අද මං කතා කරන්න හිතුවේ ‘අම්බලං’ ගැන. බොහෝ දෙනා අම්බලං ගැන අවඥාවෙන් කතා කළාට, එදා සමාජයේ ඉතා ඉහළින් කතා කළා. අම්බලමේ ආරම්භය නම් කවද්ද කියන්න මං දන්නේ නැහැ. ඒත් ඉතා ඈත අතීතයේ සිටම එය පැවතුනු බවට සාධක තියෙනවා. ඒවාට ආගම දහමිනුත්, ලොකු වටිනාකමක් දෙනු ලැබුවා. “අම්බලං පාළං තැනුවෝද මතු මෛත්‍රී බුදුන් දක්නෝය.” යනුවෙන් මෛත්‍රී වර්ණනාවේ සඳහන් කළේ ඒ නිසයි. ඒ නිසාම පොදු දේපල විදිහට සුරක්ෂිත කරගැනීමටත් කටයුතු කරනු ලැබුවා. හිඳගල සෙල්ලිපියක මෙහෙම තියෙනවා. “ පවසල අබල අරක තන ලද ලකජය මහමති. ( පවසල අම්බලම් ආරක්ෂක තනතුර ලද මහ ඇමැති) මේ සටහනේ විදිහට ‘අම්බලම්’ ගැනම ඇමති වරයෙකු, අමාත්‍යාංශයක්, සිටි බව, තිබුනු බව, පිලිගන්න වෙනවා. විවිධ වකවානුවල ඒවා විවිධ නම්වලින් හඳුන්වලා තියෙනවා. මාවත් මඩු, ඉසුඹුහල්, ගිමන්හල්, අම්බර, අම්බිලි, චතුස්සාලා, මඩම්, වැනි නම් යෙදී තිබෙනවා. අම්බලම් නිර්මාණය උනේ පයින් යන අයගේ පහසුව මූලික කරගෙන. එක හුස්මක් (-ඒ කියන්නේ ගමන එක දිගටම ගිහින් විඩාබරවෙන අවස්ථාව-) ගිහින් නවතින තැන තමයි, ඒක ඉදි උනේ. බොහෝවිට, ගව්වක්, ඒ කියන්නේ හැතක්ම හතරක් එක හුස්මට පයින් යා හැකි බව ඔවුන් අවබෝධ කරගෙන හිටියා. අර යසොදරාවතේ කවියක තියෙන්නේ,

1/5

“කැළේ තියෙන කොයි දේවත් රස වේවා මලේ බමරු ලෙස පිරිවර ඇති වේවා අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිවමාළිග සෑදේවා” කියල. ඒකෙන් ව්‍යංගයෙන් කියන්නේ අම්බලං වෙනුවට තමන්ගේ ස්වාමියාට දිව්‍ය මාළිගා පහළ වේවා කියන එකයි. ඕකෙම දිගුව තමයි, සුද්දන්ගෙ කාලෙ “රෙස්ට් හවුස්” උනේ. ඒ අය ගියේ අශ්වයා පිට හෝ අශ්ව කරත්තෙන්. ඒකෙ විඩා නිවා ගත්තේ ගව් හතරකින් වගේ. ඒකට ඉස්සර කීවේ ‘යොදුන’ කියල. ඒ කියන්නේ ගව් හතරක්. හැතක්ම දාසයක්. එවැනි තැන්වල වැඩි පහසුකම් තිබුනා. සමහරවිට ආපන ශාලාත් තිබුණා. සිරිපා කරුණා කරන්නවුන්ගේ පහසුව සඳහා විජයබා රජතුමා අම්බලං සෑදූ බව සඳහන් වෙනවා. පරාක්‍රමබාහු රජතුමා ආගන්තුක ශාලා ( අම්බලං) 59 ක් සෑදු බව මහාවංශයේ සඳහන්වෙනවා. උම්මග්ග ජාතකයේ, මහෝෂධ පඩිතුමා හැදුවාය කියන ශාලාවත්, මේ අම්බලමේම අංගයක් ලෙස හිතන්න පුලුවන්. පුරාතනයේ බොහෝ ගමන් මාර්ග තිබුනේ කදු පල්ලම් තැනිතලා, කෙත් වතු මැදින්. ඉඩකඩ ඇති පහසුකම් ඇති ස්ථානවල ඒවා සැකසුනේ මගියාට සේවය සැලසීම කියන මූලික අවශ්‍යතාවය මුදුන්පත් කරගැනීම සඳහා. සමහර ආරක්ෂක මුරකපොලු ළඟත් අම්බලං තිබුණා. එහිදීත් මහජනතාවට කරදරයක් කරන්න පාලකයෝ ඉඩ තිබ්බේ

