රංගිරි දඹුලු උයන්වත්ත රජමහ විහාරය. දඹුල්ලට පැමිණෙන හැමදෙනාම ඉතාමත් ගෞරවයෙන් වන්දනා මාන කරන, කාගෙත් නෙත් සිත් පිනවන, ධර්මචක්‍ර මහා ප්‍රතිමාවහන්සේ වැඩ වාසය කරන, ‘ගෝල්ඩන් ටෙම්පල්’ හෙවත් ‘උයන්වත්ත රජමහා විහාරය’ ගැනයි අද අපි කතා කරන්නේ. උයන්වත්ත රජමහ විහාරය පිහිටලා තියෙන්නේ දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් දඹුල්ල මාතලේ මහා මාර්ගය ආසන්නයේය. එහි විහාරාධිපති ස්වාම්න් වහන්සේ වන්නේ, සියම් මහ නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ, ශ්‍රීමත් මහානායක අතිපූජ්‍ය, ආචාර්ය පණ්ඩිත ඉනාමලුවේ ශ්‍රී සුමංගලාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. එහි විහාරාධිකාරී පදවිය හොබවන්නේ ශ්‍රි සීගිරි කාශ්‍යප පිරිවෙනේ පරිවෙණාධිපති ආචාර්ය දානියගම ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේය. උයන්වත්ත රජ මහ විහාරය යනු රංගිරි දඹුලු රජ මහ විහාරයේ තේවා පන්සල් හතරින් එකකි. එයට භාරව ඇත්තේ ලෙන් විහාරයට අයත් ‘දෙව්රජ විහාරයේ’ තේවා කටයුතු කිරීමටය. උන් වහන්සේලා දිනපතා ඒ සඳහා සහභාගි වෙති. ක්‍රි. ව. 1780 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පොතුහැර රතනපාල නායක හිමිපාණන්ට දඹුලු විහාරයේ අයිතිය සන්නස් මාර්ගයෙන් පවරා දී ඇත. එහි සඳහන් වන්නේ උන් වහන්සේගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට ඉන්පසු විහාරයේ කටයුතු භාරකරන බවයි. ඒ අනුව පොතුහැර පරම්පරාවේ භික්ෂූන් වහන්සේලා දඹුලු විහාරයේ බටහිර බෑවුමෙහි ගල්ලෙන් ආශ්‍රිතව වැඩ වසමින් විහාරයේ තේවා කටයුතු කරමින් පැමිණියහ. උන්වහන්සේලා වැඩ සිටි ස්ථානවල පිහිටීම අනුව, ඉහළ පන්සල, මැද පන්සල, හා පහළ පන්සල යනුවෙන් ඒ ආරාම භාවිතා විය. 1840 දී පමණ ඉංග්‍රීසීන් විසින් මහනුවර යාපනය මාර්ගය ඉදි කිරීමෙන් පසුව, දඹුලු විහාරයේ බටහිර බෑවුමෙහි සිටි විහාර තේවා පන්සල් අතරින්, පහළ පන්සලේ භික්ෂූන් වහන්සේලා නව මහා මාර්ගය අසල පිහිටි උයන්වත්ත නම්වූ පරවේණි ඉඩමක ආවාස දෙකක් සාදා ගත්හ. ඉන් එක් විහාරස්ථානයක් වන්නේ මෙම උයන්වත්ත රජ මහ විහාරස්ථානයයි. අනෙක් විහාරස්ථානය වන්නේ ඒ ආසන්නයේම ඇති උයන්වත්ත පුරාණ විහාරස්ථානයයි. පොතුහැර රතනපාල මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය, නිකවල ඉන්දජෝති හිමිපාණන්ගේ ශිෂ්‍යයෙකු වූ, නිකවල ආනන්ද හිමිපාණන් වහන්සේ උයන් වත්ත රජමහා විහාරස්ථානයේ ආරම්භකයා ලෙස සදහන් කළ හැකිය . ඉන් පසු ඉනාමලුවේ සුමංගල(1) හා දානියගම ශ්‍රී ආනන්ද හිමි යන ස්වාම්න් වහන්සේලා මෙහි විහාරාධිපතිත්වයට පත් වූහ. මෙම විහාරස්ථානයෙහි ඇති ශෛලමය ප්‍රතිමා වහන්සේ ස්ථාපිත කරන ලද්දේත්, ධර්ම ශාලාව ආරම්භ කරන ලද්දේත් දානියගම ආනන්ද නායක හිමිපාණන් වහන්සේ විසිනි.(1958) වර්තමාන විහාරාධිපති, ශ්‍රීමත් ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ දානියගම ශ්‍රී ආනන්ද නායක හිමිපාණන්ගේ ශිෂ්‍යයෙකි. උයන්වත්ත රජමහ විහාරස්ථානය අද මෙම තත්වයට ගෙන එන ලද්දේ වර්තමාන විහාරාධිපති අති පූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේ විසින් බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය. උන් වහන්සේ විසින්
