේ රාත්‍රියේ මා ගත කළේ කෙතරම් දිගු රාත්‍රියක්දැයි ඔබ නොදන්නවා විය හැකියි.” “මමද ගත කළේ එසේමයි. එහෙත් අපි මව් පියන්ගේ ආශීර්වාදය ඇතිව මේ විවාහය කරමු. එතෙක් ඉවසනු මැනවි.” ඇය නැවත කීවාය. කුමාරයා කිසියම් සංඥාවක් කළේය. ආරක්ෂකයෝ කීප දෙනෙක්ම පැමිණ කුමාරයාට ආචාර කළහ. තරුණිය මුවදෙනක මෙන් බියට පත්ව සිදුවන්නේ කුමක්දැයි බලා සිටියාය. “අණ කරනු මැන කුමාරයන් වහන්ස.” ඔවුහු කීහ. “දෙදෙනෙකු හෙල්ලෝලි ගමට ගොස් මැයගේ පියාණන්ට හා මෑණියන්ට මා ඇය රැගෙන ගිය බව දැන්විය යුතුයි. සිවු දෙනෙකු දෝලාවක් ගෙනවුත් වට ආරක්ෂිත ආවරණ යොදවා, මැය කුමාරයාගේ මන්දිරයට ගෙන යා යුතුය.” අශෝක මාලාවන්ට මේ කිසි දෙයකට විරුද්ධ විය නොහැකි විය. විරුද්ධ වීමට වචන සොයා ගත නොහැකි විය. තමන් සෙල්ලම් කර ඇත්තේ රාජකුමාරයකු සමග බව ඇයට තේරුනේ දැන්ය. අවසන ඇය ධෛර්යය උපදවාගෙන කුමාරයාගේ දෙපාමුල වැටී කතා කළාය. “කුමාරයාණන් වහන්ස, මට සමාවනු මැනව. වහාම මා පිළිබඳ අදහස අත්හැරගත මැනවි. මා ඔබට ආලය කළේ ඔබතුමා සාමාන්‍ය පුරුෂයෙකු ලෙස සිතාය. කුමාරයෙකු බව නොදැනය. රජතුමාට හෝ රාජවංශයට හෝ කිලුටක් කිරීමට මට නොහැක. මපියාණන්ද එයට ඉඩ නොදෙනු ඇත. කරුණාකර නිවසට යාමට මා මුදා හරින්න.” ඇය කදුළු වගුරවමින් කීවාය. කුමාරයා සිනාසුනේය. ඔබ මා සමග විවාවීමට කැමැත්තෙන් සිටියාය. මා කුමාරයෙකු බව දැනගත් වහාම එය වෙනස් වූයේ කෙසේද? එය නොවිය යුතු හා විය නොහැකි දෙයකි. මම මගේ තීරණය වෙනස් කර නොගනිමි. මාගේ නියෝගයන් දැනටම ක්‍රියාත්මක වෙමින් පවතී. ඔබගේ පියාණන් මගේ මාළිගයට පැමිණේවි. අපි දැන් එහි යමු. එවිටම රන්සිවි ගෙයක් සහ කාන්තාවන් කීපදෙනෙකු පැමිණියහ. ඔවුහු තරුණිය සරසා දෝලාවට නංවා ගත්හ. “ඔබ අද සිට දේවි නොව, අශෝකමාලා දේවියයි. කුමාරයා ඇයගේ අත ආදරයෙන් ස්පර්ශ කරමින් කීවේය. මහ පිරිවරින් අසෝකාමාලා හා සාලිය කුමරු සහිත පෙරහැර අනුරපුරයේ බටහිර ප්‍රදේශයෙහි පිහිටි සාලිය යුවරජතුමාගේ මාළිගය කරා ගමන් ඇරඹුවේය.
