“ලොකු අත්තේ, අද දහම් පාසලේදී නංගිට පන්සිල් අමතක උනානේ.” ලොකුදුව දහම් පාසැල් ගිහින් ඇවිත් කීවා. “එහෙම තමයි. පොඩි දරුවන්ට කලබල උනහම, බය උනහම, පාඩම් තියෙන දේවලුත් අමතක වෙනවනේ. ඒ උනත්, හැම දෙනාම පන්සිල් දැන ගන්න ඕන. ඒවයේ තේරුම දැන ගන්න ඕන. ඒව කැඩෙන හැටිත්, ඒව කැඩුවොත් ලැබෙන විපාකත් දැන ගන්න ඕන. එතකොට තමයි කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්.” “ලොකු අත්තට බැරිද අපට ඒව කියල දෙන්න.” “මොකෝ බැරි. ඒ උනත් අපි එහෙන් මෙහෙන් කියල දෙනවට වඩා, දහම් පාසැල් ගියහම සුනන්ද පොඩි හාමුදුරුවන්ගෙන් අහගන්න එක තමයි වඩා හොඳ.” “හොඳයි නම් තමයි. ඒත් පොඩි හාමුදුරුවෝ අල්ලගන්න එකයි අමාරු. දාන, පිරිත් පිංකම්, බණ, පාංශකූල, බෝධිපුජා, කෙළවරක් නැහැ. ලොකු අත්තම දන්න විදිහට අපට කියල දෙන්න.” “මටත් ඒවට වෙලාවක් තමයි නැත්තේ. වෙලාවක් ආපුවහම මම කියල දෙන්නම්.” “අපිට මොනව හරි කියල දෙන්න කීවහම තමයි ලොකු අත්තටත් වැඩ.”ලොකු දුව ආඩපාලි කීවාය. “මම බැහැ කීවෙ නැහැනෙ. කහට එකක් එහෙම බීල මම කතා කරන්නම්කෝ.” ඒ අසා ලොකු දුවගේ මුහුණේ මැවුනේ අපූරු සිනාවකි. ඇය එතැනින් ඉවත්ව ගියාය. තේ ටිකක් බී බුලත් විටකුත් කටේ දමාගෙන මම දරුවන්ට කතා කළෙමි. “ඉතිං ලොකු අත්තේ. ඇයි අපිට කතා කළේ.?” “පන්සිල් පද ගැන දැනගන්න ඕන කිව්වා නේද? ඔහෙන් වාඩි වෙන්නකෝ.” ඔවුහු මා ඉදිරියෙහි වාඩි වූහ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. “පානාතිපාතා වේරමණි කියන ශික්ෂාපදයේ තේරුම දන්නවාද පුතේ ?” “ඔව්, පණ ඇති සතුන් මැරීමෙන් වැලකීමේ ශික්ෂාපදය සමාදන්වෙමි. කියලනේ කියන්නේ.” “නෑ නෑ. පණ නැති සත්තු මරන්න දෙයක් නැහැනේ. සතුන් මැරීමෙන් වැලකීමේ ශික්ෂාපදය සමාදන් වෙමි.’ කියන එකයි තේරුම.” ලොකු දුව කීවාය. “ඔව් පුතේ. අපි කොහොම කීවත් ඒකෙන් අදහස් කරන්නේ ප්‍රාණඝාතයෙන් වලකිනවා කියන පොරොන්දුව දීමනේ. හැබැයි ඉතිං හරියටම තේරුම එන විදිහට භාවිතා කිරීම තමයි වඩා හොඳ. ‘පණිවායෙන් දුරුවීම’ කියල තමයි පැරණි පොත්වල තියන්නේ. ඕනෑම සතෙකුට ජීවත්වීමේ අයිතියක් තියෙනවා. ඒක නැති කරන්න කාටවත් බැහැ. ප්‍රාණඝාතයෙන් සිද්ධවෙන්නේ ඒ අයිතිය නැතිකිරීමනේ. මේක අපි විහින්ම වෙන පොරොන්දුවක්. කාටවත් බලෙන් පන්සිල් දෙන්ටත් බෑ. ගන්ටත් බෑ. එහෙම දෙන පන්සිල්වලින්වත්, ගන්න පන්සිල්වලින්වත්, ඇති පොරෝජනේකුත් නැහැ. ඒක, එක අතකින් අපිටම දාගන්න වාරණයක්නේ. ඒක නීතියක් නොවන හින්ද කාටවත් නඩු දාන්නත්, දඬුවම් කරන්නත්, බැහැ. ඒත්
1/9
