දැන් ලොකු අත්තට ඉස්සර වගේ ලියන්න බැහැ. කියවන්න බැහැ. පත්තරේ කියවන්න ගත්තහම හාන්සි පුටුවෙම නින්ද යනවා. ටී.වී. බලන්න ගත්තහම පුටුවේ නින්ද ගිහින්. ටී. වී එක වැඩ. ඒව ඉතිං වයසත් එක්ක එන ආබාධ නේ. හැබැයි ඉතිං ලොකු අත්ත හිතං ඉන්නේ පරණ වැඩ තාම කරන්න පුලුවන් කියල. එයා ලියපු නවකතාවක අවසාන පරිච්ඡේදෙ මැරෙන්න ඉස්සර වෙලා ලියන්න ඕන කියල, ලියන මේසෙට වාඩි වෙලා වැඩ පටන් ගත්තෙ මේ මෑතක. “අප්පච්චි නිකා ඉන්න. ඕව කරන්න දැං බැහැ.” අම්මා ඒ වගේ වෙලාවට ලොකු අත්තට කියනවා. “නැහැ ලොකූ. මේක ඉවරයක් කරන්න ඕන.” අදත් ලොකු අත්තා කණ්නාඩිය සකස් කරමින් පුටුවේ හරි බරි ගැහුනා. තමන් ලියපු පොතේ අවසාන පරිච්ඡේදය පෙරළ ගත්තා. ඒකේ කතා තේමාව එයාගේ හිතේ තිබුනා. ඒත් මුල සිට නැවත ඔහු පිටු පෙරළ පෙරළා බැලුවා. ඒවයේ අඩු පාඩු නැවත සකස් කළා. පිටු කීපයක් බලන විට ඔහුට වෙහෙසක් දැනුනා. සුපුරුදු විදිහටම ඔහුට පුටුවේ නින්ද ගියා. ටික වෙලාවකින් අම්මා ඇවිත් ඔලුව පොවල බැලුවා. ලොකු අත්තා ෆයිල් එක උඩ නිදි. මුවගට මඳ සිනාවක් නගා ගත් අම්මා එතැනින් ඉවත් උනේ ‘ඔහේ තව ටික වෙලාවක් හිටපුදෙන්’ කියල තමාටම කියාගෙන.
1/3
කුස්සියේ වැඩ අහවර කරල ආපහු අම්මා ආවේ තේ එකකුත් හදාගෙන. ඒත් ලොකු අත්තා නිදි. “පව්. ඇඳට ගිහින් නිදා ගන්න කීවට අහන්නෙත් නැහැ. එතකොට කියන්නේ ඇඳට ගියාම නින්ද යන්නේ නැහැ කියල.” අම්මා තමාටම කියා ගත්තා. “අප්පච්චි. මේ තේ එක බීල ඇඳට ගිහින් නිදා ගන්න.” ඇය ලොකු අත්තට කතා කළා. ඒත් එයාට තදේට නින්ද ගිහින්. ඇය තව සැරයක් කතා කළා. ඒත් ලොකු අත්තා ඇහැරියේ නැහැ. ඇයට බයක් දැනුනා. තේ එක මේසේ උඩම තියල ඇය ලොකු අත්තගෙ උර හිසට අත තියල කතා කළා. “අප්පච්චී”.. ඔහුගේ හිස පැත්තකට ඇළ උනා. කණ්ණාඩිය දිගේ කුඩා මකුළුවෙක් යනුත් සිහින් නූලක් ඌ පසුපසින් ඇදෙන හැටිත් ඇය දැක්කා. “අප්පචිචී ..” ඇය කුතුහලයෙන් ඔහුගේ හිස මඳක් එසවූවා. එහෙත් එය යළිත් කඩා වැටුනා. “ලොකු පුතේ. . ලොකු පුතේ.. මෙහේ එන්න. මෙහේ එන්න.” ඇය සිය පියාගේ හිස කෙළින් කරගෙන කතා කළා. “ඇයි අම්මේ.. ඇයි අම්මේ..?” මම දුවගෙන ආවේ, කමිසයත් නැතුව කොට කලිසමත් සකස් කරමින්.
