“අක්කි පුලුවන්නම් කියනවා බලන්න වනවලා කියන හාමුදුරුවරු කවුද කියලා.” දෙවැනියා ඉස්කෝලෙ ගිහින් ඇවිත් ලොකු දුවගෙන් ඇහුවා. “ පිරිත් කියන කොයි හාමුදුරුවොත් වනවලා තමයි කියන්නේ.”ලොකු දුව කීවා. “නැහැ ඒක නෙවෙයි උත්තරේ. ආපහු අවස්ථාවක් දෙන්න පුලුවන්.” දෙවෙනියා හිනා වෙලා කීවා. ලොකුදුව තමන් දන්නා හාමුදුරුවරුන්ගේ නම් කීවා. “නැහැ උත්තරේ වැරදියි.” දෙවැනියා ආයෙත් හිනාවෙලා කීවා. “උදව්වක් කරන්න බැරිද?”ලොකු දුව ඇහුවා. “තෙවලා කියන තැන තියෙනවා.” “එහෙනම් ත්‍රිපිටකය කියන හාමුදුරුවරු.”. “ළඟට ආවා. ඒත් උත්තරේ ඒක නෙවෙයි. ‘වන විනිස’ කියල එකක් අහල තියෙනවද?” දෙවැනියා ආයෙත් ඇහුවා. “මං දන්න ‘වන විනිසක්’ නැහැ. උත්තරේ දන්නෙත් නැහැ. තමුසෙම උත්තරේ කියනවාකෝ.” ලොකු දුව පරාජය භාර ගත්තා. “ ‘වන විනිස’ කියන්නේ ‘විනය විනිශ්චය’ කියන එක. සූත්‍ර විනය අභිධර්ම කියන තුන තමයි ‘තෙවලා’ කියන්නේ. වන කියන්නේ විනය කියන එක. ‘වලා’ කියන්නේ පිටකය කියන එක. එතකොට ‘වනවලා’ කියන්නේ ‘විනය පිටකය’ කියන එක. “වනවලා කියන හාමුදුරුවරු කියන්නේ, විනය පිටකය කියන හාමුදුරුවරු. මිහින්තලේ පුවරු ලිපියේ තියෙනවා, වනවලා, බිදම්වලා, සුතන්වලා කියන හාමුදුරුවරුන්ට වෙන වෙනම දීමනා දිය යුතු බව සටහන් කරල.” “කවුද ඔය බොරු තමුසෙට කියල දුන්නේ?” ලොකු දුව ඇහුවා. “බොරු නෙවෙයි. අපේ බී .සී. සර් සෙල් ලිපිය අපිට පෙන්නලා කියල දුන්නා.” “එහෙනං මං කියන්ටද උත්තරේ හරියටම”. ලොකු දුව හිනාවෙලා ඇහුවා. “හා කියනවකො බලන්න.” “වනවලා කියන හාමුදුරුවරු කියන්නේ, විනය පිටකය කියන හාමුදුරුවරුන්ට.” “හරිනේ කොහොමද ඔයා දන්නේ?” දෙවැනියා ඇස් දෙක ලොකු කරලා ඇහුවා. “ඇයි තමුසෙනෙ මට කියල දුන්නේ.” ලොකු දුව හිනාවෙලා කිව්වා. “හරි නේන්නම්.”දෙන්නා එකටම හයියෙන් හිනා උනා
1/1