ඒක පොරොන්දු කැඩීමක් වෙනවා. සමහර තැන්වල සත්ව ඝාතනය නීතියෙන් තහනම් කරල තියෙනවා. එවැනි තැන්වලදී නීතියෙන් යම් යම් දඬුවම්වලට යටත් වන්න සිද්ධවෙන්න පුලුවන්.” “කය වචන දෙකේ සංවරකමනේ සීලය කියන්නේ. අපි හැම දෙනාටම පොදුවේ රකින්න පුලුවන් විදිහටයි පන්සිල් හැදිල තියෙන්නේ. පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර දස සිල්, කියන හැම එකකම ආරම්භක ශික්ෂා පදය තමයි ‘පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ කියන්නේ.” “සීයෙ අපිට කූඹියෙක් පෑගිල මැරුණොත් ඒක ප්‍රාණඝාතයක්ද?” “පෑගිල මැරුණොත් නැහ. ඒත් පාගල මැරුවොත් ප්‍රාණඝාතයක්. මේ ශික්ෂාපදය සම්පූර්ණ වෙන්ට කාරණා කීපයක් සම්පූර්ණ වෙන්ට ඕන. සතෙක් වෙන්ට ඕන. ඒ සතෙක් බව දැනගන්න ඕන. ඌ මරන්ට හිතක් පහළ වෙන්ට ඕන. ඒකට උපක්‍රමයක් භාවිතා කරන්න ඕන. ඒ උපක්‍රමයෙන් සතා මැරෙන්නත් ඕන.” (පාණෝ භවේ පානසඤ්ඤී-වධකචිත්ත මුපක්කමෝ තෙන ජීවිත නාසෝච- අංගා පඤ්ච වධස්සිමෙ) “එතකොට සතා මැරුනේ නැත්තං පවක් නැද්ද?”. “තියෙනවා හැබැයි ප්‍රාණඝාත අකුශශල කර්මයක් නෙවේ. ඒ සතා මරන්ට ඕන කියල හිතනකොටම අපේ හිතට පහල වන්නේ ද්වේශයක්, වෛරයක්නේ. එතැන ඉඳන් දිගටම ඇති වෙන්නේ අකුශල සිතුවිලි. පාපී සිතුවිලි. වෙන විදිහකින් කිව්වොත් පව්නේ.” ‘පරපණ නැසුවොත් කවර උපායේ. අපමණ දුක් දෙයි සතර අපායේ’ කියල ලෝවැඩ සගරාවේ කියන්නේ ඒකනේ.” “එතකොට ලොකු අත්තේ පරපණ නැතුව තමන්ගේ පණ නහගත්තොත්?” “ඒත් එහෙම තමයි. කිසිකෙනෙකුට තමන්ගේ වත් අනුන්ගේවත් පණ නසන්ට බැහැ. මේ දෙකම මහා සාවද්‍ය වැරදි විදිහට තමයි කියවෙන්නේ. අපේ ශික්ෂා පදවල වගේම හැම රටකම පොදු නීතියෙනුත් ඒවා වැරදි බවට තහවුරු කරල තියෙනවා. ශික්ෂා පදයක් කඩ කළාට නීතියෙන් වරද කරුවෙකු නොවුනට ඒක රටේ නීතියක් බවට පත් උනාට පස්සෙ කැඩුවොත් නීතියෙන් දඩුවම් කරන්න පුලුවන්.” “තමන් මරන්නේ නැතුව වෙන කෙනෙක් ලව්වා මැරෙව්වොත් ඒත් පව්ද.?” “ඔව්. තමන් අතින්ම මැරුවත්, තවත් කෙනෙකුට අණ කරල මැරෙව්වත්, එහෙම නැතුව දුර ඉඳල තුවක්කුවෙන් දුන්නෙන් හා ඊතලයෙන් මැරුවත්, මන්ද, උගුල, හබක, කෙමණ, වගේ ඒව අටවල මැරුවත්, යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් වලින් මැරුවත්, මේ ප්‍රාණඝාත අකුශල කර්මය සිද්ධ වෙනවා. (සාහත්ථික, ආණත්තික, නිස්සග්ගිය, ථාවර, විජ්ජාමය, ඉද්ධිමය, කියල ප්‍රාණඝාතය වන ප්‍රයෝග හයක් තියෙනවා. ලොකු උනහම ඒවා ඉගෙන ගන්න පුලුවන් වේවි.) “ඒකෙන් වන හානිය මොකක්ද?” “ඕනෑම සතෙකුට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපි ඒක නැති කරනවා නම් වැරදියි. එහෙම කරනවා කියන්නේ එයාට ඉස්සරහට ජීවත් වෙන්ට තියෙන අයිතිය නැති කරනවා කියන එකයි. අපි ඒක ඉස්සර වෙලත් කීවනේ. ඒක බලෙන් කළත් නීතියෙන් කළත්, තමන්ගේ කැමැත්තෙන් කළත්, වැරද්දක් වෙන්නේ ඒකයි. එහෙම කරන අයට අපි කියන්නේ මිනී මරුවෝ, සත්ව ඝාතකයෝ කියල. එහෙම අයට ලැබෙන විපාකත් ධර්මයේ කියල තියෙනවා. “ඒ මොනවද ලොකු අත්තේ?.”