1/2
විහාරස්ථානයේ අභිනවයෙන් අඩි 70 ක් උස චෛත්‍ය රාජයාණන් වහන්සේ නිර්මාණය කරන ලදී. අඩි 100 ක් උස ධර්ම චක්‍ර ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලදී. අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් වඩම්මවාගෙන විත්, අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලේගම ශ්‍රී සුමන ඥාණරතනාභිධාන නායක ස්වාමින් වහන්සේ ලවාම රෝපණය කරවන ලද්දේත්,( 1981) සතරමහා දේවාලය ස්ථාපනය කරන ලද්දේත්, ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ විසින්මය. බුද්ධඝෝෂ දහම් පාසැල ආරම්භ කර වර්ධනය කරන ලද්දේද, පිදුරංගල පැවැති සීගිරි කාශ්‍යප පිරිවෙන මෙම ස්ථානයේ පිහිටුවන ලද්දේද, පුස්තකාලයක්, කාර්මික විද්‍යාලයක්, ගුවන්විදුලි නාලිකාවක්, රූපවාහිනී නාලිකාවක්, වෙබ් පිටුවක්, හා නවීන තාක්ෂණයෙන් යුත් සන්නිවේදන මධ්‍යස්ථානයක් බවට විහාරස්ථානය පත් කළේ වර්තමාන මහානායක ස්වාමීන් වහන්සේය. උන් වහන්සේ කළ සේවය වෙනම පිටුවක අගැයීමට ලක් කරනු කැමැත්තෙමි. සියම් නිකායේ දඹුලු පාර්ශ්වයේ මූලස්ථානය වන්නේ උයන්වත්ත රජමහ විහාරයයි. රංගිරි දඹුලු පාර්ශ්වයේ භික්ෂු උපසම්පදා කර්ම හා භික්ෂුණී උපසම්පදාව සිදු කරනු ලබන්නේද උයන්වත්ත රජමහ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන, තදනුබද්ධව ඇති උපෝෂථාඝාරය තුළදීය. රංගිරි දඹුලු විහාරයේ ජාත්‍යන්තර සලකුණ බවට පත් වී ඇත්තේ උයන්වත්ත රජමහ විහාරය වන තරමට එය දෙස් විදෙස්හී ප්‍රචලිතය. දඹුල්ල ග්‍රාමසේවා නිළධාර් වසමට අයත් එය 05 /06//027/ යටතේ බෞද්ධ කටයුතු පිළිබද අමාත්‍යාංශයෙහි ලියාපදිංචි වී තිබේ. සක්‍රීය දායක සභාවක් පවත්නා අතර විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සෑම වෙසක් පුර පසලොස්වක දිනයකදීම උඩ පහත නැටුම් හා අලි ඇතුන් සහිත මහා පෙරහැරක් පවත්වනු ලැබේ. එය ප්‍රදේශයට ගෙන දෙන්නේ මහත් ආලෝකයකි. මහවැලි ගොවි ජපදවලින් ලැබෙන අලුත් සහල් මංගල්‍යය සෑම වර්ෂයකම පවත්වනු ලබන්නේද උයන්වත්ත රමහ විහාරස්ථාන භූමියේ ධර්ම චක්‍ර ප්‍රතිමා වහන්සේ අභිමුවදීය. ඊට පෙර රංගිරි දඹුලු රජ මහ විහාරස්ථානයේ සියලුම ප්‍රතිමා වහන්සේලාට කිරිපිඩු පූජා කිරීමේ පිංකමට තේවා පන්සල් සතරේම භික්සූන් වහන්සේලා සහභාගි වෙති. දඹුලු රජ මහා විහාරය කේන්ද්‍රකරගෙන සෑම වර්ෂයකම පවත්නා සියලුම මංගල්‍යයන් සදහා උයන්වත්ත රජමහා විහාරයේ සහභාගිත්වය ලැබෙන අතර සෙසු විහාරස්ථාන සමග සහයෝගීතාවයෙන් කටයුතු කරනු ලබයි. දේශ දේශාන්තරයන්හී සම්මානනයට පත්, ඓතිහාසික වශයෙන් මෙන්ම, පුරාවිද්‍යාත්මක වශයෙන් හා සෞන්දර්යාත්මක වශයෙන් සුවිශේෂී වූ, රංගිරි දඹුලු රජ මහ විහාරස්ථානයට නව ආලෝකයක් ගෙන දෙන, ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේට චිර ජීවනය පතන අතරම, උයන්වත්ත රජමහා විහාරය කේන්ද්‍රකරගෙන පවත්තා සත්කාර්යයන් තවතවත් ඉදිරියට ගෙනයාමට විහාරාධිකාරි සියම් මහනිකායේ දඹුලු පාර්ශ්වයේ අනුනායක දාන්‍යගම ආනන්ද ස්වාමින් වහන්සේටත්, දායක සභාවටත් හැකිවේවායි පතමි.
2/2