අනුරාධපුරයේ එළාර රජ්ජුරුවෝත්, මාගම කාවන්තිස්ස රජ්ජුරුවෝත්, රාජ්‍යය කරන කාලේ දකුණු පළාතේ ජනප්‍රධානියෙකුට පුතෙක් උපන්නා. දෙමව්පියෝ එයාට අභය කියල නම තිබ්බා. මෙයා පුංචි කාලේ ඉඳලම අනෙක් ළමයින්ට වඩා ශරීර ශක්තියෙන් වැඩි බව පෙනුනා. සෙල්ලම් කරනකොට හැමවෙලාවෙම අනෙක් ළමයින්ට වඩා ලොකු දේවලුයි ඒ සඳහා ගත්තේ. හයිය හක්තිය තියෙන මිනිස්සු හත් අට දෙනෙකුට උස්සන්ට බැරි ගල් තමයි එයා සෙල්ලම් කරන්ට ගන්නේ. ඒවා එහාට මෙහාට දමමින් ඒ ඒ ගලින් ගලට ගසමින් එයා කරන සෙල්ලම්වලට අනෙක් ළමයින්ට සහභාගි වෙන්න බැරි උනා. අභය කුමාරයාට අවුරුදු දහයක් දොළහක් වෙනකොට එයාගෙ පියා මෙයාට යගදාවක් හදල දුන්නා. ඒක ඉතාම ශක්තිමත් හා විශාල එකක්. අභය කුමාරයා මේ යගදාවෙන් ගස්කොළන්වලට ගහනවා දෙකට කැඩෙන්න. ඊට පස්සේ ඒකෙන්ම ගහල කුඩු කරල දානවා. මෙහෙම ඉන්න අතරේ එයාගේ පියා මහා සුමන කියල හාමුදුරුකෙනෙක්ගෙන් බණ ඇහුවා. බණ අහල එයාට හිතුනා මහණ වෙන්න. තමන් එහෙම මහණ උනොත් අභය කුමාරයගේ අනාගතය අඳුරු වෙයි කියලත් හිතුව. ආයෙත් කල්පනා කළා, පුතත් එක්කම මහණ උනොත් හරිනේ කියල. එහෙම හිතල දෙන්නම ගිහින් මහණ උනා. ටික දවසකින් පියා භාවනා කරල රහත් උනා. ඉන්පස්සේ අභය සාමණේර හාමුදුරුවෝ ථෙරපුත්තාභය (ථෙර+ පුත්ත+ අභය -තෙරුන් වහන්සේගේ පුත් වූ අභය ) නමින් ප්‍රසිද්ධ උනා. ඔය අයට මතක ඇති ගෝඨයිම්බර යෝධයගේ කතාවෙදි, අපි කීවා එයා පොල්වත්තක ගස්වලින් ගස් හොල්ලලා, කුරුම්බා කඩාගෙන තමනුත් බීලා, අනෙක් හැම දෙනාටමත් දුන්නා කියල. ඒ වත්ත අයිති මේ ථෙරපුත්තාභය සාමණේර හාමුදුරුවෝ හිටපු පන්සලට. පොඩි හාමුදුරුවෝ දැක්කා, වත්ත පුරාම පොල්, කුරුම්බා, ඇට්ටි, වැටිල තියෙනවා. ඒ මදිවාට, කණ්ඩායමක් වත්තේ තැන්තැන්වල වැටිල නිදාගෙනත් ඉන්නවා. පොඩි හාමුදුරුවෝ ඇබිත්තයාගෙන් ඇහුවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියල. “කවුදෝ එකෙක් පොල් ගස් හොල්ලලා කුරුම්බා කඩාගෙන බීල ඔය වත්තේ නිදාගෙන ඉන්නේ.” කියල ඇබිත්තයා කීවා. “එයා හිතාගෙන ඉන්නේ එයා ලොක්කෙක් කියල වෙන්ටැති. අද තමා මට්ටු වෙන්නේ.” කියලා, පොඩි හාමුදුරුවෝ ගෝඨයිම්බරගේ කකුල එක අතකින් අල්ලාගෙන රවුම් කීපයක් කරකවලා පන්සල් වත්තේ එහාට මෙහාට ඇදගෙන ගියා. ගැලවෙන්ට උත්සාහ කළත් ගෝඨයිම්බරට ගැලවෙන්ට පුලුවන් උනේ නැහැ. ඊට පස්සේ ගෝඨයිම්බරගේ පිරිසත් උදව්වට ආවා. ඒත් හැමදෙනාම