2/9
“සබ්භොප භොග ධන ධඤ්ඤ විසේස ලාභි රූපෙන භෝ ස මකරද්වජ සන්නිභෝපි යෝ යොබ්බනෙපි මරණං ලභතේ අකාමං කාමං සදාතු පරපාණහරෝ නරෝහි.” ලොකු අත්තා තාලෙට ලස්සනට කිව්වා. “මොකක්ද ලොකු අත්තේ ඒ කවිය.?” “ඒක කවියක් නෙවේ ගාථාවක්. ඒකෙන් කියන්නේ, මොන තරම් සැප සම්පත් හා උපභෝග පරිභෝග සම්පත් ඇතුව අනංගයා වගේ ලස්සනට උපන්නත්, ඔහු අකාලයේ මරණයට පත්වෙන්ට පුලුවන්, කියන එකයි. ඒ විතරක් නෙවේ, ප්‍රාණ ඝාත කරන එක්කෙනාට බොහෝ ලෙඩදුක් හැදෙන්න පුලුවන්. නිතරම ප්‍රියයන්ගෙන් වෙන්වීම් සිද්ධ වෙන්න පුලුවන්. කවදාවත් මවි පිය පදවි නොලැබෙන්න පුලුවන්. නිතරම සමාජයේ තැති ගැනීම් හා බිය මුසුවයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඔහු නරක තිරිසන් ප්‍රේත අසුර භවයන්හි ඉපදිලා නොයෙක් දුක් විදින්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි. තමන් ජීවත් වෙන සමාජයෙන් නොයෙක් නින්දා අපහාස වලට ලක් වෙන්න පුලුවන්.එයාට කවදාවත් පරමායුෂ විඳල මැරෙන්න බැහැ. “ඒක තමයි සත්තු මරන්න හොඳ නැහැ නේද ලොකු අත්තේ.? “ඔව් පුතේ, මෙලොවත් පරලොවත් ඒ විදිහේ විපාක දෙන ඒවා කරන්න හොද නැහැ.” “ඔයාලට මතකනේ ලෝවැඩ සඟරාවේ තියෙනවා, “පෙර අඟනක් එක් එළු දෙනෙකු හිස සිඳා ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුමි ලදා” කියල.” “ඔව් ලොකු අත්තේ. ලොකු අත්තට ගොඩක් පිං.” “හෙට වෙලාව තිබ්බොත් අදින්නා දානය ගැන කියල දෙන්නම්කෝ. අද වෙලාවට හැමෝම මෙතෙන්ට එන්ට ඕන.” පහුවදා කියපු වෙලාවට ළමයි ඇවිත් හිටියා. කවදත් වෙලාවට වැඩ කරන ලොකු අත්තත් ඇවිත් හිටියා. 2. අදින්නා දානාවේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක ගැනයි අද කතා කරන්නේ. පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර දසසිල්, කියන මේවායේ දෙවැනි ශික්ෂාපදය විදිහටයි ‘අදින්නා දානා වේරමණී’ කියන ශික්ෂාපදය එන්නේ. ඒකෙ තේරුම වෙන්නේ අනුන් සතු දෙයක්, ඔහුට නොකියා සොර සිතින් ගැනීමෙන් වලකිමි යන්නයි. ( අදින්න- නොදුන් දෙය, ආදාන- ගැනීම.) මෙතැනදී එම සොරකම තමන් කළත් අනුන් ලවා කරවූවත්, බලහත්කාරයෙන් ගත්තත්, රවට්ටලා ගත්තත්, එහි අකුශල කර්මයට හිමිකාරයෙක් වෙනවා. ඒක අකුශල කර්මයක් වෙන්න අංග පහක් සම්පූර්ණ වෙන්න ඕන. ඒක පාලි භාෂාවෙන් සදහන් උනත් ලස්සන කවියකින් කාව්‍යශේකරයේ මෙහෙම සදහන් වෙනවා. “වෙන අය අයිති වත් එබව දැනුමුත් සොරසිත් පියෝ ඉන් ගැනුමුත් දෙවන සිකපද පසෙඟකැයි යෙත්.”
3/9
ඒ කියන්නේ අන් කෙනෙකුට අයිති වෙන්න ඕන. ඒ බව දැනගන්න ඕන. හොරකම් කරනවා කියන සිතුවිල්ල පහළවෙන්න ඕන. ඒකට යම් උපක්‍රමයක් කරන්න ඕන. හොරකම සිද්ධවෙන්න ඕන. මේ කාරණා පහ තමයි ඒ. අනුන් ලවා කරවනව නම්, ඒ කෙනාට කියන්න ඕන, ඒ වගේම එයා හොරකම කරන්නත් ඕන. මේ විදිහට තමයි අදින්නාදාන ශික්ෂාපදයේ කරුණු කාරණා සම්පූර්ණ වෙන්නේ. (පර පරිග්ගහිතං, පරපරිග්ගහිත සඤ්ඤිතා, ථෙය්‍ය චිත්තං, උපක්කමෝ, තෙන හරණං.) අදින්නා දානයත් කයෙන් සිදුවන අකුශල කර්මයක් විදිහට තමයි ගැනෙන්නේ. හොරකම් කළාමත් මෙලොව පරලොව දෙලොවදීම විපාක දෙනවා. සොරා කියන අපවාදය ඇතිවෙනවා. ඒ අපවාදය ඔහුගේ දූ දරුවන්ටත් අඹු දරුවන්ටත් ඇති වෙනවා. ඒ වගේම පරලොවදී දුගතිගාමී වෙන්ටත් ඒක හේතු වෙනවා. ඒ වගේම අදින්නා දානයේ විපාක විදිහට ඔහු උපදින ආත්මයක් ආත්මයක් පාසා දිළිඳු වෙන්න පුලුවන්. සමහර විට යාචකයන් විදිහට අනුන්ගෙන් දෙන කෑම බීම මත යැපෙන්න සිදුවෙන්න පුලුවන්. අනෙක් අයගේ නින්දා අපහාසවලට ලක්වෙමින් කිළිටි වස්ත්‍ර සහිතව මනුස්ස