4/10
පණිවිඩය ලද හෙල්ලෝලිගම නායකයා යුවරජ මාළිගාව වෙත යනු වෙනුවට, මහරජු හමුවීමට තීරණය කර රාජමාළිගයට ගියේය. “දේවයන් වහන්ස හෙල්ලෝලි ගම නායකයා ඔබ වහන්සේ හමුවට පැමිණ තිබෙනවා.” රාජපුරුෂයෙක් දුටුගැමුණු මහරජතුමා හමුවේ ප්‍රකාශ කළේය. “කුමක් සදහාද ඒ?”. “දේවයන් වහන්ස එය ඔබ වහන්සේට පෞද්ගලිකවම ඉදිරිපත් කළයුතු බවයි ඔහු කියන්නේ.” “එසේනම් ඔහු කැඳවාගෙන එව” රාජපුරුෂයෝ ඔහු කැඳවාගෙන ආහ. ඔහු බිම දිගාවී රජතුමාට ආචාර කළේය. වට පිට බැලුවේය. “දේවයන් වහන්ස මෙය අතිශය පෞද්ගලික කාරණාවක්. ඔබ වහන්සේට පමණක් දන්වනු කැමැත්තෙමි.” “එසේනම් විවේකාගාරයට එනු.”යි කී රජතුමා ඔහු කැඳවාගෙන ගියේ රාජ සභාවේ පසෙක තිබූ විවේකාගාරය වෙතය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ පුත් සාලිය කුමාරයාණන් වහන්සේ මගේ දියණිය එතුමාගේ මාළිගය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඇය විවාහ කරගන්නා බවට මාවෙත පණිවිඩකරුවෙකු එවා තිබෙනවා. දේවයන් වහන්ස, මෙය නොවිය යුතු දෙයක්. වහාම එය වලක්වාලනු මැනවි. එය එසේ වුවහොත් කුමාරයාණන් වහන්සේගේ මුලු අනාගතයම අඳුරුවේවි. එතුමාගෙන් මගේ දියණියට යම් කිළුටක් වී තිබේනම් මම ඔබවහන්සේ හා කුමාරාණන් වහන්සේ වෙනුවෙන් එය විඳ දරා ගන්නම්.” “මෙය කිසිවෙකුට නොපවසව. දැන් තා තගේ නිවසට යව. මම කළයුතු දේ නොවලහා කරමි.”යි පැවසූ රජු ගම් නායකයාට කාසි මල්ලක් දී පිටත් කර හැරියේය. ආරංචිවලට තටු තිබෙන බව රජතුමාටත්, හෙල්ලෝලි ගම් නායකයාටත්, අමතක වී තිබිණි. මේ වන විටත් නගරවැසියෝ හා ගම්වැසියෝ බහුතරයක් මෙය දැනගෙන සිටියහ. රජුගේ හිස ගිනිගත් සේ දැනේ. තරුණයෙක් තරුණියක් සමග හාදකම් පැවැත්වීම අරුමයක් නොවේ. රාජකීය පවුල්වල එය සුලබ දෙයකි. එහෙත් මෙහිදී සිදුවී ඇත්තේ නොවිය යුතු දෙයකි. සැඩොල් කුලයේ තරුණියක්. කුමරුගේ මාළිගාවටම ගෙනගොස්. නම වෙනස් කොට. ඔහුගේ දේවිය ලෙස ප්‍රකාශයට පත්කොට. දෙමාපියන්ට නොදන්වා. ඉක්මන් තීරණයක්. රාජ්‍යයේ උරුමකරු. මොනවද මේ කරන විකාර වැඩ? කරන්නේ කුමක්ද කියන්නේ කුමක්දැයි රජුට එක්වරම සිතා ගත නොහැක. රාජසභාව කල්දෑමූ රජු මහමැතිවරයා හා රජබිසව සමග සාකච්ඡා කළේය. තීන්දුවකට එළඹියේය. “අපි කුමාරයාව නැගෙනහිර පසල් දනව්වට යැව්වේ එහි සංවර්ධනය කිරීමට. ඔහු ඒ පළාත සංවර්ධනය කළා පමණක් නොවෙයි, ජනතාවට සේවය සැලසීමට භාණ්ඩාගාරයේ මුදල් අනවශ්‍ය ආකාරයට වියදම් කිරීම නිසයි එයින් ඉවත් කර බටහිර දනව්වට යැව්වේ. එයා එහේදිත් රාජ්‍ය බදුමුදල් අනවශ්‍ය ආකාරයට ජනතාව වෙනුවෙන් වියදම් කළා. එය කමක් නැහැ කියමුකෝ. එහෙත් ඔහු මෙහිදී කර ඇති කාර්යය කිසිසේත් සමාවක් දිය හැකි වරදක් නොවේ.” “අපට රාජකීය සම්ප්‍රදායන් බැහැර කළ නොහැකියි. ඒවා මහාසම්මත පරම්පරාවෙන් පැමිණෙන ඒවා. උභය කුල පාරිශුද්ධත්වයක් නොමැති කිසිවෙකු රජකමට හෝ අගබිසෝ තනතුරට සුදුසු නොවේ. වහාම මේ සම්බන්ධතාවය නැවැත්විය යුතුය.” රජතුමා සාලිය කුමාරයාගේ හිතවත්ම සේවිකාව වූ උත්තරාට කතා කළේය. ඇය සේවිකාවක් ලෙස නොව රජපවුලේ අභ්‍යන්තර කාර්යයන්ට පවා සම්බන්ධවන විශ්වාසවන්තම අයෙකි. විටෙක ඇය රජතුමාගේ
5/10
වැරැද්දටද එරෙහි වෙයි. රජ බිසව හා සාලිය කුමාරයාටද එසේය. එසේ වූයේ ඇය සාලිය කුමාරයාගේ කිරි මවක් ලෙස කුඩා කල සිටම මාළිගාව අභ්‍යන්තරයේ කටයුතු කිරීම නිසාය. රජතුමා ඇය පසෙකට කැඳවා කළයුතු කාර්යයන් පිළිබඳව පැහැදිළි කළේය. අදම, මේ දැන්ම, සාලිය කුමාරයාගේ මාළිගයට ගොස් මේ අසම්මත සම්බන්ධය නවත්වා දැමීම කළයුතුයැයි රජතුමා ඉල්ලා සිටියේය. රජුගේ ඉල්ලීම පිළිගත් උත්තරා තනිවම සාලිය කුමාරයාගේ මාළිගයට ගියාය. උත්තරා සාලිය මාළිගාවට ගියේ තනිවමය. එය එක් අතකින් රාජකාරියක් ඉටුකිරීමටය. අනෙක් අතින් රාජකීයයන්ගේ ගෞරවය ආරක්ෂා කර දීමේ රහස් මෙහෙයුමකි. උත්තරාට මුරභටයන්ගෙන් බාධාවක් නොවීය. ඇය රජමාළිගය තුළට පිවිසියේ ඇය සතු සුවිශේෂී අවසරය නිසාවෙනි. උත්තරා මීට පෙර අශෝකමාලා දැක නැත. මුලින්ම කළේ සාලිය කුමරු හමුවීමය. ඒ වන විට කුමරු අසෝක මාලා සමග යුවරජ මාළිගාවේ අභ්‍යන්තර උද්‍යානයෙහි සිටියේය. “උත්තරා ඔබ දැකීමත් සතුටක්. එන්න මාළිගය තුළට. ඔබට මෙහි දින කීපයක් නැවතී සිටිය හැකිනේ උත්තරා?.” “මට රැඳී සිටීමට බාධාවක් නැහැ. ඒත් මා පැමිණියේ හදිසි කාර්යයකට. ඒ නිසා හැකි ඉක්මනින් ආපසු යායුතුයි.” “කුමක්ද තොපගේ එතරම් හදිසි කාර්යය?” “ඔබතුමා නොදන්නවා වගේ කතා කරන්න එපා. තමන්ට නොගැලපෙන තරුණියක් මාළිගාවට කැඳවාගෙන ආ බවට රජතුමාට තොරතුරු ලැබී තිබෙනවා. එය සත්‍යයක්ද?” “තරුණියක් රැගෙන ආ බව නම් සත්‍යයක්. එහෙත් නොගැලපෙන තරුණියක් නොවේ ඇය.” “කුමරුනි. ඔබතුමා ඇයව