උයන්වත්ත පුරාණ විහාරය. රංගිරි දඹුල්ල රජමහ විහාරයට සම්බන්ධ තේවා පන්සල් සතරක් තිබෙන බව මීට කලින්ද සඳහන් කළෙමි. ඉන් එකක් වන්නේ ‘උයන්වත්ත පුරාණ පන්සල’යි. තේවා පන්සල් සතරම මුල් අවධියේ පැවැත්තේ ලෙන් විහාරයට බටහිර බෑවුමෙහි, ලෙන් විහාර ආශ්‍රිතව ඉහළ පන්සල, මැද පන්සල, හා පහළ පන්සල, වශයෙනි. ඉන් ඉහළ පන්සල අද ‘රංගිරිපාය’ නමින් වෙනම තැනක ස්ථාපිතයව තිබේ. පහළ පන්සල ලෙස හැදින්වූයේ පොතුහැර රතනපාල මහානායක හිමියන්ගේ ශිෂ්‍යභාවයට පත්, නිකවල ඉන්දජෝති හිමිපාණන් සිටි පන්සලය. එයත් පැවතියේ වර්තමාන වළගම්බා පිරිවෙන ආසන්නයේමය. නිකවල ඉන්දජෝති හිමියන්ට ශිෂ්‍යයන් වහන්සේලා දෙදෙනෙක් වූහ. ඒ නිකවල ආනන්ද හිමි, හා මුරුතොලුවේ ගුණරතන යන හිමිවරුය. මේ දෙදෙනාද සිටියේ අනෙක් ස්වාමින් වහන්සේලා සමග මැදපන්සල් පරිශ්‍රයේමය. එහෙත් 1840 දී උන් වහන්සේලා දෙනම ලෙන් විහාරයට නැගෙනහිර පැත්තෙන් වූ ‘උයන්වත්ත’ නමැති ඉඩමෙහි ආරාම සකස් කර ගත්හ. එකල එය ‘වරාවත්ත’ නමින්ද හැදින්වින. ඒ නිසා මෙයට ‘උයන්වත්ත පන්සල’ හා ‘වරාවත්ත පන්සල’ යන නම් දෙකම පැරැන්නෝ භාවිතා කළහ. උයන්වත්තට පැමිණි සහෝදර ස්වාමින් වහන්සේලා දෙනමගෙන් මුරුතෝලුවේ හිමියන් කල් ඇතුව පන්සලේ වැඩ අවසන් කර එහි වැඩවිසූ නිසා, එයට ‘උයන්වත්ත පුරාණ විහාරය’ යන නම භාවිතා කරන ලදී. අද දක්වාම උයන්වත්ත පුරාණ විහාරය ලෙස එය හඳුන්වන්නේ එහෙයිනි. මුරුතොලුවේ ගුණරතන හිමියන්ගෙන් පසුව, හල්මිල්ලවැවේ ධම්මදස්සි හිමියන්ද, ඉන්පසුව හල්මිල්ලවැවේ ජිනරතන හිමියන්ද, මෙහි විහාරාධිපතිත්වයට පත්විය. වර්තමාන විහාරාධිපති තනතුර හොබවන හල්මිල්ලවැවේ පේමරතන හිමියන්, ජිනරතන හිමියන්ගේ ශිෂ්‍යයෙකි. උයන්වත්ත පුරාණ විහාරය පිහිටි ස්ථානය ගැන කෙනෙකුට ගැටලුවක් ඇති විය හැකිය. ඔබ කවුරුත් දන්න ධර්මචක්‍ර මහා ප්‍රතිමාව පිහිටා ඇත්තේ ‘උයන්වත්ත රජ මහ විහාර’යේය. උයන්වත්ත රජමහ විහාරය හා ‘උයන්වත්ත පුරාණ විහාරය’ වෙන්වී ඇත්තේ තාප්පයකිනි. තාප්පයේ දෙපැත්තේ වෙනස ඔබ අත් විදින්න. උයන්වත්ත පුරාණ විහාරය, 2016 දී ගිනිගෙන විනාශයට පත්විය. ඒ වනවිටත් ශිෂ්‍යයන් වහන්සේලා රැසක් එහි සිටියහ. නමුත් උන් වහන්සේලා