ප්‍රේතයෙක් වගේ ඉන්න සිද්ධ වෙන්න පුලුවන්. සසරේ දුක්විඳල අවසානයේ සතර අපායේ උපදින්න උනත් පුලුවන්. ඉතිං ඇයි අපි ඒ වගේ අකුශල කර්ම කරන්නේ. ( “යෝ යාචකෝ භවති භින්න කපාලහත්ථෝ මුණ්ඩෝපි ගක්කර සතෙහිච තජ්ජයන්තෝ භික්ඛං සදාරි භවනේ සකුවෙල වාසෝ දෙහී පරත්ථ පරවිත්තහරෝ නරෝහි.”) මිනිස්සු විවිධාකාරයෙන් හොරකම් කරන්න පුලුවන්. සමහරවිට නඩු කියල, බොරු ශාක්ෂි හදල, භය කරල, අනුන්ගේ වස්තුව, දේපොල, අයිති කර ගන්න පුලුවන්. තමන් ළඟ තවකෙනෙක් පරෙස්සමට තැබූ දෙයක් බොරු කියා ලබා ගන්න පුලුවන්. ඒ භාණ්ඩය තිබූ තැන වෙනස් කරවා අමතක වීමට හැර ගන්ටත් පුලුවන්. ඔය වගේ ක්‍රම විසිපහක් ( පස් විසි අවහාර) විතර බණ පොත්වල සඳහන් කරල තියෙනවා. ඒවට අදාළ කතාන්දර ගොඩක් අපේ ගම්වල පැරැන්නන් අතර තියෙනවා. බස් එකේ කෝච්චියේ ටිකට් නැතිව යන එකත් එක්තරා විදිහක හොරකමක් තමයි. මහජන දේපල වංචාවෙන් ලබා ගැනීමත් හොරකමක් තමයි. ආණ්ඩුවේ දේපල තමන්ගේ කරගැනීමත් එහෙම හොරකමක් තමයි. ඉතිං අපි ඒ හැම හොරකමකින්ම වලකින්ට ඕන. සමහරවිට අනුන්ගේ වස්තුවක් පාරේ වැටිල තිබිල අයිති කාරයා දැන දැනම ඔහුට එය නොදෙනවානම් ඒකත් හොරකමත් තමයි. ඒක හන්ද අපි කවදාවත් අනුන්ගේ දේවල් හොරකම් කරන්න යන්ට හොඳ නැහැ. “ඒක හරි ලොකු අත්තේ. ඒක තමන්ට ඕන නම් එයාගෙන් ඉල්ලලා හරි, සල්ලි දීල හරි, ගන්න පුලුවන්නේ.” “ඔව් පුතේ අපේ මිනිස්සු යමක් ඉල්ලුවොත්, පුලුවන්නම්, ඒක නොදී ඉන්නෙ නැහැ. හැබැයි මිනිස්සුන්ගේ නැති බැරිකම් ඉහළ යනකොට හොරකම වැඩි වෙන්න පුලුවන්. ඒකට පාලකයෝ වග කියන්න ඕන තමයි. ඒත් හොරකම් කිරීම ඒකට උත්තරයක් නෙවෙයි.” “පුතාලට මතක ඇති යාලුවෝ කට්ටියක් එකට නාන්ට ගිහින් අනෙක් යාලුවෙකුගේ ඇඳුම් වගයක් හංගල, පස්සෙ දීල තියෙනවා. ඒත් පස්සෙ ආත්මෙක එයා දෙවියෙක් වෙලා ඉපදුනත්, රෙදි නැතුව නිරුවත් දෙවි කෙනෙක් විදිහට තමයි ඉන්න වෙලා තියෙන්නේ. අපි කරන අකුශල කර්මයන්ගේ විපාක කවදා හරි, කොතැනදී හරි, ලැබෙන්න පුලුවන් කියන එකට ඒක හොඳ උදාහරණයක්.”
4/9
“කෙළියට කඩක් සඟවා යහලුවෙකු ගෙනේ එළිකොට නැවත දුන් මිනිසෙකුට එතැනිනේ විළි වැස්මක් නොලැබුනි දෙවි උනත් අනේ කෙළියටවත් නොකරව් සොරකමක් දැනේ.” කියල, ලෝවැඩ සඟරාවෙ තියෙන්නේ ඒක නේද ලොකු අත්තේ.” “ඔව් පුතේ. මගේ පුතාල කවදාවත් හොරකම වගේ නරක දේවල්වලට පෙළඹෙන්න එපා. තව කෙනෙක් පොළඹවන්නත් එපා.” 3. කාමෙසු මිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං.... පන්සිල් පද අතර තෙවැන්න වන්නේ කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමේ ශික්ෂාපදය සමාදන් වෙමි යන අදහස දෙන, ‘කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන්නයි. පන්සිල් හැර අන් හැම තැනම ඒ වෙනුවට භාවිතා වන්නේ ‘අබ්‍රහ්මචරියා වෙරමණී සික්ඛාපදං සමාදියාමි’ යනුවෙන්. ගිහි ස්ත්‍රී පුරුෂයන් අතර ආවාහ විවාහ සම්බන්ධතාවයන් සිදුවෙන බව අපි දන්නවා. ඒ වගේම ඒ අය අතර අඹු සැමි වශයෙන් කායික සම්බන්ධතාවයන් ඇති වෙන බවත් අපි දන්නවා. එය සිදු වන්නේ යම් පිළිගත් රාමුවක් යටතේ. එය සම්මත නීතිවලින් හෝ, සම්ප්‍රදායික රීතිවලින්, ආවරණය වෙනවා. ඉන් බැහැරව එම සම්බන්ධතාවය සිදු වන්නේ නම් එය වැරදි කාම සේවනය ලෙස අපි හඳුන්වනවා. අටසිල් දසසිල් හෝ සාමණේර දස සිල් සමාදන් වූ කාන්තාවකට හෝ පුරුෂයෙකුට එම සීලය පවාරණය නොකර, විවාහක වුවත්, අඹු සැමියන් වශයෙන් හැසිරෙන්ට බැහැ. නමුත් පන්සිල් සමාදන් වූවෙකුට එයට බාධාවක් නැහැ. ඔහුට තහනම් වන්නේ නීතියෙන් තමන් හා බැදුණු කාන්තාව හෝ පුරුෂයා හැර