සුදාරිකා නංගී පස්සෙන් පන්නාගෙන ආවා. අත්තම්මා මේ දෙස බලාගෙන සිටියේ නොමනාපයෙන්. “මෙහාට වරෙන් සුදාරිකා.” අත්තම්මා සුදාරිකාට කතා කළා. “ඇයි අත්තම්මේ.” සුදාරිකා දිවිල්ල නවත්තලා අත්තම්මා ළඟට යමින් ඇහුවා. “උඹ දැන් ළමිස්සියක් නේද? ඔහොම දුවන්ට හොඳද?” “ඇයි අත්තම්මේ.” සුදාරිකා අත්තම්මගෙ මුහුණ දිහා බලලා හෙමින් ඇහුවා. “කෙල්ලේ, උඹ දැන් ළමිස්සියක්. ළමිස්සියක් ඔය වගේ ගාල ගඩා ගත්තු හරකා වගේ දුවන්නේ නැහැ.” සුලෝචනාත් එතැනට කිට්ටු උනේ අත්තම්මා අක්කාට මොනවදෝ කියන බව හැඟුනු නිසා. සුලෝචනා කියන්නේ සුදාරිකාගේ නංගී. “උඹත් වරෙන් මෙහාට. මේක උඹත් අහගත්තට කමක් නැහැ.” අත්තම්මා සුලෝචනාටත් එතැනට කතා කළා. “ඇයි අත්තම්මේ.” සුලෝචනාත් එතෙන්ට එමින් ඇහුවා. “මෙහාට වරෙන්. මම දැන් දවස් කීපෙකම ඉඳල උඹල දෙන්නට කියන්න හිටියේ. උඹල දෙන්නගෙ නැටිල්ල ගැන. මේ ලොකු එකී නෑම්බියක් වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා. උඹත් අදද හෙටද කියල නැහැ.” “ඉතිං අත්තම්මේ.”? “ ඉදහං මං කියනකං. උඹල අහල තියෙනවද විසාඛා ගැන.” “ඔව් අත්තම්මේ. සුවඳරත්න මාමලාගේ දුවනේ.” “අහවල් සුවඳරත්නයෙක්. මම මේ කියන්නේ ඒකි ගැන නෙවෙයි. බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටිය විශාඛා මහෝපාසිකාව ගැන. අර මහලිය පළඳනාව එහෙම ලැබුනයි කියන්නේ”. “ඔව්. ඉතිං අත්තම්මේ.?” “ඔය විශාඛා ළමිස්සි කාලෙ, අනෙක් යාලුවොත් එක්ක එළිමහනක සෙල්ලම් කර කර හිටියලු. එකපාරටම මහා වැස්සක් කඩාගෙන වැටුනලු. එතකොට එයාගේ යාලුවෝ ඔක්කොම වැස්සෙන් බේරෙන්න ආවරණයක් තිබිච්ච තැනකට දුවන්ට පටන් ගත්තලු. ඒ උනාට විශාඛා දුවගෙන යන්නේ නැතුව වැස්සේ තෙමි තෙමී හෙමීට හෙමීට මඬුව ළඟට ගියාලු.” “ඉතිං එයාට එච්චරටම තෙමෙන්ට ආසයි නම් හිටපු තැනම තෙමි තෙමී ඉන්ට තිබුනනේ.” “නංගී ඔයා කට පියා ගන්නකෝ. අත්තම්මා කියන්නේ මොකක්ද අහන්න.” “ඔය මඬුවේ හිටියලු ඉලංදාරියෙකුට මනමාලියක් හොයන්න යන කාංඩෙකුත්. ඒ අය මේ ළමයා ආපු විදිහ දැකල ඇහුවලු, ‘මේ අනික් හැම දෙනාම වැස්සෙන් බේරෙන්න දුවගෙන ආවා. ඇයි ඔය ළමය විතරක් වැස්සේ තෙමි තෙමී හෙමිහිට ආවේ’ කියල. ‘ඔය ළමය කසාද බඳින එක්කෙනානම් හරි අමාරුවක වැටෙන්නේ. උදේ වතුර කළයක් ගේන්න ළිඳට ගියොත්, ඔය විදිහට ගිහින් හවස තමයි ආපහු එන්න වෙන්නේ’ කියලත් කිව්වලු. “ඉතිං ඇත්තනේ.” එතකොට ඒ විශාඛා දරුවා කීවලු, ‘මේ ලෝකෙ දුවන්න නොසුදුසු හතර දෙනෙක් ඉන්නවාය කියල. රාජාභරණයෙන් සැරසුණු රජ්ජුරුවෝ සලුව කරට අරගෙන මාළිගා අංගනයේ සෙබලෙකු වගේ දුවනවානම්
1/2