තබාගත්තාට කමක් නැහැ. එවැනි දේ රජ පවුල්වල සිදු නොවෙනවා නොවේ. එහෙත් ඇය අභ්‍යන්තර මාළිගාවේ බිසවක් ලෙස තබා ගන්නට එපා. ඔබතුමාට අවශ්‍යනම් සුදුසු කුලයක තමන්ට ගැලපෙන කුමාරිකාවක් ආවාහ කර දීමට රජතුමා කැමැත්තෙන් සිටිනවා.” “මෙය මගේ කැමැත්ත උත්තරා. ඇය ජීවත්විය යුත්තේ මා සමඟ. ඒ නිසා ඇය ගැලපිය යුතු වන්නේ මට මිස මහරජුට නොවේ.” “එවැනි බස් නොතෙපලන්න කුමරුනි. ඔබතුමා රජකිරුළේ හිමිකරු. රාජකීය පවුල්වල කටයුතු කෙරෙන පිළිවෙලක්, සම්ප්‍රදායක් තිබෙනවා. ඒවා හිතුවක්කාරෙන් නොසලකා හරින්න බැහැ කුමරුනි. රාජකීය දූත මණ්ඩල සමග කටයුතු කරන්න සිදුවෙනවා. මැති ඇමැති සිටු ආදී ප්‍රභූවරයන් සමග සබඳතා ඇති කරගත යුතු වෙනවා. ඥාති සමූහයා සමග ඒකාත්මික විය යුතු වෙනවා. එවන් තැනකදී අභිමානයෙන් විරාජමාන විය හැකි බිසවකුයි ඔබ වහන්සේට සිටිය යුත්තේ. ඇයට රූපය පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඔබතුමා සොයාගත් තරුණිය ඇතොවුරේ අයෙක් ලෙස පමණක් තබා ගන්න.” “උත්තරා ඔබට මෙවදන් පවසන්න කීවේ මපියාණන්ද?” “ එසේය. මහරජුගේ පමණක් නොවේ මව් බිසවගේ අදහසත් එයයි. එතුමන්ලා ඉල්ලා සිටින්නේ වෙනත් සුදුසු තරුණියක් විවාහ කර ගන්නා ලෙසයි.” “තමන් රුචි කරන පළතුරක් ප්‍රාර්ථනා කරන්නෙකුට වෙනත් කුමන පළතුරක් ලැබුණත්, ඒ දොළ සන් සිදෙන්නේ නැහැ උත්තරා. එමෙන් මට ඇය හැර, වෙනත් සුර කුමරියක් ලැබුණත්, ඔවුන් ගැන බැඳීමක් ඇති වන්නේ නැහැ. ඒ නිසා පියතුමන්ලාගේ අදහස ඉටු කරලීමට නොහැකිවීම ගැන කණගාටුයි උත්තරා.” “කුඩා කල සිට මව්පියන් ඔබ තුමාව පෝෂණය කරමින් අපේක්ෂා කළ දෙය ඔබ බැහැර කරනවාද.” “මා මව් පියන්ගේ අපේක්ෂාවන් භංග කරනවා නොවේ. මගේ අපේක්ෂාව මුදුන් පත් කර ගන්නවා පමණයි.”
6/10
“ඔබ තුමා සාමාන්‍ය කෙනෙක් වූවා නම් එසේ කළ හැකියි. එහෙත් ඔබතුමාගේ භූමිකාව ඊට වඩා පුළුල්. අත්තනෝමතිකව කටයුතු කළ නොහැකියි. ඒ නිසා අකැමැත්තෙන් නමුත් මව්පියන්ගේ අදහසට අවනත විය යුතු වෙනවා.” “එකඟ නොවුනොත්.?” “එසේ වුවහොත් රජ කිරුළද, තරුණියද යන දෙකින් එකක් තෝරාගත යුතු වෙනවා.” “මගේ කැමැත්ත දෙවැන්න තෝරා ගැනීමටයි උත්තරා.” “මා යෝජනා කරන්නේ ඇය අත් හැරීමම නොවේ. ඇය ඇතොවුරට සම්බන්ධ කර ගන්න. එවිට ඔබට මේ කාරණා දෙකම ඉටු කර ගත හැකියි කුමරුනි.” “එය කළ නොහැකියි