වෙනත් කෙනෙකු සමග කායික සම්බන්ධතාවයක් ඇති කර ගැනීම පමණයි. එතකොට උපසම්පදා හාමුදුරුවරු කියල ගැටලුවක් එන්න පුලුවන්නේ. “ඔව් උපසම්පදා හාමුදුරුවරුන්ගේ සීලයේ ප්‍රමාණයක්, සංඛ්‍යාවක් නැහැ. අපේ ව්‍යවහාරයේ පවතින්නේ ‘කෝටියක් සංවර සීලය’ කියලනේ. එතකොට මේ කිසිදු සම්බන්ධතාවයක් උන් වහන්සේලාට ඇති කර ගන්න බැහැ. එවන් කාමයේ වැරදි චරියාවක, හෙවත් බ්‍රහ්මචරියාවක යෙදුනහොත් ඔහුගේ මහණකම් සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා. හරියට බෙල්ල කපපු කෙනෙකුගේ පණ ඒ වෙලාවෙම නැති වෙනවා වගේ. එතෙන්දී එය හදුන්වන්නේ ‘පාරාජිකා’ කියන නමින්. “පාරාජිකා වෙන්නේ මේ ශික්ෂාපදය කැඩුවොත් විතරද ලොකු අත්තේ.” “නැහැ පුතේ, භික්ෂුවකට නම් පාරාජිකා හතරක් තියෙනවා. භික්ෂුණියකට නම් පාරාජිකා අටක් තියෙනවා.” කාමේසු- කාමයන්හි, මිච්ඡාචාරා- වැරදි හැසිරීම, යනුවෙන් මෙතැනදී කීවත්, අපි මෙහිදී කතා කරන්නේ පරදාර සේවනය යන්න හිතේ දරාගෙනයි. . (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, යන මේවා වැරදි ආකාරයට භාවිතා කිරීම මෙතැනදී අර්ථ ගැන්වෙන්නේ නැහැ.) මේ ශික්ෂාපදයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි එයට ප්‍රති විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු සම්බන්ධ වෙන්න ඕන. එතැනදී දෙදෙනා අතර කැමැත්තෙන් හෝ, අකැමැත්තෙන් ඒ සම්බන්ධතාවය ගොඩනැගුණත් ඒ දෙකම වැරදියි. කාම මිථ්‍යාචාර අකුශල කර්මයක් වීමට අනෙක් ශික්ෂාපදවල වගේම කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕන. සේවනය නොකළයුතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු වීම, එම කාර්යයට සිතක් පහළවීම, ඒ සඳහා උත්සාහ දැරීම, හා එම ආශ්වාදය විඳීම, යන කරුණු මෙහිදී සම්පූර්ණ විය යුතු වෙනවා. ඒ අනුව පේනවා, එක් අයෙකුගේ අකැමැත්ත පිට කෙරෙන බලහත්කාරකමකදී, එක් අයෙකුට කාමේසු මිච්ඡාචාර අකුශල කර්මයෙන් මිදිය හැකි බව.
5/9
මෙහි විපාක දීමේදීත් සෙසු ශික්ෂාපදවලට වඩා වෙනස් බවක් තියෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනාට දෙන විපාක සමහරවිට වෙනස් වීම. එහි විපාක මේ විදිහට සඳහන් වෙනවා. “ඉත්ථී න මුඤ්චති සදා පුන ඉත්ථිභාවා නාරි සදා භවති සෝ පුරිසෝ පරත්ථ යෝ ආචරෙය්‍ය පරදාරමකා ඝනීයං ඝෝරංච වින්දති සදා ව්‍යසනංච නේකං.” ඒ කියන්නේ ස්ත්‍රියක් නම් සංසාරයේ හැමදාම ස්ත්‍රියක් වෙලාම ඉන්ට සිද්ධ වෙන්න පුලුවන්. පුරුෂයෙක් නම් එයාට ඊළග ආත්මභාවවලදී ස්ත්‍රී ආත්මවල උපදින්න පුලුවන්. නපුංසකයන් වෙන්න පුලුවන්. (මෙතැනදී තර්ක කරන්න එපා ස්ත්‍රී පුරුෂ කවුරු උනාම මොකද කියල.) ඔහුට හෝ ඇයට ධනයෙන්, වධයෙන්, අපවාදයෙන්, හෝ මරණයෙන් දඬුවම් ලැබෙන්න පුලුවන්. අනාගතයේදී ආවාහ විවාහ වනවිට තමන්ට නොගැලපෙන අඹු සැමියන් ලැබෙන්න පුලුවන්. මරණින් පසු නරක තිරිසන් ප්‍රේත අසුර යෝනිවල උපදින්න පුලුවන්. (අපි බොහෝ දෙනා කියන කටු ඉඹුලේ නගින්ට වෙන්නේ, වැරදි කාම මිත්‍යාචාරයෙහි හැසිරුණු අයටයි.) “ලොකු අත්තේ, පිල්ලෑවේ ගෙදර මල්ලිකා නැන්දත් එයාගෙ බබාල දෙන්න දාල වෙන කාත් එක්කද ගිහිල්ලා. එයාටත් එහෙම වෙයිද?” “ඔව් පුතේ, එහෙම වෙන්න පුලුවන්. පුංචි ළමයින්ට සමහර තැන් තේරුම් ගන්න අමාරු උනත් පුතාලටත් පේනවානේ සමහර පවුල්වල අඬ දබර ඇති වෙන්නේ ඒ ඒ පවුල්වල නොමනා සම්බන්ධතාවයන් ඇති වීම නිසා බව. ඒක හන්ද පවුල් අවුල් වෙන, දූ දරුවන් අනාථ වෙන, මිනී මරාගන්න, සංසාරය පුරාවටම විඳවන්න සිද්ධවෙන, මේ වගේ අකුශල කර්මයක් කරන්න පෙළඹෙන්න හොඳ නැහැ. මිනිස්සු අතරයි තිරිසන් සත්තු අතරයි තියෙන විශේෂ වෙනසකුත් ඒකනේ. ඒක හන්ද තමයි ලෝවැඩ සඟරා කවි පොතේ මෙහෙම තියෙන්නේ. “ලගුකොට නොසිතව පව් පරදාරය නිරයට ඇදගෙන යන එම පාරය.” කියල. 4 මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපි මීට ඉස්සරවෙලා කියපු ශික්ෂා පද තුනම කයින් සිදුවන වැරදි. ඒත් මුසාවාදය වචනයෙන් සිදුවන වැරැද්දක් හෙවත් අකුශලයක් විදිහට තමයි ගැනෙන්නේ. මුසා කියන්නේ බොරු. බොරු කීමෙන් විරමණයට හෙවත් වැලකීමටයි මෙයින් පොරොන්දු වෙන්නේ. මිනිස්සු අප්‍රමාණ බොරු කියනවා. සමහර ළමයිනුත් එහෙම තමයි. යාලුවෝ ගැන, පන්ති වැඩ ගැන, යන එන ගමන් බිමන් ගැන, කන බොන දේවල් ගැන, බොරු කියල කොච්චර නම් දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන්, රවට්ටනවද? ඒත් ඒ බොරුවලින් අන්තිමට රැවටෙන්නේ ඒ අයද නැහැ. තමන්මනේ. බොරු කීම අකුශල කර්මයක් වෙන්ට නම් කාරණා හතරක් සම්පූර්ණ වෙන්ට ඕන. කියන දෙය බොරුවක් වෙන්න ඕන. ඒක ඇත්තක් වගේ කියන්න හිතන්න ඕන. උපක්‍රමයක් යොදන්න ඕන. අසන්නා එය පිළිගන්න ඕන. ඒ බොරු තමන් කිව්වත්, වෙනත් කෙනෙක් ලවා කියෙව්වත් අකුශල කර්මයක් සිදුවෙනවා. ඒ කාරණා තමයි මේ ගාථාවෙන් කියවෙන්නේ
6/9
(වත්ථුතො පරිනාමඤ්ච විසංවාදන මානසා වායමතා පරිඤ්ඤාතා මුසාවාදස්ස චාතුරෝ. ) බොරු කියන එක්කෙනාට ඕනෑම වරදක් කරල, බොරුවක් කියල, එයින් මිදෙන්න පුලුවන්. ඒත් එයාගෙ හිත දන්නවා ඒක බොරුවක් කියල. තමන්ට තමන්ගේ හිත තාවකාලිකව රවට ගන්න පුලුවන්. ඒත් සදාකාලිකව එහෙම කරගන්න බැහැ. ඔහු මහා දුකකට පත්වෙනවා. මෙලොවත් පරලොවත්. මුසාවාදයේ විපාක මේ විදිහට දැක්වෙනවා. ලොකු, පුංචි, ගැහැණු, පිරිමි, හැම දෙනාම එක වගේ බොරු කියනවානේ. ඒක හන්ද හැම දෙනාම මේව දැනගන්න එක හොඳයි. මේ ගාථාව අහන්නකෝ. “දීනෝ විගන්ධ වදනොච ඡලෝ අපඤ්ඤෝ මූගෝ සදා භවති අප්පිය දස්සනොච පප්පාති දුක්ඛමතුලඤ්ච මනුස්ස භූතෝ වාචං මුසා භණති යෝහි අපඤ්ඤ සත්තෝ.” බොරු කියන්නා දීනයෙක් වෙයි. දුර්ගන්ධ මුඛ ඇත්තෙක් වෙයි. ජඩ, නුවණ නැති, ගොළු, විරූප, පුද්ගලයෙක් වීමටද හේතු වෙයි. ඔහුගේ වචනය කිසිවෙකු නොපිළිගනී. කියන අදහසයි එහි තියෙන්නේ. බොරු කාරයා කියලයි කියන්නේත්. අපේ අත්තම්මලා අපට කියල දීල තියෙන්නේ බොරු කියන අය අපායේ ගිහාම යමපල්ලෝ ලෝදිය එයාට පොවනවා, ගිනිගෙන දිළිහෙන යකඩ බෝල කටට ඔබනවා, යකඩ අඬුවලින් දිව ඇදල ගලවනවා කියලයි. එහෙම උනත් නොවුනත් අපි පවට බය උනේ ඒ නිසයි. මුසාවාදා හෙවත් බොරු කීමේ විපාක දැක්වෙන කවියක් ලෝවැඩ සඟරාවේ තියෙනවා. ඒක මෙහෙමයි. “ලැදිව රජෙක් බොරු බස් කී විගසකයා. නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා පොළොව පළාගෙන ගොස් වැටුනි නරකයා මෙලොව සතුනි ඉන් බොරු කීම නරකයා.” ඒකෙන් කියවෙන්නේ මහා බලයක් තිබුණු, අහසෙහි පලක් බැඳ සිටිය හැකි, මුවින් මහනෙල් මල් සුවඳ හමන රජ කෙනෙක් එක් බොරුවක් කීමේ විපාක වශයෙන් ඒ සියල්ල අහිමි කර ගත් පුවතක්. ඒඅපායට ගිහින් තියෙන්නේ එක බොරුවක් කියල. සමහරු කියන බොරුවල තරමට ඔවුන්ට මොනතරම් දුකක් විඳින්ට වෙයිද කියල අපි හිතා ගන්න ඕන. විෂ අඹයක් කනකොට ඒ වෙලාවට රසයක් දැනෙනවා ඇති. ඒත් එහි විපාක දෙනකොට දුකට පීඩාවට පත් වෙන්නේ තමන්මයි. ඒක නිසා දැණුම් තේරුම් ඇති අය ඒ විෂ අඹ බව කීවහම, අවඥාවෙන් බැහැර කරන්න නරකයි. බුදු හාමුදුරුවෝ දවසක් රාහුල පොඩි හාමුදුරුවන්ට කීවා කළයක තිබුණු වතුර සියල්ල ඉවත් කරන්න කියල. ඊට පස්සෙ දේශනා කළා ‘රාහුල බොරු කියන තැනත්තාත් මේ කළය වගේ හිස් මිනිහෙක්’ කියල.
