“පවුල පන්සලට දෙනවා කියන්නේ මොකක්ද? පුලුවන්නම් කියනවා බලන්න.” ලොකු දුව දෙවැනියාගෙන් විමසුවාය. “හැමදාම බොන මිනිහෙක් කීවලු එයාගෙ පවුල හැමදාම පන්සල් යන හින්ද පන්සලටම දෙනවා කියල ඒකනේ” “කෙහෙම්මල. පවුල කියන එකේ තේරුම හිතනවකෝ.” “පවුල කියන්නේ ගෑනිට. නැත්තම් ගැනියි මිනිහයි දරුවොයි ඔක්කොටෝම.” තව? “තව මොනවද?” “පවුල කියන්නේ පවුලට.” “නැහැ පවුල කියල පාංශුකූල සිවුරටත් කියනවා. ඉස්සර හාමුදුරුවරු පාවිච්චි කලේ මිනී ඔතාපු රෙදිවලින් මහගත්තු සිවුරු. රෙදිවලින් ඔතල තමයි අමු සොහොනට ගිහින් දැම්මේ.” “අමු සොහොන කියන්නේ?” “ඉස්සර මිනිස්සු වල දැම්මෙ අඩුවෙන්. කෙනෙක් මැරුනම මහ කැලේට අරන් ගිහින් දාල ආවා. සොහොන් පිටිය තිබුනෙත් මහ කැලේ. අමුවෙන්ම මිනී ගිහින් දාපු හින්ද තමයි අමු සොහොන් පිටිය කීවේ. ඉතින් මිනී කුණුඋනා කියල ගමට ගඳක් ආවෙත් නැහැ. සමහර මිනිස්සු මිනී ඔතාපු ඒ රෙදි ගලවගෙන ඇවිත් හාමුදුරුවන්ට පූජා කළා සිවුරු මහ ගන්න. ඒක මැරිච්චි කෙනාටත් පිං සිද්ධවෙන දෙයක්නේ.” “දැන් එහෙම කරන්නේ නැහැනේ.” “ඔව්, ඒක සංකේත කරන්න තමයි මැරිච්චි වෙලාවට සුදු රෙදි කෑල්ලක් හාමුදුරුවන්ට පූජා කරන්නේ . කවුරුවත් ඒක පාවිච්චි කරන්නේ නැහැ. පන්සලටම පූජා කරනවා. ඒක තමයි ‘පවුල පන්සලට දෙනවා’ කියන්නේ.” “.පවුල් පෙරව භික්ෂූහු පිළිවෙලින් පිඩු පිණිස වැඩියහ.” කියල පරණ පොත්වලත් තියෙනවා. “එහෙනම් අපිත් පවුලක් පන්සලට දෙමුද?” දෙවැනියා ඇහුවා. “තමුසෙගෙ කැමැත්තක්.” ලොකු දුව කීවා
1/1