ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසේදී සීගිරිය තම රාජධානිය වශයෙන් තෝරාගත් කාශ්‍යප රජතුමන් විසින් පිදුරංගල විහාරය ගොඩ නැගූ බව පිළිගත් මතයයි. ‘පිදු+අරම්+ගල’ යන්නෙන් ‘පිදුරංගල’ වීයැයි කෙනෙක් පවසන අතර, ‘රන් පිදුගල’ පිදුරංගල වී යැයි තවත් කෙනෙක් කියනවා. සීගිරි කාශ්‍යප රජතුමාගේ දියණිවරුන් වන බෝ උපුල්වන් දෙදෙනා මෙහි මල් පූජා කිරීමට නිතර පැමිණි බවත්, ඒ නිසා ඔවුන් දෙදෙනාගේ රූ, සීගිරි ගලෙහි ඇන්ද බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. පිදුරංගල ඓතිහාසික ස්ථානයක්. කාශ්‍යප රජතුමා එය ඉදිකළ බව කියතත්, ඊට පෙර භික්ෂුන් වහන්සේලා එහි වැඩ වාසය කළ බවට සලකුණු තියෙනවා. පිදුරංගලින් පූර්ව බ්‍රාහ්මී යුගයට අයත් ශෙල් ලිපි තුනක් හමුවීම එයට ශාක්ෂියක්. සීගිරියේත් මුල්වකවානුවේ වැඩ වාසය කළේ භික්ෂූන් වහන්සේලා. සීගිරිය රාජධානියක් බවට පත් කරගත්තට පස්සේ එහි සිටි ස්වාමීන් වහන්සේලාටත් පිදුරංගල හා දඹුල්ල අවට ඇති, කලුදියපොකුණ මැණික් දෙණ , වෑවල, එඩේරගල, දඹුල්ල, ආදී ස්ථානවල පහසුකම් සලසා දුන් බවත් පැවසෙනවා. පිදුරංගල නැගීමට ආරම්භ කරන ස්ථානයේ කුඩා දාගැබක් තිබෙනවා. එය කාශ්‍යප රජතුමා ආදාහනය කළ ස්ථානය යැයි සමහරු පවසනවා. එවැනි කුඩා දාගැබ් දෙකක් කදු මුදුනෙහිත් තිබෙනවා. පිදුරංගල පර්වත මධ්‍යයෙහි ඇති ලෙනක අඩි 49 ක් තරම් දිගැති සැතපෙන ප්‍රතිමාවක් තිබෙනවා. එය නිමවා ඇත්තේ ගඩොලින් හා හුණු බදාමෙන්. එය නිදන් හොරුන් විසින් බිඳ දමන ලදුව මෑත කාලයේ වන්දනා කිරීමට සුදුසු සේ ප්‍රති නිර්මාණයට ආරම්භ කර ඇතත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විරුද්ධත්වය නිසා නවතා දමා තිබෙනවා. දඹුල්ලේ සිට කිලෝමීටර් 27 ක් තරම් දුරින් එය පිහිටා ඇති අතර, සීගිරියේ සිට කිලෝමීටර් දෙකක් පමණ උතුරු දෙසට වන්නට පිහිටා තිබෙනවා. එය මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අතර, දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටත්, පිදුරංගල ග්‍රාමසේවා වසමටත් අයිති වෙනවා. 05/06/ 029 අංකය යටතේ බෞද්ධකටයුතු පිළිබඳ දෙපාර්ත මේන්තුවෙහි ලියාපදිංචි කරල තියෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර් 340 ක් තරම් උසකින් පිහිටා ඇති අතර, පිහිටි පොළවේ සිට අඩි 400 ක් තරම් උසකින් පිහිටා තිබෙනවා. සීගිරියට ගිය විට පිදුරංගලත්, පිදුරංගලට ගිය විට සීගිරියත්, මනාව නැරමිය හැකි වෙනවා. සීගිරියට නගින විට කාශ්‍යප රජතුමා දිනපතාම එහි සිට පිදුරංගල විහාරයේ ඇති ප්‍රතිමාවට වන්දනා කළ බව ජනප්‍රවාදයේ පවතිනවා. සීගිරිය පුරාණ විහාරස්ථානයේ දැනට විහාරාධිපතිත්වය දරන්නේ සියම් මහ නිකායේ, රංගිරි දඹුලු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක, ශ්‍රීමත්, ඉනාමලුවේ ශ්‍රී සුමංගලාභිධාන නාහිමිපාණන් වහන්සේ. එහි භාරකාර විහාරාධිපතිත්වය දරන්නේ ශ්‍රී සීගිරි කාශ්‍යප පිරිවෙනෙහි පරිවෙණාධිපති, ආචාර්ය, පූජ්‍ය, දානියගම ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ. දැනට නේවාසිකව ස්වාමින් වහන්සේලා තුන්නමක් වැඩ වාසය කරනවා. පැරණි බෞද්ධ විහාර සම්ප්‍රදායේ, පබ්බත විහාරයක් පිදුරංගල තිබූ බව පුරාවිද්‍යාඥයෝ කියනවා.

1/2

ගොඩ මඩ ඉඩම් අක්කර පනහක් පමණ තිබෙන අතර, දායකයන්ගෙන්, මහජන ආධාර හා වෙනත් අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන මුදල් වලින් ආයතනය නඩත්තු වෙනවා. දායක සභාවක් හා දහම් පාසලක් පවතින අතර, එයින් දායකයන්ගේ ආගමික අවශ්‍යතාවන් ඉටු කරනු ලබනවා. පිදුරංගල විහාරස්ථානයට කාශ්‍යප රජු පමණක් නොව මුගලන් රජතුමාද උපකාර කළ බව මහාවංහයේ සදහන් වෙනවා. කාශ්‍යප රජු ධම්මරුචිකයන්ට විහාරයක් කර පූජා කළ බවත්, මුගළන් රජතුමා, ‘දල්හ’ හා ‘දාඨා කොණ්ඩඤ්ඤ’ නමින්, විහාර දෙකක් කරවා ධම්මරුචිකයන්ට හා සාගලිකයන්ට පිදූ බවත්, සඳහන් වෙනවා. මෑතක හමුවූ ශෙල් ලිපියක ‘දළ වෙහෙර’ යන නම සදහන් වීමෙන් එහි සත්‍යතාවය පැහැදිළි වෙනවා. පිදුරංගල යනු අපේ ජාතික උරුමයක්. ඒවා නැරඹීමට මෙන්ම වන්දනා කිරීමටත් හැමටම අයිතියක් තිබෙනවා. එහෙත් ඒවායෙහි ඇති සංස්කෘතික, පුරාව්ද්‍යාත්මක, වටිනාකම්වලට බින්දු මාත්‍රයකවත් හානියක් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් සදහන් කරන්නට ඕන. එහි පරිසරය ඇත්තේ ඔබට විඳගැනීමට මිස විනාශ කිරීමට නොවන බවත් මතක තියාගන්නට ඕනෑ. එහි ආරක්ෂාව වෙනුවෙන් විහාරාධිපති හිමියන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන කාර්යභාරයන් අගේ කරනවා.

2/2

- ආනන්ද මාරසිංහ -