7/9
බොරුවේ උපත චේතිය රජ්ජුරුවෝ කියලනේ කියන්නේ. ඒ නිසා තමයි අදත් බොරු කියන අයට ‘චේතිය රජ්ජුරුවෝ වගේ’ කියල කියන්නේ. බොරුවෙන් බොහෝ දේවල් තාවකාලිකව යටපත් කරන්න පුලුවන්. ඒත් දිය යට ඔබාගෙන සිටින රබර් බෝලයක් මෙන් එය කවදා හෝ ඉහළට මතුවෙනවා. එදාට තමන්ට පීඩාවට ලක්වන්න වෙනවා. ඒ නිසා හැමදෙනාම මුසාවාදයෙන් ඈත් වීම නුවණට හුරුයි. 5 සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. “ඊයෙ පෙරේද දූල පුතාලට සිල්පද ගැන කියල දීපුව තේරුනාද මන්ද.” ලොකු අත්තා ඇහුවා. “තේරුනා ලොකු අත්තේ. ඒත් දහම්පාසැල් පොතේ එච්චර විස්තරයක් නැහැ.” “ඔව් පුතේ, ඒ පොත්වලින් තව කොච්චර දේවල් කියල දෙන්න තියෙනවද. ඒකයි ඒ පොඩි විස්තරයක් දාල තියෙන්නේ.” “ඒක පැත්තකින් තියමුකෝ. අපි අපේ වැඩේට බහිමුකෝ. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාටත් නුසුදුසු දෙයක් විදිහටයි සුරාපානය දක්වා ඇත්තේ. එය පන්සිල් පදවල පස්වැනි ශික්ෂාපදය ලෙසයි සඳහන් වන්නේ.” “මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාපානයෙන් වලකිමි, කියන එකයි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී කියන එකේ තේරුම.” “ ලොකු අත්තේ, බුදු හාමුදුරුවන්ගේ කාලෙත් සුරා තිබිල තියෙනවද.?” “ඔව්, බුදු හාමුදුරුවන් පහළවෙන්ටත් ඉස්සර ඉඳන්ම සුරා තිබිල තියෙනවා. සුර- අසුර යුද්දෙදී සුරා පානය කළ බව සදහන් වෙනවා. නාලාගිරි ඇතාට රා කළ දාසයක් පොවල බුදුහාමුදුරුවෝ ඉස්සරහට යැවුව කියලත් සඳහන් වෙනවා. අපේ ජාතක කතා බොහොමයක සුරා පිළිබඳව සඳහන් වෙනවා. ඒක හන්ද සුරාව කියන එකේ ඉතිහාසය හුඟක් දුරට යනවා.” “ඉස්සරත් දැන් වගේමද අත්තේ සුරා හදා ගත්තේ.?” “ඉස්සර පිටිවලින්, කැවුම්වලින්, බත්වලින්, රා මණ්ඩිවලින්, හා ගෙඩි වර්ග වලින් ඒවා හදාගෙන තියෙනවා. ඒ වගේම මල් ගෙඩි මුද්දරප්පලම්, උක්, අරලු, බුලු, නෙල්ලි, ආදිය යොදාගෙන පෙරාගත් ආසවයනුත් (විවිධ අර්ක) පාවිච්චි කරල තියෙනවා.” “කොහොම නමුත් මදයට හා ප්‍රමාදයට හේතුවන ආකාරයෙන් කෑමක් ලෙස හෝ බීමක් ලෙස හෝ ලේහයක් ලෙස හෝ එන්නතක් මගින් හෝ, දුමක් ලෙස හෝ, යමක් පාවිච්චි කරනවා නම් එය මේ ශික්ෂා පදය කැඩීමට හේතු වෙනවා. අනෙක් හැම ශික්ෂාපදයටම වඩා මේ ශික්ෂාපදය බලවත් වන්නේ එය සිහිය විකල් කරන නිසයි. ඒ විදිහට විකල් වූ සිහිය ඇත්තෙකුට කළ නොහැකි දෙයක් නැහැ. මිනී මරන්න, හොරකම් කරන්න කාමයේ වරදවා හැසිරෙන්න, බොරු කියන්න වගේ ඕනෑම අකුශලයක් කරන්න පුලුවන්. ඒ වගේම තමන්ගේ තරාතිරම, නම්බුව, උගත්කම, නැත්තටම නැතිවෙන්න පුලුවන්. සුරාපානය නිසා අවසානයේ සිඟමනට වැටුනු සිටුවරු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. පාරවල් අයිනේ වැටිල ඉන්න අය අදත් ඉන්නවා. ඒ නිසා සුරාව දුරින්ම දුරු කරන්න ඕන. “එහෙනම් ලොකු අත්තේ, අදත් ඔය හැම තැනම මත්පැන් විකුණන්න තියෙන්නේ.” “ඔව් පුතේ, හැම ආන්ඩුවක්ම තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදිහට තෝරාගෙන තියෙන්නේ මත් පැන් වෙළදාම. බුදු හාමුදුරුවෝ තහනම් කරපු වෙළදාමක් ඒක. හැමතැනම එහෙම තිබුණ කියල මිනිස්සු ඒවයේ ඇලෙන්න නරකයි.