උන්වහන්සේගෙන් ගුටි කාල පැත්තකට වෙලා සමාව ඉල්ලුවා. ගෝඨයිම්බරත් පොඩි හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලා සිටියා. හැමෝගෙම ඉල්ලීම පිට ගෝඨයිම්බර හා පිරිසට අවවාද කරල නිදහස් කරල යැව්වා. තමන්ට මදි පුංචිකමක් වෙච්චි හින්ද ගෝඨයිම්බරත් මේක වැඩිය කියන්ට ගියේ නැහැ. “මේ රටේ තවත් උඹල වගේ යෝධයෝ නැද්ද?” කියල දවසක් ගෝඨයිම්බරගෙන් රජ්ජුරුවෝ ඇහුවා. “දේවයන් වහන්ස කප්පකන්දර කියන විහාරයේ ථේරපුත්තාභය කියල සාමණේරයන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ අපටත් වඩා ශක්ති සම්පන්නයි.” “එසේනම් උන් වහන්සේ සිවුරු හරවා හමුදා සේවයට භාරගැනීම තොපටම භාරයි.” පහුවදාම ගෝඨයිම්බර පුද පඬුරු හා දානමානාදියත් රැගෙන විහාරයට ගිහින් හාමුදුරුවරුන්ට පූජාකරල, ථෙරපුත්තාභය හාමුදුරුවන්ට තමන් පැමිණි කාරණය කීවා.
1/2
“පින්වත අප සාසන බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙනවා මිස, රාජ සේවයට බැඳී නොසිටිමු.” යැයි උන් වහන්සේ කීවා. “එසේ නොකියන්න ස්වාමීනි. මේ රටට ඔබ වහන්සේගේ සේවාව අත්‍යවශ්‍ය වෙලාවක්. රජතුමාගේ ආරාධනය ප්‍රතික්ෂේප නොකරනු මැනවි.” “මේ සසර බියකරුයි. මා වෙර දරන්නේ ඒ සසරින් ගොඩ යාමටය. එයට බාධා නොකරන්න.” “එසේ නොකියන්න ස්වාමීනි. ඔබ වහන්සේලාට බණ දහම් හදාරන්නටත් රටක් හා ආගමක් තිබිය යුතුයි. ආත්මාර්ථය ගැන පමණක් නොසිතන්න. මේ රට පත්ව තිබෙන අගාධයෙන් ගොඩගෙන නැවත විත් පැවිදි වෙන්න. රටෙහි වෙහෙර විහාර විශාල වශයෙන් විනාශවෙමින් පවති. බුදු දහමට විවිධ නිග්‍රහ වෙමින් පවතී. මෙය ඔබ වහන්සේගේ සේවය රටට අත්‍යවශ්‍යම මොහොතක් කියන්නේ එහෙයිනි.” විවිධාකාරයෙන් තර්ක විතර්ක කර, කාරණා අවබෝධ කරවීමෙන් පසුව, උන්වහන්සේ උපැවිදිව රාජ සේවයට බැඳීමට කැමැති උනා. ඉන්පසු උපැවිදිව සටන් පෙරමුණටත් ගියා. යුද්ධය අවසන් උනාට පස්සේ රජතුමා එයට සහභාගී වූ හැමදෙනාටම තෑගි හා තනතුරු ප්‍රදානය කළා. ථෙරපුත්තාභය යෝධයා ඒ කිසිවක් භාරගත්තේ නැහැ. “මහරජතුමනි. මට කෙළෙස් සතුරන්ද පරාජය කිරීමට තිබේ. ඒ සඳහා නැවත පැවිදි වීමට යාමට සිතමි. එයට අවසර දුන මැනවි.”යි කීවා. රජතුමා ඒකට අවසර දුන්නා. ථෙරපුත්තාභය යෝධයා නැවත පැවිදි වී භාවනා කරල රහත් භාවයට පත් උනා. රටේ ජාතික අවශ්‍යතාවයක් ඇති වුනු වෙලාවකදී ඕනෑම කෙනෙකුට එයට සක්‍රීයව දායක වෙන්න පුලුවන් කියන එකට හොඳ උදාහරණයක් මේ කතාව.
2/2