උත්තරා. සිළුමිණක් පැළඳිය යුත්තේ හිසෙහි මිස හිනෙහි නොවේ.” “එසේ නම් ඔබ ප්‍රේමය වෙනුවෙන් රජ කිරුළ අත් හරිනවා?” ඇය ඍජුවම විමසුවා. “එහි විවාදයක් නැහැ උත්තරා.” “එය එසේනම් ඔබේ තීරණය මහරජතුමාට දන්වන්නම්” යැයි කියා උත්තරා කුමරුට ආචාර කොට යුවරජ මාළිගයෙන් නික්ම ගියාය. උත්තරාගේ දූත කාර්යය අසාර්ථක වීම ගැන දුටුගැමුණු රජතුමාත් බිසවත් කණස්සල්ලට පත් වූහ. තමන්ගේ එකම පුතු මෙසේ හිතුවක්කාරි වීම රජුට සිත් පීඩා ගෙන දෙන්නක් විය. “අපි නැවත වතාවක් උත්සාහ කරල බලමු.” රජතුමා බිසවට කීවේය. “අපි දැන් මොකද කරන්නේ?” “සාමුද්‍රිකා ශාස්ත්‍රය හා ජ්‍යොතිශය දන්නා බමුණන් කීප දෙනෙකු එහි යවා එම තරුණියගේ යම් දෝෂයක් සොයාගෙන ඒ මගින් කුමාරයා ඇයගෙන් දුරස් කරමු.” බිසව රජුට යෝජනාවක් ඉදිරිපත් කළාය. “ඒකත් හොඳ අදහසක්. ඒත් දැන් හැදෙන ළමයි කේන්දර ග්‍රහතාරකා ගැන ඒ තරම් විශ්වාසයක් තබන්නේ නැහැ.” “නැහැ නැහැ. අපේ කුමාරයා ඉතා දැඩිව එය විශ්වාස කරනවා. ඔහු හැම වෙලාවේම මාළිගාවෙන් පිටතට යන්නේද රාහු කාලය පිරික්ෂීමෙන් පසුවයි. එය එසේම කළ නොහැකි වුවහොත් සුභ හෝරාවක් හෝ පඤ්ච පක්ෂිය අනුව සුභ මුහුර්ථියක් හෝ සොයා බලනවා. නැත්නම් තත් කාලයට අනුව සුදුසු වේලාවක් හෝ සකසා ගන්නවා. ඒ කිසිවක් නැති වුවහොත් රන් දෙනේ ගාථාවක් හෝ මුමුනනවා.” “එහෙමනම් අපි බමුණන් කිහිප දෙනකු යවමු. ඔවුන් කුමක් හෝ දෝෂයක් සොයාගෙන ඒවි.” දෙමහල්ලන්ගේ එකඟතාව මත පසුදින පෙරවරුවේම සිවු දෙනෙකුගෙන් යුත් විද්වත් බ්‍රාහ්මණ කණ්ඩායමක් යුවරජ මාළිගයට පිටත්කර හැරියේය. සාමුද්‍රිකා ශාස්ත්‍ර විශාරදයෙක්ද, ජ්‍යොතිෂ විශාරදයෙක්ද, නිමිති ශාස්ත්‍රය පිළිබඳ විශාරදයෙක්ද, දේහ විද්‍යාව හා දූත ලක්ෂණ පිළිබඳ විශාරදයෙක්ද, ඒ අතර වූහ. සූර්යෝද්ගමනයෙන් හෝරා තුනක් ගතවන විට ඔවුහු යුවරජ මාළිගයට පිවිසියහ. ඒ වන විට කුමාරයා හා අශෝකමාලා දෙදෙනාම මාළිගයේ සිටියහ. “ස්වාගතම් බ්‍රාහ්මණවරුනි. ඔබතුමන්ලා රාජකාරිමය කටයුත්තකට මෙහි පැමිණියා විය හැකිය. මේ සිටින්නේ මාගේ අග බිසවුන් වහන්සේයි.” කුමාරයා තමන් ආසන්නයේ සිටි අශෝක මාලා හඳුන්වා දෙමින් කීවේය. “දේවීන් වහන්ස, මේ අපේ පිය රජතුමාගේ රාජසභාවේ ජ්‍යෝතිෂය පිළිබඳව හසල දැනුමක් ඇති, සියලුම නක්ෂස්ත්‍ර කාර්යයකන් ඉෂ්ඨ සිද්ධ කරන බමුණු පුරෝහිතයන්.”