2/5

නැහැ. එවැනි තැන්වලට “අම්බලං කඩුල්ල” කියන නම භාවිතා කළා. වෙළඳාමේ යන අය, වන්දනාවේ යන අය, රාජ නියෝජිතයන්, නෑදෑ ගමන් බිමන් යන අය, ධනවතුන්, දුගියන්, ගැහැනු, පිරිමි, හැමෝටම පොදු නවාතැන්පොළ උනේ අම්බලම. ඒ නිසා ඒ අය වෙනුවෙන් ගැලපෙන විදිහට අම්බලං සැකසී තිබුනා. එසේ නොමැති ගමන් විඩාව පමණක් නිවාගෙන, වතුර ටිකක් බී, ගෙනා බත් මුල දිගහැරගෙන භුක්ති විඳ බුලත් විටක් සප්පායම් වීමට පමණක් පහසුකම් ඇති අම්බලමුත් තිබුනා. අම්බලම පිහිටියේ ඉතා සුන්දර තැනෙක. ස්වභාව සෞන්දර්යයෙන් අනූන තැනෙක. යන එන හැමදෙනාටම ටික වෙලාවක් විවේකයෙන් ගතකරල යාමට හැකි තැනෙක. වාඩිවීමට මෙන්ම ටික වෙලාවක් හාන්සිවී සිටීමටත් එහි ඉඩකඩ තිබුනා. ඒ ආසන්නයේම ළිදක්, දිය කඩිත්තක් , ඇළක්, තිබුනා. ඒවා නොමැති තැන්වල ‘පිංතාළියක්’ තැබීමට ගැමියෝ සැලකිළිමත් උනා. ගිරා සන්දේශයේ, “අම්බලමේ කතාව” බොහෝ සමාජ, සංස්කෘතික, දේශපාලන, තොරතුරු අපට මතක් කර දෙනවා. විවිධ තැන්වල තිබුණු අම්බලං ගැන සන්දේශ කාව්‍යවල සඳහන් වෙලා තියෙනවා. විවිධ ප්‍රමාණයේ හා පහසුකම්වලින් සමන්විත අම්බලං ගැන තොරතුරු අපට හමුවෙනවා. ඒවායේ මූලික පදනම කර ගත්තේ කල් පැවැත්ම. ඒ නිසාම, කලුගල් හෝ ශක්තිමත් දැව උපයෝගී කර ගත්තා. පේකඩ, ගොනැස්, කුරුපා, කැණිමඩල, ඉතා අලංකාර කැටයම්වලින් සමන්විත උනා. වාඩිවීමට සතරැස් කරන ලද දැව කදන් හෝ ගල් උපයෝගී කර ගත්තා.

