ඇවිද්ද පය දහස් වටී. එක් දිරා ගිය ගහක බෙනයක ගිරා ජෝඩුවක් වාසය කළා. ඒ දෙන්නා ඒ ගහේම ගෙඩි කොල මල්, කමින් ඈත වනාන්තරයට පියාඹා යන්නේ නැතිව සතුටින් හිටියා. එක දවසක් ඈත පළාතකින් ආපු ගිරවෙක් ඒ දෙන්නත් එක්ක කතා කළා. “ඇයි ඔය ගොල්ලෝ ඈත වනාන්තරවලට ආහාර හොයාගෙන නොයන්නේ?” “අපගේ බඩ පුරව ගන්නට මේ ගස්වල තියෙන ගෙඩි හොඳටම ප්‍රමාණවත්. ඉතිං මොකටද දුර පළත්වලට ගිහින් කරදර විදින්නේ?” “ජීවිතය කියන්නේ ආහාර විතරක්ම නොවේ. අප අවට ලෝකයේ සුන්දරත්වය බලන එකත්, විනෝදය ලබන එකත්, ජීවිතයේම කොටසක්. ඒ හන්ද ඉඳ හිටවත් බැහැරට පියා සලා බලන්න. ඔබට අමුතුම ආශ්වාදයක් ඉන් ලබා ගත හැකි වේවි.” ගිරා ජෝඩුව එයා කියපු දේ අහල, පහුවදාම ඈතට පියඹලා ගියා. අහසේ ඉඳල බලනකොට ඈත කෙත්වතු ලස්සනට පෙනුනා. දිය ඇලි , වලාකුළු පිරිච්ච අහස, මීදුමෙන් වැහිච්චි කදු වැටි, අපූරුවට පෙනුනා. දෙන්නට බිමට බහින්න හිත දුන්නේ නැහැ. ඒ තරම්ම් ලස්සනයි. බඩගිනි වැඩි කමට මී අඹ පිරිච්ච ගහකට ඒ අය පියඹල ගියා. නොයෙක් පළාත්වලින් ආපු ගිරව් විතරක් නෙවෙයි, තවත් සත්තු ඒකේ ගෙඩි රස විඳිමින් හිටියා. ඒ අය ඒ ඒ පළාත්වල
1/2
තොරතුරු හුවමාරු කර ගත්තා. දැක්ක දේවල් කියපු කරපු දේවල් හිනාවෙවී හුවමාරු කර ගත්තා. මේ දෙන්නට තමන් ගැනම ලජ්ජාවක් ඇති උනා. මොකද ඒ අයට කියන්න තරම් ලොකු දෙයක් තිබුනේ නැහැ. “අපි මොනවද මේ ලෝකේ ගැන දන්නේ. මෙච්චර කාලයක් අපි ළිදේ ඉන්න ගෙම්බෝ වගේ එක තැනකට වෙලා ඉඳල තියෙන්නේ.” ගිරවා ගිරවියට කීවා. “ඒක තමයි. අර ගිරවා අපිට මේ ලෝකේ සුන්දර තැන් කියල දුන්නේ නැත්තම් අපි තාමත් ඒ ගහටම වෙලා ඉන්නවානේ.” “ ඒක තමයි මීට පස්සේ අපි හැමදාම උදේම නැගිටලා. ලෝකෙ පුරාම ඇවිදල හවසට ගෙදර එමු.” ගිරවා කීවා. ඔබත් ඉඩ තියෙන හැම වෙලාවෙම කොහේ හරි ඇවිදලා අලුත් යමක් ඉගෙන ගන්න පුරුදු වෙන්න.
2/22