7/10
“මගේ ආචාරය පිළිගනු මැනවි පුරෝහිත මැතිවරුනි.” අශෝක මාලා ගෞරවයෙන් යුතුව කීවාය. ඇයගේ හඬින් බමුණෝ විශ්මපත් වූහ. ඒ හඬ එතරම් මිහිරිය.ගීතවත්ය. බමුණෝ ඇගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සියුම් නිරීක්ෂණාත්මක බැල්මක් හෙලූහ. ඇගේ කේශ කල්‍යාණය මනරම්ය. දන්ත කල්‍යාණයද එසේමය. අනාවරණය වී ඇති, වත, ගෙල, හස්ත පාදාදිය, නිරීක්ෂණය කිරීමෙන් ඇගේ ඡවි කල්‍යාණය කිසිවෙකුට නොදෙවෙනි බව තහවුරු කර ගත්හ. උසට සරිලන මහත, අඟ පසඟවල පිහිටීම, හැඩය, ස්ත්‍රීලාලිත්‍යය, කිසිසේත් ප්‍රශ්නගත නොවීය. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පඤ්චකළ්‍යාණියකි. “ඔබ තුමන්ලාට පැවරූ රාජකාරිය පැහැදිළිව කිව හැකිද.” සාලිය කුමාරයා බමුණන්ගෙන් ඇසීය. “සමාවන්න කුමරුනි. එතුමාණන් අපට පැවසුවේ ඔබේ ප්‍රියයම්බිකාවගේ දේහලක්ෂණයන් හා කේන්ද්‍රයේ ස්වභාවයත් සෙසු ජ්‍යොතිර් විද්‍යාත්මක ගැලපීම් පිළිබඳවත් සොයා බැලීමටයි.” “ඔබට මගෙන් විය යුතු යම් උපකාරයක් තිබෙනවාද?” අශෝක මාලා එය අසා විමසුවාය. “කුමාරයාණන් වහන්සේගේ අවසරය ලැබෙන්නේ නම් ඔබ තුමියගේ දෑත්ල පරීක්ෂා කිරීමට ඉඩ දෙනු මැනවි.” කුමාරයා ඇයට අනුමැතිය දුන්නේය. සාමුද්‍රිකා ශාස්ත්‍රය පිළිබදව කෙළ පැමිණි බ්‍රාහ්මණයා එය අතින් ස්පර්ශ නොකොට සියුම්ව පරීක්ෂා කළේය. අත හරව හරවා බැලුවේය. නියපොතු බැලුවේය. සැනසුම් සුසුමක් හෙලුවේය. “කිමෙක්ද පඩිතුමනි.?” “මා මේ ජීවිත කාලය තුලදී බැලූ අපූර්වතම හස්තය මෙයයි කුමරුනි. මැයගේ සම්බන්ධය ඔබතුමා සමග වන්නේ සංසාරයේ ඈත අතීතයේ පටන්ය. එය කෙසේවත් වෙනස් නොවේ. මුලු ලෝකයම අකැමැති වුවත් මේ බැඳීම මරණය දක්වාම එකලෙස නොනැසී පවතී.” තම නිගමනය ඔහු කීවේය. “කුමාරයාණන් වහන්ස, ඔබ තුමා කැමැති නම්, ඇයගේ තත්කාල කේන්ද්‍රය සකස් කර ගැනීම සඳහා ඇය ලවා තාම්බූල පත්‍ර කීපයක් ලබා දෙනු මැනවි.” “ඔබ මේ කරන්නේ රාජ අණ ක්‍රියාත්මක කිරීමකි. එය මට ඉක්මවා යා නොහැකිය. එය රාජාඥාව කඩ කිරීමේ වරදක් වන්නේය. ඔබට ඒ අවසරය තිබේ.” කුමරිය බුලත් කොල කීපයක් බමුණන් අත තැබීය. ඔහු මොහොතක් දෑස් පියාගෙන කල්පනා කළේය. ගණන් හැදුවේය. සිතින් තර්ක කළේය. ඇඟිළි එකින් එක නැමුවේය. දිගහැරියේය. දෑස හැරියේය. සිනාමුසුව කතා කළේය. “කුමාරයාණන් වහන්ස, කැටපතක ප්‍රතිබිම්බයක් සේ එය පැහැදිළිය. සුපැහැදිළිය. ඇයට ඔබතුමා රැවටුනේයැයි මහරජතුමා සිතයි. එහෙත් මෙය එවැන්නක් නොවේ. මේ සංසාරික බැඳීමක් එකතු වීමකි. එය කඩා ඉහිරවීමට කිසිවෙකුට නොහැකි වේ. ඇගේ සියලු සම්පත් ලැබී ඇත්තේ පුරාකෘත කර්මයන් අනුවය. ඇගේ ගුණ මහිමය ඉදිරියේදී තව තවත් ප්‍රකාශවෙනු ඇත. ඔබ තුමාගේ පමණක් නොව රට වැසියාගේ අභිවෘද්ධිය පිණිසද එය මෙහෙයවනු ඇත. එහෙත් ඔබ තුමාගේ රාජ්‍යත්වය පිළිබදව නම් යම් බාධාකාරී බවක් පෙන්නුම් කරයි.” “ස්වාමීනි, මේ බ්‍රාහ්මණ පඩිතුමන්ලා වෙත සංග්‍රහයක් සකස් කිරීමට නියෝග කළෙමි. එතුමන්ලාට එයට ආරාධනා කරනු මැනවි.” යැයි අශෝක මාලා සාලිය කුමරුට කීවේය. “ඔබම එතුමන්ලාට ආරාධනා කරන්න.” සාලිය කුමරු සිනාසී කීවේය. ඇය ඔවුන්ට සංග්‍රහයට ආරාධනා කළාය.
