රංගිරි දඹුල්ල හොයාගත්තෙ මෙහෙමයි. අපි අද බොහොම ගෞරවයෙන් වන්දනා කරන දඹුල්ල ලෙන් ගුහාව ඒ කාලේ තිබුනේ මහ ගණ වනාන්තරෙන් වැහිල. වළගම්බා රජ්ජුරුවෝ පරසතුරන්ට බයේ තැන් තැන්වල හැංගිලා හිටියා. එහෙම හිටපු තැනක් තමයි දඹුළු ලෙන්. සමහරු කියන්නේ දඹුලු ගලේ බටහිර බෑවුමේ තියෙන ‘බඹරගලේ’ තියෙන ‘කොරඩෑගලේ’ ලෙනක එතුමා හැංගිලා හිටිය කියල. ඒක පස්සේ කාලෙ ගල් කුට්ටි වැටිල වැහිල ගිහින් කියලත් ගමේ පැරැන්නෝ කියනවා. ඒක එහෙම තියෙද්දෙන්කෝ. දඹුලු විහාරේ ප්‍රතිමා කර්මාන්තෙ කරන්න ඉස්සර වෙලා ප්‍රතිමා නෙළන්න ලෑස්ති වෙලා තියෙන්නේ ‘දිග්ගල් පතහ’ හෙවත් දිගම් පතහ, ‘මාගල් ලෙණ’ විහාරයේ. මාගල්ලෙන විහාරය රියන් පනහක් විතර දිග තිබුණට පළල නැහැ. ඔය මාගල්ලෙන ලෙන්වල ‘සීතා’ හා ‘වායා’ කියන සහෝදර වැදි දෙපල ජීවත් වෙලා තියෙනවා. ඒ දෙන්නම වැදි නායකයෝ විදිහට තමයි ඉඳල තියෙන්නේ. රජතුමා මෙතැන විහාර කර්මාන්තය කළොත් තමන්ගේ වාස භවනයත් නැති වෙනවාය කියල, ඒ ගොල්ලන්ට හිතෙන්ට ඇති. ඒ නිසා සීතා කියන වැදි නායකයා රජතුමාට මෙහෙම යෝජනාවක් කළා. “රජතුමනි මීට වඩා ඉඩකඩ තියෙන විශාල ලෙනක් මේ ආසන්නයේ තියෙනවා. ඔබ වහන්සේ කැමැති නම් එතැන පෙන්වන්න පුලුවන්. එම ස්ථානය හොඳින් ඉඩකඩ ඇති ස්ථානයක්.” “තොප කෙසේද ඒ ගැන දන්නේ?” රජතුමා ඇසුවා. “දේවයන් වහන්ස, අපි නිරන්තරයෙන්ම වනයේ දඩයම් පිණිස හැසිරෙන අය. දිනක් මම දඩයමේ යනකොට මුවෙකුට විද්දා. ඒ මුවා විත කාගෙන දිව්වා. මම ලේ පාර දිගේ ඌ පස්සෙන්ම ආවා. ඔහු ලෙනක් ඇතුලේ වතුර බිබී හිටියේ. මම එතැනට ගිහින් බැලුවා. පර්වතයේ සිදුරකින් වතුර වෑස්සෙනවා. රියන් සීයකට වඩා දිග පළල තියෙනවා. මම ඒ ලෙන ගැන කියන්න ඔබ වහන්සේ හමුවීමට පැමිණීමටයි හිටියේ.” “හොඳයි අපි එහෙමනම් ගිහින් බලමු.” රජතුමා ඇතුලු පිරිස දඹුල්ලේ ලෙන් ගුහාවට ගියා. “ඇත්ත නේන්නම්. මේක නම් විස්මිත තැනක්. අපේ කාර්යයට ගැලපෙනම ස්ථානය.” රජතුමා කීවා. භික්ෂූන් වහන්සේලා සිටි බවට සලකුණු තිබුණත්, ඒ වෙනකොට උන් වහන්සේලා හිටියේ නැහැ. “කමක් නැහැ. අපි උන් වහන්සේලාට වෙනත් ගල් ගුහා සකස් කරල දෙමු. මිය ගිය අපේ සද්ධාතිස්ස පියාණන් මේ ලෙන සංඝයාට පූජා කරපු ලේඛණයකුත් තියෙනවා. අපි මේක විහාරයක් බවට පත්කරල එතුමටත් පින් දෙමු.” රජතුමා කීවා.
1/2
එදා සීතා කියන වැදි නායකයාගේ මග පෙන්වීම අනුව තමයි මේ විහාර කර්මාන්තය මෙතැන ආරම්භ උනේ. ඉස්සෙල්ලාම එතුමා බුදු පිළිම පහක් නිර්මාණය කළා. ඒකට කියන්නේ ‘පස් පිළිම ගේ’ කියල. අදනම් ඒකේ පිළිම 21 ක් තියෙනවා. අද ඒකට කියන්නේ ‘පශ්චිම විහාරය’ කියල. ඊට පස්සේ තමයි සීතා වැද්දා පෙන්වපු ලෙණ සුද්ධ පවිත්‍ර කරල ඒකේ කටයුතු පටන් ගත්තේ. එහි එදා වැටෙමින් තිබුණු දිය උල්පත තමයි අදත් වැටෙන්නේ. ඉස්සෙල්ලාම ලෙන සමුපූර්ණයෙන් සුද්ධ කරල ඔප මට්ටම් කරල පස්සෙයි ප්‍රතිමා නෙලුවේ. ඊට පස්සේ විටින් විට විවිධ රජවරු ඒවා ප්‍රතිසංස්කරණය කළා. නිස්සංක මල්ල රජ්ජුරුවෝ පිළිමවල රත්තරන් ගෑවා. ඉතිං අපේ යුතුකමක් වෙනවා දඹුලු විහාරෙ වන්දනාකරන හැම මොහොතකම වළගම්බා රජ්ජුරුවො වගේම සීතා කියන වැද්දත් මතක් කරල පිං දීම.
2/2