දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වෙච්චි භරණ යෝධයාත් උපන්නේ මාගම ප්‍රදේශයේ. ඒ කාලයේ මාගම හෙවත් රුහුණේ පාලකයා වශයෙන් හිටියේ කාවන්තිස්ස රජ්ජුරුවෝ. අනුරාධපුරයේ රජකලේ එළාර රජ්ජුරුවෝ. එයා දකුණු ඉන්දියාවේ ඉඳල ඇවිල්ලයි අනුරාධපුරය යටත් කර ගත්තේ. එයා බලවත් කෙනෙක් වීම නිසා ඔහු පරාජය කිරීම ලේසි පාසු උනේ නැහැ. ඒ නිසා කාවන්තිස්ස රජ්ජුරුවෝ සේනා වාහන සම්පාදනය කරමින් සුදුසු අවස්ථාව එනකල් යුද්ධ හමුදාව ශක්ති සම්පන්න කරන්නා වගේම, රටත් බත බුලතින් සංවර්ධනය කරන්න කටයුතු කළා. මේ කාලයේ තමයි භරණ යෝධයාත් උපන්නේ. උපදිනකොට යෝධකමක් නැහැනේ. උපන්නාට පස්සෙනේ ඒ ලක්ෂණ ඇතිවෙන්නේ. ඒත් ඒ හැම දේකටම පෙර පිනුත් බලපානවා. භරණ උපන්න දවසෙම අපූරු සිදුවීමක් උනා. ඒ තමයි මහ නිධානයක් පහළවීම. තමනුත් පවුලත් පෝෂණය කිරීමට නිධානයක් සහිතව උපන් නිසා ඒ කුමාරයාට ‘භරණ’ කියල නම තිබ්බා. ඒ නිසා එයාට පුංචි කාලේ ඉදන්ම කිසිම අඩු පාඩුවක් සිදු උනේ නැහැ. ( භරණ කියන එකේ තේරුම, නිධානය, පොෂණය කියන එකයි.) ඉස්සර ගැමි දරුවෝ ජීවත් උනේ ගහකොල සතා සීපාවා එක්ක. ඒකට හේතු උනේ දඩයමත් ගොවිතැනත් ඔවුන්ගේ ජීවිතයේ අංගයක් වීම. භරණගේ ජීවිතයත් ඒ විදිහටම සකස් උනා. ඒ අනුව කුඩා කල සිටම සාවුන් මුවන් ගෝණුන් ඌරන් පස්සේ පන්නාගෙන ගිහින් ඔවුන් අල්ලා ගැනීමට ඔහු හපන්කම් පෑවා. සමහර විට වනයේ සිටින කුළුහරක් පස්සේ පන්නලා ඔවුන් අල්ලලා හීලෑ කරල ගම්වැසියන්ට ලබා දුන්නා. මේක හන්ද එයාට ‘මහාභරණ’ කියන නම පට බැදුනා. මේ හපන්කම් ගැන ආරංචි උන කාවන්තිස්ස රජතුමා එයාව මාළිගාවට ගෙන්වල ක්‍රමාණුකූල අභ්‍යාසයන් ලබාදීල හමුදාවට බඳවා ගත්තා. ඒ වගේම අශ්ව සේනාංකයේ වගකීමකුත් ඔහුට භාරදුන්නා. පස්සෙ කාලේ දුටුගැමුණු රජතුමා අනුරාධපුරය බේරාගැනීම සදහා කරපු මහා සටනේදි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහා වැඩ කොටසක් කළා. හැම බලකොටුවක්ම බිඳදැමීමට කළ සටන්වලට සහභාගි උනා. යුද්ධයෙන් පස්සේ අනුරාධපුරයේම නැවතී රජතුමා කළ ආගමික සංවර්ධනය වෙනුවෙන් තමන්ගේ උපරිම කැපවීම හා දායකත්වය ලබා දුන්නා. ජීවිතයක කෙළවර මරණය බව අවබෝධ කරගත් ඔහු අවසාන කාලයේ ආගම දහමට අනුව පින්දහම්හි නිරත වී වීරයෙක් ලෙසම මරණයට පත් උනා.
1/1