8/9
“ඒත් අත්තේ, මඟුලක්, මරණයක්, විතරක් නෙවේ, දානයක්, පිරිතක්, උපන් දිනයක් උනත්, වෙනත් උත්සවයක් උනත්, අරක්කු නැතුවම බෑනේ.” “ඇත්ත පුතේ, ඉස්සර රා ටිකක් බීවේ හැංගිලා. ඒත් අද ඒක වෙනස් වෙලා. මොනව කළත් තිරිත්තුවකට කරන්න කියල අපේ අප්පච්චිල පුංචි කාලෙ අපිට කියල දීල තියෙනවා.” “මොකක්ද අත්තේ තිරිත්තුව කියන්නේ?.” “පිළිවෙලකට පුතේ. කන බොන එකේ උනත් පිළිවෙලක්, ප්‍රමාණයක්, තියෙන්න ඕන. ඒකයි ඒ.” “ඉතිං අත්තේ තමන්ට සල්ලි තියෙනව නම් රා අරක්කු අරන් බීපුවහම මොකද වෙන්නේ.?” “මොකුත් වෙන්නෙ නැහැ පුතේ. එයා විතරක් ලෝකේ තනියම ඉන්නවා නම්. මහ කැලෑවේ තනියම ඕන දෙයක් කරගත්තට අපිට මොකෝ. ඒත් දරු මල්ලෝ ඉන්න අය, හම්බකරගත්තු දේ මත් වතුර බොන්නම වියදම් කළාම දරුපැටව්, ගැහැනු දරුවෝ, ජීවත් වෙන්නේ කොහොමද?. දැන් පේනවා නේද අලුත් අලුත් මත් වන දේවල් පාවිච්චි කරන්න පටන්ගෙන වෙලා තියෙන විනාසේ. ගෙදරක බඩුවක් මුට්ටුවක් තියා ගන්න බැහැ. ගැහැනු ළමයෙකුට පාරෙ යන්න බැහැ. හම්බකරපු මුලු සේසතම විනාශ වෙලා. ඒ මදිවට ඒ හැමදෙනාම ලෙඩ්ඩු වෙලා.” “ඒකනම් ඇත්ත ලොකු අත්තේ.” “අපේ බුදුහාමුදුරුවෝ සුරාපානයෙහි ආදීනව මෙහෙම කියල තියෙනවා.” “උම්මත්තකා විගත ලජ්ජ ගුණා භවන්ති දීනා සදා ව්‍යසන සෝක පරායනාච ජාතා භවෙසු විවිධෙසු විරූප දේහා. පීත්වා හලාහල විසංව සුරා විපඤ්ඤා.” ( හලාහල විෂයක් වැනි සුරා පානය කිරීමෙන්, උන්මන්තක, ලජ්ජා රහිත, ගුණ හීන, දීන, හැමදාම ලෙඩ රෝගවලින් යුතු, විරූප ශරීර ඇති අය බවට පත්වෙන බව එහි සඳහන් වෙනවා.) “පුතාලට මතක ඇති සිගාලෝවාද සූත්‍රයේත් සුරාවෙහි ආදීනව හයක් පෙන්නල දීල තියෙනවා. ඒව ඉස්කෝලෙදිත් කියල දෙනවනේ. එතකොට තව විස්තර කරල දේවි.” “එතකොට අත්තේ දුම් බීම?” “අසනීපයකට බෙහෙතක් විදිහට, දුම් බීම විතරක් නෙවෙයි, මත්වන දේත් වෙද මහත්තුරු නිර්දේශ කරල තියෙනවා. අදත් පාවිච්චි කරනවා. ඒකේ වරදක් නැහැ. ඒ හැර මත්වි මොළය අවුල් කරගන්න කිසිම මත්පැන් වර්ගයක් හෝ, දුම් වර්ගයක් හෝ, ලේහයක් හෝ වෙනත් ආකාරයකින් ශරීර ගත කිරීමක් හෝ කරන්න හොඳ නැහැ. එහෙම කළොත් එයාගේ මෙලොව පරලොව දෙකම විනාශයට පත් වෙනවා.” “ලොකු අත්තට ගොඩාක් පින් අපිට මේව කියල දුන්නට.” ළමයි හැමෝම කීවා
9/9