3/5

එහෙත් යටත් විජිත කරණයෙන් පස්සේ බොහෝ දේ වෙනස් උනා. අලුත් පාරවල් හැදුනා. පැරණි මාර්ග වල් වැදුනා. ඒවායේ තිබුනු අම්බලමුත් වල් වැදුනා. දහවල් තිස්සේ නව නගරවල යදිමින් කීයක් හරි සොයා ගත් යාචකයන් රාත්‍රිය ගත කිරීමට පමණක් අම්බලං උපයෝගී කර ගත්තා. අප අතරින් වියකී ගිය, අම්බලං ගැන විශේෂ සොයා බැලීමක් සංස්කෘතික අමාත්‍යාංශයෙනුත් පහුගිය කාලේ කළා. සමහර අම්බලං සංරක්ෂණය කිරීමටත්, වැඩ කටයුතු කළා. සමහර අම්බලංවල තිබෙන කැටයම්, ආගමික ස්ථානවල හා දේවාලවල තියෙන කැටයම් තරම්ම විශිෂ්ඨයි. පනාවිටිය, කඩුගන්නාව, මාවනැල්ල මංගලගම, කෙවුල්ගම, උඩදුම්බර, පිටවල, අමුණුගම, දිගන, කරල්ලියද්ද, පුටුහපුව, සිරිමල්වත්ත, කෙන්ගල්ල, දවුලගල, ඇම්බැක්ක, පඩිවිට, නාවුල, ගොඩමුන්න, වතුරකුඹුර, කොණකලගල, සිංහයාපිටිය, කොස්සින්න, මැදවල, රුවන්වැල්ල ජුබිලි අම්බලම, මැටියගනේ, කොටුවැල්ල, කිරිල්ලවල, වගේ තැන්වල තිබුනු අම්බලං අපට තරමක් මතකයි.( මේ වගේ, උතුර දකුණ නැගෙන හිර, බටහිර,) රට පුරා ව්‍යාප්ත වූ අම්බලං තිබුණත්, දැන් ඒවායින් සමහරක් නාම මාත්‍රිකයි. අම්බලම සමහරුන් පින් කිරීමටත් සමාජ සත්කාර්යයන් කරන්ටත් මධ්‍යස්ථාන බවට පත් කර ගත්තා. සමහර පාලකයෝත් අම්බලංවල විශ්‍රාම ගන්නා මගීන්ගේ පහසුකම්වලට වැඩ පිළිවෙලක් සකස් කළා. අම්බලං අලුත් වැඩියා කිරීම, අවට සුද්ධ පවිත්‍ර කිරීම, ඒ අසල පිංතාලි තැබීම වැනි කාර්යයක් ගැමියන් ශ්‍රම දායකත්වයෙන් කළා. සමහරුන් පොහොය නිමිත්තෙන්, හා තමන්ගේ මියගිය ඤාතීන් සිහිපත් කිරීම නිමිත්තෙන් සමහරු මගියන්ට දන්දීම සඳහාත් අම්බලම භාවිතා කළා.

4/5

අම්බලං නිසාම අපට හිමිවෙච්චි සමහර දේවලුත් තියෙනවා. “උගුර ඉදිකටුව බඩ අම්බලම”, “අම්බලම කැඩුනාට ගව්ව කොටවේද?” වැනි යෙදුමුත්, “අම්බලංගොඩ,” “අම්බලම්පිටිය,” “අම්බලං තොට” වැනි ග්‍රාම නාමත්, “අම්බලං පාලුවෝ,” “අම්බලමේ පිනා,” “පාලු අම්බලම,” වැනි වචනත්, “අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ,” “වෙල මැද අම්බලම කාටත් පරවේනී”, “අම්බලං පෝරු පිට හිඳිනා ලඳුනේ”, වැනි කවිත්, අපට හමුවෙනවා. ඒත් සමහර කවීන් ඉතා රසවත්ව ලෝකයම අම්බලමක් බව පවන අයුරු “ලෝ අම්බලමේ ඉඳලා යනවා” යන ගීයෙන් මැනවින් පේනවා. අම්බලං වැනි දෑ සාදන, උදව් කරන, අයට මෛත්‍රී බුදුන් දැකීමට වාසනාව හිමිවන බව ‘මෛත්‍රීවර්ණනාවේ’ සඳහන් වෙනවා.

5/5

- ආනන්ද මාරසිංහ -