කිසිවෙකුටත් කරදරයක් නොවීම වාසනාවකි. බොහෝ දෙනාගේ උපකාර මත එය ඉදිවෙමින් පවතී. දැනට වසර පහක්ම එහි ඉදි කිරීම් අවසන් කරගත නොහැකිව විහාරාධිපති හිමියෝ වෙහෙසෙති. බොහෝ දෙනා බොහෝ තර්ක ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඒවා ක්‍රියාත්මක වීමේදී ප්‍රායෝගික ගැටලු මතුවේ. එම නිසා ගරු ස්වාමින් වහන්සේට එහි කටයුතු අවසන් කරගැනීමට උපකාර කිරීම දානපතියන්ගේ යුතුකම වෙයි. ගැමියන් මේ විහාරස්ථාන දෙකම එක ළග පිහිටීම නිසා ඒවා හදුන්වන්නේ එහි එවකට සිටින විහාරාධිපති හිමියන්ගේ නමිනි. ඒ අනුව එකක් ‘සුමංගල පන්සලය’. අනෙක ‘පේමරතන පන්සලය’. අපි මේ කතා කරන පන්සලට ගැමියන් කියන්නේ ‘පේමරතන පන්සල’ කියාය. ‘දඹුල්ල නගරය’ ග්‍රාමසේවා වසමටත්, දඹුල්ල මහනගර සීමා බල ප්‍රදේශයටත්, අයත් මෙම විහාරස්ථානය, අස්ගිරි විහාර පාර්ශ්වයට අයත් වේ. මෙහි විහාරාධිපති ස්වාමින් වහන්සේ ඇතුලු සාමණේර භික්ෂූන් වහන්සේලා 12 නමක් වැඩ වාසය කරති. එහි ‘ජිනරතන සාමණේර ආයතනය’ නමින් සාමණේරයන් වහන්සේලාගේ පුහුණුව ලබාදෙන ආයතනයක් තිබේ. මුල් කාලයේදී විහාරස්ථානයේ නඩත්තුව නිසි පරිදි කරගෙන යාමේ අපහසුව නිසා කුඩා සාමණේරයන් වහන්සේලා පිණ්ඩපාතයෙහිද වැඩියහ. එහෙත් දැන් ඒවා නවතා දමා ඇත.
1/2
වැඩි දුර අධ්‍යාපනය ලැබීම සදහා කුඩා ස්වාමින් වහන්සේලා වෙනත් ස්ථාන කරා යාම නිසා, නායක ස්වාමින් වහන්සේ විවිධ දුෂ්කර තාවයන්ට මුහුණ දෙති. එහෙත් ඒ සියල්ල උන් වහන්සේ උපේක්ෂාවෙන් විඳ දරාගෙන කටයුතු කරන්නේ අනාගත අභිවෘර්ධිය වෙනුවෙනි. එහි සාර්ථක ප්‍රතිඵල දැන් අත් වෙමින් තිබේ. උන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා කීපනමක් ආයතන භාරගෙන, දායකයන්ගේ ශුභසිද්ධිය ඉටු කරමින් සිටිති. දරුවන් උසස් ස්ථාන කරා ගියවිට සතුටු වන දෙමාපියන් මෙන් උන් වහන්සේ ඒ දෙස බලා සතුටු වෙති. ගරු විහාරාධිපති පේමරතන නායක ස්වාමින් වහන්සේ කරන තවත් සමාජ සත්කාර්යයක් මෙහිදී සදහන් කළ යුතුමය. එනම් අසරණ දරුවන්ට රැකවරණය දීම සදහා ‘ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්’ පවත්වාගෙන යාමය. ඒ දරුවන්ගේ සියලුම අවශ්‍යතාවයන් උන්වහන්සේ දානපතියන්ගේද උපකාර ඇතිව පවත්වාගෙන