ඒක ගැලපෙන්නේ නැහැ. පූජක වරයෙක් ගමේ කොල්ලන් දුවන්නා වගේ චීවරය අතින් උස්සගෙන මහ මග දුවනවා නම් ඒක ගැලපෙන්නේත් නැහැ. සර්‍වාභරණයෙන් සැරසුණු මංගල හස්තියෙක් වල් අලියෙක් වගේ දුවනවා නම් ඒක ගැලපෙන්නේත් නැහැ. ඒ වගේම තමයි කුල කාන්තාවක් පිරිමියන් වගේ දුවනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ’ කියල ඒ ළමය උත්තර දුන්නලු. “ඒව ඒ කාලෙට ගැලපුනාට අදට ගැලපෙන්නේ නැහැ අත්තම්මේ.” සුලෝචනා කීවා. “ඔය දරුවා කොහොමද එහෙම කියන්නේ. හෙට අනිද්දා දීගතල දෙන්න ඉන්න ළමිස්සියක් දුවල අතපය කඩාගත්තොත් කවුද ඒ ගෑනීව කසාද බඳින්නේ. මුලු ජීවිත කාලෙම තනියම විඳවන්නයි වෙන්නේ.” “එතකොට අත්තම්ම කියන්නේ ගැහැණු ලමයි දුවන්න හොඳ නැහැ කියලද.?” “ ඔව්.” “එතකොට ඔය ඉස්කෝලෙ ක්‍රීඩා තරග තියෙද්දී ගෑණු ළමයි දුවන්නේ . සුසන්තිකා දුවල රටට පදක්කමකුත් ගෙනාවේ. අපේ ආශා අක්කා දුවල සමස්ත ලංකා වෙනකල් ගිහින් පදක්කම් කීයක් දිනුවද.” “ඒක තරඟයක්. ඒ වෙලාවට ඒක කරන්න ඕන. නාන වෙලාවට දියරෙද්දක් ඇඳ ගත්තා කියලා හැමවෙලාවෙම දිය රෙද්දක් ඇඳන් ඉන්න ඕන නැහැනේ. අත්තම්මා කිව්වා. “අත්තම්මි කියන විදිහට අපිට ගැහැණු ළමයි හින්දා මොකුත්ම කරන්න වෙන්නේ නැහැනෙ.” “මං කියන්නේ එහෙම එකක් නෙවෙයි. ළමයි සෙල්ලම් කරන්න ඕන. ඒක ඒ වයසට ඕන දෙයක්. ඒත් ගැහැනු ළමයින්ට අයිති චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. සකසුරුවම් තියෙනවා. එහෙම නැති උනොත් ළමිස්සියන් නැට්ටුක්කාරියන් විදිහට තමයි සලකන්නේ.” “ඒ අත්තම්මලාගේ කාලේ අත්තම්මේ. අද ගොඩක් වෙනස්. එහෙම ගුලිවෙලා හිටියොත් ඒ අය කොන් වෙනවා. අත්තම්මලාගේ කාලෙට වඩා ඇඳුම් පැළඳුම් ආයිත්තම් විතරක් නෙවෙයි, ගමන බිමනත් වෙනස්. කතා බහත් වෙනස්.” සුලෝචනා කීවාය. “ දැන් එතකොට උඹල කතා කරන්නේ කටෙන් නෙවෙයි වෙන තැනකින්ද? උඹලට කියනවට වඩා හොදයි කට ගලේ උලා ගන්න එක.” අත්තම්මා කීවාය. “අත්තම්මේ, ඉස්සරට වඩා ලෝකය වෙනස්වෙලා තියෙන්නේ. පිරිමි කරන හැම රස්සාවක්ම අද ගැහැනු අයත් කරනවා. හමුදාවේ පොලිසියේ විතරක් නෙවෙයි ගුවන්හමුදාවේ වැඩ කරන අයත් ඉන්නවා. අභ්‍යවකාශයට ගිය කාන්තාවනුත් ඉන්නවා. හරි හරියට කැත්තේ උදැල්ලේ විතරක් නෙවේ, වඩු වැඩ මේසෙන් වැඩ රියදුරු වගේ රැකියා කරන අයත් ඉන්නවා. අනෙක් එක රෑ දාවල් කියල නිකම් ඉන්න බැහැ. රාජකාරි වැටිච්චි වෙලාවට වැඩ කරන්න වෙනවා. දැන් තියෙන්නේ ජීවත් වෙන්න යුද්ධයක්. ඉස්සර ගෙදර මනුස්සයා කන්ට හොයල දෙනකල් ගැහැනු කෙනා ගෙදර වැඩ පල කරගෙන හිටියා. අද එහෙම බැහැ අත්තම්මේ.” සුලෝචනා කීවාය. “ඔහෙප්පලයං.” අත්තම්මා කීවාය. “අත්තම්මට එහෙම කියන්න එපා නංගී.” සුදාරිකා කීවාය. “නා කපනා වැහි වැටෙන වෙලේ විශාඛා තොමෝ පැමිණි විලාසෙන් මට ඉන්නට බෑ නිසංසලේ” කියමින් සුලෝචනා සිනාසී එතැනින් නැගිටලා ගියා. “අබුද්දස්ස කාලේ.” අත්තම්මා ඒ දෙස කණගාටුවෙන් බලා සිට කීවාය.
2/2