8/10
සංග්‍රහයද භුක්ති විඳි පඬිවරු ආපසු දුටුගැමුණු මාළිගයට ගියේ ඇය සුරංගනාවක්ද මිනිස් දියණියක්ද යන දෙගිඩියාවෙන් යුක්තවය. ඔවුන් රජතුමා ඉදිරියෙහි ඇගේ ස්ත්‍රී ලාලිත්‍යයත්, සුන්දරත්වයත්, ජ්‍යොතිර්විද්‍යානුකූලව දක්නට ඇති ප්‍රබලත්වයත් වර්ණනා කළේ එකිනෙකා පරයන භාවාතිශයෙන් යුතුවය. “මේ කිසි කෙනෙක් යවල හරි යන්නේ නැහැ. මටම යන්න වෙනවා.” දුටුගැමුණු රජතුමා තමාටම කියා ගත්තේය. “කුමක්ද දේවයන් වහන්ස දැන් කළ යුත්තේ?” අග බිසව විමසුවාය. “බිසවුන් වහන්ස, සාලිය කුමරු කිසි දිනෙක අපේ බස ඉක්මවා කටයුතු නොකළ අයෙක්. අපට නොදන්වා ඔහු කළොත් කරන්නේ, මහජනතාවට යහපතක් වන කටයුත්තක් පමණයි. එහෙත් එය පවා පසුව ප්‍රකාශ කර, එසේ කිරීමට තුඩු දුන් හේතු පැහැදිළි කරනවා. එහෙත් මේ තරුණිය සම්බන්ධයෙන් ඔහු ගෙන ඇත්තේ ක්ෂණික තීරණයක්. ඔහුගේ සියලු කටයුතුවලදී ගුරුවරියක් සේ ගෞරවාදරයට පත් උත්තරාගේ වචනයද බැහැර කර තිබෙනවා. ජ්‍යොතිෂවේදී බමුණන් ප්‍රකාශ කරන්නේද ඇය මහ පිනැති දැරියක් බවයි. මේ සුවිශේෂී තරුණිය අපේ උත්තරා මෙන්ම මේ පරික්ෂක කණ්ඩායම්ද මුලාවට පත් කළේ කෙසේදැයි මා විසින්ම සොයා බැලිය යුතුයි.” “එසේනම් එය කල්දැමිය යුතු නැත දේවයන් වහන්ස.” “ඔව්, මා හෙටම ඒ ගමන යනවා. රහසේ නොව කුමරුට දන්වාම ඒ ගමන යාමයි සුදුසු.” එසේ කී රජතුමා තමන් හෙට දින යුවරජ මාළිගාවට පැමිණෙන බවට දන්වා රාජ දූතයෙකු යැව්වේය. පණිවිඩය ලද සාලිය කුමරු අසෝකමාලාවන් ඇමතීය. “දේවීන් වහන්ස. මපියාණන් හෙට දින පැමිණෙන බවට දන්වා පණිවිඩයක් එවා තිබෙනවා. ඒ එන්නේ ඔබ පිළිබඳව තොරතුරු සෙවීමට බවයි මට හැගෙන්නේ. පියරජු පිළිගැනීමට හා සෙසු කාර්යයන් සුදුසු සේ සංවිධානය කිරීම ඔබට භාරයි.” “එසේය කුමරුනි. මා එය සුදුසු ආකාරයෙන් සකස් කරන්නම්.” දැන්වූ පරිදිම දුටුගැමුණු රජතුමා පසුදින පෙරවරුවේ සම්ප්‍රාප්ත වූයේ මැති ඇමැති වරුන් හා සේනාවක් පිරිවරාගෙනය. සාලිය කුමරයා හා අසෝක මාලාවන් රජුට පෙරගමන් කොට මහත් ගෞරවයෙන් වැඳ පිළිගෙන එකත් පසෙක හුන්හ. දෙව්පුරෙන් බට දෙව්ලියක් හා සමාන රූපශ්‍රීන් දිදුළන කුමාරිකාවන් දුටු රජුගේ දෑස් අදහාගත නොහැකිවිය. “අසෝකමාලා දේවි නම් තොපද” යි