බොහෝ ඇමැතිවරු රජතුමාගේ සිත් දිනාගැනීමට ඇත්ත යටපත් කර රජුගේ වචනයම හරි කියන්ට පුරුදු වෙලා හිටියා. මේක රජුට තේරුම් ගිහින් තිබුනේ. එසේ නොකර ඇත්ත ඇති සැටියෙන් පවසන ලෙසත්, එය රටේ සංවර්ධනයට ඉවහල් වෙන බවත්, කිහිපවතාවක්ම කියා තිබුණා. ඒත් සමහරුන්ගේ එම ප්‍රතිපත්තිය නැති උනේ නැහැ. මේ කතාවත් එහෙම එකක්. දවසක් රජතුමා රාජසභාවේ කටයුතු අවසන් වෙලා, එතැන හිටපු ඇමැති වරු සියලු දෙනාම මාළිගාවේ ඉහළ මාලයට එකතු කරගෙන ගියා. “මම මේ හැම දෙනාම මෙතැනට එක්කන් ආවේ ලස්සන දසුනක් පෙන්වීමට. මට හිතෙන්නේ මෙතැනට තරම් හොඳට කන්ද උඩරට වෙනත් තැනකට ඒ දසුන පේන්නේ නැතුව ඇති.” “කුමක්ද දේවයන් වහන්ස ඒ?” මහ ඇමැති ඇසුවා.
1/3
“මේ කවුලුව අසලට ගිහින් බලන්න. මීගමුවේ පොල් ගස් මැනවින් පෙනෙනවා. එකිනෙකා ගිහින් බලන්න.” ඇමැතිවරු කවුලුව ළගට ගිහින් බැලුවා. “එහෙමයි දේවයන් වහන්ස. ඉතා මැනවින් එය පෙනේ. ඔබ වහන්සේට මෙහි සිටම ඵලබර නෙරළු තුරු දැකගත හැකිවීම භාග්‍යයක්.” හැමෝම වගේ කීවා. “ඇයි අන්දරේ බලන්නේ නැද්ද.?” “අනේ පොල් ගහක මොනව බලන්නද දේවයන් වහන්ස.? මේ හැම දෙනාම එම දසුන මනාව දැක්කනේ.” “එහෙම හරියනවය අන්දරේ? ඒ අය කෑව කියල අන්දරේගේ බඩ පිරෙන්නේ නැහැනේ. අන්දරෙත් බලන්න”. රජුගේ වචනය අහක දැමිය නොහැකි නිසා අන්දරේත් කවුලුව ළඟට ගිහින් බැලුවා. ඒත් ඈත නිවෙස්වල තිබෙන පොල් ගස් කීපයක් මිස, පොල් වත්තක් නම් පෙනුනේ නැහැ. අන්දරේ තවත් හොඳින් කවුළුවෙන් බැලුවා. ඒත් එහෙම එකක් පෙනුනේ නැහැ. අන්දරේට තේරුනා, මේක බොරුවක් බව. මීගමුවේ පොල් මහනුවරට කෙසේ පෙනෙන්නද.? “සමාවන්න දේවයන් වහන්ස, මටනම් අවට ගම්මානවල පොල්ගස් කීපයක් මිස, මීගමුවේ පොල් වත්තක්නම් පෙනෙන්නේ නැහැ. අනෙක් අතට එතරම් දුරක් කඳුවැටි නිසා පෙනෙන්නට හැකියාවකුත් නැහැ.” “එතකොට මමයි, මේ අනෙක් ඇමැතිවරුයි, දැක්ක පොල්වත්ත කුමක්ද.?”
2/3
“මට සමාවන්න දේවයන් වහන්ස. එය ඔබවහන්සේගේ දෘෂ්ඨි මායාවක් විය හැකියි.” “එතකොට ඇමැති වරුත් දැක්කා කීවේ.” “මට එයට උත්තර දිය නොහැකියි දේවයන් වහන්ස.” “ඔව් අන්දරේ ඔබ නිවැරදියි. එහි පොල් වත්තක් පෙනෙන්නේ නැත . මේ සියල්ලෝම කීවේ මුසාවන්. ඔවුහු මුසාවෙන්ම මා රැවටීමට හුරුවී සිටිති. ඇමැති වරුනි, මෙම රැවටීම වහා නැවත්විය යුතුයි. ඔබ ලබන වැටුපට අවංක වන්න. සත්‍යය පැවසීමට බිය නොවන්න.” ඇමැති වරු ලජ්ජාවෙන් බිම බලාගත්හ. “අවසර බය බෝයි මහරජ තුමන්නේ ඔබ හන්දමයි අපගේ දිවි රැකෙන්නේ මොකටද මහරජුනි මම බොරු කියන්නේ මීගමුවේ පොලක් නම් නැහැ පෙනෙන්නේ.” අන්දරේ කවියකුත් කීවා. photo - ytimg.com
3/3