යති. පරිවාස හා ළමා ආරක්ෂණ අධිකාරියේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන ගියත්, එය ඉතා භාර දූර කර්තව්‍යයකි. ඔවුගේ නේවාසික පහසුකම්, උදේ දිවා රාත්‍රී ආහාර පාන පහසුකම්, අධ්‍යාපන පහසුකම්, ඇඳුම්, ලෙඩ දුක්වලට බේත් හේත්, ජලවිදුලි බිල්පත්, කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුගේ දීමනා, හා වෙනත් අවශ්‍යතාවයන් සියල්ලක්ම සම්පූර්ණ කළ යුතුය. නිසි ස්ථීර ආදායම් මාර්ගයක් නැතත්, උන් වහන්සේ ඒ කාර්යයෙහි නිරත වන්නේ ඉමහත් කැපවීමෙනි. සතුටිනි. කිසිවිටෙක එය බරක් සේ නොසලකති. අක්කර දහයක පමණ කුඹුරු ඉඩමෙන් හා දඹුලු විහාරයේ තේවාව සදහා උනවහන්සේට ලැබෙන දීමනාවන් සියල්ල වැය කරන්නේ මේ කාර්යයන් සදහාය. මේ දහසක් වැඩ රාජකාරි මධ්‍යයේ උන් වහන්සේ දඹුල්ල සාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ලෙසද විශාල කාර්ය භාරයක් ඉටු කරති. සංඝාවාසයේ යටි මහල වැඩ අවසන් කර කුඩා ස්වාමින් වහන්සේලාගේ නවාතැන් පහසුව සදහා වෙන්කර ඇත. උන් වහන්සේ, ගරාවැටුණු පරණ ශාලාවේ කාමරයක වැඩ වාසය කරති. එක් එක් අය සතුටු වන්නේ විවිධාකාරයෙනි. අනුන්ගේ කදුළු පිසදමා තමන් දුක් විදිමින් සතුටු වන පිරිස් ඇත්තේ අඩුවෙනි. හල්මිල්ලවැවේ පේමරතන හිමිපාණන් වහන්සේ එවැන්නෙකියි මට සිතේ. උන් වහන්සේගේ ධර්ම ශාලාවේ නවාතැන් ගන්නා වන්දනා නඩ හා එහි පැමිණෙන වාහනවලින් සුලු මුදලක් අයකර, විහාරස්ථානයේ අඩු පාඩු සම්පූර්ණ කර ගැනීමට උන් වහන්සේ පුරුදු වී සිටියත්, දැන් වසර දෙකක් තිස්සේ ඒ ආදායම් මාර්ගයන්ද ඇහිරී ඇත. කෙසේ වෙතත් උන් වහන්සේගේ ජීවිත කාලය තුළදී සංඝාවාසයේ කටයුතු අවසන් කර, අනෙක් ආරාමවල මෙන්ම අංගසම්පූර්ණ විහාරයක්, දාගැබක්, දානශාලාවක්, හා අනෙකුත් යටිතල පහසුකම් වලින් පරිපූර්ණ විහාරස්ථානයක් බවට පත් කරගැනීමේ භාග්‍යය උදාවේවායි ඉත සිතින් පතමි. දඹුලු ලෙන් විහාරයේ පශ්චිම විහාරයේ තේවා කටයුතු භාරව ඇත්තේ උයන්වත්ත පුරාණ විහාරස්ථානයටයි. විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ හෝ උන් වහන්සේ විසින් නම් කරනු ලබන ස්වාමින් වහන්සේ නමක් විසින් දිනපතාම එහි තේවා කටයුතු සිදු කරනු ලබයි.
2/2