2/3
“ “අනේ පුතේ, ලොකු අත්තට සනීප නැහැ වගේ.” ඇය දෑසේ කඳුළු පුරවා ගනිමින් කීවා. “ඉන්න අම්මේ. අපි ලොකු අත්තව ඉක්මනට හොස්පිටල් අරන් යමු. ඊට ඉස්සරවෙලා එයා ඇඳ උඩින් තියමු.” මම ලොකු අත්තව පුටුවෙන් ඔසොවාගෙන ඇඳට ගෙන ගියා. ඔහුගේ දෑත් අප්‍රාණිකව එල්ලුනා. හිස මගේ පපුවට හේත්තුවී තිබුණා. “අම්මේ ඉක්මනට තාත්තට කතා කරන්න. සුවසැරියටත් කතා කරන්න. ඉස්පිරිතාලෙට ගෙනියන්න බඩු ලෑස්ති කරන්න. ලොකු අත්තගේ බේත් ටිකත් ගන්න.” මම ලොකු අත්තා ඇදේ තබා අත් පා සකස් කරමින්ම කීවා. නූලකින් කරේ එල්ලගෙන තිබුණු කණ්ණාඩි කුට්ටම හෙමීට ගලවල ඉවත් කළා. හැමෝම මොන තරම් ඉක්මන් උනාද කියල කාටවත්ම හිතාගන්න බැරි උනා. සුවසැරිය ඇවිත් මිදුලේ නැවතුනා. ඒ අය බිමට බැස්සේ ගිනි නිවන හමුදාවෙන් වගේ. ලෙඩා සිටි තැනට ඒ අය ගියා. ලොකු අත්ත තියපු විදිහටම එතැන ඉන්නවා. හෙල්ලුනේවත් නැහැ. වෛද්‍යවරයා. එතැනට සමීප උනා. ඇඟට අත තියල බැලුවා. පපුවට අත තිබ්බා. අත ඔසොව අතහැරියා. දෑස් ඇර බැලුවා. නැවත ඇස් පිය පහතට දැමුවා. ලොකු හුස්මත් පහතට හෙලුවා. මමත් අම්මාත් පසෙක බලා සිටියේ විමසිල්ලෙන්. ඒ වනවිට තාත්තත් ඇවිත් හිටියා. දොස්තර මහත්තයා හුස්මක් පිට කර අප දිහා බැලුවා. “මීට පැය බාගෙකට විතර ඉස්රවෙලා හුස්ම නතර වෙලා.” “අනේ මගේ බුදු අප්පච්චි. අම්මා ගේ දෙවනත් වෙන්න කෑ ගැහුවා. මගේ දෑස් කඳුළින් පිරී ගියා. මුලු ලොවම බොඳ උනා වගේ දැනුනා. සුවසැරියේ මහත්තුරු තාත්තත් එක්ක මොන මොනවදෝ කතා කළා. මට මහත් බියක්, පාලුවක් හා අසරණකමක් දැණුනා. පුංචි කාලේ ලොකු අත්තා මගෙ අතින් අල්ලගෙන ඇවිදපු හැටි මතක් උනා. ‘ලොකු අත්තා ගෙදර ලොකු වැඩ කොටසක් නොකෙරුවාට ගෙදර පිරිල තිබුණා. අපට පෙන්නුවේ නැති උනාට ලොකු ගෞරවයක් ගෙනාවා. අදින් පස්සේ ඒක නවතීවි.’ මම සෙමින් ගොස් වැළපෙමින් සිටි අම්මාගේ උරහිසින් අල්ලා ගත්තා. ඇගේ සිරුරෙහි ගිනි කන්දක වැනි උණුසුමක් තිබුණා. පපුවෙන් තෙරපෙන වේදනාව ගිරිය කඩාගෙන පිටතට නිකුත් වෙන සෙයක් දැනුනා. ලොකු පුතේ අපට වෙච්චි විපත්තිය බලපන් මගේ පුතේ අම්මා මා තරයේ වැළඳගෙන කීවා. මම ඇය වාරු කර පුටුවක වාඩි කෙරෙව්වා. ලොකු අත්තාගේ කන්නාඩියේ සිට පිස දැමූ මකුළුවා බිත්තිය දිගේ ඉහළට යන හැටි මම දැක්කා.
3/3