රජතුමා හර්ෂයෙන් යුතුව විමසීය. “එසේය මහරජාණන් වහන්ස.” යැයි මන්දහාසයෙන් යුතුව ඕතොමෝ පිළිතුරු දුන්නාය. ඒ වදන් පිටවීමත් සමග ඇගේ මුවින් පිටවූයේ මහනෙල් මල් සුවඳය. ඇගේ වදන්වල සුමිහිරිතාවයද රජු විස්මපත් කළේය. “පියරජතුමනි, ඇල්හාලෙන් නොයෙක් රස මසවුළු මා අතින්ම පිළියෙළ කළෙමි. ඒවා භුක්ති විඳිමින් තොරතුරු කතා කරමු.”යි අසෝකමාලා රජතුමාගෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඉල්ලා සිටියාය. ඇයගේ ඉල්ලීම කෙසේවත් රජුට බැහැර කළ නොහැකි විය. නාග මන්ත්‍රයකින් දැපණය වූ නාගයෙකු මෙන් රජු එබසට අවනත විය. ඇය තමන් අතින්ම රජතුමාට සංග්‍රහ කළාය. අනතුරුව පැමිණි සියලුම මැති ඇමැති වරුන්ට හා සියලු පිරිසටම ආහාරපානවලින් සංග්‍රහ කිරීමට සැලස්වූවාය. ආහාරපානයෙන් සන්තෘප්ත වූ දුටුගැමුණු මහරජතුමා ඇයගේ රූප ශෝභාවෙන් පමණක් නොව ඇයගේ පරිත්‍යාගශීලි ගුණය හා කටයුතු සංවිධාන ශක්තිය පිළිබදවද දැඩි ප්‍රසාදයට පත්වූවේය. සාලිය කුමාරයා හා අශෝකමාලා දේවිය සමීපයට කැඳවීය.
9/10
“මම මෙහි පැමිණීමට පෙර ඔබ දෙපල පිළිබඳව දැරුයේ මීට හාත්පසින්ම වෙනස් ආකල්පයකි. එහෙත් මා දෝෂ සහිත බව දැන් මම ප්‍රත්‍යක්ෂකොටම දැනගතිමි. දැකගතිමි. අත් වින්දෙමි. ඔබ දෙපල රන් රස සේ එකට ගැලපේ. මම දෙදෙනාටම ආශීර්වාද කෙරෙමි. දෙමාපියන්ගේ මනාපය දරුවන්ට ගැලපෙන ආවාහ විවාහ සුදුසු කාලයේදී කර දීමය. මගේ පුතුට මීට වඩා සුදුසු කුමාරිකාවක් මම නොදකිමි. මුතු, මැණික්, ගෝරෝචන, කස්තුරි, උත්පත්තිස්ථානය කොතැනක වුවත් එහි අගය අඩු නොවන්නාක් මෙන්, ඔබේ අගයේද කිසි වෙනසක් නොදකිමි.” “එසේ වුවත් රාජ්‍යත්වය පිළිබඳ පවත්නා සම්ප්‍රදායන් කඩ කිරීමේ හැකියාවක් මට නැත. ඔබ දෙපලගේ විවාහයට පියෙකු ලෙස මගේ සම්පූර්ණ ආශීර්වාදය ලබාදෙනවා.” යි කියා රුවන් රැසක් පිට තබා දෙදෙනාගේම අත් අල්ලා ඔවුනොවුන්ට පාවා දී සතුටු සිතින් යුක්තව මාළිගාවට වැඩම කළේය. ආහාරපානයෙන් හා රස කැවිල්ලෙන් ප්‍රීති ප්‍රාමෝද්‍යයට පත් සියල්ලෝම සාලිය කුමාරයාගේ හා අශෝකමාලා කුමරිගේ ගුණ නගරය පුරා පතුරුවා ලූහ. ( සද්ධර්මාලංකාර පොතේ ‘සාලි රාජ වස්තුව’ අනුසාරයෙනි.) ආනන්ද මාරසිංහ. =====
10/10